මයිකල් ජැක්සන්ගේ දරුවන් ට මොකද වුනේ ???

ප්‍රින්ස්, පැරිස්, බිගි එහෙම නැත්නම් බ්ලැන්කට් කියන්නේ මයිකල් ජැක්සන් කියන ලෝක ප්‍රකට  සුන්දර ගායකයාගේ දරුවන් තුන්දෙනා.  තාත්තා ලෝක ප්‍රකට තරුවක් උන නිසාම මේ දරුවෝ තුන්දෙනාම ඉපදුණේ ජනප්‍රියත්වය කරේ තියාගෙන. ඒ විතරක් නෙවෙයි හැම දවසක්ම ගෙවන්න වුනෙත් අප්‍රමාණ  ජනප්‍රියත්වයට මැදිවෙලා. ඒ කොහොම වුනත්  මයිකල් ජැක්සන් එයාලව පැපරාසී ඇස් වලින් රැකගන්න සෑහෙන්නම උපක්‍රමශීලිව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ජීව්තෙන් දරුවන්ව වන් කරන එක කවදකවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තමයි පවුලේ අය කියන්නේ. ඒ වගේම  මයිකල්ගේ ජීවිතේ පලවෙනිම තැන තිබුණේ  ඒ දරුවන් තිදෙනාට බව මයිකල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියෙක් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී  කියලා තිබුණේ මයිකල්ට එල්ල වුණ ළමා අපචාර චෝදනා ගැන විමසීමකදී.

අහිමි වුණ තාත්තා 

2009 දී මයිකල් ජැක්සන් මිය ගියාට පස්සේ ප්‍රින්ස්, පැරිස් සහ බිගි මුළුමනින්ම ලෝකයට නිරාවරණය වුණා. මයිකල්ගේ අවමංගල්‍ය උත්සවයේදී එවකට 11 වැනි වියේ උන්න පැරිස් කරපු කතාව නිසා පැරිස් විනාඩි කිහිපයක් ඇතුළත ලෝක ප්‍රසිද්ධ වුණා. 

අයියායි නංගියි මල්ලි යි.

මයිකල් ජැක්සන්ගේ අභාවයෙන් පස්සේ ප්‍රසිද්ධ වුණා වගේම, ඉතාම කාර්‍යබහුල වෙන්නත් මේ දරුවෝ තුන්දෙනාට සිද්ද වුණා. කොයි තරම් කාර්‍යබහුල වුනත් තුන්දෙනාම එකිනෙකා මුණ ගැහෙන්නත්, එකිනෙකා සමඟ කාලය ගෙවමින් ජීවිතේ බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ.

“අපි දැන් වයසින් වැඩෙමින් ඉන්නේ. ලෝකය ගැන අපි ඉස්සරට වඩා දේවල් දන්නවා. මල්ලිටයි නංගිටයි ඔවුන් දෙදෙනාගේම ශක්තීන් තියෙනවා. ඒ ශක්තීන් තුළින් ඒ දෙන්නාම ඉස්සරහට යනවා මම හරි ආශාවෙන් බලාගෙන ඉන්නේ. මගේ සමහර දුර්වලතා වලින් මිදිලා ඉස්සරහට යන්න මට උදව් කරන්නේ නංගියි, මල්ලි යි…”

ප්‍රින්ස් තමන්ගේ සහෝදරයන් ගැන හරි ආදරයෙන් එහෙම කියනවා.

තාත්‍තාගේ උපන්දිනේ වෙනුවෙන් එක තැනක 

පහුගිය 2023 අගෝස්තු 23 වෙනිදා මේ තුන් දෙනා එකතු වෙලා මයිකල් ජැක්සන් ගේ 65 වෙනි උපන්දිනය ඉතාම උත්කර්ෂවත් විදියට සමරනවා.  ඒ අවසානේටම මේ තුන් දෙනා එක්ව පෙනී හිටපු අවස්ථාව. මයිකල් ජැක්සන් ගේ උන්මාදනීය ප්‍රේක්ෂකයන්වත් පිරිවරාගෙන ප්‍රසිද්ධ හෝටල් සංකීර්ණයක පවත්වන සාදයක් අවසානයේ කොලරාඩෝ වල පැරිස්ගේ සහභාගිත්වයෙන් සුවිසල් සංගීත ප්‍රසංගේකුත් පවත්වනවා. 

ප්‍රින්ස් මයිකල් ජැක්සන් 

ප්‍රින්ස් මයිකල්ගේ පලවෙනි දරුවා.  ප්‍රින්ස්ගේ අම්මා රෝවේ. 1999 දී මයිකල් සහ රොවේ දික්කසාද වුනාට පස්සේ  ප්‍රින්ස්ගේ භාරකාරත්වය ලැබෙන්නේ මයිකල් ජැක්සන් ට.  ප්‍රින්ස් කුඩා කාලේදී හැදුනේ වැඩුණේ නෙවර්ලන්ඩ් රෑන්ච් වල වුනත් ජැක්සන් මිය ගියාට පස්සේ  ඔහු හැදුනේ වැඩුණේත් ආච්චි අම්මා එක්ක. 

ප්‍රින්ස්  2019 අවුරුද්දේදී ලොයෝලා මාරිමවුන්ට් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කලමණාකරණය පිළිබඳව උපාධියක් ලබා ගත්තා. ඉතාම උග්‍ර යතුරු පැදි ලෝලියෙක් වෙන ප්‍රින්ස් ඒ ධාවන විස්තර ගැන කියන්න යූ ටියුබ් නාලිකාවක් පවා කරගෙන යනවා. ඒ නාලිකාවේ ඇතැම් වැඩසටහන් වලට නංගීවයි මල්ලිවයි එකතු කරගන්නත් ප්‍රින්ස් අමතක කරලා නැහැ. 

ලොයොලා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් 2020 අවුරුද්දේ කොරෝනා වසංගතය වෙලාවේදී ප්‍රින්ස් ඔහුගේ මිතුරෙක් එක්ක වසංගතයෙන් පීඩාවට පත් වුණ අයට ආහාර ලබා දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ” තාත්තා අනිවාර්යයෙන්ම මම ගැන ආඩම්බර වේවි…තාත්තාගේ ජීවිතේ තිබුණ ප්‍රධානම අරමුණක් තමයි සතුට සහ ධනාත්මක බව ගැන ළමයින් දැනුවත් කරන එක.. ඉතින් ඔහුගේ දරුවන්ම ඒ වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරන එක ගැන එයා සතුටු වේවි…මට හරිම සතුටුයි මේ සහයෝගිතා ක්‍රියා පිළිවෙල ගැන. අපි හැමෝම එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න ඕනි. මේ තාත්තා අපිව ගොඩ නංවපු විදිය ..” ප්‍රින්ස් ඒ වැඩේ අතරමඟ සංවාදයකදී එහෙම කියනවා.

පැරිස් ජැක්සන් 

මයිකල් ජැක්සන්ගේ සුන්දර දියණිය තමයි පැරිස් ජැක්සන්. 1998 ඉපදෙන පැරිස් ගේ මව වෙන්නෙත් රෝවේ. ඉතාම කුඩා කාලේදි අම්මාව අහිමි වීමත්, ඉන් පස්සේ තාත්තා ගේ අහිමි වීමත් එක්ක පැරිස් ඉතාම අපහසු කාලයක් ගෙවපු  යුවතියක්. ඇය 2015 අවුරුද්දේ දී සියදිවි නසා ගැනීමේ උත්සාහයක් කිහිපයක් නිසා කිහිප වතාවක්ම රෝහල් ගත කරලත් තියෙනවා. 

“මට හිතුණේ මම තවදුරටත් ජීවත් වෙන එක තේරුමක් නැහැ කියලා. මම කිසිම දෙයක් කරගන්න බැරි, හරිම දුර්වලයෙක් කියලා..”

පැරිස් එහෙම කියන්නේ 2018 දී යම් මානසික සුවයකට පත් වුනාම. නමුත් 2019 ඉඳන් පැරිස් සම්පූර්ණයෙන් ඇගේ මානසික සහ ශාරීරික සුවතාවය වෙනුවෙන් ප්‍රතිකාර ගන්න යොමුවෙනවා.ඇයගේම උත්සාහයෙන් ජීවත් වීම ගැන ආශාවක් ඇති කරගන්නවා. 

ඒ අතරේදී ඇය ඇගේ මව වුණ රෝවේ සමඟ සම්බන්ධතා අලුත් කරගන්නවා.

“ඒක හරිම නැවුම්. අම්මා මම වගේම කියලා පේන එක… අපි දෙන්නම එකම සංගීතයකට ඇහුම්කන් දෙන එක… ඇත්තටම අම්මා එක්ක ඉන්න එක හරිම ආදරණීයයි.. “

පැරිස් තමන්ගේ වැඩිමහල් සහෝදරයාටත් අසීමාන්තික විදියට ආදරය කරනවා. ඔහු දෙස බලාගෙන වැඩෙන එක තමන්ගේ හීනයක් බව ඇය රූපවාහිනී සාකච්ඡා කිහිපයකදීම කියලත් තියෙනවා. 2020 දී පැරිස් ප්‍රේම සම්බන්ධතාවක් අරඹන්නේත් අය්යා වුණ ප්‍රින්ස් එක්ක ඒ ගැන කතා කරලා. 

ඒ කොහොම වුණත් ප්‍රින්ස් ට වඩා වෙනස් දැක්මක් තියෙන පැරිස්, ලිංගිකත්වය, ආගමික විශ්වාස, ප්‍රසිද්ධියේ බෙදාගන්න පැකිලෙන්නේත් නැහැ. 

තාත්තාගේ අඩි පාරේම යමින් සංගීත ලෝකයේ කරක් ගහන එකත් පැරිස් මඟාරින්නේ නැහැ. 2023 දී ඇය ඇගේ පලවෙනි තනි ගීතය නිකුත් කරනවා.

ඒ වගේම පැරිස් කියන්නේ නිරූපණ සහ රංගන ශිල්පීනියක්. 

බිගී ජැක්සන්

ජැක්සන් පවුලේ බාලයා තමා බිගි. 2002 දී බිගී ඉපදෙන්නේ නවීන තාක්ෂණ සරෝගේට් ක්‍රමවේදය එක්ක. බ්ලැන්කට් කියන නම මුලදීම පාවිච්චි කරපු මේ ජැක්සන් තරුණයා, 2015 ඉඳන් තමයි බිගී කියන නමට මාරු වුණේ. පැරිස් වගේම බිගීත් වැඩිපුරම සමීප ප්‍රින්ස්ට. විද්‍යාව සහ විද්‍යා ප්‍රබන්ධ වෙනුවෙන් මේ අය්යා සහ මල්ලී ඉතාම උනන්දු බව පවුලේ හිතවත් කෙනෙක් මාධ්‍යට කියලා තියෙනවා. 

2020 දී 18 වෙනි උපන්දිනේ සැමරුවට පස්සේ තමා බිගී මාධ්‍ය එක්ක සම්බන්ධතා අලුත් කරගන්නේ.  ඔහු මාධ්‍ය වලට අදහස් පළ කරන්නත්, ඔහුගේ අදහස් සමාජ ගත කරන්නත් නොපැකිලෙන්නේ තාත්තා බලාපොරොත්තු වන්නට ඇති ලෝකය වෙනුවෙන් තම කොටස ඉටු කල යුතු බව කියමින්.

ඒ අනුව තමයි කාලගුණ විපර්යාස සහ දේශගුණික වෙනස්කම් පිළිබඳව තරුණ පරම්පරාව දැනුවත් කරන වැඩසටහන් වලට බිගී කැපවෙලා වැඩ කරන්නේ.

ඉතින්, ජනප්‍රිය තාත්තා කෙනෙක්ගේ දරුවෝ වෙලා ඉපදිලා ප්‍රින්ස්, පැරිස් සහ බිගී තාත්තා අතින් මඟ හැරුණාය කියලා තම තම විශ්වාස කරන තාත්තා ගේ ආශාවන් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන බව තමයි අපිට පේන්න තියෙන්නේ.

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles