ආදරේට ආදරේ කරන්න – මේ ආදර භාෂා පහ ඉගෙන ගන්න

ලෝකය පුරා බොහොමයක් සම්බන්ධතා විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි සාර්ථක සම්බන්ධතාවයක රහස පස් ආකාරයක ආදර භාෂාවයි. මීට කලින් ඔබ මේ පිළිබඳව අසා නැතිනම් අද අපි දැන ගනිමු මොකක්ද මේ ආදර භාෂා පහ කියලා. විශේෂඥයින්ගේ දැනුම ඇසුරින් මේ ආදර භාෂා පහ සම්බන්ධවත් ඒවා වටහා ගැනීම තුළින් ඔබේ ආදර සම්බන්ධය තුළ වඩා හොඳ වෙනස්කම් සිදු කර ගන්නේ කෙසේද කියාත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 

The five love languages

ජනප්‍රිය කර්තෘ ගැරී චැප්මන් විසින් 1992 දි The five love languages නැමැති කෘතිය රචනා කර තිබෙනවා. ආදරය දිගටම පවත්වාගැනීමේ රහස , මේ පිළිබඳ අදහස හරිම සරලයි. ආදරයේ භාෂාවන් පහ යනු අපට ආදරය දැනෙන විදි පහක්. අපි හැමෝටම එකිනෙකාට අනන්‍ය මූලික ආදර භාෂාවක් තිබෙනවා. ඔහුගේ අදහස තුළ අඩංගු වන්නේ එකිනෙකට වෙනස් ක්‍රම තුළින් ආදරය කිරීම සහ ආදර ලැබීමයි.

ඔබගේ සහ ඔබගේ සහ සහකරුගේ හෝ සහකාරියගේ ආදර භාෂාව තේරුම් ගැනීම තුළින් ඔබගේ සම්බන්ධතාවය ඉතාම පහසු විය හැකියි. ඔබ තවමත් තනියම සිටිනවා වූවත් නැතිනම් ඔබ dating apps භාවිතා කරනවා වූවත් එසේත් නැතිනම් ආදර සම්බන්ධතාවයක් තුළ ඉතාම දීර්ඝ කාලයක් සිටින්නෙකු වූවත් ඔබ විවාහ වී සිටින්නෙකු වූවත් ඔබට මේ ආදරයේ භාෂාවන් පහ පිළිබඳව දැන සිටීම ජීවිතයේ ඉතාම වැදගත් විය හැකියි.

මේ පස් ආකාරයක ආදර භාෂාවන් අපිට මේ ආකාරයට පෙළගැස්විය හැකියි. 

  1. වචන තුලින් තහවුරුකිරීම 
  2.  මනා ලෙස යොදවන කාලය 
  3. ශාරිරික සම්බන්ධය
  4. සහය වීමේ ක්‍රියාවන්
  5. තෑගි බෝග 

1. වචන තුලින් තහවුරු කිරීම

ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට ඔවුන් පිළිබඳ ඔබට තිබෙන හැඟීම් ප්‍රකාශ කිරීම, ආදරය ප්‍රකාශ කිරීම, ඔවුන්ව අගය කිරීම සහ කෘතගුණ දැක්වීම ආදරය දැනවිය හැකි සහ ඔවුන්ගෙන් ඔබට ආදරය දැනෙන පළමු ක්‍රමයයි. එය වචනයෙන් – ලියන ලද ලිපියක් මගින් හෝ කෙටි පණිවිඩයක් මගින් විය හැකියි. 

2.මනාලෙස යොදවන කාලය 

අපි ජීවත් වෙන කලබලකාරී ජීවන රටාවත් සමග ඔබ ආදරය කරන තැනත්තා සමග කාලය එකට ගත කිරීමට වෙන්කර ගැනීමට ඔබට හැකිනම් එය ඔබට ආදරය දැනෙන හා අනෙකාට ඔබේ ආදරය දනවන තවත් ක්‍රමයක්. ඔබේ කාර්‍යබහුල ජීවන රටාවත් සමග එය ඉතාම සුළු මොහොතක් විය හැකියි. නමුත් ඔබේ සම්පූර්ණ අවධානය ඒ වෙත යොමු කල යුතුයි. එය නෙට්ෆ්ලික්ස් වෙබ් අඩිවියේ චිත්‍රපටයක් නැරඹීමේ සිට උද්‍යානයක ඇවිදීමට යාම දක්වා කුමන හෝ දෙයක් විය හැකියි. 

3. ශාරිරික සම්බන්ධය 

අතින් අල්ලාගෙන සිටීම , සිප වැළඳගැනීම , තුරුල් වී සිටීම වැනි ශාරීරික ඉරියව් මගින් ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබට තිබෙන ආදරය ප්‍රකාශ කරන විට එය ද ඔබට ආදරය දැනෙන සහ දැනවිය හැකි තවත් ප්‍රබල ක්‍රමයකි. එය හැමවිටම ලිංගික උත්ප්‍රේරණයක් විය යුතු නැහැ. ඇතැම් විට එය ඔබේ සහකාරිය කෑම සකසන තුරු ඒ අසලට වී සිටීම වැනි සරල ක්‍රියාවක් විය හැකියි. නමුත් එය ඉතාම ආදරණීය ක්‍රියාවක් ලෙස ඇයට හැඟෙන්නට පුලුවනි.

4. සහය වීමේ ක්‍රියාවන් 

ඔබේ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් ඔවුන්ගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදි උදව් වන දෑ ඔහු හෝ ඇය වෙනුවෙන් ඉටු කර දීම ඔබට ආදරය දැනවිය හැකි සහ ඔහු හෝ ඇය විසින් යම් යම් දේ ඔබ වෙනුවෙන් ඉටුකර දීම ඔබට ආදරය දැනෙන තවත් විදියක්. එය ඔහු හෝ ඇයගේ නිවසේ තිබෙන කුනු බඳුන් ඉවත් කර දීම, ඇඳුම් රෙදි සෝදන ස්ථානයකට බාර දීම හෝ ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා ජිවිතය පහසු කරවන යම්කිසි සරල කටයුත්තක් විය හැකියි. 

5. තෑගිබෝග 

ඔබ ආදරය කරන පුද්ගලයාගෙන් ඔබට තෑගි බෝග ලැබීම ඔබට ආදරය දැනෙන පස් වැනි ක්‍රමයයි. එය ඔහු හෝ ඇය විසින් ඔබගේ උපන්දිනය සඳහා සකසන ලද කාඩ් පතක, මල් පොකුරක සිට මිල අධික ආභරණ හෝ ඔබ කැමතිම සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් නැරඹීම සඳහා වන ටිකට් පතක් විය හැකියි. එලෙස තෑගි ලැබීම මගින් ඔබට ආදරය දැනෙනවා මෙන් ම ඔබ ආදරය කරන පුද්ගලයාට එවැනි තෑගිබෝග දීම මගින් ඔබට ඔවුන්ට ඇති ආදරය දැනවිය හැකියි.

සාර්ථක සම්බන්ධතාවයක යතුර හැමවිටම එකිනෙකා අතර සන්නිවේදනයයි.

නමුත් ඔබ යමෙකුට සම්බන්ධ වීමේ කලාව, ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ සතුට රඳාපවතින කාරණාවන්, ඇයට හෝ ඔහුට ආදරය දැනෙන ආකාරයන් දැන සිටීම සත්‍ය ලෙසම ඔබේ සබඳතාවයන් ශක්තිමත් කරයි. ඔබේ ආදරයේ භාෂාව මෙන්ම ඔබ ආදරය කරන තැනැත්තාගේ ආදරයේ භාෂාව දැන සිටීම තුළින් ඔබට අනෙකාට පරිපූර්ණ ලෙස ආදරය කළ හැකි අතර ම ඔබ ආදරය කරන තරමේ ම ආදරයක් අනෙකාගෙන් ඔබට හිමිවන බව විශ්ලේෂකයන්ගේ මතයයි.

Related Articles

Don't Miss


Latest Articles