හිමගිරි අරණ -21

“රවිඳු කියනවා එයා ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.”

පාරමී හඬමින් හෙළි කළා ය.කියන්නට වචන සොයා ගන්නට අපහසු වූ හන්දා හිමාෂා ඇගේ අත පිරිමදිමින් අසා හුන්නා ය. සෙනග ගැවසෙන මෙවැනි තැනක හැඬීම තරම් නොවන බව මිතුරියට පවසන්නට ඕනෑ වුවත් ඇය හිඳින්නේ ඒවා අසන මානසික මට්ටමක නොවන බව හිමාෂාට වැටහිණ.ඈ මාස ගණනක් වයසැති කුඩා බිලිඳියක තුරුලට ගෙන කුල ගෙය හැර දමා පැමිණි දිනය හිමාෂාට සිහි වේ.ඒ දවසේ ඇය නොහඬා ඉන්නට වීර්යය ගත්තා ය.නමුත් පාරමීට එවැනි වීර්යයක් නොවේ.

එහෙත් හිමාෂා එදා නාඬා හුන්නේ ඇය ආදරය නොකළ මිනිසෙකු අතැර දැමීමට හිත හදා ගත් නිසා ය.අම්මාට සතුටක් ගෙනෙන ලෙස සහන් සමඟ ජීවත් වීම හැරුණු විට ආදරයෙන් ජීවත් වීමේ සිහිනයක් ඇයට නොතිබිණ.නමුත් පාරමී රවිඳු වටකොට බොහෝ සිහින දුටුවා ය.ඒ සිහින බිඳී යාම ඇයට දරා ගන්නට පහසු නොවේයැයි හිමාෂාට වැටහේ.

“පාරෝ,කාගෙවත් ආදරේ බලෙන් ගන්න බෑනේ..”

ඇය එසේ කියමින් පාරමි සන්සුන් කරන්නට උත්සාහ කළා ය.නමුත් පාරමී දිගින් දිගටම ඉකි ලන්නී ය.

“ඔයා දන්නවද? අපේ හිත යන,ආදරේ කරන සමහර අය නිකං හඳක් වගේ.හඳ ලස්සන අහසේ තියනකොට.මොනතරම් සෞම්‍යාලෝකයක්ද,මොන තරම් කවි ලියවෙනවද කියලා හිතෙන්නේ එතකොට.ඒත් අපි කොහොමහරි රොකට් එකක නැඟලා හඳට ළං වුණාම මෙච්චර කල් දැක්ක ෆැන්ටසිය අතුරුදහන් වෙන්න පුලුවන්..”

පාරමී එබසට නෙතු ඔසවා බැලුවා ය.නැත! රොකට්ටුවක නැඟී සඳ වෙත ළඟා වෙමින් සිටි මොහොතේ ෆැන්ටසිය අතුරුදහන් වූවා නොවේ.රොකට්ටුව බිමට කඩා වැටී තියේ.

“ඈතින් දකින තරම් හඳ ළං වුණාම ලස්සන නෑ පාරෝ.එතකොට තමයි ආවාට පේන්නේ.”

හිමාෂා පැවසුවේ ඇය කෙටි ජීවිතය තුළ අවබෝධ කරගත් ජීවන දහමේ සමහර තැන් ය.ඇයට ප්‍රේමය ගැන මහා ලොකු අත්දැකීම් නොවේ.නමුත් ජීවිතය ගැන අත්දැකීම් ඕනෑතරම ට ය.

“ඔයා දන්නවද ඇයි රවිඳු මට අකමැති කියලා.”

පාරමීගේ ඒ පැනයට පිළිතුර හිමාෂා අනුමාන කළා ය.ආදරයක් නොදැනෙන තැනක නැවතෙන්නට නොහැකි බව ඔහු ස්ථිර වශයෙන්ම පැවසුවේ ය.ගැටළුව ඔහු එය අමුඅමුවේ ඇයට හෙළි කිරීම යැයි හිමාෂා සිතී ය.නමුත් ආලවට්ටම් රහිතවම සැබෑ සත්‍යය දැන ගන්නට ලැබීම එක් අතකට යහපත් ය.සිත රවටා ගන්නවාට වඩා මරණීය තුවාල හදවතේ ඇති කරගෙන හෝ සත්‍යයට මුහුණ දීම යහපත් ය.

“එයා වෙන කෙනෙකුට ආදරෙයිලු.ඔයා ඒ ගැන දැනන් හිටියද?”

පාරමී ඒ වචන පවසා ඇස කඳුලැලි පිස ගත්තා ය.

“මං හිතන්නේ මං දන්නවා.”

මිතුරිය එසේ පවසද්දී පාරමීට ඇති වූයේ කෝපයකි.රවිඳු වෙනත් තැනක බැඳී ඇති බව දැන දැනම හිමාෂා ඇගෙන් ඒ බව සඟවා තිබේ.

“එයා වෙනුරිට ආදරෙයි තාමත්.ඒක ඔයා වුණත් දැනන් ඉන්නෝනෙ දෙයක්නෙ පාරෝ.”

හිමාෂා එසේ කියද්දී ඔහු ඒ පැවසුවේ වෙනුරි ගැන නොවන බව පාරමී පැවසුවේ ශෝකයෙනි.ඒ ස්වරයේ කෝපය ද සැඟව ඇතැයි හිමාෂාට සිතිණ.ඔහු වෙනත් කෙනෙකුට ආදරයෙනි.ඒ ප්‍රේමය ඉක්මනින් සැබෑවක් කර ගන්නට සිහින දකින බව ඔහු පැවසූ බව ඇය පැවසුවේ හඬ බිඳී යද්දී ය.

“ඒ එයාගේ පෞද්ගලික දෙයක් පාරෝ.ඇත්තටම එයා ඇක්සිඩන්ට් වෙනකම් අපි දැනන් හිටියද එයාට ගර්ල් කෙනෙක් ඇති කියලවත්.එයා එහෙම ප්‍රශ්නෙක හිටියා කියලවත් අපි දන්නෙ ඉන් පස්සේ.අන්න ඒ නිසා අපි එයාගේ ප්‍රයිවෙට් දේවල් හොයන්න උත්සාහ නොකර ඉමු.”

හිමාෂා මිතුරියගේ අත අල්ලාගෙන ආපන ශාලාවෙන් පිටතට ආවා ය.විවාහයක් බිඳී හිත රිද්දාගත් තමන් තරමට ඒකපාර්ශවික ප්‍රේමය බිඳ වැටුණු පාරමී හිත වට්ටාගත යුතු නැතැයි ඇය සිතී ය.පාරමීට එසේ නොවන්නට ඉඩ තබන්නට හිමාෂා තරයේම සිතට ගත්තා ය.රවිඳුගේ සිත් ගත් යුවතිය ගැන ආරංචිය ඇයට අරුමයක් නොවේ.සෑම මිනිසෙකුටම පෞද්ගලික අවකාශයක් තිබේ.ඒ අවකාශය අතික්‍රමණය කරන්නට හිමාෂාට කොහොමටත් නුවුමනා ය.

නමුත් ඈ නොදැන හුන් කතාවක් විය.ඒ කවුදැයි දැන ගත යුතුම වන්නේ ඈ බව ඇය ඒ මොහොතේ දැන නොසිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles