ශරදාකාසේ -31

එසඳි සිටියේ සතුටෙනි. පීසා කෑමෙන් පසු ඇය ට ළමා උද්‍යානයට යාමට අවැසි යයි කීවා ය. සාමාන්‍යයෙන් ඇය මුරණ්ඩු දරුවෙකු නොවේ. නමුත් ශරදාකාසයෙන් පිට වීමෙන් පසු සිදු වූ දේවල් ඇගේ මනස මත ඇති කළා වූ පීඩනය මත ඇය තරමක් හිතුවක්කාර වී සිටියා ය. වෙනත් දවසක ළමා උද්‍යානයට ගොස් සෙල්ලම් කරමු යයි කී විට ඇය හැපෙමින් හඬන්නට පටන් ගත්තා ය.

“හැම එකට ම අඬල දිනන්න ලෑස්ති වෙන්න එපා එපා එසඳි”

නිශාමනී ඇයට තරවටු කළා ය. ළමා උද්‍යානයට යන්නට රිය හරවා ගත් ආකාස ගේ මූණේ, ඒ තරවටු කිරීම ගැන ප්‍රසාදයක් වූවා නොවේ.

“ඒ දරුව එහෙම මුරණ්ඩු ළමයෙක් නෙවෙයි කියල ඔයා දන්නවනෙ. එයාලට සතුටෙන් ඉන්න බැක්බැක්ග්‍රවුන්ඩ් එකක් නැති වුණහමයි ඔහොම වෙන්නෙ”

“ඔයත් මටමනෙ චෝදනා කරන්නෙ. දෙයියනේ මං කියල වෙන මොනා කරන්නද…මනුස්සය වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කරගෙන එතනට දරුවෙකුත් එන්නයි යන්නෙ කියල දැන ගත්තට පස්සෙ..ඒ මනුස්සයගෙ වහළ යටින් පිට වෙලා යනව මිසක් කොන්ද පණ තියන ගෑනියෙක් වෙන මොකද්ද කරන්නෙ…මොකද මං වෙන මිනිහෙක් එක්ක ගියාද….මං ගියෙ මගෙ දෙමව්පියො ළඟට. කාටවත් යටත් වෙන්නෙ නැතුව අත පාන්නෙ නැතුව තාත්තගෙ බිස්නස් එකට ජොයින් වෙලා වැඩ කරන්න හිතපු එකද වරද…ඒ නැතත් මං කොහේ හරි ජොබ් එකකට යන්න ඕන නේද දරුවව හදා ගන්න…”

එවර නිශාමනී ට ආකාස සමගින් ද දැනුණේ මඳ කෝපයකි. අතරින් පතර ඇගේ හඬ බිඳී ඕ හැඬුම්බර වූවා ය. ඈ හිස පිරිමදිනු වස් ඔහු ගේ වමත නළියෑවේ ය. නමුත් ආකාස තමන් ව පාලනය කර ගත්තේ ය.

“මං ඔයාට චෝදනා කළාවත් දොස් කිව්වවත් නෙවෙයි”

ඔහු රිය පදවන ගමන් ඉදිරිය බලා ගෙන ම සිය ගැඹුරු මුණිවර හඬින් මිමිණුවේ ය. නෙතින් කම්මුලට පැන්න කඳුළක් අතින් පිස ගෙන නිශාමනී පිටත බලා ගත්තා ය. මේ ගැන කිසි වගක් නැති එසඳි ඈ අත වූ බෝනික්කා සමග කියවමින් තනිව සෙල්ලම් කරමින් සිටියා ය.

“මං මේ කෙල්ලට හරි ආදරෙයි. එයා මට මගෙ ම දරුවෙක් වගේ. ඔයාට මතකද…එසඳි ඉපදුණ වෙලාවෙ අයියටත් කලින් හොස්පිට්ල් එකට දුවං ආවෙ මං. එයාව ඉස්සල්ලම ඔයා දුන්නෙ මගෙ අතට. ඊට පස්සෙ හැම දවසකම මං ඔෆිස් ගියෙ ටික වෙපාවක් එයාව වඩං ඉඳලා. ගිහිං ආවෙ එයාව වඩාගෙන ටිකක් වෙලා සෙල්ලං කරන්න බලං. මන් දන්නෑ අයියලගෙ  දරුවො ගැන මල්ලිලට එහෙම ආදරයක් ඉබේම ඇති වෙනවද නැත්තං එයා ඔයාගෙ බඩට ආපු දවසෙ ඉඳලම ඔයා දිහා බලාගෙන එයාට මං ආදරේ කළේ අපි එක ගෙදරක හිටපු නිසාද කියල. ශාමි ඔයාට මතක නැතුව ඇති…ඔයා ප්‍රෙග්නන්ට් කියල දැන ගත්ත පළවෙනි දවසෙ…අයිය මට කෝල් කරල කියපු ගමං මං ගෙදර ආවෙ ශාන්ති විහාර් එකෙන් ඔයාට තෝසෙයි වඩේයි අරගෙන. ඊට පස්සෙත් ඔයා කන්න ආසයි කියල කියන දෙයක් ඇහිච්ච ගමං කොයි ලෝකෙං හරි මං හොයං ආව. සමහර දවස් වලට ඒවයිං එක කටයි ඔයා කෑවෙ. ඒ කාපු ටිකත් එහෙමම වොමිට් කළා. ඔයා අමාරුවෙන් ඉද්දි මං කොච්චර දුකක් හංගගෙන ඉන්න ඇද්ද…ඔයා දිහා දුර ඉඳං බලාගෙන සමහර විට මං ඔයාටත් වැඩිය දුකක් විඳගන්න ඇති. දූ හම්බ වෙන්න ඔයාට අමාරු වුණ වෙලාවෙ මං කොච්චර කලබල වුණාද….එදා මං කා එක ඩ්‍රයිව් කළේ මොන සිහියකින්ද කියල මට තාම හිතා ගන්න බෑ. අක්කලගෙ දරවො අඬනකොට නංගිලට කිරි එරෙනව කියල කතාවක් තියනව. හැබැයි අයියලගෙ දරුවො වෙනුවෙන් මල්ලිලට දැනෙන හැඟීම ගැන කවුරුවත් කතා කරල නෑ. එසඳිගෙ දූටි හිත දුක් විඳින එක ගැනයි මට දුක ශාමි. ඒක ඔයාට තේරෙනවද කියල මන් දන්නෑ”

ඔහු ද සිටියේ සංවේදී ව ය. නිශාමනී පිටත මග දෙස බලා ගෙන සිතිවිලි සමගින් පොර බදමින් සිටියා ය. 

“හරි. ඔයා මට මොකද්ද කරන්න කියන්නෙ…ජොබ් එකක් නොකර ගෙදර ඉන්න කියලද කියන්නෙ…”

ටික වෙලාවක කල්පනා දැහැනකින් මිදුණ නිශාමනී මඳක් හිස හරවා ආකාස දෙස බලමින් ප්‍රශ්න කළා ය. ඔහු ගේ මළානික ඇස් වල වන සන්තාපය ඈ දුටුවේ ඒ වෙලාවේ ය. 

“ඔයාට ආයෙ අයිය එක්ක සෙට්ල් වෙන්න ම බැරිද…”

නිශාමනී ඉතා තදින් සිය දෙතොල් සපා ගත්තා ය. ඇය ‘බැහැ’ යි හැඟවූයේ හිස දෙපසට සැලීමෙනි.

“එහෙම කරන්න බැරි පංචලීට හම්බ වෙන්න ඉන්න දරුව නිසාද…”

“මං මේක කලිනුත් කියල තියෙනව. ශාරද ප්‍රොස්ටිටියුට් කෙනෙක් ළඟට ගියානං මේක මට මෙහෙම නොදැනෙන්න තිබුණා. හැබැයි මගෙ ළඟ ඉඳගෙනත් වෙන ගෑනියෙකුට ආදරේ කරපු එයාව මට ආයෙත් ඕන නෑ. ලෝකෙ වෙන කිසිම පිරිමියෙක් නැති වුණත් මට ඕන නෑ”

ඉකියක් පපුව ගැඹුරේ හිර වී තිබිණ. වචන පිට වූයේත් හිර වීමක් අතරිනි.  නිශාමනී තදින් ඇස් තටු වසාන කඳුළු වලට නිදහසේ යන්නට හැරියා ය.

“ඔයාට ප්‍රශ්නෙ පංචලීගෙ දරුවනං…ඔයා අයියව බාර ගන්නත් ලෑස්තියි නං…එසඳි වෙනුවෙන් මං ඒ පංචලීවයි දරුවවයි බාර ගන්න ලෑස්තියි”

නිශාමනී ගේ ඇස් ඇරුණේ ඈ තිගස්සවා ගෙන ය. දෙනෙතු විසල් කර ගෙන ඇය ආකාස දෙස බලා ගත්තා ය. නමුත් කිසිදු කලබලයකින් තොර ව ඔහු නිසොල්මනේ ඉදිරිය බලා ගෙන රිය පැදවූයේ ය. නිශාමනී ඇස් පිය නො ගසා ඔහු දෙස බලා සිටින්නට වූවා ය. සැබවින් ඔහු මිනිසෙකු ද නැත්නම් මිනිස් වේශයකින් මිහි මත ට විත් සිටිනා දේවාත්මයක් ද? 

“ආ..කා..ස..”

“මට තියෙන්නෙ ඔප්ශන්ස් දෙකයි. එකක් මං එදා කිව්ව. ඔයා තාම ඒ ගැන හොඳ ප්‍රතිචාරයක්  පෙන්නුවෙ නෑ. අනිත් ඔප්ශන් එක මේක. ඒ දෙකෙන් කෝකට වුණත් මං ලෑස්තියි”

නිශාමනී ට සිදු වූයේ මුණිවත රකින්නට ය. ජීවිතය වූ කලී කෙතරම් දුෂ්කර ව්‍යායාමයක් ද කියා වටහා ගන්නට නම් ජීවත් විය යුතු ය. ජීවිතය පුරා හැම තත්පරයක ම, හැම අහු මුල්ලක ම ජීවත් විය යුතු ය. එහි වන ත්‍රාසය,භීතිය සේම ප්‍රේමය හා රසය ද නිසියාකාරයෙන් විඳ ගත හැකි වන්නේ එවිට ය. 

“මං වුණානං අහනව ඔය ඔප්ශන්ස් දෙකෙන් පළ වෙනි එකටත් හේතුව එසඳි විතරද කියල”

පසු දා මේ මුළු සිදුවීම ගැන නිශාමනී ගෙන් දැන ගැනීමෙන් පසු චේතනා සිනහ වෙවී කීවා ය.

“පළවෙනි ඔප්ශන් එකට එකම හේතුව එසඳි නෙවෙයි කියල ආකාස ඇරෙන්න හොඳටම දන්න කෙනා මං. ශාරදගෙ ප්‍රශ්නෙදි මට මේ තරං හිත හයිය කර ගන්න පුළුවන් වුණෙත්…ආදරේ කියන්නෙ චොයිස් එකක් කියල හිතන්න පුළුවන් වුණෙත් ආකාස නිසා”

මීට කලින් කිසිවෙකු ඉදිරියේ හෙළි කරන්නට ඉදිරිපත් නොවූ ඇත්ත ම ඇත්ත, ඇය ඉතාමත් නිදහස් ලෙස චේතනා ඉදිරියේ කීවේ ය. හොඳ යාළුවෙකු කියන්නේ එහෙම කෙනෙකි. තමන්ගේ දෙමාපියන් හෝ සහකරු හෝ සහකාරිය සමග කතා කළ නො හැකි තිත්ත ඇත්ත වුව හොඳ ම යාළුවෙකු සමගින් විවෘත ලෙස පහසුවෙන් කතා කරන්නට පුළුවන.

“ආදරේ හිතෙනවනං ඒ ආදරේ විඳින්න ඕන කියලත් ඒකට මේ ලෝකෙ තියෙන කිසිම බැඳීමක් බාදාවක් නෙවෙයි කියලත් මං ඉගෙන ගත්තෙ ආකාසගෙන්. පංචලී ගැන කවදාවත් මට කේන්ති ගන්න බැරි වුණේ ඒ නිසා වෙන්න ඇති. බැඳපු ගෑනියෙක් වෙච්චි මට ආදරේ කරන්න ආකාස ට පුළුවන් නං…ඇයි පංචලීට බැරි එහෙම කරන්න…වගකීමකින් බැඳිල ඉන්න කෙනා අතෙයි වැඩි වගකීමක් තියෙන්නෙ. මං ආකාස ට අනුබල දුන්නෙ නෑ වගේ ශාරදත් හිටියනං ඒ වරද සිද්ද නොවෙන්න තිබුණා. ඒත් මිනිස්සු හැමදාම කළේ කොහෙවත් ඉන්න ගෑනියෙක්ට නින්දා කරන එක. පිරිමි පොළඹගන්න බලං ඉන්න ගෑනු ඉන්නව චේති. ඒත් පංචලී ශාරදට ආදරේ කළේ එහෙම නෙවෙයි. ආකාස ගෙ ආදරේත් ඉඩක් ලැබුණ ගමන් ගෑනියෙක් ඇඳට ගෙනියන්න පොළඹවගන්න විදිහෙ එකක් නෙවෙයි. මට ඒ දෙන්නටම වැරදිකාරයො විදිහට පේන්නැත්තෙ ඒකයි. පංචලීට වඩා මට ශාරද වැරදියි. ආකාසට මං අනුබල දුන්නනං ආකාස ට වඩා මං වැරදියි. ආදරේ කියන්නෙ චොයිස් එකක්. අපිට තෝර ගන්න පුළුවන්. සමහර විට අපි එක්කෙනෙක්ට ආදරේ කරනවද…ඊට වැඩිය ගාණකට ආදරේ කරන්න පුළුවන් ද කියන එකත් චොයිස් එකක්. අපි තෝරගන්න ඕනෙ අපිට හරියන තැන. හරියන්නැති නිසයි මං ශාරද ළඟින් නැගිටල ආවෙ”

චේතනා සුසුමක් හෙළුවා විතර ය. ආදරය ගැන ඒ තරම් පුළුල් දර්ශනයක් ඇය ට නැත්තේ ය. ඇය විවාහ වූයේ නිශාමනීට වඩා වසරකට කලිනි. පෙම් සබඳකමක් මත විවාහ වූ ඔවුන් ට ජීවන සටන කර ගෙන යනු වස් දෙදෙනා ට ම රැකියා කරන්නට සිදු ව තිබේ. දැන් ඔවුන් වෙහෙසෙන්නේ දරුවා ට වඩා හොඳ අනාගතයක් තනා දෙන්නට ය. බාගෙට නිම කළ නිවසේ වැඩ නිමා කර ගන්නට ය. වාහනයේ ලීසින් වාරිකය නො කඩවා ගෙවා ගෙන යන්නට ය. ආදරය යෞවනයේ ස්වරූපය නො දැරී ද දැනුදු වෙනත් ස්වරූපයකින් බැඳීමක් සේ එය පවතිනා බව චේතනා දැන සිටියා ය. නමුත් විඩාපත් ජීවිතය පත්ලේ ආදරය යටපත් ව ඇති බව නම් පිළි ගත යුතු ය.

එදා සිට හවස් වන තුරු කාර්යාලයට වී නො සිට ඉක්මනින් වැඩ කටයුතු නිමා කොට නිශාමනී එසඳි නිසාවෙන් ගෙදර ආවා ය. චේතනා හා ඇගේ පුතු ද සමගින් එසඳි ව ළඟ පාත කොහේ හෝ විනෝද වන්නට කැටිව ගියා ය. නමුත් ශාරද හෝ ආකාස හමු වන තරම්  සතුටක් ඇය ඒ ගමන් නිසා ලබනා බවක් පෙනුණේ නැත. උදේ කාලය මිතුරන් සමග ගත කරනු වස් නිශාමනී ඇය ව පෙර පාසලකට බාර දුන්නා ය. 

“මන්නං කැමති නෑ අර ආකාස මෙහෙ යනව එනවට. ඩිවෝස් වුණත් අපි ළමයව පෙන්නන්න ඕන ළමයගෙ තාත්තට විතරයිනෙ”

පිලපිටිය මහත්මිය දින ගණනාවක් තිස්සේ හිතේ හිර කර ගෙන උන් දේ පිලපිටිය මහතා සමගින් කියා දැම්මේ නිදි යහනේ දී ය. හෙතෙම සිවිලිම දෙස බලා ගෙන සුසුමක් හෙළුවේ ය.

“සුජාතා…ඔයා නිශාමනී ගෙ ජීවිතේට ඕන නැති විදිහට බලපෑම් කරන්න යන්න එපා. මොකද දැං එයා වැඩිහිටියෙක්. වගකීමක් ඇතුව තීරණ ගන්න පුළුවන් කෙනෙක්. එයා දන්නව එයා කරන්නෙ මොනාද කියල. ඒ ළමය වැටිච්ච තැනිං ගොඩ එන්න දඟලද්දි අපිත් එයාගෙ මනසට වද දෙන එක හොඳ නෑ”

“ඒ වුණාට…මිනිස්සු මොනා නො කියයිද…අයියගෙන් ඩිවෝස් වෙලා මල්ලි එක්ක රෝන්දෙ ගහනකොට”

“මං ඔයා වැරදියි කියන්නෙ නෑ. අපි ටිකක් බලමු නිශාමනීට නිදහසේ එයාගෙ ජීවිතේ යන්න ඕන පාර තීරණේ කරන්න ඇරල”

පිලපිටිය මැතිණිය ගස්සා ඉවත බැලුවා ය. ඇගේ හිතට බරක් ව තිබෙන්නේ නිශාමනී ගේ දික්කසාදය හෝ මිණිපිරිය නොවේ. එසඳි සේ ම නිශාමනී ද ආකාස කෙරේ පෙන්වන ආශක්ත බව ය. දියණිය රෑ වැටුණ වළේ ගිනිගහන දවාලේ ද වැටෙතැයි අම්මා කෙනෙකු වශයෙන් ඇය ට දැනෙනා බිය සාධාරණ වූවකි.

“මොනා වුණත් ඒ පවුල ඇතුළෙ අපිට දැනෙනවට වැඩිය ලොකු දෙයක් තිබිල තියෙනව සුජාතා. දික්කසාද නඩුව ඉවර වෙන්නත් කලින් අයිය මලෝ දෙන්නගෙම නමට තිබ්බ ගේ පොඩි කෙල්ලට ලිව්වෙ ඒකයි. සමහර දේවල් පිටින් බලල නිගමන වලට එන්න බෑ සුජාතා”

පිලපිටිය මහතා ගේ සන්සුන් කතා විලාශය, සුජාතා පිලපිටිය තුළ තිබූ සැක බිය තරමක් පහ කරන්නට සමත් වූයේ ය.

දික්කසාදයේ තීන්දුව ලැබෙන්නට ඔන්න මෙන්න ව තිබූ දවසක, එසඳි ‘සාදු පන්සල් යන්න ඕන’ කියමින් ආකාස ට කරදර කළ හවසක, නිශාමනී ආකාස ද සමගින් එසඳි ගෙන බෙල්ලන්විල පන්සල් ගියේ ය. 

“වැව වටේ ටිකක් ඇවිදින්න අරිනව බාප්ප එක්ක. එයා සතුටු වෙයිනෙ”

නිශාමනී තුළ වූ සිතිවිල්ල එසේ ය. අනිත් අතට ආකාස සමග පිටත ඇවිදින්නට යාම ගැන මුලදී ඇය ට දැනුණ අසහනකාරී හැඟීම දැන් නැත්තේ ය. එසඳි වෙනුවෙන් ඔහු පංචලී හා දරුවා වුව බාර ගන්නට සූදානම් යයි කියූ දා, වෙන කිසි දාක නො දැනුණ විදිහේ ලෝභී සිතිවිල්ලක් නිශාමනී තුල ආකාස නමින් උපන්නේ ය. නමුත් ඒ හැඟීම වූයේ ඇගේ සිත තුළ පමණි. බැල්මකින් හෝ ඇය ඔහු ට පෙර ට වඩා වෙනසක්  දැනෙන්නට හැරියේ නැත.

ආකාස හා නිශාමනී එසඳි ගේ දෑත් දෙපසින් අල්ලා ගෙන බෝ මළුවට පිවිසියහ. ඒ වෙලාවේ විහාරයෙහි ඒ කරම් සෙනගක් වූවා නොවේ. සුදු පාට ගවුමක් හැඳ ගත් ගැබිණි කත කගේ රුව නිශාමනී ගේ දර්ශන පථයෙහි ඇඳිණ. ඇය ට වහා සිහි වූයේ පංචලී ව ය. ඈ වඩා හොඳින් ගැබිණිය දෙස බැලුවේ ඉනික්බිති ව ද නැත්නම් ඈ හැඳින ගත්තේ ඉනික්බිතිව ද කියා හරියට ම කිව නො හැකි ය. දෝතින් පැන් කළයක් දරා ගෙන, දිය නා තෙත රැඳි කොණ්ඩය පිටින් ඔවුන් ඉදිරියට එමින් සිටි, පින් පාට යයි සිතිය හැකි සන්සුන් මුහුණකින් හෙබි ගැබිණිය පංචලී ම වූවා ය. නිශාමනී සිනහ වෙන්නට අරෑඳුවා විය යුතු ය. ගැබිණිය ගේ අතේ වැලමිට ළඟින් අල්ලා ගෙන ඈ පරිස්සම් කළ අත දිගේ නිශාමනී ගේ ඇස් දිව ගියේ අනතුරුව ය. 

ශාරද!

“තාත්ති”

කෙඳිරුම් හඬකින් එසඳි එසේ කියනවා නිශාමනී ට ඇසිණ. ඇගේ දෙපා නැවතී තිබුණේ ය. ඇගේ පමණකුදු නොව ඔවුන් සියලු දෙනා ගේ දෙපා නැවතී තිබුණේ ය. ශාරද හා පංචලී ව දුටු වෙලාවේ පටන් ආකාස ගේ ඇස් හැරවී තිබුණේ නිශාමනී දෙසට ය. ඒ ඇස් වල භීතියක් විය. පුළුවන් කමක් තිබුණා නම් ඔහු කිසි සේත් මේ දර්ශනය දකින්නට ඇය ට ඉඩක් නො තබනු ඇත. 

ශාරද ගේ ඇස් වල ද එම බිය ම විය. ඔහු ගේ අත පංචලී ව අත්හැරියේ ය. නිශාමනී ගේ ඇස් වලට පේන්නට මේ ගමන කුමට ආවා දැයි ඒ මොහොතේ ම ඔහු පසුතැවුණේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content