විහඟ පියාපත් 15

අකලංක  යලි ජංගම දුරකතනය ගෙන ගීතයක් වාදනය වන්නට හැරියේය.  දිනය පුරා ශයිනි හා සමඟ වූ මුණ ගැසීම් සිහිවන්නේය. ඇය හා වූ සම්මුඛ වීම් තමා තුළ යම් කැළඹීමක් සිදු අර ඇති බව අකලංක පිළිගත්තේ තමා සමඟම කෙරූ සංවාද එක්කය. එසේ නොවන්නට මින් සුලු මොහොතකට පෙර සිදුවූ සංවාදය ගොඩ නැගෙන්නේ නැත. 

අමයුරු දිසානායක ලෙසින් ඇය හා සම්මුඛ වීමේ වාසි අවාසි ගැන අකලංක කල්පනා කලේ නැත.  ඒ වෙනුවට මෙවෙලෙහි ඇය හා සම්මුඛව සිටීම ප්‍රහර්ශණීය වග ඔහු සිතුවේය.

 ශයිනි ගැන මුලදී තිබූ නොපහන් හැඟීම ක්ශය වීම ඇරඹුණේ ඇය  පසුගිය දිනෙක එවා තිබූ පණිවිඩය සමඟය. ඇය සැබැවින්ම හෝටලය තුළ සිදුවන යම් අක්‍රමිකතා පිළිබඳව නොදැනුවත් ඇතැයි සිතා ඒ ගැන සොයන්නට ඇය ධෛර්යමත් කරන්නට සිත් වූයේ ඉන් පසුවය. ඇය සැබැවින්ම පිරිමියෙක් උනන්දු කරවන ආකාරයේ කෙල්ලකි. 

අමයුරු දිසානායක ලෙසින් ඉතා පහසුවෙන් ඇය හා සම්මුඛ වෙන මං ඇරී තිබුනාට, අකලංක ලෙසින් ඇය හා සම්මුඛ වීමේ නොහැකියාව ඔහු කල්පනා කලේ ඉන් පසුවය.  

 ඇය අකලංක පිළිබඳව සන්සුන් හැඟීම් දරනවා විය නොහැකිය. අනෙක් අතට බන්ධනාගේ හැසිරීම් සහ ඇගේ ක්‍රියාකලාපයම් සමඟ ඇය සිතා සිටින්නේ බන්ධනා තම පෙම්වතිය කියාද විය හැක. 

 සියල්ල එසේ නම්, ඇය තමා ඉදිරියේ නොසන්සුන් වූ හේතුව වටහා ගත නොහැක. ඇය සාපේක්ෂව හැඟීම් හෙළි නොකරණ  තරුණියක බව අකලංක තහවුරුව සිතා උන්නේය. 

එහෙත්,  අද දිනයේ තමා හා මුණ ගැසුණු දෙවතාවේම ඕ එලෙස හැඟීම් සඟවා ගත නොහැකිව අසරණ වූ වගද අකලංක දුටුවේය. එහෙත්, ඇයට ඒ හැඟීම් බෙදාගන්නට හෝ හෙළි කරන්නට කිසිඳු උවමනාවක් නොවූ වගද ඔහුට තිරය. 

“මොන මඟුලක් මම මේ හිතන්නේ…”

අකලංක හිස කොට්ටය යට සඟවා ගත්තේය.සවස ඇය හා වූ හදිසි ගැටීම ඔහුට සිහිවෙයි.  

ආදරය හදිසි අනතුරකැයි උපුල් ශාන්ත සන්නස්ගල ලියා තිබූ සටහනක්ද ඇසිල්ලෙන් සිහිපත් වී ක්ශය වී ගියේය. අකලංක මරා දමන්නට උත්සාහ කරන පසෙක සංවේදන ඉතා ආයාසයෙන් හිස ඔසවා ගන්නට උත්සාහ කරන බව ඔහුට සැක දැනෙන්නට ගෙන ඇත. අකලංක ඒ එසවීම සිදු නොකරන්නට මෙන් සිතමින් හිස කොට්ටය යට ඉතා තද කර ගත්තේය. 

ශයිනි වැන්නියක ජීවිතය තුළ සිටිය යුතු සීමාවද ඉතා ඉක්මනින් සලකුණු කර අවසාන කර යුතු බව අකලංක  ඒ රැයේ තීරණය කලේය. බන්ධනා සේම ශයිනිද නිවුම්කාරක නොවන වග හිතට ඒත්තු ගන්වා ඒ ගණුදෙණුව අවසාන කිරීම යහපත් ය. 

පසුදා රූගත කිරීම් සඳහා අකලංක යා යුතුව තිබුණේ උදෑසන නවයටය. ඔහු සූදානම් වී මිනි පරිඝනකය පණ ගැන්වූයේය.

මේවා සිතා බැලීමකින් තොරව අනිච්චානුගවම වෙන සිදුවීම්  පමණක් යැයි අපට දැනට සිතිය හැක.  ශයිනි  අලුතින්  කිසිත් පවසා නැත. අකලංක ට බලාපොරොත්තු බිඳීමක් වැනි යමක් දැනුණි.

ඔහු ශයිනි අමතා පණිවිඩයක් තැබුවේය.

“සුබ උදෑසනක් …”

“සුබ උදෑසනක් …”

පෙරළා සුබ පැතුම් පැමිණියේ ඔහු කිසිවක් බලාපොරොත්තු නොවි ඉවත බැලූ ඇසිල්ලටය. 

“ඉතින්…,”

අකලංක ගේ අමයුරු වේශය තවත් දොඬමලු වීම දික් ගැස්වූයේය. ශයිනිටද ඒ දොඬමලු විීමට මුහු නොවී සිටින්නට හේතුවක් වූයේ නැත. අකලංක නිසා විසිරී තැන තැන පැතිරුණු සිතුවිලි, අමයුරු ගේ ඇසුරේ එක් තැන් වී ගොඩ ගැසෙනු ඇයට පැහැදිලි වෙනසක් සේ දැනුණි.

” ඇයි අගට කොමාවක් ..?”

“කවදාවත් නවතින්නේ නැති වෙන්න.. කොමාවක් කියන්නේ බලාපොරොත්තුවක්නේ…”

“අපරාදේ..  ඔයාට තිබුණේ ගවේශණශීලී ලිපි ලියන කෙනෙක් වෙන්න නෙවෙයි, තීරු ලිපි වගේ ලියන්න…”

“ඔව් එතකොට මොණරවිල ජාලයට පුලුවන් නෙහ් ඇති තරම් මගඩි කරන්න නේද ?”

සැනින් ඕ නිහඬ විය. අකලංක ට, අමයුරු ලෙසින්  ඉදිරියට පැන තමා පැවසූයේ කුමක්දැයි වැටහුණේ ඇය තත්පර තිහකටත් වැඩියෙන් නිහඬව සිටියදීය. 

ඊළඟ නිමේශයේම කොළ පැහැති මැසෙන්ජර් සජීවී සලකුණ නැති වී ගියේය. අකලංක තම අකාරුණික ස්වරය පිළිබඳව පසුතැවීමක් තනා ගත්තේ නැත. එහෙත් , යම් නොසන්සුන්කම ක් දැනුණි.

ඇය යම් වරදක කොටස්කාරියක බව තහවුරු කර ගත්තා විනා, ඒ පරිසර විරෝධී ක්‍රියාවේ සම්පූර්ණ වැරැද්ද ඇය අතේ බවට තහවුරු කිරීමක් තවම තමා සතු නොවන්නේ නේදැයි අකලංක කල්පනා කලේ ඉන් පසුවය. 

ඇය සියල්ල පිළිබඳව සොයා බලන බවටත්, නිවැරදි කරන බවටත් පොරොන්දු දී ඇත. එපමණක් නොව, ඇය එලෙස යම් සංශෝධනයන් සිදු කරන වගට සාක්ශි තමා මෙහි සිටි පළමු දිනයේම දැක ගත්තේය. ඉතින් ; මෙවන් හැසිරීමක් ඇය වෙනුවෙන් පෙන්වීම කුහක කමකි. 

අමයුරු දිසානායක ලෙසින් ඇය හා පවතින්නට  තමාට සැබැවින්ම අවැසිදැයි අකලංක කල්පනා  කලේය.  අකලංක ලෙසින් ඇය ඉදිරියේ සිට ගැනීමට තමාට නොහැකි වන්නේ, ඇය තමා අභිබවා යන අභියෝගයක් ලෙසින් පෙනන නිසාවෙන්දැයි ඔහු තමාගෙන්ම විමසුවේය.

 අකලංක ලෙසින් හෝ අමයුරු ලෙසින් ඇය හා ඇසුරක් අවැසි වීමට මෙතරම් ඉක්මනින් සූදානම් වීමට යම් නමක් අවැසි වග ඔහු කල්පනා කරේ රූගත කිරීම් සඳහා කාමරයෙන් පිටතට යද්දීය.

.

.

.

චරිත් තිළිණි ඇමතුවේ තිළිණි වැදගත් ලිපි ගොනුවක සිරවී සිටියදීය. එහෙත්: චරිත් වෙනුවෙන් වෙන් නොවන තත්පර ඇයට තිබුණේ නැත. ඕ, ලිපිගොනුව පසෙක තබා ඇමතුම හා සම්බන්ධ වූවාය. 

එදින රැයේ ඔහු හා හික්කඩුවේ අලුතින් ආරම්භ කරන ලද හෝටලයක රාත්‍රී ආහාරයක් සඳහා චරිත් ඇයට ආරාධනා කලේ කලකට පසු තිළිණිවද  අතිශය රෝමාන්තික හැඟීමක පටලවමිනි. කෙතරම් කාර්‍යබහුල වීමක් වූවද, තිළිණි දෙවරක් නොසිතාම ඔහුට එකඟ වූවාය. සැබැවින්ම චරිත්ගේ ඉතා සමීප ඇසුර ඇයට මහාර්ඝ ව දැනුණි.

“අපි එන්නේ හෙට උදේ .. ලෑස්ති වෙලාම එන්න…”

“ඒ කිව්වේ ?”

“මං එහෙ කබානා එකක් බුක් කරා.. රෑට එහෙ ඉමු…”

“අපි දෙන්නා ? තනියෙන් ?…”

“ඇයි මීට කලින් ගෑනියෙකුයි,පිරිමියෙකුයි  එකට ඉන්නවා කියලා අහලා නැද්ද ?”

ඒ ආක්‍රමණශීලි බව හමුවේ තිළිණි ඉතා ඉක්මනින් යටත් වූවාය. දැන හඳුනගෙන වසර පහකි. පෙම් කරන්නට ගෙන වසර දෙකකි. මෙවන් යෝජනාවක් ගෙනා පළමු වතාව නොවන වගද තිළිණි කල්පනා කලාය.ඒ හැම දිනෙකම පාහේ තමා  ඔහුගේ යෝජනා එක එල්ලේම  ප්‍රතික්ෂේප කරාට පසු ඔහු එවැනි යෝජනා කලේම නැත.

 එහෙත් සිත රිදවන ඇණුම් පද ලැබුණි. තිළිණි ඒවා ඉවසා උන්නේ ඉන් එහා ඒවා වෙනුවෙන් ඇයට කල හැකි යමක් නොවූ නිසාය.  යම් යම් අවස්ථා වල එවන් ඇණුම්පද කීවා මිසෙක ඔහු ආදරයෙන් ආ හා ජීවිතය අල්ලා ගත් නිසා තිළිණි ඉතා කැමැත්තෙන් එවන් අවස්ථා අමතක කර දැම්මාය.  

 අද කලකට පසුය. තිළිණිටද , චරිත් ගේ ඇසුර ඉතා තදින්ම අවැසි බව දැනෙන සමයක නැගෙන යෝජනාවකි.

“බෑ නම් කියන්න. බුකින් එක දැන්ම කැන්සල් නොකරොත් පේමන්ට් එකේ හාල්ෆ්වත් රිෆන්ඩ් වෙන්නේ නෑ… අපරාදේ …”

චරිත් නිහැඬියාව බින්දේය. තිළිණි අතේ වූ පෑනෙන් මේසය මත වූ හාෆ්ශීට් කොළයක්පිරෙන්නට ඉරි ඇඳ තිබුණි.

“තිළිණි…”

“ම්ම්ම්…”

“බැරි නම් කියන්න ළමයා…අවුලක් නෑ… අපි මේ ගැන කතා කරලා තියෙනවා නෙහ්.. මං හිතුවේ දැන් ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන් එන්වයර්මන්ට් එකක් හැදිලා ඇති කියලා …”

“ම්ම්…”

“හරි හරි… ඔයා වැඩ කරන්න.. මං ඒක කැන්සල් කරනවා.. ඩිනර් අවුට් එකකට යමු  පස්සේ දාක…  ඔයා මෙහෙන් ඩිනර් අරගන්න …”

චරිත් එලෙස පැවසද්දී, තිළිණි ඇය එදින රැය ගත කරන්නේ කා සමඟින් දැයි තීරණය කර අවසන්ව තිබුණි.  ඕ වහා ඉදිරිපත් වූවාය.

“මං කීයටද ලෑස්ති වෙලා ඉන්නෝනි…?”

චරිත් ගේ මුවින් නැඟුණේ අතිශය ප්‍රේමාන්විත ස්වරයකි.  තිළිණි ඔහු හා එක්වෙමින් ඒ ස්වරයට සමාන්තර ස්වරයක් ගැයුවාය.

ඉතින්; දැන් ඒ රැයට සූදානම් විය යුතුය. තිළිණි ඉතා ඉක්මනින් ලිපි ගොනුවේ හිසඔබා ගත්තාය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles