ආතුරයන් මැද ආදරෙන් 3

“උඹ කෑවද පුතේ”..

කියල අහන ගමන් කේසර වාහනයට නැග්ගේ ආරක්ෂක නිලධාරියා දුවගෙන  ඇවිල්ලා වාහනේ දොර ඇරපු පැත්තෙන් නෙමෙයි .ජාදු එක්ක හරි හරියට ඉදිරිපස ආසනයට.

“ඔව් ලොකු සර් මම කෑවා.”..

“කොතැනවත් නවත්තන්න බෑ ගෙදරටම යමං”..

ජාදු ආරක්ෂක නිල පොලිස් නිලධාරීන්  ඉස්සරවෙලා පාර පැහැදිලි කරලා දෙනකම් බලාගෙන හිටියා.ඉක්මනින්  ජාදු වාහනය පාරට එකතු කළා.වෙනදට වඩා කේසරගේ මූණ පුදුම විදිහට වෙනස් වෙලා තියෙන බවනම් ජාදුට පෙනුනා .

“ඇයි ලොකු සර් මොකක්ද අවුල…”

” කොල්ලෝ හරි ගියොත් ආත්ම හතක් ගොඩ…”

” වැරදුනොත් සර්…”

” වැරදුනොත්ද… වැරදුනොත් මට වැලලෙන්න මහ පොළොවත් ඉඩ මදි වෙයි කොල්ලෝ..පරම්පරාවම ඉවරයි.”..

“මොකක්ද ලොකු සර් ඔය තරම් අමාරු ගේම”..

” මේකනම් ඇත්තටම යකාගේ ගේමක්  තමයි බං… මේ සැරේ තියෙන්නේ ඇඟ සීතල වෙන ගේමක්… සංකර් කියන්නේ අමුම අමු ත්‍රස්තවාදියෙක් බං…
ඒකට අපේ ලොක්කා කැමති හින්දනේ ඌට බර ගානක් ගෙවලා ඌව ගෙන්න ගෙන තියෙන්නේ..අපි විරුද්ධ උනා කියලා වැඩක් නෑ. අපිට කරන්න දේකුත් නෑ. ඒකගෙ ප්ලෑන ක්‍රියාත්මක කරන්න උදව් කරන්න විතරයි අපිට තියෙන්නේ…”..

ජාදු ඇස් දෙක සම්පූර්ණයෙන්ම මහ පාරට තියලා වම් කන සම්පූර්ණයෙන්ම කේසර වෙනුවෙන් වෙන් කලා..

“ඒ කිව්වේ සර්… මට තේරුනේ නෑ”….

” මේ පාර අප්‍රියල් මාසේ පෝයයි පාස්කුයි  දෙකම වැටිලා තියෙන්නේ එකම දවසේ…මේ යකාගේ මේ ගේම් එක පටන් ගන්නෙ එදාලු”….

ජාදුට වාහනය නවත්තලා නිශ්චලව මේ කතාව අහන්න ඕන උනත් පිස්සු බල්ලෝ රොත්තක් වගේ පිටිපස්සෙන් එන ආරක්ෂක ඩිෆෙන්ඩරය නලාව ගහගෙන ලයිට් විහිදාගෙන එනවා පේන එක පුදුම වදයක් වුණා.ආරක්ෂකයෝ රෑන උත්සාහ කලේ ඩිෆෙන්ඩරේට පිටිපස්සෙන් එන කාර් එකේ මේ වටිනා කියන ඇමති ඉත්තා ඉන්න බව පෙන්නන්න.. ඒ උනාට ඇත්තටම ඉත්තා හිටියේ මේ නිල රථ පේළියේ  ඉදිරියෙන්මයි.

මේ බූරුවො හිතාගෙන ඉන්නේ සර්ව ආරක්ෂා කරන්නේ උන් කියලා. මට බැරිද මගේ ලොකු සර් රැක ගන්න.. මට මුන්ව පෙන්නන්න බැහැ….
ජාදු  වචනයෙන් නොකිව්වට හිත යටින් හිතුවා.

ජාදු මුකුත්ම ප්‍රශ්න අහන්නේ නැතුව දිගටම අහගෙන හිටියා. කේසරට වුවමනාව තිබුණේ මේ තිරිසන් යෝජනාවේ භයානකකම වෙන කෙනෙක් එක්ක කියලවත් ටිකක් හිත නිදහස් කරගන්න.

” ප්‍රධාන පල්ලි දෙකක පාස්කු පූජාව වෙලාවේ බෝම්බ පුපුරවන්න උන්  ලෑස්ති කරගෙන.. ප්‍රධාන පන්සල් තුනක උදේ සීල ව්‍යාපාර වලදී ඒ වගේම බෝම්බ පුපුරවන්න උන් ප්ලෑන් එක හදාගෙන”…

ජාදු එක පාරටම බ්‍රේක් පාරක් ගැහුවේ කවදාවත් මෙහෙම එකක් අහන්න හිතලවත් නොතිබුණ නිසා.තමන්ට තමන්ගේ කනවත් විශ්වාස කරගන්න බැරි ගතියක් ජාදුට දැනුනා.

“ලොකු සර් ..එතකොට… එතකොට…!”

කියලා ජාදුට ගොත ගැහෙන කොට පිටිපස්සෙන් ආපු හමුදා ඩිෆෙන්ඩරය වේගයෙන් හෝන් ගහගෙන මග නතර වුණු ඇමති රථය ආවරණය කළේ වෙන මොකක් හරි කරදරයක් කියලා හිතලයි.

මේ පිස්සොත් එක්ක නං කියලා ජාදුගේ මූණ තරහෙන් පිපුරුවා. කේසර ජාදුගේ වම් අතට හෙමිහිට තට්ටුවක් දාලා කිව්වේ කලබල වෙන්නේ නැතුව යමු කියලයි. වචනයක්වත් කතා නොකරපු ජාදු ආරක්ෂක වාහන එක නූලෙන් බේරලා තමන්ගේ වාහනය පාරට ගත්තා. කලබලයක් කියලා හිතාගෙන ඒ වෙනකොටත් කේසරගේ වාහනය පැත්තට දුවගෙන එමින් උන්නු ආරක්ෂක බල ඇණිය කට ඇරන් බලන් හිටියේ හිතුවෙවත් නැති විදිහට ජාදුගෙ වාහනය විදුලි වේගයෙන් පාර දිගේ යනවා පෙනුන හින්දයි..තත්පර ගණනකට හරි අර බූරුවන්ගෙන් ගැලවුණා කියලා ජාදු ට ආවෙ පුදුම සතුටක්..

” ඒ බල්ලො එනවා මොකද උනේ බලන්න…”

ජාදු හෙමිහිට කියපු වචන ටික කේසරට ඇහුනු නිසා කේසරට පුංචි හිනාවක් ගියා. “

ජාදු  පුතේ “…

මේ ආමන්ත්‍රණයෙන් ජාදු ව නිවන්න පුළුවන් බව කේසර දැනගෙන  හිටියා. “

ඒ ගේම් එකේ බර වැටෙන්නේ අන්තවාදීන්ගේ කණ්ඩායමකගේ එකවුන්ට් එකට…ඒ ගේම් එකෙන් පස්සේ   චන්දෙට ඉතුරු වෙලා තියෙන්නේ තව සතියයි… ඒ සතිය පුරාම අපි කතා කරන්නේ රස්සා ගැනයි කෑම ගැනයි සමෘද්ධි ගැනයි නෙවෙයි. අපේ ජාතිය ආගම අර අන්තවාදීන්ගෙන් බේරගන්න ක්‍රමය ගැන.ජයමහගේ ආණ්ඩුව බොහොම තදින් මේ වෙලාවේ සුළු පක්ෂ එක්ක එකතු වෙලා ඉන්නේ..
ඒ හින්දා අපි වැඩි වැඩියෙන් දේශපාලන රැස්වීම්වලදී කතා කරන්න ඕනේ අපේ තනි ජාතියක තියෙන බලවත්කම ගැන..අපේ ප්‍රධාන ජාතිය බලවත් වෙච්ච ආණ්ඩුවක් පිහිටවීමේ තියෙන වැදගත්කම ගැන..ජයමහලගේ වගේ කලවං වෙච්ච ආණ්ඩුවක් පත්වුණොත් අපේ මිනිසුන්ට වෙන්නේ මොකක්ද කියන එක..නැති බොරුවක් තමයි ඉතින් මවන්න වෙන්නේ… ඒ වගේම ආපහු සැරයක් බලයට පත්වෙන අපේ පාර්ලිමේන්තුවකදී මේ අපරාධය සම්පූර්ණයෙන්ම විසඳනවා කියලත් අපි පොරොන්දු වෙනවා.”…

“මාර ගේමක් නෙ සර්… “

ජාදු එහෙම කිව්වේ ඊට යටින් තමාගේ හිතේ තවත් අණ්ඩපාල වැඩකට පිඹුරුපත් අදින ගමන්මයි.

” එතකොට සර් මේ බෝම්බ පිපුරුමෙන් සෑහෙන  මිනිස්සු ගානක් මැරෙයි නේ..”

” ඔව් බං..ඒ උනාට ෂංකර් කියන්නේ ඒක මැරෙන මිනිහෙකුට ඡන්ද දහදාහා ගානේ අපේ පක්ෂෙට වැඩි වෙනවා කියලයි.මිනිස්සු මැරෙන තරමට මේ ගේම් එක සාර්ථකයි කියලයි ඌ කියන්නේ…ඒකනේ මම කිව්වේ ඌ  අමු ත්‍රස්තවාදියෙක් කියලා”…

“ඉතින් ලොකු සර් ඌ ප්ලෑන් කරලා තියෙන්නෙත් අපේ මිනිස්සු මරන්නමනේ…”

” ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා කියන්නේ ඔන්න ඕකට තමයි බං..”

වර්ණ විලාවට වාහන පේළිය එනකොට පාන්දර එකත් පහුවෙලා තිබුණා.

“ලොකු සර්… ලොකු සර්ට මහන්සිද”…

” ඔව් බං.. ඇයි ..”

“ලොකු සර් කවද්ද ඔය වැඩේ වෙන්න යන්නේ…”

“ලබන පෝයටනෙ බං”.

“ලොකු සර්… අර පන්සලේ උදේට සිල් ගන්න වැඩේ”..

” ඔව්.. මොකද ඉතින් උඹ කියන්නේ? …”

“කොහොම හරි නර්මදා මිස්ගේ මහත්තයව ගෙන්න ගන්න පුළුවන් නම් ..සිල් ගන්න….
නෑ මං මේ කිව්වේ …මං කිව්වේ එතකොට කාටවත් සැකයක් නෑ…ලොවෙත් බැරිවෙයි උනේ මොකක්ද කියලා  හිතාගන්න.. කිසිම කුණක් ගාව ගන්නේ නැතුව අපේ කිසිම සලකුණක්වත් අහුවෙන්නේ නැතුව අපිට පුළුවන් මිනිහව ගේම් එකෙන් අයින් කරලා දාන්න..”..

“අයිසෙ ජාදු! “

කේසරගේ ඇස් දෙක අයිස් කැට දෙකක් වගේ සුදු පාට වුණා.

“පුතේ උඹ නං”…

ජාදුගෙ මූණ කේසර අත් දෙකෙන් මිරිකල අල්ල ගත්තා. එතනින් එහාට කේසරට කතා කරගන්න බැරුව ගියා.

” යකෝ උඹනේ දවසකටත් රජ බඩුව.”….

දැන් ඒක වෙලා කොච්චර කල් ගිහින්ද… ඊට පස්සේ කොයිතරම් දේවල් වුනාද …එදා ඡන්දයෙන් දයාවංශ ලොක්කා ගිලෙන තරමට මනාප ගලාගෙන ආවා. කෙස් ගහක තරං වත් දෙයක් අහු නොවෙන්න හැමදේම නූලට රූලට ගලපන්න කේසරට පුළුවන් වුණ එක ගැන දයාවංශ ලොක්කා උන්නේ කියාගන්න බැරි තරම් සතුටකින්..බන්දුල කියන්නේ බිතු සිතුවමක් වගේ හෙලවෙන්නෙවත් නැති අමුතුම මිනිහෙක් කියලා කේසර හොඳටම ඉගෙන ගත්තේ මේ සිද්ධියෙන්. සංකර්ගේ මාස්ට ප්ලෑන් එක ඇතුලේ ජාදුගෙ  මයිනර් ප්ලෑන් එක ක්‍රියාත්මක වුණු විදිහ ගැන කේසර පුදුමෙනුත් පුදුම උනා.නර්මදා  අදටවත් දන්නේ නෑ ශාන්ත කවදාවත් නැතුව එදා සිල් ගන්න ගියේ ඇයි කියලා. ශාන්තට සිල් ගන්න යමු කියන අදහස ඔලුවට දාන්න කේසර කළේ ශාන්තගේ හොඳම යාළුවා වෙච්ච ප්‍රියංකරට පොඩි ගානක් දීම විතරයි .
හැම අග මුලක්ම තේරිලා ප්‍රියංකර  කේසර හොයාගෙන ආවේ පිස්සෙක් වගේ.

“තමුසෙ මහා බල්ලෙක් කේසර… මං ඇත්තටම හිතුවෙ තමුසෙ ශාන්තව සිල් ගන්න යවන්නේ ඒ කියපු විදිහටම උගෙ බිස්නස් හදාගන්න තානාපතියෙක් අල්ලගන්න වෙන්න ඇති කියලයි. ඌට හිත හදාගන්නත් උදව්වක් දෙන්නත් එක්ක තමයි  මං ඌව කොහොමහරි එදා පන්සලට තල්ලු කළේ..”

“එතකොට ප්‍රියංකර මහත්තයා මගෙන් සල්ලි ගන්න කොට හිතුනෙ නැද්ද ඒ ඇයි කියලා”…

“ඔව් දෙයියනේ …ඔව්.. ඒක මගේ මෝඩකම …පෙරේතකම…
මම හිතුවේ තමුසෙ ශාන්තට හැබෑවටම උදව් කරන්න ඕනි හින්දා මාව කොහොමහරි ඒකට සම්බන්ධ කරගත්තා කියලා .
ඒ විදිහට මට සල්ලි දුන්නේ ඒ වැඩේ කරගන්න තමුසෙට තිබිච්ච හැබෑ උවමනාව හින්දා කියලා. තමුසේ ශාන්තගේ ගෑනි එක්ක නටන නැටුම් මම දන්නවා. ඒ සේරම ශාන්ත මට කියලා තියෙනවා.. මම හිතුවා තමුසේ ඒ හින්දා මේ ප්‍රශ්නෙදි මාව සම්බන්ධ කරගෙන ශාන්තට උදව් කරන්න හදනවා කියලා.මට ඇත්තටම දැනුයි තේරෙන්නේ තමුසෙ කරපු අපරාධය.තමුසෙ බෝම්බය පුපුරනවා කියලා දැනගෙන හිටියා.කවදාවත් නැතුව ශාන්තව පන්සලට තමුසෙ ගෙන්නුවේ ඒකයි.තමුසෙල තමයි බෝම්බ තිබ්බේ.කොහෙවත් නැති අන්තවාදියෝ නෙමෙයි.
දැනගන්නවා මම මේක ලේසියෙන් අත අරින්නේ නෑ.. මං මේක හැමෝටම කියනවා”….. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles