මා හිස පිරිමැද 20

මා අවදි වූයේ සිරුර ට දැනුණා වූ තද රස්නයක් නිසා ය. අසීරුවෙන් නෙතු විවර කොට බලත්දී, ජනේල වීදුරවෙන් රිංගා ගත් සූර්ය කිරණ කදම්බයක් මගේ අතක පැත්තක් සිප ගනිමින් තිබිණ. මම නැවතත් ඇස් පියවෙන්නට හැරියෙමි. දවල් වී ඇති බව සිත සිහිපත් කරවී ය. මඳ වෙලාවක් එසේ හිඳ මම නැවත ද නෙතු විවර කොට බැලීමි. විදුර තවමත් නින්දේ ය. මේ වෙත්දීත් මගේ හිස වූයේ ඔහු ගේ අත් ගොබය මත ය. මම ඒ මුහුණ දෙස බැලීමි. මහා ශාන්ති සුවයකට එළඹි මුණිවර පෙනුමක් එහි විය. ඔහු ද හදවතින් මට දැනෙන්නා වූ ශාන්තිය ම අත්පත් කර ගෙන තිබේ. මම මඳක් හැරී වැලමිට ට මූණ බර කොට ගෙන විදුර ගේ මූණ දෙස බලා සිටින්නට වීමි. ඔහු වූ කලී සඳුන් ගසක් වන්, දේවදාර තුරක් වන්, ඇසතු රුකක් වන් සිහිල් සෙවනක් හදවතේ දනවන්නා වූ මිනිසෙකි. උතුරා වාං දමනා ස්නේහයකින් යුතුව අත දිගු කොට මම ඒ හිස කේ මෘදු ලෙස පිරිමදින්නට වීමි. විදුර හෙමිහිට නෙතු විවර කළේ ය. ඊළඟට දෑතින් මා සිය පපුතුර හොවා ගත්තේ ය. අපමණ ලොබින් මම ඒ පපුව සිප ගතිමි.

පපුතුර සුව යහන් තලාවේ කම්මුල් සතපා ගෙන සිටිත්දී ගෙවී ගිය අළුයම් හෝරා කිහිපය සිහිනෙන් ගෑ සුවඳක් සේ මතක අතරෙන් ඉස්මතු වන්නට විය. විදුර මහිස පිරිමදිනා අපමණ සුවය මට දැනේ.

“ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ තිසූ…මං දන්නව මට ඊට වැඩිය හිතන්න තිබුණ කියල..ඊට වැඩිය මාව පාලනය කරගන්න තිබුණ”

“නෑහ්”

මම තවත් ඔහු ගේ පපුව මත හරිබරි ගැහුණෙමි.

“ඔයා කැමතිනං…අපි අද මෙහෙමම ගිහිං බඳිමු. සයින් කරන්න ඔයාගෙ අක්කට හරි තාත්තට හරි එන්න කියමු. මාත් අපේ කෙනෙක්ට එන්න කියන්නං. ම්…”

“මට කිසිම පසුතැවීමක් නෑ. මං පොඩි ළමයෙක් නෙවේනෙ. ඒ හැම තප්පරේකටම මං හරි ආදරෙයි. ඒ වෙලාවෙත්. දැනුත්…මගෙ ජීවිතේ තියෙනතුරුමත්. ඒ මගෙත් කැමැත්තෙන් වෙච්ච දෙයක්. අපි එග්සෑම් ඉවර වෙලා රෙජිස්ටර් කරමු. දිගටම එක ගෙදරක ඉන්න බලාගෙන…එහෙම කැමතිද ඔයා…”

“හ්ම්”

“නීතියෙන් බැන්දත් නැතත්…දෙවියො ඉස්සරහ අපි බැඳිල ඉවරයි විදුර. අපි සදහටම අපේ වෙලා ඉවරයි. මට දැං දැනෙන මේ මහ පුදුම සැනසිලිදායක හැඟීම…අන්න ඒක වෙන්නැති බැඳීමක් කියන්නෙ. මට දැනෙන්නෙ…එක ජීවිතේකට නෙවේ…සසරටම මං ඔයාට බැඳිල ඉවරයි…මිනිස්ට්‍රස් වජිරපාණි වික්‍රමබාහු ට නෙවෙයි කාටද දැං ඒ බැඳීම බිඳින්න පුළුවන්. එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනං ඒ ඔයාම විතරයි. ඔයාට මාව එපා වුණොත් මිසක්…වෙන කිසි කෙනෙක්ට බෑ ඔයාගෙන් මාව ඈත් කරන්න. මරණයටවත් බෑ”

“එච්චර ආදරයක්”

ඔහු ඉතා තදින් මා වැළඳ ගත්තේ ය.

“හ්ම්. එච්චරක් ආදරෙයි. ඊටත් වැඩියෙන් ආදරෙයි. මං දන්නෙ එහෙමයි”

අප තවත් ටිකක් වෙලා එහෙම උනුන් ට තුරුලු ව සිටියෙමු. නමුත් විදුරට කාර්යාලයට යන්නට තිබුණේ ය. එහෙයින් මම නැගිට තේ හැදුවෙමි. බිරියක ගේ වගකීම උන් හිටි ගමන් මගේ හිස මත පැටවුණා සේ ය. ඒ හැඟීමට ද මම ආශා වීමි. අම්මා කිසි දාක තාත්තා වෙනුවෙන් එවන් හැඟීමකින් යුතුකම් ඉටු කරනවා මා දැක නැත. ගෙදරදීත් ඇයට ඕනෑ වූයේ ඇගේ ආධිපත්‍යය පෙන්වන්නට මිස ආදරණීය පවුලක මිහිර විඳින්නට නොවේ. ධනයෙන් ද බලයෙන් ද ආදරණීයයන්ට යුතුකම් ඉටු කළ හැකි යයි ඇය සිතුවා ද කියා නො දනිමි. 

ඊට පස්සේ විභාගය ඇරඹිණි. එය හිතටවත් හිසටවත් බරක් නොවෙන තරමට මා පාඩම් වැඩ වල එදිනෙදා ම නිරත වී තිබුණෙන් ඒ දවස් ද සැහැල්ලුවෙන් ගෙවිණි. ඒ අතරේ දින කිහිපයක් ම විදුර මා හා දිවා ආහාර ගන්නට පිටතට ගියේ ය. ඇතැම් විට ඔහු ගේ බෝඩිමේ හෝරාවක් දෙකක් ගත කරන්නට මම එහි ගියෙමි. ප්‍රවේසම කියන දේ අමතක කෙරුවා නොවේ. කිසි සේත් මගේ රියෙන් ඔහු ගේ බෝඩිමට නො යන්නට මම වග බලා ගතිමි. නමුත් අප ප්‍රවේසම් වී දෙතැනක ගත කරනා කාලය කුමටද යන පැනය හදවතින් පැන නැගී මා ප්‍රශ්න කරන්නට විය. අඩු තරමින් විදුර ගේ පැත්තේ අවදානම අඩු වී තිබෙන වෙලාවේ ඔහුත් එක්ක නිදහසේ හැසිරෙන්නට තරම් මා අභීත වී තිබිණ. නො එසේ වී නම් හිතුවක්කාර වී තිබිණ. බතක් ව්‍යාංජන දෙකක් උයා ඔහු ට රෑට කන්නට තබා, කිළිටි වී එකතු කොට ඇති ඔහු ගේ ඇඳුම් ටිකක් සෝදා දමා, අවුල් ජාලාවක් වී ඇති ඔහු ගේ ලියන මේසය පිළිවෙලට අස් කොට තබා එන එකෙහි වූයේ වෙනම ම සතුටකි. 

“මේව පිළිවෙලට තියාගන්නකො අනේ”

කියමින් ඇතැම් විට මම තරවටුවක් ද කළෙමි. එතකොට විදුර ගේ මූණට එන සිනහව නො දරුවෙකු ගේ වාගේ එකකි.

“තව ටික දවසයිනෙ. ඊට පස්සෙ ඔයා බලාගන්නවනෙ”

“මොනාද…”

“මාව”

මම ආදරය පිරි ඇස් දෙකකින් ඔහු ට රවමි. එතකොට විදුර මා අල්වා ගෙන රිදෙන්නට කොපුලක් සිප ගනී.

“බෝඩිම අයිති ගෙදර ඇන්ටි ඇහුව ගෑනු ළමයෙක් එනව යනව නේද…බැන්දද කියල”

දවසක් ඔහු අඩ සිනහවකින් කීවේ ය. මම තිගැස්සී ගිහින් පපුවේ අත තියා ගතිමි.

“එයා දැකලද..”

විදුර ගේ මුහුණේ බැරෑරුම් බවක් වෙනුවට වූයේ සැහැල්ලුවකි. මම තව දුරටත් හුස්ම හිර කර ගෙන ම සිටියෙමි.

“මං කිව්ව තව සතියකින් දෙකකින් බඳින්නයි ඉන්නෙ කියල. ඒ ගමන ඇන්ටි ඇහුව ඊට පස්සෙ වෙන තැනකට යනවද කියල. මං කිව්ව ඉඩනං ඉතිං මදි වෙයි තමයි ඔයා එක්ක කතා කරලම කියන්නං කියල”

“හම්මෝහ්. මං බය වුණ තරමක්”

“තැනක් හොයා ගන්නකල්…අපිට ටික දවසක් මෙතන ඉන්න පුළුවන් නේද…”

“පුළුවං. මං ආසයි මෙතනට. මේ නිදහසට. අර තාප්පෙ දිගේ එල්ලෙන ගෝල්ඩන් බෙල් කහපාට මල් කැරලි වලට…මේ ස්ටෙයාකේස් එකේ දිගට එතිල ගිහින් තරඟෙට මල් පිපෙන නිල් පාට මෝනිං ග්ලෝරියා වලටයි රතු පාට ගිනිකූරු මල් වලටයි. මට මෙතන හීන ලෝකයක් විදුර. ගෑනු ළමයෙක් විදිහට මගෙ ජීවිතේ ලස්සනම මොහොතවල් අයිති මේ තනිකඩ බෝඩිං කාමරේට. අපේ බබාට දණගාන්න ඇවිදින්න ඉඩ ඕන වෙනකල්ම අපිට මෙතන ඉන්න පුළුවන්..මෙතන ඉන්න මං ආසයි”

ඒවා හරි මිහිරි සිහින ය. කෙල්ලක වී ද කොල්ලෙකු වී ද ජීවිතය ගැන හීන දැකිය යුතු ය. ඒ හීන චමත්කාරයෙන් පිරි ඒවා විය යුතු ය. ඒ හීන වල ජීවත් වෙන ගමන් ඒවා හැබෑ වන දවසක විඳිත හැකි සතුට හිතෙන් විඳිය යුතු ය. අපට ද ඒ එහෙම කාලයක් විය. ඒ කාලය ඉතා කෙටි ය. නමුත් මතක බෙහෙවින් දිගු ය. නවකතාවක් ලියනවා නම් ඒ එක මොහොතකුදු සංස්කරණයෙන් තොර ව ඊට එක් කර ගත යුතු තරම් ලස්සන ය.

මා තිගැස්සී අවදි වූයේ එහෙම සිහිනයක් දකිමින් සිටිනාතරවාරයේ ය!

ඡන්ද උණුසුම රට පුරා ම පැතිරී තිබිණ. අක්කා ගේ දික්කසාද නඩුව ද ඇසෙමින් පැවතිණ. අම්මාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට වියදම් කළේ කවුරුන්දැයි අප දන්නේ නැත. නමුත් සියල්ල යහමින් කෙරී ගෙන ගියේ ය. 

මගේ අවසාන විභාගය දා තාත්තා ට විශ්‍රාම වැටුප් ගැනීමට යාමට තිබිණ. මේ දින වල තාත්තා පිටතට ගියා නම් ඒ මා හෝ අක්කා ද සමග ය. කඩසාප්පුවකට යන්නට ඇත්නම් වාගේ ඔහු තනිව ගොස් ආවේ ය. බැංකුවට යාම් ඊම් ද තනිව කර ගන්නට ඔහු ට උවමනා වී ද තාත්තා ගේ අසනීපයත් එක්ක රිය පැදවීම කිසියම් මොහොතක අවදානමක් විය හැකි නිසා අප ඔහු ව එහෙම ගමනක් යැව්වේ ගෙදර රියදුරෙකු සමග ය. අම්මා ගෙදර රැඳවූ සේවක පිරිස අතරේ රියදුරෙකු ද සිටියේ ය. අම්මා ගේ සේවකයන්ගෙන් උදව් ගැනීමට තාත්තා රිසි නොවූ මුත්, මා හෝ අක්කා නැතිව යන ගමනකදී එවැන්නක් කරනා ලෙසට අපි ඔහු ට බල කොට සිටියෙමු. එදා අක්කා ට නීතීඥවරිය හමු වීමට තිබූ නිසා තාත්තා එක්ක බැංකුවට ද ඔහු ගේ අනිත් ගමන් ද යන ලෙසට අපි රියදුරුවරයාට උපදෙස් දුන්නෙමු. 

මා විභාගය නිම වී එන විට ද තාත්තා ගෙදර විත් තිබුණේ නැත. මම ඔහු ගේ දුරකතනයට ඇමතුමක් ගතිමි. එය කාමරයේ ඇඳ මත හැඬවෙමින් තිබිණ. අක්කා ගෙදර ආවේ ද ඒ වෙලාවේ ම ය.

“මෙලහකට එන්න වෙලානෙ. සේපාලට කතා කරල බලමු”

කියා රියදුරු ට කතා කළේ අක්කා ය. මම ඇගේ දුරකතනයට මගේ සවන ලං කෙරුවෙමි.

“මැඩම්. සර් මට මෙතනම ඉන්න කියල සාප්පුවකට ගිහිං එන්නං කියල ගියා. තාමත් නෑ මං මේ බලං ඉන්නව. සර්ගෙ ෆෝන් එකට ගත්තත් ආන්සර් කරන්නෑ”

“තාත්ත ෆෝන් එක ගෙදර දාල ගිහිං සේපාල. ගොඩක් වෙලාද බැංකුව ළඟින් ගිහින්..”

“ඔව් මැඩම්. මං ඒත් කිව්ව වාහනේම යමු කියල. ඕක තැන් තැන් වල නතර කර කර ඉන්න ඕන නෑ මං පයිං ගිහිං එන්නං කිව්ව. පයින් යන්න කියල ඩොක්ටත් කියලයි තියෙන්නෙ කියල ගියා. කෝ තාමත් නෑනෙ. මට ගිහිං හොයන්න විදිහකුත් නෑ ඒ අතරෙ සර් මෙතනට ඇවිත් මාව හෙව්වොත් කියල”

“හරි සේපාල තව ටිකක් ඔහොම ඉඳල බලන්නකො”

කියා අක්කා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ දෙගිඩියාවේ දෑස් මවෙත හරවමිනි.

“තාත්තත් වෙලාවකට හරි මුරණ්ඩුයිනෙ අප්ප”

“පොඩි ළමයෙක් වගේ ඇවිද ඇවිද ඇති. අපි එක්ක ගියාම එහෙම බෑනෙ”

අපි එහෙම හිතා හිත් සන්සුන් කරගෙන සිටියෙමු. නමුත් මඳින් මඳ හවස් විය. අපේ හිත් විනාඩියෙන් විනාඩිය නො සන්සුන් අතට හැරිණ. අප හා රියදුරු සේපාල අතරේ සිය ගණනක් දුරකතන ඇමතුම් හුවමාරු වන්නට ඇත. මමත් අක්කාත් රියදුරුව එතැන ම රඳවා මගේ මෝටර් රථයෙන් නගරය පුරා යමින් තාත්තා ගැන හෝඩුවාවක් සෙව්වෙමු. බැංකුවෙන් මුදල් ගෙන පිට වී ගියාට පස්සේ ඔහු කවර කඩ සාප්පු වල අවිද්දා ද කියා සොයා ගත නො හැකි විණි. සාප්පු වල සේවකයන්ට එක් පුද්ගලයෙකු ගැන විශේෂ මතකයක් නැති වීම ප්‍රායෝගික ය. අප භීතියට ද ශෝකයට ද වෙහෙසට ද පත් ව හිස් අතින් ගෙදර ආවේ ගාත්තා ගෙදර ගොස් සිටිතැයි බලාපොරොත්තුවෙනි. නමුත් එවැන්නක් සිදු වී තිබුණේ නැත. ඔහු මිතුරෙකු හමු වෙන්නට ගොස් විය හැකි යයි සිතා අපි ඔහු ගේ මිතුරන් ගේ දුරකතන වලට තාත්තා ගේ දුරකතනයෙන් ම කතා කොට විපරම් කළෙමු. ඔහු ඒ කිසිදු තැනකට ගොස් තිබුණේ නැත. කිසිවෙකුට සෑහෙන දිනකින් කතා කොට තිබුණේ ද නැත. රෑ නො නිදා ඔහු එතැයි බලා සිටිය ද පසු දාට පහන් වන තුරු ම ඔහු ආවේ නැත.

“මේ මනුස්සය ඔහොම්මමයි. තමුන් ගැන විතරයි හැමදාම හිතුවෙ. මේ ඉලෙක්ශන් වැඩ අස්සෙ දැන් මට කියන්නෙ මේ මනුස්සයව හොය හොය ඉන්නයි කියලද…”

අම්මා පරල වී සිටියා ය. මේ වාගේ දෙයක් වීම ඇයට ලැජ්ජාවට හේතුවක් බවත්, තාත්තා හිතා මතා එහෙම කරන්නට ම මෙලෙස හැසිරෙන බවටත් ඇය අවලාද නැගුවා ය. තාත්තා ට කුමක් සිදු වී දැයි මා සිටියේ බය බිරාන්තව ය.

“කෝකටත් පොලීසියෙ කම්ප්ලේන් එකක් දාල ඉමු තිසූ. මෙච්චර හොයලත් නැත්තං ඒක තමයි දැන් ඉස්සල්ලම කරන්න ඕනෙ”

විදුර කීවේ ය. ඒ අනුව මමත් අක්කාත් පොලීසිය වෙත ගොස් තාත්තා අතුරුදන් ව ඇති බවට පැමිණිල්ලක් දැමුවෙමු. මා සිටියේ මින් ඉදිරියට කුමක් වීමට නියමිත දැයි නො දැන, ඒ සිදු වෙන දේ වලට කොහොම මූණ දෙන්න ද කියා සිතා ගත නො හැකි ව ගල් ගැසී ය. සැබවින් එය නිර්වින්දිත තත්වයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles