නිබ්බුත ගීත -17

මගේ දුප්පත් ගෙදොරකඩ මගේ ඉපැරණි මිතුරිය සිටිනු දකිනා තරම් ප්‍රිය දසුනක් ළමා වියේ සිට ම මට තිබුණේ නැත. පාසලේ දී පොදුවේ මා හැම දෙනාව ම සුහද ව ඇසුරු කළ ද සමීපතම යෙහෙළියක් කියා කෙනෙකු එහි මට නොසිටි බව කිව යුතු ය. මට වඩා වසරක් වැඩිමහල් වී ද යෙහෙළියක ලෙස මා ළඟින් ඇසුරු කළේ සඳනිව ය. මා ගැන සියල්ල දැන සිටියේ ද ඇය ය. මා සොයා ගෙන අපේ ගෙදරට එන්න හිටි එක ම එක්කෙනා ද ඇය ය. මලක් වගේ සිනා සිසී ඇය අපේ දොරකඩ සිටියදී මට දැනුණේ අහිංසක ආඩම්බරයකි. ඒ වාගේ යෙහෙළියක් හිඳීම සැබවින් මට ආඩම්බරයක් වූයේ ය. 

අද ඇය අපේ දොරකඩ සිටින්නේ එදා වාගේ සිනහ වී ගෙන නොවේ. ඔරවා ගෙන ය. පුරුදු හිනාව කොහේ අතුරුදන් ව ඇත්ද කියා සිතා ගත නො හැකි තරමි. 

පුරුදු ආදරයෙන් සිනහවක් නගා ගන්නට මට ද නො හැකි වූයේ ය. එසේ කිරීමේ උවමනාව මට තිබිණි. නමුත් සිනහවකට උත්සාහ කිරීමට හෝ නො හැකි ව මගේ මුව කොනක් ගැස්සී ගියා විතර ය. 

මම සඳනි ගේ මූණ දෙස ම බලා සිටියෙමි. එය වැහි වලාකුළින් ගහන වූ අහස සේ අඳුරින් වැසී ගොස් තිබිණ. මුහුණේ මාංශ පේශීන් ගැස්සෙනු මට දැකිය හැකි විය. තවත් තත්පර කිහිපයකින් ඇගේ මුව ඇද විණ. හැඬුම්බර ස්වරූපයක් ඉන් පසු එහි විද්‍යමාන විය. මා ඉදිරියේ වූයේ කැත මූණකි. සඳනි හඬන විට කැත ය. මා ඒ බව දැක තිබෙන්නේ එක වරකි. ඒ ලෝචන ඇගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ බව කියා හැඬු දවසේ ය. ආයේ ඇය හඬන්නට සූදානම් ව දිව ගියේ ඊයේ මට පහර දීමෙන් පසු ය. සැබවින් හඬන්නට වෙන කාරණා ඇය ට වූයේ නැත. 

එක මොහොතක හයියෙන් හඬාගෙන ම සඳනි මා වැළඳ ගත්තා ය.

“සොරි…සො..රි…සො…රි…”

ඒ ග්‍රහණය දැඩි කරමින් ඇය එසේ කීවා ය. මට ද හැඬෙන්නට විය. 

“අනේ මටත් සමා වෙන්න සඳූ”

මම ඉකි බිඳිමින් ම සමාව ඉල්ලා සිටියෙමි. ඉනික්බිති හදවතට දැනෙන්නට වූයේ පුදුම සහනයකි. නමුත් කඳුළු වල ඉවරයක් වූයේ නැත.

“දන්නවද මට කොච්චර රිදුණද කියල…”

“දන්නව දෙයියනේ…කොච්චර රිදෙයිද කියන බයට තමයි මට කටක් ඇරල මේක ඔයාට කියන්න හිත හදා ගන්න බැරි වුණේ…ඔයා සොරි කියන්න ඕන නෑ සඳ. මං ඒක කියන්නං. ඔයා ඇති කියල හිතනකල් ම කියන්නං. සොරි සඳී…සොරි සොරි සොරි සොරි සොරි සොරි……”

මා ඒ සමා යැදීම නතර කළේ සඳනි මගේ මුවෙහි අත තබා මා වළකාලූ ඉක්බිති ය. ඇය මගෙන් මිදී ලෑලි බංකුව වෙත ගොස් එහි වැටුණා ය. ඒ මුහුණ මළානික ව තිබුණේ ය. ඇය අද රැකියාවට ගොස් ද නැත. මේ සියල් වියවුල් සිදු වූයේ මා නිසා නො වන්නේ ද? නමුත් ඇය ට වරදක් කිරීමේ චේතනාවක් මගේ තුන් හිතකවත් නොවූ බව මම දන්නෙමි.

“මට ඊයෙ රෑ නින්ද ගියෙ නෑ නිබූ..මට දුකයි…මට මැරෙන්න හිතුණා ඔයාට ගැහුවට පස්සෙ..මං..මං…”

ඇය අවුල් සහගත සිතිවිලි වලින් ඇස් තද කොට පියා ගත්තා ය. මම ඇගේ අතක් අල්ලා ගතිමි. අප දෙදෙනා අතිනත් අල්ලා ගෙන මේ ගම පුරා ඇවිද යන්නට ගෙන වසර කීයක් නම් ගෙව යන්නට ඇත්ද? මා දරා ගත නො හැකි වේදනාවකින් ද බියකින් ද සිටියේ අල්ලා ගත් මිත්‍රත්වයේ අතැඟිලි ලිහී යාවියි සිතා ය. ඊට වඩා මිය යන එක පහසු ය. ඇගේ මිත්‍රත්වය අහිමි වී ගියේ වී නම් මියෙන මොහොත තෙක් යළි මා කිසි දාක මිත්‍රත්වය කියනා දේ විශ්වාස නො කරන්නට තිබිණ.

“මට කොච්චර ගැහුවත් කමක් නෑ සඳ…මැරුවත් කමක් නෑ. ඒත් ඔයා වගේ යාළුවෙක් නැති වුණානං…”

ඉන් ඉදිරියට යමක් කියා ගත නො හැකි ව මගේ උගුර හිර විය. වචනයක් පිටතට එනු වෙනුවට දිය ඇලි වලින් සේ ඇස් වලින් කඳුළු ආවේ ය. සඳනි මගේ උරහිස වටා අතක් දමා ගත්තා ය.

“මං කොහොමද ඒ යාළුකම් අමතක කරන්නෙ නිබූ…දැන් එළියෙදි ඕන තරං යාළුවො හම්බ වෙනව තමයි. ඒත් ඒව දැක්ක වෙලාවට කතා කරල හිනා වෙලා අතෑරිල යන යාළුකම් මිසක් හැමදාම හිතේ ජීවත් වෙන යාළුකං නෙවේ. යාළුව කියල කියද්දි මට මුලින් ම මතක් වෙන්නෙ ඔයා. ඒකමයි මට වැඩියෙන් දුක…”

එවර වචන උගුරේ හිර වූයේ ඇගේ ය. ඒ වගේ නිමේශයක් පසු කොට යන එක පහසු නැත. අප දෙදෙනා ම යම් තැනක අතරමං වී ඇත්තා සේ මට දැනිණ. අප දෙදෙනා ම හිර වී සිටියේ එතැන ය. කතා නොකරමින් ද මග හරිමින් ද සිටියේ එතැන ය. ඒ ලෝචන ය.

“ලෝචන අයිය මට කැමතියි කියල අවුරුදු දෙකක් තරං ඇති සඳී. මං එයාව මගෑර මගෑර හිටියෙ. ඒක ඔයාට කිව්වොත් ඔයා කොච්චර දුක් වෙයිද කියල මං බය වුණා. ඔයාට ද්‍රෝහි වෙන්න කවදාවත් මට බෑ සඳ. මං විලිවහගත්තෙත් ඔයා දීපු ඇඳුමකින්”

“මො..නාද කියන්නෙ…”

ඇය යළිත් මගේ මුව වැසුවා ය. 

“ඒ දේවල් වලට හිලව්වට  ලෝචනව ඉල්ලන්න තරං පහත් කෙල්ලෙක්ද නිබ්බු මං…”

“එහෙම නෙවේ…ඒත්…මං…”

“ලෝචන ඒක කියපු වෙලාවෙ මට මොනා වුණාද කියල මං දන්නෑ. ඒක හරියට…බෝම්බෙකට අහු වෙලා මාව කුඩු කුඩු වෙලා ගියා වගේ දෙයක්. ඔයා ඒ ගැන කලින් මාත් එක්ක කතා කරල තිබුණනං මට එහෙම අසරණ කමක් නොදැනෙන්න තිබුණ නිබූ”

“සොරි…”

“මට දැනිච්ච ලැජ්ජාවක්…මං කොල්ලෙක් ගැන හිතනව ඒ කොල්ල මගෙ හොඳම යාළුවගෙ කොල්ල කියල නොදැන…ඊයා…ලෝචන වුණත් මං ගැන මොනා හිතන්න ඇද්ද…”

“ඉසුරු එක්ක සම්බන්දයක් තිබුණත් ඔයා ලෝචන අයියට ආදරෙයි කියල දැන දැන…මං කොහොමද…”

“මං ඔයාට සුබ පතනව නිබූ…”

එහෙම ම හිඳ ඇය මා වැළඳ ගත්තා ය. ඒ හෘදයාංගම බවෙහි වූ උණුහුම මම ලොබින් විඳ ගතිමි.

“ලෝචන හොඳ කොල්ලෙක්. සමහර විට…මං ගැන ඔයා එයාට ප්‍රපෝස් කරනකොටත්…කොල්ල ඔයා ගැන කැමැත්තෙන් වෙන්න ඇති ඉන්න ඇත්තෙ…අයියූ…”

ඇය දෑතින් මුහුණ වසා ගත්තා ය. ඊයේ සිදුවීමෙන් පසු ප්‍රථම වතාවට මගේ මුහුණට සිනහවක් නැගිණ. 

“නෑ…එහෙම වෙන්නෙ කොහොමද…එතකොට මං නිකං අග්ලි ඩක්ලි වගේ…”

“ආ…එතකොට දැං හංස ධේනුව කියලද හිතං ඉන්නෙ…”

දවස් ගණනක් තිස්සේ අහස වලාකුළින් බර වී වැහි වැමෙින් තිබි අඳුරු හා මූසල කාලයකින් පස්සේ හදිස්සියේ හිරු එළිය පොදක් වැටුණා සේ අප දෙදෙනා ගේ ම හිත් වසා තිබූ අප්‍රසන්න හැඟීම් මැකී යන්නට ඇත. අප දෙදෙනා එක් ව උන් තැන හැම දාමත් පිපුණේ සිනහ මල් ය. ඇය අස මා ගොළු වූ හදැත්තියක වූයේ එදා මධාරා අක්කා ගේ පෙම්වතා ඇතුළු පිරිස මදුරාපුර මැදුරට ආ දා ලෝචන ගේ කාමරයේ දී මා ඔහු ගේ තුරුලෙහි ගත කළ හීනයක් වාගේ විනාඩි කිහිපයෙන් පස්සේ ය. 

“ඔයා වගේ සීමාවක් නැතුව හොඳ වගේම අහිංසක කෙල්ලෙක්ට ඕන එහෙම කොල්ලෙක්”

“ඕව වෙන දේවල් කියල හිතන්න බෑ සඳී”

“කොහොම හරි වෙන්න ඕන. මදුරාපුර ආන්ටි හරහට හිටියොත් හොරෙන් බඳිමු. ඔයාගෙ පැත්තෙන් සයින් කරන්න මං ඉන්නව”

එදා දවල් ට ඇයටත් එක්ක මම බත් ඉව්වෙමි. හැමදාමත් කන නිසා ම අපට නම් එපා වී ඇති වත්ත පහළ කොහිල ගාලෙන් කපා ගත් කොහිල දලු වලට වත්තෙන් ම කඩා ගත් බිලින් ඇඹුලට දමා පිසූ කොහිල දලු මාළුව ට සේ ම කොච්චි කරල් කීපයක් දමා හැදූ සුවඳ හමන කරවල බැදුමට ද ඇය බෙහෙවින් රුචි වූවි ය. පෙර දා සිට ම කුස ගින්නේ සිටි සඳනි එදා කුස පිරෙන්නට අපේ ගෙදරින් බත් කෑවා ය. ඇය යළි නික්ම ගියේ කෙතෙක් මා ප්‍රතික්ෂේප කළ ද අතේ වියදමට තබා ගන්න කියා මුදලක් තබා ය. රැකියාවට යන්න ගත්තාට පස්සේ වැටුප් ලද දින වලට එසේ කරන පුරුද්දක් සඳනි ට තිබිණ. ඇගේ හිතවත්කම අහිමි නො කිරීම පිළිබඳව මම දෙවියන්ට ස්තූතිවන්ත  වීමි.

මධාරා අක්කා ගේ විවාහ මංගල උත්සවය දා වන තුරු යළි මට සඳනි හමු වූයේ නැත. එදා අළුයම් යාමයේ අප රූපලාවන්‍යාගාරය වෙත යා යුතු වූයෙන් රාත්‍රියේ ම මම මදුරාපුර මැදුරට ගියෙමි. මා එහි වන නිසා සඳනි ද මඳ වෙලාවක් ගත කොට යන්නට ආවා ය. 

“මං ලෝචන ගැන කැමැත්තෙන් හිටියා කියන එක අපි අමතකම කරල දාමු..කොටින්ම මං එයාට කැමැත්තෙන් හිටියෙ නෑ”

මිදුලේ සිමෙන්ති බංකුවෙහි වාඩි වී, විදුලි බල්බ වල කහ පාට ආලෝකයෙන් නැහැවෙමින් සිටියදී ඇය කීවා ය. 

“දැන් මට ඉසුරුට ආදරේ කරන්න ලේසියි..හිත පැහැදිලි වුණහම ආදරේ කියන දේට නිදහස ලැබෙනව. කොටින්ම දැන් වැරදිකාර හැඟීමක් නැතුව මට එයා ළඟ ඉන්න පුළුවන්”

ඇය එසේ සිතන්නට පටන් ගෙන තිබීම මට සතුටක් විය.

“ලෝචනගෙ ඇස් මේ පැත්තෙමයි තියෙන්නෙ…අර”

සඳනි ඊළඟ මොහොතේ සිය හඬ ද ස්වභාවය ද වෙනස් කරමින් දඟකාර ඇස් දෙකක් ආරූඩ කර ගත්තා ය. ලෝචන සිය ඥාතියෙකු සමග කතා කරමින් මිදුලේ සිටියේ ය.

“අද මේකි මොන අංචියක් අදින්න ඇවිත්ද කියල හිතනව ඇති”

එසේ කියමින් ඇය හඬ නගා සිනහ වෙන්නට ද වූවා ය. මගේ හිතේ තරමක ගැස්මක් තිබිණ. විශේෂයෙන් ම එදා සිදුවීමෙන් පසු මා මදුරාපුර මැදුරට පැමිණියේ මධාරා අක්කා අත්‍යාවශ්‍ය කාරණයකට කතා කළොත් පමණකි. එද ලෝචන ගෙන් හැකි තාක් දුරස් වී හිඳින්නට උත්සාහ කළෙමි. ඒ පෙර කවදාටත් වඩා දැන් මා මදුරාපුර මැතිණියට බිය වීම නිසා ය.

“අපේ අම්ම ඔයාට අකමැති වෙන්නෙ නෑ නිබ්බුතා”

කියා එදා මධාරා අක්කා කීවේ නැත. ඇය කීවේ ඕනෑ ම දේකට කලාවක් වෙලාවක් ඇති බව පමණකි. ඒ කියන්නේ මා වෛද්‍යවරියක ලෙස සමාජ ගත වන මතු යම් දිනයෙක, ඇතැම් විට ඇගේ කැමැත්ත ලැබෙනු ඇති බවයි. නමුත් එය නො ලැබෙන්නට වුව පුළුවන. නො ලැබෙනවා නම් දින නියමයක් නැතිව ඒ දවස කල් දමා ගනු වස් මට කළ හැකි දේකට වන්නේ හැකි තාක්, අඩු තරමින් මදුරාපුර මැදුරේදීවත් ලෝචන ට දුරින් හිඳීමයි. 

අප අළුයම අවදි වනු වස් කලින් නින්දට යා යුතු වූවත් එදා මදුරාපුර මැදුරේ වූ ඥාති හිත මිතුරන් නිසාවෙන් නිදිමතක් අසලකට ආවේ නැත. හැම පැත්තෙන් සිනා කතා හඬවල් ඇසිණ. තේ පැන් සංග්‍රහ පැවතිණ. අම්මාට ද කුස්සියේ වැඩ වැඩි වී ද ඇය ඒවා කළේ සතුටෙනි. මල්ලී තනිව ගෙදර සිටීම ගැන පමණක් ඇය කණගාටු වූවා ය. නමුත් ඔහු තරමක් රෑ වන තුරු පාඩම් කිරීමට කැමති වීම ගැන මම සතුටු වීමි.

තේ එකක් ගෙන මා ලෝචන ගේ කාමරයට ගියේ ද කුස්සියේ සිටි කාන්තාවක මට එසේ කී නිසා ය. පරිස්සම් සහිත ව හැසිරුණු මම එය ඔහු ගේ මේසය මත තබා ඉක්මනින් එන්නට හැරුණෙමි. නමුත් ලෝචන “මොකද දුවන්නෙ” කියමින් මගේ අතක මැණික් කටුව ළඟින් තද කොට අල්ලා ගත්තේ ය.

“ස්…කවුරුත් දකී අනේ. කට්ටියත් ඉන්නව”

මම අත මුදවා ගන්නට තැත් කළෙමි. ඔහු තව තවත් ග්‍රහණය දැඩි කළේ මා නො සන්සුන් කරවීමට බව මම දනිමි. 

“අනේ අයියෙ…”

මගේ බැගෑපත් වීම අස ඔහු අත මුදා හළ ඉක්බිති, යන්නට දොර වෙතට හැරෙත්දී දුටු දසුනෙන් මම එහෙම ම ගල් වීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...