මන්දාරම් හැන්දෑවක – 20

මේඝා සනසමින් සඳලිටත් බිනරටත් හිඳින්නට හැර දිනිඳු පිටව ආවේ මේඝාගේ මානසික තත්ත්වය ගැන සිතමිනි.ඈ මුහුණ දුන් කටුක අත්දැකීම් තමන් සහමුලින්ම දැන සිටින බවක් මේඝාට හඟවන්නට දිනිඳුට ඕනෑ වූයේ නැත. එනිසා ළඟම මිතුරන් සමඟ ඇයට රැදෙන්නට හැර දිනිඳු නිවස වෙත ආවේ ය. ඔහුගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.

නොදන්නා දුරකථන අංකය කවරෙක්දැයි දැන සිටියා නම් එය මඟ හරින්නට දිනිඳු දෙවරක් සිතන්නේ නැත.නමුත් රෝහලෙන් හදිසි කැඳවීමක් හෝ රෝගියෙකු අත්‍යවශ්‍ය කරුණකට අමතන්නට ඉඩ ඇති බැවින් දිනිඳු දුරකථන ඇමතුම් මඟ නොහරින්නට ප්‍රවේසම් වන්නෙකි.

“අයියේ..මං පොඩී..”

වහා දුරකථන ඇමතුම විසන්ධි කරන්නට තරම් සිතක් පහළ වුව ද දිනිඳු කිසිත් නොපැවසී ය.සමාධි සමඟ පිටව එද්දී පවා ඔහු සමු ගන්නා වග පැවසුවේ තරිඳුට ය.හිඳිනා තැනක් දන්වන්නට යැයි තරිඳු මඟින් මගට පවසද්දී පවා දිනිඳු එය අමතක කර දැමූයේ තාත්තාගෙන් සහමුලින්ම සැඟවෙන්නට ය.

“අන්තිමට නිමා මගෙ පොරොන්දුව කැඩුවා…”

බොහෝ කාලයකට පසු අයියාගේ කටහඬ ඇසෙද්දී ඔහුගේ පන්තියෙන් අසුන් ගත යුතු බව කියමින් බිම පෙරළෙමින් හැඬූ කුඩා දරුවාට පණ ඉපිදෙන වග තරිඳුට හැඟෙන්නට විය. ජනිඳුගේ අසංවර කටයුතු නිසා කෝපයත් ශෝකයත් අතර හිර වී සිටිද්දී කාලාන්තරයකට පසු අයියාගේ කටහඬ ඇසීම ඔහු හැඟීම් කන්දකට යට කර තිබිණ. අයියා හිඳින්නේ ඈත රජරට බවත් සමාධි මියගොස් කාලයක් ගතව ඇති බවත් නිමාෂා හෙළි කළ මොහොතේ පටන් තරිඳුට අයියා දකින්නට ගොස් ඔහුව වැරෙන් වැලඳ ගන්නට ඕනෑ විණි.නමුත් නිමාෂා ඒ අදහසට ඉඩ දුන්නේ නැත.

“පොඩ්ඩක් ඉවසන්න පොඩ්ඩයියේ.. ලොකු අයියා කැමති නෑනෙ අපි කවුරුත්ම යනවට..එයාගෙ හිත බිඳින්න හදිසි වෙන්න එපා..”

නමුත් සියක් කැබලිවලට බිඳී ගොස් ඇති තමන්ගේ හිත හදා ගන්නට නම් අයියා දැක ගත යුතුම බව තරිඳු තීරණය කළේ ය.

“මට තව විනාඩි පහක් යද්දී ලොකේෂන් එක ශෙයා වෙන්න ඕනේ අයියේ. ආයෙත් උඹට හැංගෙන්න දෙන්න බෑ. සමාධි අක්කටයි ඔයාටයි ඔහොම හැංගෙන්න වැඩ සිද්ධ කරපු තාත්තයි මල්ලියි අමතක කරන්න. ලෝකෙ ගෑනු වෙනුවෙන් පෙනී හිටියට තමන්ගෙ පුතාට ආදරේ කරන කෙල්ලගෙ ජීවිතේට ඕන එකක් වෙන්න ඇරලා බලන් හිටිය අම්මවත් අමතක කරන්න.. ඒත් මට මෙහෙම කරන්න එපා..”

තරිඳුගේ හඬ බිඳී ගියේ ය.දිනිඳු කිසිත් නොකියා බොහෝ වේලාවක් නිහඬව සිටියේ ය.සඳලිගේ ගෙදරින් බිනර ඉනුලිට රැගෙන ආ කුඩා පූස් පැටවුන් දෙදෙනා එකිනෙකා වැලඳ බිම පෙරළෙන අන්දම ඔහු ඇස ගැටුණේ හදිසියේ ය. වසර ගණනාවකට එහා අතීතයේ බිම පෙරළෙමින් රෙස්ලින් ක්‍රම අත්හදා බලා නහය කඩා ගත් කොලු ගැටවුන් දෙදෙනෙකු ඔහුගේ සිතට ආවේ විදුලි සැරයකට වඩා වේගයෙනි.තරිඳු හිඳින්නේ ජනිඳු නිසා බිඳීමට ලක් ව ය. තනිව ජීවත් වූ කාලයට විරාමය තැබිය යුතු බව දැඩිව දැනෙද්දී තමන් දැඩිව ආදරය කරන සොයුරා හමුවීම සතුටක් බව දිනිඳු තීරණය කළේ ය.

“ඔන්න ලොකේෂන් එක එව්වා.. කොළඹ ඉඳන් එන්න සෑහෙන වෙලාවක් යනව.. දැන් කොහොමත් එනකොට පාන්දර වෙයි..ඉගිල්ලෙන් නැතුව පරිස්සමින් වරෙං..”

තරිඳුට දැනුණේ අප්‍රමාණ සැනසීමකි.ඔහු ආපසු නිවෙස වෙත වාහනය හරවා ගත්තේ ඉක්මනින් පිට වෙන්නට සූදානම් වන්නට සිතමිනි.ඒ සමඟම ඔහුගේ දුරකථනය යළි නාද වන්නට පටන් ගත්තේ ය.

“හෙලෝ සර්. මම තාරුකා.මේඝාගෙ යාලුවා..”

අනිත් අන්තයෙන් පැමිණියේ සිහින් බියපත් කටහඬකි.දෑස් බිමට හරවාගෙන තමාටත් නිමාෂාටත් සත්‍ය නොපවසන්නට ප්‍රවේසම් වූ යෞවනිය තරිඳුට සිහි විණි.

“සර් කියන්නෙ ඇයි ළමයො.. මං තරිඳු.මේඝා ඉන්න තැන හොයා ගත්තද?”

තරිඳු ඇසුවේ කාරුණිකව ය.

“මං එයා ඉන්න තැන දැනන් හිටිය අයියේ. ඔයාලගෙන් කරදරයක් වෙයි කියලයි නොකිව්වෙ..ඒත් මේඝා බලාගන්න ඔයාලගෙ උදව් ඕනෑ කියල මට හිතෙනවා..”

තාරුකා පවසන්නේ තැවුණු හඬකිනි.ඒ අවිශ්වාසය සාධාරණ ය.තරිඳුට ඒ ගැන කෝපයක් දැනුණේ නැත.

“මේඝා ඉන්නෙ අයියේ අනුරාධපුරේ. එයාගෙ අක්කා ගාව. පෙරිමියන්කුලමේ. මම ඇඩ්‍රස් එකක් නම් දන් නෑ. ඒත් ඒ ගමේ වෙද මහත්තයගෙ ගෙදර තමයි එයා ඉන්නෙ.”

තරිඳු එය සටහන් කර ගත්තේ තාරුකාට ස්තූති කරමිනි.තව නොබෝ වෙලාවකින් පිටව යන්නේ අනුරාධපුරයට නිසා අයියා සමඟ එක් වී මේ අගතියට පත් තරුණිය සොයන්නට තරිඳු තීරණය කළේ ය.

ඒ මොහොත දිනිඳු ද ගත කළේ තීරණයකට එළඹෙන්නට ය. සාමාන්‍යයෙන් ජීවිතය ගැන තීරණ ඔහු ගත්තේ වරුණ සහ මාධවී සමඟ එක් වී ය. නමුත් මේ තීරණය ගැන එක එල්ලේ ඔවුන් හා කතා කරන්නට දිනිඳු පසුබට විණි.සඳලි සහ මේඝා නිවෙස්වලට හැරදා බිනර යළි පැමිණෙන තෙක් ඔහු මඟ බැලුවේ එනිසා ය.තමන් පෙරිමියන්කුලමට එද්දී සාමාන්‍ය පෙළ පන්තියේ කොල්ලෙකු වූ බිනර දැන් වැඩුණු තරුණයෙකි.මේ හැඟීම බෙදා ගන්නට තරම් බිනර පරිණතයැයි දිනිඳුට විශ්වාසයක් තිබිණ.අතීතයේ සියල්ල නොසඟවා තරිඳු සමඟ හෙළි කළ අන්දමටම බිනර සමඟ ද කතා කරන්නට හැකි බව දිනිඳු දැන සිටියේ ය.සියල්ලටම වඩා බිනර හොඳ සවන්දෙන්නෙකි.

බිනර බොහෝ වෙලාවක් වැය කළේ ජනිඳුට බැන වදින්නට ය.කුඩා කාලයේ පටන් ජනිඳු තුළ තිබූ ඇට්ටරකමත් අන්‍යයන්ගේ හිත් රිදවීමේ හැකියාවත් ගැන කියන්නට කතා දිනිඳුට ද විය.හැන්දෑ අහස රත් පැහැ වී බැබළෙන තුරු ඔවුන් ජනිඳු ගැන කතාබහ කළේ ය.

“මට බිනරට කියන්න දෙයක් තියනවා.. මේක ගැන අහලා බිනරට හිතෙන දේ මට කියන්න.සමහරවිට මේ කතාව අපි දෙන්නා විතරක්ම දැන ගත්තු දෙයක් වෙලා ඉවර වෙයි..සමහරවිට මං මේ ගැන අතාරින්නේ නැතුව වැඩ කරයි..”

දිනිඳු ඉනුලි ද රැගෙන නැවතත් කොළඹ යන බවක් කියන්නට යන්නේදැයි බිනර දෙගිඩියාවෙන් සිතුවේ ය.සහෝදර බැඳීමකින් බැඳී හිඳින වෛද්‍යවරයා එසේ දුරස්ව ගිය දිනෙක ජීවිතයේ හිඩැසක් හට ගන්නා බව සිතමින් බිනර ඒ කුමක්දැයි දැන ගන්නට බලා සිටියේ ය.

“මට හිතෙනව මං කෙනෙක්ට ආදරේ කරනව කියල…”

බිනර කිසිත් නොකියා බලා සිටියේ ය.ඒ ඔහුගේ හදවතට දැනෙන තැනැත්තිය වීමේ සම්භාවිතාවය කිරා මැන බලමින් ඔහු නිරුත්තර ව අසා හුන්නේ ය.දෙවියන් ඉතා හොඳ ගැළපීම් සිදු කරන බවත් ඒ ගැලපීම් එක්වන්නේ නම් බොහෝ සුන්දර බව ද බිනර විශ්වාස කළේ ය.ඔහු සඳලිව ම පතන්නේ ද එනිසා ය. දිනිඳු ආදරය කරන්නේ ඔහු වෙනුවෙන් මැවී ඇති තරුණියට නම් සියල්ල යහපත් ව අවසන් වනු ඇතැයි බිනර දැන සිටියේ ය.

“ඒත් මල්ලි මං හිතන් නෑ ඒ ළමයා මට ආදරේ කරයි කියල..මට එයාගෙන් ඉනුලිගෙ අම්මා වෙනවද අහන්න තියෙන්නෙ ගිල්ටි ෆීලිං එකක්.ඒක අහන්න උවමනා නැති ප්‍රශ්නයක් කියල මට හිතෙනවා..”

බිනර සිනාවක් නැඟී ය. දැන් ඔහුට ඒ කවුදැයි සක්සුදක් පැහැදිලි ය.ඉතා සුන්දර ආදර කතාවක් වර්ණ ගන්වා හැඩ කරන්නට තමන්ගේ පින්සල් පහර උවමනාම වෙන බව ඔහු තේරුම් ගත්තේ ය.

“අපි ආදරේ කරන අය අපිට ලබා ගන්න අමාරුයි කියන්නෙ නං දිනිඳු අයියෙ මේ ෆේස්බුක් පේජ් කාරයන්ගෙ බයිලාවක්.අයියා අමාරුම ආදර කතාවක් දිනපු මනුස්සයෙක්නෙ.ඒ නිසා තව පාරක් ෆයිට් කරන්න අයියට බෑ කියල මං නම් හිතන් නෑ..”

බිනරගේ විශ්වාසය පිරුණු හඬ දිනිඳුගේ හදවත උණුසුම් කරන්නට සමත් විණි.

“ඒ ළමයා මං මෙහෙම හිතනව කියලවත් දන්නෙ නෑ..”

දිනිඳු තිස්පස් වියැති තාත්තා කෙනෙකුගෙන් මෙපිටට විත් තමන්ටත් වඩා ළාබාල තරුණයෙකුගේ වෙස් ගෙන හිඳින අන්දම බිනර බලා සිටියේ සිනාවකිනි.තමන්ගේ දෑසට වැලි ගසමින් නිකිණි වටා දැවටෙන නම නොදන්නා පාසල් කොලුවා ඔහුගේ මතකයට ආවේ ය.

“ඉතිං මං ඒ ළමයට ඒක කියන්නං…”

බිනර කියද්දී දිනිඳු ඔහු දෙස බැලුවේ කුහුලිනි.

“උඹ දන්නවද මං කා ගැනද කියන්නෙ කියලා..”

බිනර සිනා වූයේ සැහැල්ලුවෙනි.අනතුරුව දිනිඳු ඕනෑම මොහොතක තමන්ව සමච්චලයට ගන්නට දෑසේ තවරා ගන්නා බැල්ම තමන්ට පවරා ගත් බිනර දිනිඳු දෙස බැලුවේ ය.

“මට තිස්සෙම පද හදනකොට මං දැනගෙන හිටියා ඕක වෙයි කියල.. මට හිතෙන් නෑ අපේ ඉනූ බබාට මේඝා තරම් හොඳ අම්මා කෙනෙක් හොයල දෙන්න අයියට පුළුවං වෙයි කියලා..සමාධි අක්කා වගේම අයියා ආදරෙන් පුරවන්නත් මේඝාට පුලුවං..මේඝා වැරදි මිනිහෙක් අතින් බිම වැටුණු මැණිකක්. ඒ මිනිහගෙ අයියාම ඒ මැණික ඔටුන්නකින් තියන්න හදනෙක සොබාදහමෙ ලස්සන තීරණයක් අයියෙ.. මං ඔයාට උදව් කරන්නං..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles