රන් මසු ප්‍රේමය

මසින්ත ඔහුගේ පැරණි පෙම්වතිය හමුවූ බව මම දැනගත්තේ ඇය වට්සැප් දැමූ සටහනකිනි. ඉන් පසුව දමා තිබූ පින්තූරයකිනි.  ඇය මගේ  වට්සැප් ගිණුමේ උන්නේ නැත. චාරුණි උන්නාය. ස්ක්‍රීන්ශොට් දෙක එවන්නට පෙර චාරුණී මට නොසෑහෙන්න උපදෙස් දුන්නාය. ඒ හැම එකකම කීවේ ” මිනිස්සු බලෙන් නවත්තගන්න අපිට බෑ.. යන්න ඕනි උන්ට යන්න දෙන්න” කියාය. 

එහෙත් මසින්ත ට යන්න දී ජීවත් වෙන අයුරු මම දැන සිටියේ නැත. ඒ නිසාම ඔහු ඇය හමුවූ වග අමතක කිරීමට මම තීරණය කලෙමි. කෙතරම් අපහසු වුවත් ඇය දමා තිබු සටහන ව්‍යාජයක් යෑයි සිත රවටා ගතිමි

එදා රැයේ මසින්ත මට සුබ රැයක් කීවේ නැත. ඇමතුමක් ගත්තේද නැත. මම හඬා අවසන වෙහෙසේමම නිදා ගත්තෙමි.

පසුදා උදෑසන යළි ඇස් ඇරුණේ ගිණි ගහන පපුව එක්කය. මසින්ත ඇය හමුවෙන්නට ගොස් ඇත. වසර පහකට පසු යළි ඔහුට ඇය හා දොඬමළු වන සවසක් අවශ්‍යව ඇත. 

“ගුඩ්මෝර්නින්…  මට කතා කරන්න ඕනි. වැඩ ඉවර වෙලා හෝල්ට් එකෙ ඉන්න…”

මසින්ත කිසිඳු දයාර්ද බවක්, ආමන්ත්‍රණයක් නැතුව එලෙස එවා තිබුණි. මම ආමන්ත්‍රණ කෙරෙහි දැක්වූයේම අසීමාන්තික ලෝබකමකි . මසින්ත මගේ නම කියා ඇමතීමවත් මට රුචි වූයේ නැත. හුරතල්  ආවේණික ආමන්ත්‍රණ වෙනුවෙන් රණ්ඩු කෙරූ අවස්ථා ඇත. එවන් ප්‍රේමණීය ආමන්ත්‍රණ අභියස ප්‍රහර්ශයෙන් ඉතිරී ගිය දවස් බොහෝමය.ඒ නිසාම ඒ කෙටි පණිවිඩය තුළ වූ බෝම්බ හඳුනා ගැනීම මට අපහසු වූයේ නැත. එහෙත්, මසින්ත මට අත් හැරීමට අවැසි නැත. මම ඔහුට ප්‍රේම කරන්නේ මගේ ජීවිතය හා සමවමය. ඇතැම් විට ඊටත් වඩා ය.

“ඇයි වස්තුවේ ? හදිසියක්ද ?”

මසින්ත එයට කිසිත් කීවේ නැත. එදින නිවාඩුවක් ද දමා මම උමතුවෙන් ඔහුට ඇමතුම් ගත්තෙමි. පණිවිඩය යැව්වෙමි. ඒ උමතුවට ප්‍රතිචාර ලෙස එක් එක් පණිවිඩ මාධ්‍ය අවහිර කෙරුණි.

මැසෙන්ජර් බ්ලොක් විය

වයිබර් බ්ලොක් විය.

වට්සැප් බ්ලොක් විය

යැවූ ඊමේල් ඔහු දුටුවාද නොදනිමි. 

ඇමතුම්ද බ්ලොක් විය.

මම පිස්සියක මෙන් කාමරය තුළ ඇවිද්දෙමි. සවස් වෙද්දී මට මා දරාගන්නට නොහැකි විය. පැයක් පමන නෑවෙමි. තෙත හිසකේ පිටින්ම මසින්ත දකින්නට යෑමට සූදානම් වූයෙමි.

ඔහු සුදු පැහැ කමිසයට නිල් ටයි පටියක් පැළඳ උන්නේය. මා එනතුරු කලබලයෙන් බලා සිටින වග ඔහුගේ හැම ඉරියව්වකම විය. මම පාර පැන්නේ ඔහු දෙස බලාගෙනමය . ඒ බලා හිඳීමෙන් එපා වන රුවක් නොවේ. ඇස් පුරා බලා සිටියාට වෙහෙස නොවන රුවකි. 

“පරක්කු උනානේ… “

ඔහු හිත් පිත් නැත්තෙකු සේ කීවේය. මම පුරුදු  ලෙසටම අතේ එල්ලෙන්නට උත්සාහ කලෙමි. ඔහු කලේ අතින් මා ලෙහා දැමිමය

“ඇයි මේ  ?”

“වාඩිවෙලා කතා  කරමු..යං…”

ඔහු ඉස්සරහ වුයේය. එකට ඇවිද ගියා මිසෙක මෙහෙම දවස් තිබුනේම නැත.

“ඇයි රන්..?”

“පවණි… මට මේ ජීවිතෙන්  නවතින්න ඕනි.. ඔයා ඔයාගේ ගමන තනියෙන් යන්න… ?”

මසින්ත හෙණ ගසන්නාක් මෙන් කියා දැම්මේය. ඔහු කොහොම එහෙම කීවාදැයි මට සිතාගන්නට හෝ ඉඩක් නොදී කියා දැම්මේය.

”  මට ඔයාට බොරුවක් කරන්න ඕනි නෑ. ඒ නිසයි ඔයාට කොච්චරක් අමාරු උනත් මම මේක කියන්න හිතුවේ… ප්ලීස්.. අපි ආයේ මුණ ගැහෙන්නේ නැහැ….”

ඔහු කියවන්නේය. වසර පහක් ප්‍රාණ සමව පෙම් කර, ඊළඟ වසරේ විවාහයට දිනද වෙන් කරවාගෙන සිටි මිනිසා මෙහෙම කියන්නේය.

මට කිසිත් කියා ගත හැකි වූයේ නැත. ඇස් කඩාගෙන එන කඳුළු විතරක් දැනුණි. පපුව මැදට වැටුණු මහා ගල් බරුවක් නිසා පපුව බරව ඇති වග දැනෙන්නේය. 

මසින්ත ඇවිද ගියේය. මා තනි කර ඉවතකට ගියේය. ඉන් පසු ජීවිතය කොහොමදැයි මා දැන උන්නේ නැත. පලමුව රැකියාව අහිමි විය. අහිමි විය කීවාට මම අහිමි කර ගත්තෙමි.  මා වටා උන් සමාජයෙන් මම හුදෙකලා වෙන තීරණ ගතිමි. ඉනික්බිති  මට මාව අහිමි විය. මගේ ජීවිතය මසින්ත වටා එතරම් තදින් වෙලී තිබුණ වගක් මා දැන උන්නේද නැතිවා විය යුතුය.

විහාරා, මසින්තගේ පැරණි පෙම්වතිය  මා හමුවන්නට ආවේ සියල්ල මේ ලෙසින්  අහිමි වෙමින් යද්දීය. මම ඇය දෙස බලා උන්නේ කිනම් හැඟීමක් එක්කදැයි මට මතක නැත.  ඕ ඉල්ලා සිටියේ එක් දෙයකි. ඇය සමඟ එන්නටය. 

ඉතින්, අවසානයේ අතට අසුවූ ඇඳුමක් ඇඳ ගත්තෙමි. සුදු පැහැ ගවුමකි. මසින්ත කලකට  පෙර ගෙන දුන්නකි.

කඳුළු වලට ඉවරයක් නැත. මසින්ත, ඔබ මට මේ මතක වලින් මිදෙන්නට ඉඩක් දෙන්නේම නැති වග දනිමි. 

විහාරා මා සමඟ විත් නැවතුණේ ජාතික රෝහලේය. 

මට කිසිඳු තිගැස්මක් වූයේ නැත. ඇය පසුපස ඇවිද ගියෙමි. ඕ තැනක නැවතුණාය. මම ඇගේ උරට උඩින් බැලුවෙමි..

“ක…වු..ද ..?”

සිහි විසඥ විය. මට සැබැවින්ම පියවි ලෝකය පැටළී තිබුණි.

ඒ උන්නේ මසින්ත බව දුටුවෙමි. ඔහු පරඬැලක් තරමට කෘශව උන් බවද දුටුවෙමි.

“මසින්තගේ වකුගඩු වල ෆේලියර් එකක්… දැනට සම්පූර්ණයෙන්ම මැශින් වලින් ඉන්නේ… එයාගේ ගෙදර අයවත් දන්නේ නැහැ එයා මෙහෙම තත්වේක බව. ගෙදර අයට කියලා තියෙන්නේ රට යනවා කියලා .. මගෙන් ඉල්ලපු උදව්ව මම කලා. ඒත් සැනසීමෙන් ඉන්න බැරි වුණා……”

විහාරාගේ මිතුරු වෛද්‍යවරයා කිව් විස්තර වලට පසු විහාරා යළි මට  විස්තර කලේය. 

මම මසින්ත දෙස බැලුවේ හෝ නැත. සැබැවින්ම මට එතරම් හය්යක් තිබුණේ නැත.

 අප්පච්චි ළඟ හඬා වැටී දෙණියායේ වූ තේ වතු වලින් මට අයිති සියල්ල කෝටි ගානකට විකුණා දැම්මෙමි. අඩු පාඩු සියළු මුදල් මසින්තගේ දෙමාපියන් සූදානම් කරමින් උන්නහ. 

අවැසිව තිබුණේ මුදල් නිසා, හැකි සෑම අයුරින්ම මුදල් රැස් කලෙමි.මවිසින් මඟ හැරි මිතුරු සමාජය පවුරක්ව මා වටා උන්නෝය. 

ඔහුට ගැලපෙන වකුගඩුවක් සෙවීම ඒ අතරේ ම කලෙමි. දෛවය මට කරුණාවන්ත වෙමින් තිබුණි. මසින්තගේ රුධිර වර්ගයටම ගැලපෙන වකුගඩුවක් රෝහල තුළින්ම සොයා ගන්නට ඉඩ ලැබුණි. මට මගේ ජීවිතය දී ජීවිතය අතැර ගිය තරුණයෙකු මසින්ත ගලවා ගත්තේය.

.

.

.

“ඔයාට නවතින්න ඕනි කිව්වේ ජීවිතෙන් මිසක්, මගේ ආදරෙන් කියලා මට තේරුණේ නැහැනේ….”

මසින්තගේ ශල්‍යකර්මයෙන් තුන් වෙනි දින මම ඔහු ගේ ඇස් වල එල්ලී කීවෙමි.

ඔහු සාධාරණ නැත.  ඔහුගේ දුකේදී මට ළඟ ඉන්නට නොදීමේ තීරණය ඔහු ගැනීම අසාධාරණය ය. එහෙත් ඒ තීරණයේ රැඳි ප්‍රේමය මට පෙනෙන්නේය. දැනෙන්නේය. 

ඇතැම්විට ආදරේ අත් හැරෙන්නේ ආදරේ ක්ශය වීම නිසා නොවන බව ලස්සන කවියක ලියන්න මට අවැසිය.

 එහෙත් මේ මිනිසා මා අවුලවන්නේය. කවි පිච්චෙන්නේය. ඇති තරම් බලා ඉන්න කියන්නාක් මෙන් ඔහුද නිහඬවම ඉන්නේය. ජීවිතේ මල් යායක් බව ඔබට කියන්නට අවැසිය. හැම ඍතුවකම බරසාර කම උරිස්සෙන් තියා ගන්නට ඔබට හැකි විය යුතුය.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles