ආදර මල්වල පාට කියන්නද? – 09

0
0

කවීන්ගේ කටින් “මාස හයකට මගේ කෙල්ල වෙන්න” කියන වචන ටික පිටවුණා විතරයි, ආකර්ෂාගේ ඇස්වලින් වැටෙන්න ගිය කඳුළු කැට දෙක එකපාරටම වාෂ්ප වෙලා ගියා වගේ වුණේ.

 අසරණකම වෙනුවට කෙල්ලගේ මුළු මූණම එකපාරටම කේන්තියෙන් රතු වෙලා, ඇස් දෙකෙන් ගිනි පුපුරු පිටවෙන්න ගත්තා. මෙච්චර වෙලා තිබ්බ බය කොහෙන් ගියාද නෑ. ටිකක් සරල වුනාට මෙයා තාම පරණ කෙනා විත්තිය කෙල්ලට අමතක වෙලා තිබ්බෙ නෑ.

“තමුසෙට පිස්සුද හලෝ? මං මොකටද තමුසෙ වගේ කට්ට කයිරාටික කණ්ණාඩි පොළඟෙක්ගේ කෙල්ල වෙන්නේ? මාව දැක්කම තමුසෙට පෙනෙන්නේ නිකන් හිතිච්ච හිතිච්ච විදිහට නටවන්න පුළුවන්, එක වචනෙට පදිරි වෙන ජාතියේ අහිංසක කෙල්ලෙක් කියලද? අනේ නිකන් යනවා යන්න” කියලා ආකර්ශා කෑගැහුවට මොකෝ හැබැයි කවීන්ගේ මූණේ තිබ්බේ පුදුමාකාර සන්සුන්කමක්. කෙල්ල මෙච්චර සද්ද දාද්දිත් මිනිහා එක ඇහිපිල්ලමක්වත් හෙලෙව්වේ නැහැ. මිනිහා හෙමින් සැරේ තමන්ගේ සීට් එකට ආපහු බර වෙන ගමන්, කට කොනකින් මාරම මූසල, කිණ්ඩි හිනාවක් දාලා තමන්ගේ රත්තරන් පාට වොච් එක දිහා බැලුවා.

“මට පිස්සු නෑ ආකර්ෂා. මං බොහොම සිහිකල්පනාවෙන් කතා කරන්නේ,” කවීන් කණ්ණාඩි දෙක උඩට කරලා හරිගස්සන ගමන් සීතල කටහඬකින් කිව්වා.

“හැබැයි තමුසෙ ඔය විදිහටම මට නෑ කිව්වොත්  හෙට උදේ වෙද්දී තමුසෙගේ අර අමාරුකාර තාත්තට වැලිකඩ හිරගෙදර රිමාන්ඩ් එකේ කෑම කන්න වෙද්දී තමයි තමුසෙට ඇත්තටම පිස්සු හැදෙන්නේ. මං කියන්නෙ බොරුද කියලා බලන්නත් එක්ක ඕන නම් හෙට වෙනකම් ඉමුද අපි? මොකද කියන්නෙ?”

මිනිහා ආපහු සැරයක් මේසේ උඩ තිබ්බ පරණ ෆයිල් එකට තට්ටුවක් දැම්මා.

“මට ඕන නම් දැන්ම එක කෝල් එකෙන් මේක සී.අයි.ඩී එකට දෙන්න පුළුවන්. එතකොට තමුසෙට සිද්ධ වෙන්නේ මහ පාරේ චිත්‍ර ඇඳ ඇඳ හිඟා කන්න තමයි. තේරුණාද? ඒ හින්දා ඔය කට වහගෙන, සද්ද නොදා මං කියන දේ විතරක් කරන්න ලෑස්ති වෙනවා.” කවීන් කිව්වේ ආකර්ෂාව සම්පූර්ණයෙන්ම නෝණ්ඩි කරලා දාන ගමන්.

වැටිච්ච කෙනා විතරයි දන්නෙ දැනිච්ච වේදනාව කියලා කෙල්ලට හිතුණෙ අන්න එවෙලෙ. ඇත්තටම කෙල්ල හිටියෙ මාර විදියට බය වෙලා.

කවීන්ගේ ඒ ටෝක් එකත් එක්ක ආකර්ෂාගේ කටින් තවත් එකම එක වචනයක්වත් පිටවුණේ නැහැ. කෙල්ලගේ මුළු ඇඟම එකපාරටම හිරිවැටිලා, සීතල වෙලා යද්දී ඒ ලොකු කැබින් එක ඇතුළේ ඇති වුණේ මහා මූසල, බය හිතෙන සයිලන්ස් එකක්. කෙල්ලගෙ හිත ගිඩි ගිඩි ගාලා ගැහෙද්දිත් ආකර්ශා කරේ කවීන් දිහා මහම මහ නපුරු විදියට එක එල්ලේම බලාගෙන උන්න එක. තමන්ගේ ජීවිතේ මෙච්චර අසරණ වෙච්ච, කරකියාගන්න දෙයක් නැති වෙච්ච තවත් දවසක් කෙල්ලට මතක තිබුණේ නැහැ.

එක පැත්තකින් තමන්ගේ උපන්ගෙයි ආත්ම අභිමානය, චණ්ඩිකම මේ නපුරු, කපටි යකාට තියෙන පට්ටම අකමැත්ත ලඟ සෙකන්ඩ් වෙච්ච එක.

 අනිත් පැත්තෙන් හොස්පිටල් එකේ ඇඳක් උඩ කැනියුලා එකත් ගහගෙන අමාරුවෙන් හුස්ම ගන්න, තමන් පණ වගේ ආදරේ කරන, මේ ලෝකෙ තමන්ට ඉන්න එකම හයිය වෙච්ච තාත්තා.

 ඒ විතරක් නෙවෙයි, තමන් ඉපදිලා හැදුණු වැඩුණු, අම්මගේ මතකයන් පිරිච්ච, තව දවස් කිහිපයකින් සින්න වෙලා මහ පාරට වැටෙන්න යන තමන්ට කියලා තියෙන එකම නවාතැන වෙච්ච මහගෙදර.

කෙල්ලට හොඳටම තේරුණා තමන්ව හැම පැත්තකින්ම කොටු කරලා ඉවරයි කියලා. මේ සල්ලි කන්දරාවක් උඩ ඉන්න කණ්ණාඩි පොළඟා එක්ක නීතියෙන් හැප්පෙන්න, ලෝයර්ලා අල්ලන්න තමන්ගේ අතේ තඹ සතයක්වත් නැති බව කෙල්ල දන්නවා. අනික තාත්තා අතින් අතීතයේදී ඇත්තටම වැරැද්දක් වෙලා තියෙද්දී, මේ ෆයිල් එක එකපාරක් හරි එළියට ගියොත් තාත්තගේ ඔය ලෙඩ ඇඟ එක්ක හිරගෙදර රිමාන්ඩ් එකේ දවස් දෙකක්වත් ඔරොත්තු දෙන්න වෙන්නෙ නැහැ කියලා කෙල්ලගේ හිත කෑගහලා කිව්වා. තමන්ගේ මුළු ජීවිතේම මේ මනුස්සයා ඉස්සරහා සින්න වෙන්නයි යන්නේ කියලා තේරෙද්දී කෙල්ලට දැනුණේ මුළු ලෝකෙම තමන්ව හිර කරලා වගේ මහා වේදනාවක්.

කවීන් තමන්ගේ කළු පාට ලෙදර් සීට් එකට සැපට හේත්තු වෙලා, පූසෙක් නිකන් අසරණ වෙච්ච මීයෙක්ගෙ නැට්ටෙන් අල්ලන් ඌ අන්තිම වතාවට  දඟලන දිහා බලන් ඉන්නවා වගේ ආකර්ෂා දිහා බලාගෙන උන්නා. මිනිහගේ මූණේ තිබුණේ මාරම සන්තෝසයක්. මිනිහා හෙමින් සැරේ තමන්ගේ වොච් එක දිහා බලලා, “තව විනාඩි පහයි තමුසෙට තීරණයක් ගන්න තියෙන්නේ. හාද? බෑද? පහ, හතර, තුන” කියලා තත්පර ගණන් කරන්න ගත්තේ කෙල්ලව තවත් මානසිකව වට්ටන ගමන්.

ආකර්ෂා දත් කිටි කිටියෙ හපාගන්න ගමන්, අත් දෙකම මිටි කරගෙන කේන්තිය පාලනය කරගන්න හැදුවත්, කෙල්ලගේ ඇස් අගින් රස්නෙට කඳුළු කැට දෙකක් කඩාගෙන වැටුණා.

වෙන කරන්න කිසිම දෙයක් නැතිම තැන, තමන්ගේ තාත්තා වෙනුවෙන් මේ නපුරු සෙල්ලමට කැමති වෙනවා හැර කෙල්ලට වෙන විකල්පයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.

“හරි මං තමුසෙගේ ඔය විකාර සෙල්ලමට කැමතියි” ආකර්ෂා එකපාරටම කඳුළු පිහදාගෙන, කේන්තිය ගිනි පුපුරු  විදියට පිටවෙන ඇස් දෙකෙන් කවීන් දිහා කෙළින්ම බලලා කිව්වෙ අන්න ඒ හන්දා.

කෙල්ලගේ ඒ ක්ෂණික කැමැත්ත ඇහුණම කවීන්ගේ කට කොනට ආවේ මාරම කපටි, ඒ වගේම තමන් දින්නා කියන එක පෙන්වන ජාතියේ මහ තුට්ටු දෙකේ හිනාවක්. මිනිහා හෙමින් සැරේ තමන්ගේ සීට් එකෙන් නැගිටලා, කලිසම් සාක්කුවලට අත් දෙකම දාගෙන ආකර්ෂා ඉස්සරහට ආවා. අඩි හයකට කිට්ටු උස මහත තියෙන කවීන් තමන්ගේ ඉස්සරහා හිටගනිද්දී අඩි පහේ ආකර්ෂාට දැනුණේ තමන්ව තවත් පුංචි වෙලා වගේ. හැබැයි කෙල්ල තමන්ගේ ගැම්ම අතෑරියේ නෑ. මූණ උඩට හරවලා මිනිහගේ ඇස් දෙක දිහාම කෙළින් බලන් උන්නා.

“හැබැයි මතක තියාගන්නවා මිස්ටර් කවීන් වික්‍රමසිංහ මං මේකට කැමති වුණේ මගේ තාත්තවයි, අපේ මහගෙදරයි බේරගන්න වෙන ක්‍රමයක් නැති කමට විතරයි. ඒ හින්දා මටත් කොන්දේසි වගයක් තියෙනවා. ඒවාට එකඟ වෙනවා නම් විතරක් ඔය මගුල් ඩීල් එක කරමු” ආකර්ෂා තමන්ගේ ලෙදර් බෑග් එකේ පටිය තද කරලා අල්ලගන්න ගමන් සද්දෙට කිව්වා.

“කියනවා බලන්න තමුසෙගේ කොන්දේසි මොනවාද කියලා,” කවීන් නිකට අතගාන ගමන් කිව්වේ නිකන් පොඩි ළමයෙක්ගේ සෙල්ලමක් දිහා බලන් ඉන්න මහ ලොකු මිනිහෙක් වගේ.

“පළවෙනි එක… හරියටම මාස හය ඉවර වුණු ගමන් ඔය මේසේ උඩ තියෙන තාත්තගේ පරණ ෆයිල් එක මගේ අතට ඕනේ. ඒ වගේම අපේ මහගෙදර ඔප්පු සේරම නිරවුල් කරලා මගේ අතට දෙන්න ඕනේ. දෙවැනි එක… රඟපානවා කිව්වට මිනිස්සු ඉස්සරහා මගේ ඇඟටවත් අත තියන්න ලෑස්ති වෙන්න එපා. මං තමුසෙගේ සල්ලිවලට විකිණෙන ජාතියේ බඩු කෑල්ලක් නෙවෙයි කියන එක තමුසෙ හොඳටම මතක තියාගෙන ඉන්නවා. මේ ආකර්ෂා කියන්නේ කවුද කියලා තමුසෙට මාස හයෙන් පස්සේ තේරෙයි” කෙල්ල දබරැඟිල්ල දික් කරලා පට්ට සැරට තමන්ගේ සීමාවන් ලකුණු කරලා දැම්මා.

කවීන් ඒකට හයියෙන් හිනා වුණා. ඒ හිනාවට ආකර්ෂාට මල පැන්නා.

 “තමුසෙ හිතුවද මං තමුසෙගේ ඇඟට අත තියන්න බලාගෙන ඉන්නවා කියලා? අම්මෝ මහ ලොකු ඇඟ තමුසෙගෙ? කොහෙන්ද ඔය බොඩිය බිල්ඩ් කරගත්තෙ? ජෙනිෆර් ලෝපේස් කියලද හිතන් ඉන්නෙ? හලෝ මේ  මට ඕනෙ තරම් ලස්සන, වැදගත් කෙල්ලෝ ඉන්නවා මගේ එක වචනෙට  ඕනම තැනකට එන්න ලෑස්ති වෙච්ච. මට තමුසෙව ඕනේ මගේ පවුලේ අයගේ සහ මේ දේශපාලන ඩීල් එකේ ප්‍රශ්න වගයක් විසඳගන්න විතරයි. තමුසෙගේ ඔය අඩි පහේ බොඩි කෑල්ල දිහා බලලා මට ආසාවක් ඇති වෙයි කියලා හිතන්න එපා” කවීන් නෝණ්ඩියට වගේ කිව්වා

මිනිහා හෙමින් සැරේ තමන්ගේ දකුණු අත ආකර්ෂා ඉස්සරහට දික් කරා.

“ඩීල් එහෙනම් හෙට ඉඳන් ලෑස්ති වෙලා ඉන්නවා මගේ ආදරණීය ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට මුළු බිස්නස් ලෝකෙටම මූණ දෙන්න. හැබැයි මතක තියාගන්නවා කොතැනකදී හරි රඟපෑම වැරදිලා මාව චාටර් කරොත්, ෆයිල් එක කෙළින්ම යන්නේ CID එකට.”

ආකර්ෂා අප්පිරියාවෙන් වගේ කවීන්ගේ අත දිහා බලලා, තමන්ගේ දකුණු අතින් ඒක තද කරලා ඇල්ලුවා.

“ඩීල්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here