මගහැරගත් හීන

උමාලි ලස්සනට ඔතපු බත් පාර්සලය මේසය උඩින් තිබ්බෙ චේතන ඒ වෙනකොට හිටියේ නානකාමරයේ නිසා.

” ගෙදරට ඕන බඩු වගයක් තියෙනවා.හවසට ගන්න යමුද චේතන ? “

ටයිපටිය සකස් කරමින් කාමරයෙන් පිටතට ආපු චේතනගෙන් උමාලි ඇහුවේ බඩු ගන්න තියෙන උවමනාවටත් වඩා, දවස් ගණනාවකින් චේතන එක්ක කොහේවත් යන්න බැරිවුණ නිසා

” මට බඩු ලිස්ට් එක එවන්න. මම එනකොට අරගෙන එන්නම්.ගෙදර ඇවිල්ලා ආපහු බඩු ගන්න යන්න බෑ මට මහන්සියි “

චේතන කතා කළේ නොරිස්සුමෙන්.මේසේ උඩ තිබුණු කෑම පාර්සලය ගත්ත චේතන කඩිමුඩියේ වාහනයට නැගලා යන්න ගියා.උදේ පාන්දර නැගිටලා ගෙදර වැඩ බාගෙට බාගයක්ම ඉවර කරලා තිබුන නිසා උමාලි ජංගම දුරකථනයත් අරගෙන වාඩි වුණා. උමාලිගේ පාසල් මිතුරියක් වුන පූර්ණි ඇගේ සැමියා එක්ක ගිය බැංකොක් සවාරියේ ඡායාරූප එක්ක පළකරපු ෆේස්බුක් සටහන උමාලි දැක්කේ එතකොට

” චේතනට තමයි මාත් එක්ක ෆුඩ් සිටි එකට යන්නවත් වෙලාවක් නැත්තේ “

උමාලි හිතුවේ සුසුමක් පිට කරන ගමන්.

” ඔයා ජොබ් කර කර මහන්සි වෙන්න ඕනෙ නැහැ උමාලි. මට පුළුවන් ඔයාව බලාගන්න “

අතීතයේ දවසක චේතන උමාලිව මුණගැහුණු වෙලාවක කිව්වේ එහෙම.විශ්ව විද්‍යාල ගමන අවසන් කරලා රැකියාවක් ලැබෙනතුරු තමන් ඉගෙන ගත්ත විෂයට අදාළව අමතර පන්ති පවත්වමින් හිටපු උමාලි රැකියා සිහිනය අත ඇරියේ ඊට පස්සේ.

” ඩිග්‍රී එකක් තියෙන එක ගෑනු ළමයෙකුට හොඳයි.ඔයා කැමතිනම් මැරි කළාට පස්සෙත් ඔය විදිහට ක්ලාස් කරන්න.ඕනෙනම් පස්සේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්නේ”

චේතනගේ හැම වචනයකටම උමාලි එකඟ වුණේ , තමන්ගේ හීන හැබෑ කරගන්න චේතන ඉදිරියේදී සහයෝගය දෙයි කියන බලාපොරොත්තුවෙන්.ඒ හීන , හීනම විතරක්ම උන විදිය උමාලි කල්පනා කරේ උපාධිය අවසන් කරපු දවසේ ගත්ත ඡායාරූපය අත ගාන ගමන්

” අපි මේ වීක් එන්ඩ් එකේ කොහේ හරි යමුද චේතන ? “

රෑ කෑමෙන් පස්සෙ රූපවාහිනියේ නාලිකා මාරු කරමින් වාඩිවෙලා ඉන්න චේතන ලඟට ඇවිත් උමාලි ඇහුවේ එළඹෙන සති අන්තයේ දෙවන විවාහ සංවත්සරය යෙදිලා තියෙන නිසා

” අපෝ මේ වීක් එන්ඩ් එකේ නං හෙලවෙන්නවත් බෑ මට “

” අනේ චේතන. මොකක් හරි කරලා free වෙන්න බලන්නකෝ. wedding anniversary එකට වත් ඔයාට මාත් එක්ක ඉන්න ඕනේ නැද්ද ? “

උමාලි එහෙම ඇවිටිලි කරද්දි චේතන ඇය දිහා බැලුවේ තරහෙන්

” මම මේ මොකක් හරි කරලා ගොඩ යන්න බලනවා.ඔයා මෙතන විකාර කතා කරනවා ඒ අස්සෙ “

උමාලිගේ මූණ අඳුරු වලාවකින් වැහිලා යන හැටි නොදැක්ක චේතන රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා නිදන කාමරය පැත්තට ගියේ කෝපයෙන්.

” තාත්තයි මමයි දුක් මහන්සියෙන් ඔයාට ඉගැන්නුවෙ මේ විදිහට ගෙදරට වෙලා ඉන්න නම් නෙමෙයි දූ “

උමාලිගේත් චේතනගේත් විවාහ සංවත්සරය යෙදිලා තියෙනවා කියලා අමතක නොකරපු උමාලිගේ දෙමව්පියන් ඔවුන් දෙදෙනාව බලන්න ආවත් ඒ වෙලාවේ චේතන ගෙදර හිටියේ නැහැ. කාර්යාලයේ හදිසි කටයුත්තක් යෙදිලා තියෙනවා කියලා චේතන එදා වෙනදාටත් වඩා කලිනුයි ගෙදරින් පිටත් උනේ.

” මම මොන හරි කරන්න තමයි හිතාගෙන ඉන්නේ තාත්තේ. ඊයේ රෑත් චේතන එක්ක ඒ ගැන මම කතා කළා “

හදවතට එරෙහිව උමාලි දුන්න ඒ පිළිතුරෙන් ඇගේ දෙමව්පියන් සෑහීමකට පත්වුණේ නැහැ

” අවුරුදු දෙකක්ම අපරාදේ නේද ? නිකන් නාස්ති වුණා. මොකක් හරි ඉක්මනට බලන්න ළමයෝ.හොඳ රස්සාවක් කළොත් ඒක ඔයාටමනේ හොඳ “

රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය ඒ වෙනකොට ඇත්තටම උමාලිටත් දැනෙමින් තිබුණා.

” ඔයා රස්සාවට ගියාම මේ ගෙදර වැඩ ටික කවුද කරන්නේ ? ගෑනු රස්සාවල් කරනකොට ගෙවල් අපායවල් වෙනවා “

හවස ගෙදර ආව චේතන ගෝරනාඩු කළා

” අම්මලා ඇවිත් ඔයාගේ ඔලුව අවුල් කරලා ගිහින්ද කොහෙද. අනිත් එක රස්සාවක් කරන්න හදන්නේ ඔයාට මොනවයින් අඩුපාඩුවක් ද උමාලි ? “

” අඩුපාඩු තියෙන නිසා නෙමෙයි චේතන. මම ඉගෙනගත්ත දේවල් අපරාදෙනෙ.අම්මලා කියන්නෙත් ඒකයි. ජොබ් එකයි ගෙදර වැඩයි සේරම බැලන්ස් කරගන්න මට පුළුවන් “

කෝපයෙන් රත් පැහැ ගැන්වෙලා හිටපු චේතන නිහඬවම අහක බලාගෙන හිටියා. උමාලි රැකියාවක් නොකල යුතු බවමයි ඔහුගේ මතය උනේ.වාද විවාද කර ගැනීමෙන් හිත් රිදවීම් පමණක් ඇති වෙන බව තේරුම් ගත්ත උමාලි එතනින් එහාට රැකියාවක් ගැන චේතන එක්ක කතා කළේ නැහැ

” මගේ batchmate කෙනෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා චේතන අනිද්දා හවස “

රෑ කෑම ගන්න අතරතුරේදී උමාලි එහෙම කිව්වේ සාදයට සහභාගි වෙන්න තමන් අවසර පතන බව හඟවනවට වඩා, එයට සහභාගී වීම අත්‍යවශ්‍යම බව චේතනට ඉඟි කරමින්.

” මට නම් එන්න වෙන්නේ නැහැ. මන්ත් එන්ඩ් එක නිසා ඔෆිස් එකේ වැඩ වැඩියි .ඔයා ගිහිල්ලා එන්න “

” එහෙනම් ඔයා එනවද මාව ගන්න රෑට ? හවසට මට කැබ් එකක් දාගෙන යන්න පුළුවන් “

චේතන එකපාරටම උමාලි දිහා බැලුවේ දැවෙන ඇස්වලින්

” දැන් මම සිංහලෙන් කිව්වා නේද මට ඔෆිස් එකේ වැඩ කියලා.ඉතිං ඒව දාල ඔයාව ගන්න එන්නද කියන්නේ ? “

” එහෙනම් ඉතින් මම රෑටත් කැබ් එකක එන්නං “

” මහ රෑ වෙලා නොදන්න වාහන වල එන්න අහන්නේ තමුසෙගෙ ඔලුව හොඳ නැද්ද උමාලි ? පාටි විතරයි දැන් අඩු. මගේ ඔලුව කන්නෙ නැතිව ගෙදරට වෙලා ඉන්නවද කරුණාකරලා ? “

කාලයකට පස්සේ මිතුරු මිතුරියන් මුණගැහෙන්න උමාලිගේ හිතේ තිබුන බලාපොරොත්තුව බිඳ වැටුණේ එහෙම.

කාලයාගේ ඇවෑමෙන් ආදරය වෙනස් වෙන බවත් , පිරිමියෙකුට ගැහැනියක් හට ලබා දිය හැකි හොඳම ත්‍යාගය ඔහුගේ කාලය සහ අවධානය බවටත් දැක්වෙන ෆේස්බුක් සටහන් උමාලි පළකරන හැටි චේතන දැක්කේ අහම්බෙන්.පහුගිය දින කිහිපය පුරාවටම උමාලි විසින් පළ කරපු සටහන් සියල්ලක්ම චේතන පරික්ෂා කලේ ඊට පස්සේ.

කාර්යාලයේ වැඩ රාජකාරි මොහොතකට නතර කරපු චේතන, ගෙවී ගිය කාලය ගැන කල්පනා කරද්දි එන්න එන්නම කාර්යබහුල වුණ තමන්ට උමාලිව මග හැරුණු බව වැටහුනා.දින කිහිපයක් මුළුල්ලේම දකින උමාලිගේ මලානික වුන මුහුණත් , ඉඳහිට වැඩිපුර ලුණු රස දැනෙන ව්‍යාංජනත් එයට සාක්ශි දරනවා කියලා චේතනට හිතුනා.අනියම් ඇසුරක පැටලුණ තමන්ගේ බිරිඳ ගැන ගැටලුවක් , තමන්ගේ මිතුරෙක් පසුතැවිල්ලෙන් යුතුව කියපු ආකාරයත් ඔහුට මතක් උනා.එයට හේතුව බිරිඳ වෙනුවෙන් කාලය සහ අවධානය නොදීම කියලා මිතුරා කම්පා වුන හැටි සිහිපත් කරපු චේතන මෝටර් රථයේ යතුර රැගෙන වහාම කාර්යාලයෙන් පිට වුණා.

” උමාලි “

චේතන ආපහු නිවසට යනකොට රූපවාහිනිය ක්‍රියාත්මක කරගෙන හිටපු උමාලිට පුටුව උඩම නින්ද ගිහින් තිබුණා.චේතනගේ හඬට ගැස්සිලා අවදි වුණ උමාලි ඔහු දිහා බැලුවේ පුදුමයෙන්

” ඔයා අද කලින් ?”

” ඔව්. මම ආවෙ ඔයාට දෙයක් ගැන කියන්න “

චේතනා බොහොම සන්සුන් විදිහට උමාලි ලඟින් වාඩි වුණා

” ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද චේතන ? “

” නෑ . ඔයා ඉස්සර ක්ලාස් කළා නේද ? “

” හ්ම්ම් “

” අපි ආයෙ ක්ලාසස් කරන්න පටන් ගමු. මගේ යාළුවෙක් ඉන්නවා institute එකක් කරන.මම එයාට කතා කරන්නම්. එයා එක්ක කතා කර ගත්තහම ඔයාට එතන ක්ලාස් කරන්න පුළුවන්නේ ?”

උමාලිගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳෙනකොට චේතන ජංගම දුරකථනය අතට අරගත්තේ මිතුරාට ඇමතුමක් දෙන්න හිතාගෙන

More Stories

Don't Miss


Latest Articles