මීදුම් මාරුත -25

සකුණ නිවසට ගියේ කෝපයෙනි.ඔහු මෝටර් රථය නවතා බිමට බසිද්දීම භාවනා නිවස තුළින් පිටතට ආවා ය.ගින්නක් ඇවිලිය හැකි බවත් ඒ ගින්න ඇවිලවූ භාවනා දෙස බලමින් සකුණ සිතී ය.

“යන්නං..”

භාවනා සකුණට පැවසුවේ සරදම් හඬකිනි.

“තෑන්ක් යූ.”

සකුණ පැහැදිලි හඬකින් ඇයට සමු දුන්නේ ය.මේ අවස්ථාවාදී තරුණිය සමඟ වාද කරනවාට වඩා එය පහසුවකි.ඔහු ඇය යන දෙස නොබලාම නිවස තුළට ගියේ ය.අම්මා සිටියේ සාලයේ පුටුවකට වී වාඩිගෙන ය.ඇගේ මුහුණ අමුතු ශෝකයකින් හෝ කෝපයකින් වර්ණ ගැන්වී නැතැයි සකුණට පැහැදිලි ය.සකුණ අම්මා ඉදිරිපිට හිඳ ගත්තේ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට සිතමිනි.

“ඔයා ආවද?”

අම්මා අසන්නේ තරහ නැති හඬකිනි.සකුණ අම්මාගේ මුහුණ දෙස එකඑල්ලේ බැලුවේ ය.

“භාවනා කෝල් කරා.ඒ නිසයි ආවේ අම්මෙ.මං වැඩකටනෙ එළියට ගියේ.”

සකුණ ඉන් නොනැවතී ය.සෙනුරගේ නිවස කුලියට දෙන්නට කාව්‍යා අදහස් කරන බවත් තමන් එයට උදව් වෙන්නට ගිය බවත් පැවසූ සකුණ කතාව නවතන්නට පෙර වාක්‍ය සම්පූර්ණ කළේ වඩා ප්‍රවේසමිනි.

“හවස කාව්‍යා ඩොක්ට ගාවට එක්ක යන්නත් ඕන..”

එසේ කියා ඔහු නැගිට කාමරයට ගියේ ය.භාවනා මොනතරම් අප්‍රසන්න කතා දිග හැරියද තමන්ට හිඳින්නේ කෝප ගන්නා අම්මා කෙනෙකු නොවන බව ඔහු දනියි.ඔහු කලබලයට පත් නොවූයේ ද ඒ හන්දා ය.

සකුණගේ අම්මා හුන් තැනම හිඳගෙන කල්පනාවට වැටුණා ය.ඇය සකුණ හා භාවනා අතර තිබූ සම්බන්ධතාවය ගැන මුල සිටම සිටියේ සසැලෙමිනි.එකම පුතුගේ බිරිඳ කෙදිනක හෝ තමන්ගේ එකම දියණිය විය යුතු බව ඈ සිතා සිටියා ය.සකුණ කුඩා කාලයේ පටන් බොහෝ සමීප මිතුරිය එතැනට ඒදැයි ඇය සිතූ දවස් ද විය.එහෙත් ඈ දිනා ගත්තේ සෙනුර ය.

“අපේ අක්ක මැරි කරන කෙනා නැති වෙනවයි කියන්නෙ කේන්දරේ තියන කතාවක්.එයා ඒක සෙනුරට හැංගුවා.දැන් සකුණටත් හංගන්න යන්නෙ.ඒත් මට හිතුණා ඒක ආන්ටිට කියන්න.මං සකුණට ආදරේ කරා.එයා මට ආදරේ නොකරත් මැරි කරන්න බෑ කියල මාව රවට්ටල අක්කව මැරි කරන්න ප්ලෑන් කරත් මං එයාට ආදරෙයි.අන්න ඒ නිසයි මං මේක ආන්ටිට කියන්න ආවේ..”

භාවනා එසේ කියද්දී සකුණගේ අම්මාට භීතියක් නොදැනුණා නොවේ.නමුත් මේවා ප්‍රවේසමෙන් හැසිරවිය යුතු කාරණා බව ඇය සිතුවා ය.

“ඔයා භාවනා එක්ක සම්බන්ධෙ නැවැත්තුවද පුතා?”

සකුණ සාලයට එද්දීම ඇය ඇසුවා ය.සකුණ මේ පැමිණියේ ද අම්මා සමඟ කතාබහක යෙදෙන්නට සිතමිනි.

“මම කිව්වෙ වෙඩින් එක කල් දාමු කියල.එයා අෆෙයා එක නැවැත්තුව..”

සකුණ පැවසී ය.

“භාවනා ඇයි කාව්‍යා ගැන ඔච්චර තරහ?”

අම්මා එසේ අසද්දී සකුණ හිනැහී ය.තමන් හදිසියේ පැමිණෙන්නට හේතුව ඔහු අම්මාට පැවසුවේ ය.

“තමුන්ට කාව්‍යාව බඳින්න කවුරු නැතත් මම ඉඩ තියෙන්නේ නෑ.මං ගිහින් තමුන්ගෙ අම්මා හොඳටම බය වෙන දෙයක් කියනව.ඊටපස්සෙ ඔය අදහස් කොහොමටත් ඉෂ්ට වෙන්නේ නෑ..”

සකුණ වාදනය කළ ඒ දුරකථන හඬ පටය සකුණගේ අම්මා අසා සිටියා ය.මෙය භාවනා පලි ගැනීමට පැවසුවේ නම් ගැටළුවක් නොවේ.නමුත් එහි සත්‍යයක් ඇතිදැයි ඈ සිතුවා ය.

“ඔයයි කාව්‍යායි අතර සම්බන්ධයක් තියනවද ඒ කියන්නේ?”

අම්මා අසයි.මේ මොහොතේ පවතින සත්‍යය අම්මාට පවසන්නට සකුණ සිතුවේ ය.

“මම කැමතියි කාව්‍යාව මැරි කරන්න අම්මේ.කොහොමත් මං එයා ගැන බලාපොරොත්තු තිබ්බෙ හුඟාක් කාලෙකට කලින්.සෙනුරට එයා අයිති වුණු නිසයි මං පැත්තකට වුණෙත්.ඒත් ඕක වෙන දෙයක් කියල මම හිතන් නෑ.මං හිතන්නේ කාව්‍යා කවදාවත් කාවවත් මැරි කරන්නේ නෑ..”

සකුණ එසේ කියා කල්පනාවට වැටුණේ ය.ඔහු හිස මත බරක් ඇති බව අම්මාට දැනෙයි.ඈ ඒ බර තම හිස මත තබා ගත්තා ය.

“පුතා..ඔයා හිතන්නේ ඒක ගැළපෙන දෙයක් කියලද?”

අම්මා අසද්දී සකුණ වේදනාත්මක සිනාවක් පළ කළේ ය.

“මං පොඩි කාලේ ඉඳන් ආසයි අම්මා පන්තියේ පළවෙනියා වෙන්න.ඒත් ඕලෙවල්වලට එනකම්ම ඒක කරන්න බැරි වුණා.හැමදාම එතැන අයිති වුණේ සෙනුරට.මං මැත්ස් කරනකම් සෙනුර බයෝ කරනකම්ම ඒක එහෙමම වුණා.මං පළවෙනියා වුණේ ඒ ලෙවල් කාලේ විතරයි..”

සය හැවිරිදි කුඩා කොලුවන් කාලයේ සිට සෙනුර මිය යන තුරුම සෙනුරත් සකුණත් අතර තදබල බැඳීමක් වූ බව සකුණගේ අම්මා දනියි.ඇය ඒ බැඳීම දැක්කේ සහෝදර ස්නේහයක ස්වරූපයෙනි.වඩා හොඳ දේ මිතුරාට ලබා දී පුතු පසෙකට වී ඇති බව ඔහුගේ කතාවෙන් ඈ වටහා ගත්තා ය.

“කාව්‍යා ආයේ මැරි කරන්න ඕන පුතා.ඒත් ඒ ඔයා වෙන එක ලෝකෙ මිනිස්සු ප්‍රශ්නයක් කරගන්නව.භාවනා විතරක් නෙවෙයි.හේමචන්ද්‍ර සර්ලා වුණත්..”

අම්මා එසේ කියද්දී සකුණට බලාපොරොත්තුවක හසරැල්ලක් නැගිණ.

“මම ඔහොම අදහසක් ගැන මුලින්ම කිව්වෙ සෙනුරගෙ අම්මට.එයා නම් හරි කැමතියි..”

එකම පුතු ඔහු වඩා ආදරය කරන තරුණියක විවාහ කරගන්නට ඕනෑ බව පැවසීම එක් කාරණයකි.නමුත් ඈ වැන්දඹුවක වීම දරන්නට අපහසු කතාන්දරයක් බව සකුණගේ අම්මා නොපැවසී ය.මේ මොහොතේ ඇයට දැනෙන එකම සැනසීම ඒ යෝජනාව කාව්‍යා ප්‍රතික්ෂේප කරන බව සකුණ තරයේම පැවසීම ය.

ඇය කාලයට ඉඩ දෙන්නට තීරණය කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles