ඉරිසියාව

තොල් ආලේපන ගල්වමින් හිටපු යුරේනි, මිදුලේ වාහනයක් නවත්වන හඬ නිසා අත ඉක්මන් කළා

” යුරේනී.අන්න නංගි ඇවිල්ලා. ඔයා ලෑස්තිද ? “

පැතුම් කාමරයට ආවේ එහෙම අහන ගමන්.යුරේනි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්ම අමීෂා කාමරයට ඇතුලු වුණා

” වද දෙන්නෙ නැතුව ඉක්මනට ඔෆිස් යන්නකෝ අයියේ “

අමීශා හිනා වෙන ගමන් පැතුම්ගේ පිටට තට්ටුවක් දැම්මා

” නෑනලා දෙන්නා කොහේ යන්නද මේ ලෑස්ති වෙන්නෙ දැන් ? “

” ඒව ගෑණු ලමයින්ගේ ගමන් .ඔයාට වැඩක් නෑනෙ ඒවගෙන් “

” මෙයාට මේ බඩු වගයක් ගන්න ඕනෙලු පැතුම්.මටත් කුස්සියට ඕන බඩු වගයක් තියෙනවා ,අපි ඒවා අරගෙන එන්නම්.කොහොමත් හවස් වෙන්න කලින් එනවා “

යුරේනි කිව්වේ ඉක්මනින් කොන්ඩෙ පීරගෙන අත්බෑගයත් අතට ගන්න ගමන්.පැතුම් ගේ නංගි උන අමීෂා යුරේනිට නෑනා වුණත් දෙන්න හිටියේ හොඳම යාලුවන් වගේ.

” බලාගෙන යුරේනි මේ රූපසුන්දරීව පාරේ එක්කගෙන යන්නේ .කොල්ලන්ගෙන් බේරගන්න බැරි වෙයි “

පැතුම් හිනා වෙමින් එහෙම කිව්වේ කාලෙකට කලින් ගුවන් සේවිකාවක් හැටියට සේවය කරපු රූපයෙන් ඉතාම ලස්සන තමන්ගේ නංගි දිහා බලන ගමන්.

” ඔයා ලොකු කල්පනාවක නේද ඉන්නේ අමීෂා ?”

රිය ධාවනය කරන අතරේ අමීෂා ලොකු කල්පනාවක ඉන්න බව කීප වරක්ම දැනුන නිසා යුරේනි ඇහුවා

” හ්ම්ම් “

” මොකද අනේ ? හස්බන් මතක් උනා ද ? “

” නෑ. එයාගේ අක්කව මතක් උනා “

අමිෂා එහෙම කියද්දී යුරේනි මහ හඬින් හිනා වුණා

” විහිළු නෙමෙයි යුරේනි.මට ඇත්තටම මතක් උනේ එයාව “

” ඒ මොකද ඒ ? “

” උදේ මම එන්න ලෑස්ති වෙනකොට , එයා උදේම ආව අපේ ගෙදර.සහන්ගෙන් සල්ලි වගයක් ඉල්ලගන්න. මගෙන් ඇහුවා කොහේ යන්නද ලෑස්ති වෙන්නෙ කියලා උදේ පාන්දර.මම ඉතින් කිව්ව බඩු වගයක් ගන්න එළියට යනවා කියලා “

” ඒ පාර ? “

” අපේ මල්ලි හොඳට හම්බ කරන හින්දා හොඳයිලු. මෙයාට ඕන ඕන විච්චූරණ කරන්න මාසෙකට සෑහෙන ගානක් යනවා ඇති ලු “

එහෙම කියපු අමීෂා සුසුමක් හෙලුවා.තමන්ට මිතුරියකට වගේ සලකන නෑනාට ලැබිලා ඉන්න නෑනා ගැන යුරේනිට දැනුනේ දුකක්.

” මගේ තාත්තගේ බිස්නස් වලට වගේම සහන්ගෙ බිස්නස් වලටත් මං උදව් කරනවා. ඉතින් ඒ දෙන්නම මට සල්ලි දෙනවා. අනික මම airline ඉද්දි සෑහෙන්න හම්බ කළා.සල්ලි කියන්නේ මට අලුත් දෙයක් නෙමෙයි යුරේනි. අනික මම හස්බන් ගෙන් සල්ලි කඩාගන්න ජාතියේ වයිෆ් කෙනෙක් නෙමෙයි “

” ඉතිං නෑනා ඕවා දන්නේ නැද්ද ? “

” දන්නවා .එයා තාම මැරි කරලා නැහැ.අපේ ගෙදර ආවොත් හරි මම එහේ ගියොත් හරි මොකක් හරි හින්ට් එකක් මට ගහනවාමයි එයා. මම ඉන්න විදිහට එයා කැමති නැතුව ඇති “

” ඔයා ඉන්න විදිහ සහන්ට අවුලක් නැත්නම් එයාලට කොහොමත් අවුලක් වෙන්න විදිහක් නෑනෙ නේද ? “

” මයන්ති අක්කා හිතාගෙන ඉන්නෙ සහන් එයාගෙ සැලරි එකෙන් කොටසක් අනිවාර්යයෙන්ම එයාලටත් දෙන්න ඕනේ කියලා.ඒ නිසා හැම මාසෙම මොකක් හරි කියාගෙන සල්ලි ඉල්ලගෙන එනවා.සහන් එයාලට සලකන එක මට කිසිම ප්‍රශ්නයක් නැහැ යුරේනි. මාව දකින දකින සැරේට හින්ට් ගහන එකයි මට ඉවසන්නම බැරි “

” මිනිස්සු හැමවෙලේම ඉරිසියා කරන්නේ තමන්ට වැඩිය අඩියක් හරි උඩින් ඉන්න අයට. ඒ නිසා අක්කා ඔයාට ඉරිසියා කරන එක ගැන ඔයා සතුටු වෙන්න අමීෂා “

රිදිලා තිබුණු අමීෂා ගේ හිත සුවපත් කරන්න යුරේනිගේ ඒ වචන ටිකම ප්‍රමාණවත් වුණා.සාප්පු සවාරියේ යෙදෙන කොට සහන්ගෙ ගෙදර අයටත් තෑගි ගන්න අමීෂා අමතක කළේ නැහැ.තමන්ගේ නෑනාගෙ හිත මොන තරම් හොඳද කියල තේරුම් ගන්න යුරේනිට ඒ ටිකම ප්‍රමාණවත් වුණා

යුරේනිව ගෙදර ඇරලවපු අමීෂා කෙලින්ම ගියේ සහන්ගෙ මහගෙදරට.තෑගි බෝගත් අරගෙන ගෙට ගොඩ වෙන අමීෂාව දැකලා ඇගේ නෑනා උන මයන්ති කට කොනකට හිනාවක් නගා ගත්තා

” ඕං එනවා ලකුණු දාගන්න. අපේ අම්මලාත් මේවට රැවටෙනවා නේ “

මයන්ති එහෙම කියනකොට ඇත්තටම ඒ වෙලාවේ අමීෂා ගේ හිත රිදුනෙ නැහැ.

” අනේ දරුවෝ මේ තෑගි බෝග උස්සගෙන එන්න මොකට කරදර වෙනවද ? “

” හැමදාම අරන් එන්නේ නැහැ නේ අම්මේ.මම අපේ අයියගෙ වයිෆ් එක්ක අද එළියට ගියා. මට බඩු ගන්න ගමන් ඔයාලටත් මේවා ගත්තා “

” ඒකිත් මේකි වගේම නැට්ටිච්චියක් වෙන්න ඇති එහෙනම් “

මයන්ති ඇහෙන නෑහෙන ගානට කියපු කතාව උනත් ,අමීෂාට හොදටම ඇහුණා.

සහන්ගේ අම්මා අමීෂා ගෙනාපු තෑගි බෝග දිග ඇරලා බැලුවේ ගොඩාක් සතුටින්.මයන්ති අත්දෙක බැඳගෙන උලුවස්සට හේත්තු වෙලා ඒ දිහා බලාගෙන හිටියේ මුහුණේ හිනාවක්වත් නැතුව.ඒ තෑගි බෝග අතරේ තමන්ටත් මොනවා හරි තියනවා කියලා මයන්ති. දැනගෙන හිටියා.අමීෂා ගියාට පස්සේ ඒවා අරගන්නයි මයන්ති හිතාගෙන හිටියේ

” ඔයා වගේ ලේලි කෙනෙක් ලබන්න මම කොච්චර වාසනාවන්ත දරුවෝ.ඔයා දන්නවද මෙහෙට ආව මගේ යාළුවෙක් ඔයාලගේ wedding ෆොටෝ එක දැකලා කිව්වා මට ඉන්නෙ රූප සුන්දරියක් වගේ ලේලි කෙනෙක් කියලා “

සහන්ගේ අම්මා කතා කළේ අමීෂා ව අතගාන ගමන් . ඇගේ කරුණාවන්ත හඬට අමීෂා ගෙ හිත තවත් සුවපත් වුණා

” අනුන් දිහා බලලා උනත් සතුටු වෙන්න පුළුවන් හිත ලස්සන මිනිස්සුන්ට විතරයි අම්මේ. අපිට ඔය සමහර මිනිස්සු ඉරිසියා කරනවා නේද? එයාලා දන්නවා එයාල කොහොමත් අපිට වඩා පහලින් ඉන්නේ කියලා “

අමීෂා බොහොම සන්සුන් හඬින් එහෙම කියනකොට පැත්තක හිටපු මයන්ති කේන්තියෙන් ගස්සගෙන කාමරේට යනවා අමීෂා ඇස් කොනෙන් දැක්කා

More Stories

Don't Miss


Latest Articles