ඔබට ඇහෙනවනම් – 46

 මම යහනේ වැතිර අතීතය දිග සක්මන් කරමින් සිටියෙමි. ඉතා සුන්දර වූ ළමා හා යොවුන් වියක් මා ගෙවා විත් තිබිණි. තාත්තා ගේ රැකවල ඒ කාලයේ දී හිරිහැරයක් සේ දැනුණ අවස්ථා තිබුණත්, ඒ රැකවරණය තුළ මගේ නොතේරුම් වියේ ආරක්ෂාව මැනවින් සැකසී තිබිණි. දරුවන් දෙදෙනෙකු සිටින ඒ හැටි ආර්ථික දුෂ්කරතා නැති  පවුලක බාල දියණිය වශයෙන් මට කොහොමත් අඩුපාඩුවක් කියා දෙයක් වූයේ නැත. 

නමුත් තුරුණු වියෙහි දී මම මගේ අනාගතය ගැන නිවැරදි තීරණයක් ගන්නට තරම් සමාජ අවබෝධයක් ඇතිව කටයුතු නො කළෙමි. කොටින් ම තරුණ ගැහැනු ළමයෙකු වශයෙන් මා පෙම් කළ යුතු හා විවාහ විය යුතු පිරිමියා ගැන පැහැදිලි ව සිතා ඍජු තීරණයක් ගන්නට තරම් මා ශක්තිමත් වූයේ නැත. ප්‍රේමය විෂයේ මගේ සිත තුළ වූ සියලු පරිකල්පනා වලට වටිනාකමක් නැති ව ගියේ ඒවා ප්‍රායෝගික තලයේ ලා ක්‍රියාත්මක කරන්නට මට වූ දුර්වල කම නිසා ය. කවුරුන් හෝ පිරිමියෙකු හා සරණ ගිය පමණින් ජීවිතයේ පරම පැතුම පරිසමාප්තිය කරා කැඳවා ගෙන යා නො හැකි බව තේරුම් යත්දී මගේ විවාහය නීතියෙන් ම බිඳ වැටී තිබිණි.

කැඩී බිඳුණු සුන් බුන් හා නටඹුන් මතින් නැගිට ගන්නට මට ඕනා විය. ජීවිතයේ නියම වේෂය මා ඉදිරියට ආවේ එතකොට ය. මිනිසුන් වූ පමණින් සියලු මිනිසුන් එක වගේ නොවන බවත් හැම තාරකාවක් ම පායන්නේ  පාර කියන්නට නො වන බවත් මට වටහා ගත හැකි විය.

“කසුන් ගෙ අම්මට වුණත් දැං ඉවසගන්න බැරි ඔයා ආයෙ බඳින්න යනවයි කියන එකයි”

හැන්දෑවේ අම්මා කීවා ය. 

“ආයෙ දරුවව ඔයාට පැවරුවොත් ඒ කටයුත්තට බාධා වෙයි කියල තමයි හිතනව ඇත්තෙ. මිනිස්සු එහෙමයි පුතේ. තමුන්ට වැරදුණත් කමක් නෑ අනිත් අයට හරි යන්නෙ නැත්තං තමයි මිනිස්සු කැමති”

මම කසුන් ට හෝ ඔහු ගේ මවට එරෙහි ව යමක් කියන්නට නො ගියෙමි. දැන් ඔවුන් ගැන මොන විවේචන කළත් කුමට ද?  අඩු තරමින් ඒ අම්මා ට හා පුතා ට පළ දුන්නේ මට දුන් ගින්දරය කියා හිතන්නට වුව මගේ සිත් හි උනන්දුවක් වූයේ නැත.

අනිත් අතට මා සිටිනුයේ එක ගින්දරක අවසානයේ ඇවිළ එන තවත් ගින්දරක ඇරඹුමේ ය. කුලාන් කෙරේ මසිත් හි ප්‍රේමයක් පිළිසිඳි බව ඇත්ත ය. නමුත් එය කඳුළක කැළලක් හදවත මත ඉතිරි කරන මතක කන්දක් මගේ ළඟ තියා දුරකට යතැයි සිතත හැකි හැඟීමකි. කුලාන් හිමි කර ගැනීම හෝ අහිමි වී යාම ගැන දුරට දිගට හිතන්නට තරම් සවියක් මට නැත. මන්ද යත් එය මට තීරණය කළ හැකි යමක් නො වන නිසා ය. කෙසේ වෙතත් මේ ටික දවසට ඔහු මට දුන් ආදරයත් එක්ක මියෙන මොහොත තෙක් ජීවත් වෙන්නට මට පුළුවන.

මපුතු මට හිමි වෙනවා නම්! ඒ බලාපොරොත්තුව මගේ ජීවිතාශාව වැඩි කරවයි. ගැහැනියකට සිය ජීවිතයට සමීප වූ පිරිමියෙකුගෙන් වෙන් වී ජීවත් වන්නට පුළුවන. නමුත් දරුවෙකුගෙන් වෙන් වූ කල ජීවත් වුණත් මියැදුණා සේ ය.

මම කවුළුව ළඟට ගොස් පියන් පත හැර දැමුවෙමි. අහස හරහා තරුවක් කඩා වැටුණේ ය. එතකොට ම කුලාන් ගේ නමින් දුරකතනය හැඬවෙන්නට ගති. තරු කඩා වැටෙත්දී සිත් හි වන පැතුම් ඉටු වෙනවා යි කතාවක් තිබේ!

“නිදිද…”

නින්දක උන්නත් පිබිදෙන්නට හිතෙන ආදරයක් ඒ හඬෙහි වූයේ ය.

“ම්හු”

“කල්පනා කළාද…”

“හ්ම්…”

“කල්පනා කරන්න දෙයක් නෑ. කසුන් ව බලන්න ඕනනං යමු. මං එන්නං ඔයත් එක්ක යන්න”

හදවතෙහි ගැස්මක් මට දැනිණි. මේ මොහොතේ කසුන් පිළිබඳව මසිත් හි වන්නේ කෙබඳු හැඟීමක් දැයි මට වැටහෙන්නේ නැත.

“ඔයාට දුකයිද…”

“ම්හු”

“එහෙනං…”

“දන්නෑ සර්”

“ඔය…සර්ලු”

මට සිනා නැගිණි. හිතේ වූ සියලු අඳුරු අහු මුළු එළිය කරන්නට ඒ සිනහව සමත් වන්නට ඇත. 

“හෙට සැටර්ඩේනෙ. පුතා ගන්නත් යන්න ඕනනෙ”

“සර්…”

“කියන්න නිම්නා”

“මට බය හිතෙනව සර්”

“ඇයි…හැම දේම හොඳට විසඳීගෙන යද්දි…”

“ඒ හැම දේම විසඳෙනකොට…මට සර්ගෙන් දුරස් වෙන්න වුණොත්…මගෙ ඉරණම එහෙම කළත් මං පුදුම වෙන්නෑ සර්”

“අනං මනං විකාර හිතන්න එපා ඉතිං”

“වෙන් වෙන්නම වුණත්…”

“නිම්නා…එහෙම වෙන්නෑ”

“එහෙම වුණත්…මේ ජීවිතේදි   පිරිමියෙක්ගෙං කියල  මට වැඩියෙංම දැනුණ ආදරේ සර්ගෙ…අන්තිම හුස්ම හෙළනකල් ම මට ඒක අමතක වෙන එකක් නෑ. සර්ට මාව විශ්වාසද…”

“විශ්වාසයි”

ඒ වචනය නින්ද මා වැළඳ ගන්නා තුරු ම මහද බිත්ති අතර පිළිරැව් නැගෙමින් පැවතිණ. ඇයි දෝ මන්දා විසල් දුකක් හදවත වසා ගෙන සිටියේ ය. පුතා මට හිමි වෙන්නට යයි. එසේ වී ත් මේ දුක කවර හේතුවක් අරබයා දැයි මම නොදත්තෙමි. ජීවිතය තවත් එක අවස්ථාවක් නොදී ම කුලාන් ව මගෙන් ඈත් කරන්නට සැරසෙතැයි හැඟීමකින් මම අකර්මන්‍ය වෙමින් සිටියෙම් ද?

කසුන් ගේ දවල් රෝහලට ගොස් කසුන් බලා එන ගමන් පුතු මට බාර දෙන බව කීවා ය. ඇය මට නුගේගොඩ ට එන්නැයි කීවත්, කුලාන් මා කැටිව කළුබෝවිල රෝහල වෙත ගියේ ය. කසුන් ගේ ස්වරූපය දුටු මගේ හද කම්පිත විණි. 

“පුතාව මං අරං යනව කසුන්. ඔයාගෙ අසනීපෙත් එක්ක නඩුවෙ තීන්දුවට මොනා වෙයිද කියල මං දන්නෑ. ඔයා සනීප වෙනකල් හරි පුතාව මං ළඟ තියා ගන්නං”

ඔහු ගේ උගුරෙන් හඬ පිට වූයේ නැත. කසුන් ගේ ඇස් කෙවෙනි අගින් කඳුළක් ඉහිර ගොස් කොට්ටය ට තෙත උරා ගත්තේ ය.

“උඩ පැනල උස්සං ගියාට ඉතිං කී දවසකටද දන්නෑ”

අම්මා සමච්චල් සිනහවකින් කීවා ය. මේ රෝහල බව හා කසුන් සිටින තත්වය ගැන සිතා මම කර බා ගතිමි. නැත්නම් ඉස්සර කියන්නට බැරි වුණ හෝ අමතක වුණ දේවල් එක්කම කියන්නට කාරණා මගේ හිත ළඟ පෙළ ගැසී සිටියේ ය.

“රටේ ඉන්න ඕන මිනිහෙක්ට බෑ ළමයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න”

මා අතින් අල්ලා ගෙන සිටි පුතු ව කුලාන් වඩා ගත්තේ ය. ඊළඟට යමු කියන ඉඟියෙන් මදෙස බැලුවේ ය.

“තාත්තිට බායි කියන්න පුතා. ඉක්මනට සනීප වෙන්න කියන්න”

අන්තිම ටික කියා ගෙන යන විට මගේ ඇස් කඳුළෙන් බොඳ වී ගෙන ආවේ ය.

“ඉක්මනට සනීප වෙන්න තාත්තී…බායි…”

කසුන් යමක් කියන්නට තැත් කළත් එසේ කළ හැකි වූයේ නැත. 

“අපි ගිහිං එන්නං කසුන්. ඔයා ඉක්මනට සනීප වෙයි”

කුලාන් මගේ බඳ ළඟින් යන්තමින් අල්ලා මා ඉස්සර කර ගත්තේ ය. රෝහල් කොරිඩෝරයක අර කඳුළ ටක් ගා බිම වැටිණි. කුලාන් එකතකින් පුතු වඩා ගත් වන අනිත් අත මගේ උරහිස පිටුපසින් දමා මා සිය සිරුරට ලං කර ගත්තේ ය. මම ඒ පපුතුර යන්තමින් මහිස ස්පර්ශ වන්නට හැරියෙමි.

“අංකල් හොඳයි”

හදිසියේ ම පුතා කීවේ ය. මමත් කුලානුත් අපේ මුහුණු දෙස බලා ගතිමු.

“තාත්ති කිව්ව අංකල්ව මරණව කියල. ඒ වුණාට අංකල් තාත්ති එක්ක තරහ නෑනෙ…”

“ඇයි පුතා එහෙම කියන්නෙ….”

“තරහනං තාත්ති බලන්න ඔයා එන්නෑනෙ”

මම පුතා ගේ මොළකැටි අතක් ගෙන මගේ දෙතොල් මත තියා සිප ගතිමි.

“පුතා”

අප රියට නැගුණු පසු එය පණ ගැන්වූ ගමන් කුලාන් පුතු ඇමතුවේ ය.

“අංකල් නෙවෙයි. මට තාත්ත කියන්න”

ගිනි කන්දක උණුහුමක් ද හිම කන්දක සිසිලසක් ද එක වර මගේ පපුවට දැනුණේ ය. මගේ උකුල මත හිඳ උන් පුතු ව මම වඩාත් තදින් තුරුලු කොට ගතිමි.

“මට තාත්ති කෙනෙක් ඉන්නවනෙ”

“ඉතිං දෙන්නෙක් හිටියහම කොච්චර ෂෝක්ද…ඇයි ඔයා මට කැමති නැද්ද…”

“කැමතියි. මං මෙයාට තාත්ති කියන්නද අම්මි…”

පුතා එසේ අසා ලැජ්ජාවෙන් මගේ ගෙල වැළඳ ගත්තේ ය. නතර කිරීමේ කිසිදු උවමනාවක් නැති කඳුළු පේළි ගණන් මගේ ඇස් වලින් පිට මං වෙමින් තිබිණ.  පුතා ඒ කඳුළු පිසින්නට වූයේ ය.

“ඉතිං ඇයි අම්මි අඬන්නෙ…එපාද මෙයාට තාත්ති කියන්න”

“නෑ පුතා. අම්මි අඬන්නෙ සතුටට. පුතාට තාත්තල දෙන්නෙක්ගෙම ආදරේ තියෙනව කියන සතුටට”

එහෙව් නිමේෂයක ට මුහුණ දෙන්නට වීම විරල සිදුවීමකි. කුලාන් අතක් දිගු කොට මගේ කඳුළක් පිස හිස් මුදුන පිරිමැද්දේ ය. ජීවිතයේ කිසි ම කිසි දිනෙක එතෙක් විඳ නො තිබූ සැනසුමක හිමිකාරිය වන්නට මට හැකි විය.

රිය ඉදිරියට ඇදෙමින් තිබිණි. ඒ කොයි දෙසට දැයි විමසීමේ උවමනාවක් මට වූයේ නැත. කුලාන් අවශ්‍ය තැනට මා කැටිව යාවී යන විශ්වාසය යටි හිතේ කඳවුරු බැඳ තිබෙන්නටත් ඇත. රිය නතර වෙත්දී ය මා වට පිට බැලූයේ. ඒ මත්තේගොඩ අපේ ගෙදර නොවේ. විශාල තණ පලසක් මිදුල ලෙස සකසා තිබූ බිමක ඉදි වූ දැවැන්ත ප්‍රාසාදයකි.

“කොහෙද මේ ආවෙ…”

මම තරමක මවිතයකින් ඇසීමි.

“එන්නකො”

ඔහු සැහැල්ලුවෙන් කීවේ ය. යුවතියක් මිදුලට එබිකම් කොට ගෙතුළට දිව ගියා ය. මැදුර වට හතරැස් කුළුණු අල්ලා ඉදි කරන ලද දිගු වැරැන්ඩාවේ තැන් තැන් වල මල් පෝච්චි තබා තිබුණේ ය. අප ඒ වැරැන්ඩාවෙන් විසිතුරු වූ ආලින්දයට ගොඩ වෙන්නට හදනකොට ම ශ්‍රීනාත් ගල්හේන මහතා ඉක්මන් ගමනින් ඉදිරියට එමින් සිටියේ ය.

මගේ දෙපා ගල් ගැසී එහෙම ම නතර විය. කුලාන් මා කැටිව විත් තියෙන්නේ ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ මැදුරට බව මට පසක් වෙමින් තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...