fbpx

අහංකාර නගරේ – 01

බස් රිය නගරයට සේන්දු වන විට හිරු පායා විත් තිබිණ. පැය ගණනාවක දිගු ගමන පුරා නින්දත් නො නින්දත් අතරේ විඩා පත් ව සිටි මගීහු සිය අඩුම කුඩුම ද ගෙන කලබලයෙන් බසයෙන් බසින්නට වූහ. ඔවුන් ට වූ හදිසිය මවෙත නොවූයෙන් මා අසුනෙන් නැගිට ගත්තේ හෙමිහිට ය. දෙපැත්තේ ම දොරවල් දෙස බැලූ මට කොහෙන් බැස්සත් මා බැස ගත යුතු වන්නේ අන්තිමට බව පෙනිණ. 

පිටකොටුවෙන් මාර්ග අංක එකසිය විස්ස දරණ බස් රථයකට ගොඩ විය යුතු ය. මට මාර්ග සටහන විස්තර කළ ගමේ පාසලේ විදුහල්පති තුමා කීවේ එහෙම ය. ඔහු ලබා දුන් මා අත වන ලිපිනය සිය පැරණි මිත්‍ර විදුහල්පතිවරයෙකු ගේ නිවහනක් බව හෙතෙම මට කීවේ ය. අපේ විදුහල්පති තුමා සිය මිතුරා ට දුරකතනයෙන් කතා කොට උදක් ම මේ ඉල්ලීම කර තිබේ. ඒ, ටික කලකට හෝ මට සිය නිවසෙහි නවාතැන් දෙන ලෙස ය.

“මෙව්නා කරන්න යන දේ මං අනුමත කරන්නෙ නෑ. ඒ කියන්නෙ තමුංගෙයි කියල කාත් කවුරුත් නැති කොළඹ රටේ ජීවිතේ හොයාගෙන යනවයි කියන එක ඔය දරුවගෙ වයසෙ ගෑනු ළමයෙකුට ඔබින දෙයක් කියල මං හිතන්නෙ නෑ. ඇරත් මේ වගේ හද්දා පිටිසර ගමකිං එළියට අඩියක් නොතියපු ගෑනු ළමයෙකුට. ඒ වුණත් මෙව්නා දැං ඉන්නෙ මට නතර කරන්න පුළුවන් තැනක නෙවෙයි. ඊට වඩා ලේසි වෙයි මකුළු දැලකින් පෙරලෙන ගලක් නතර කරන්න උත්සාහ කරන එක”

මා කිසි දා ක දැක නැති කොළඹ ය කියන නුවර ටික කලකට පමණක් හිසට හෙවනක් සපයා දීමෙන් පස්සේ විදුහල්පති තුමා කීවේ ය. ඔහු මා තේරුම් ගෙන හිඳීම මට සහනයක් විය. මේ සිහිනය හඹා යාම කිසි සේත් මට නතර කොට දැමිය නො හැකි වග මේ ලෝකයේ සිටින එක ම එක මිනිසෙකු හෝ දැන හිඳින එක සැනසුමකි.

එකසිය විස්ස මාර්ග අංකය දරන බස් නවත්වන්නේ කොහි දැයි මා පසු කොට යන ඕනෑ ම කෙනෙකු ගෙන් විමසා ඉසව්වක් දැන ගන්නට පුළුවන. නමුත් මම ඒ ගැන උනන්දු නො වුණෙමි. මෙහෙව් නුවරක් මා මේ දකිනවා ම ය. වෙසක් දා රෑ තොරණ ළඟට වත් අපේ ගම් තුලානේ නම් මෙහෙව් සෙනගක් රැස් වෙනු දැකිය නො හැකි ය. ඒ නිසා මට බෙහෙවින් දුරස්ථ ව තිබි මේ නුවර සිරි නරඹමින් ද, කොළඹ යනු කෙබඳු තැනක් දැයි මඳ හෝ අවබෝධයක් ලබා ගන්නට තැත් කරමින් ද මම හෙමිහිට ඇවිද යන්නට පටන් ගතිමි. ඇතැම් විට මා එක මග දෙවරක් නොව කිහිප වරක් ඇවිද ගොස් ඇති බව දැනුණේ ය. එතකොට මම නැවත එසේ නො වනු වස් මං සලකුණු සිත් හි ඇඳ ගතිමි. 

“කොළඹ කියන්නෙ මහ පුදුම නගරයක් මෙව්නා. බොහොම පහසුවෙන් මග වැරදෙන්න පුළුවන් නගරයක්. මෙව්නා එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනෙ”

විදුහල්පති තුමා ගේ කරුණාබර හඬ මගේ සිතිවිලි ලෝකයේ දෝංකාර දෙමින් තිබිණි. මා මග සොයා ගත යුතු ම ය!

සූර්ය තාපය නග්න කොළොම් පුර දවමින් ද පෙළමින් ද තිබිණි. පිටකොටුව පුරා ඇවිද මාර්ග අංක එකසිය විස්ස බස් නවතන තැන සොයා ගනිත්දී, වෙනත් බොහෝ බස් නවතන තැන් ගැන මතකයෙන් මම දැනුවත් වී සිටියෙමි. මගේ සිරුර දිග දහදිය වැහි වහිමින් තිබිණි. ගමෙන් එත්දී පුරවා ගෙන ආ වතුර බෝතලය සිඳී තිබුණෙන්, එය යළි පුරවා ගත හැකි ජල නලයක් ගැන මම විපරමින් සිටියෙමි. උදයෙන් ම බසයෙන් බැස ගත්තා ට පිටකොටුවේ කැරකෙමින් මා හෝරා ගණනක් ගෙවා දමා තිබුණේ ය.

කොහුවල වුඩ්ලන්ඩ් හන්දියෙන් බසයෙන් බැස මම ත්‍රිරෝද රියකට ලිපිනය පෙන්වීමි. ඔහු රිය හරවා ගත්තේ ඒ නිවස සිය ගෙදර තරම් දන්නා හඳුනන සේයාවකිනි. ඒ වේගයත් එක්ක වුඩ්ලන්ඩ් මාවත යන නම  කියවා  ගැනීම ද තරමක් අසීරු විණි. 

“සීයයි”

ත්‍රීවීල් කුරුල්ලා සින්දුවක් සේ ගාණ කීවේ ය. මම පාට වියැකුණු ඩෙනිම් කලිසම් සාක්කුවෙන් රුපියල් සියයේ නෝට්ටුවක් ඇද දුන්නෙමි. කොණ්ඩය මළකඩ පාට කොට උන් ත්‍රීවීල් කුරුල්ලා අමුතු බැල්මකින් ඉගිළුණේ ය.

මගේ අතේ වූ ලිපිනය ලියූ කඩදාසි කැබැල්ලේ වූ අංකයත්, තාප්පයේ ගසා තිබුණු රත්රන් පාට ලෝහ වර්ගයකින් තැන වූ අංකයත් සසැඳිණි. නමුත් ඒ පිවිසුම් දොරටුවෙන් ඇතුළත වන කිසිත් පිටතට දර්ශනය වූයේ නැත. ඒ, උස් තාප්පය හා ඊටත් වඩා උස පිවිසුම් දොරටුව නිසා ය. යාබද ව කුඩා පැති ගේට්ටුවක් වූයේ ය. නමුත් එය ද කුහුඹුවෙකුට හෝ රිංගිය නො හැකි සේ වසා දමා තිබුණේ ය. එතැන වූ විදුලි සීනුව මගේ නෙත ගැටිණි. මම ඒ බොත්තම ට ඇඟිල්ල එබුවෙමි. මීට පෙර කිසි දා ක මා නිවෙසක දොර සීනුවක් හඬවා නැති බව මට සහතික ය.

“ඇයි…”

ඒ හඬ ආවේ කොහෙන් දැයි මට සිතා ගත නො හැකි විණි. මම වට පිට බැලුවෙමි. කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත.

“කාව හම්බ වෙන්නද…”

ඒ අහංකාර පිරිමි හඬ මතු වූයේ පිවිසුම් දොරටුව ආසන්නයේ සවි කොට තිබූ කිසියම් උපකරණයකිනි. මම තත්පර කිහිපයක අන්ද මන්ද භාවයක කල් මැරුවෙමි. කිසිවෙකුත් මෙතැන පෙනෙන්නට නැති ව කාට කොහොම උත්තර දෙන්න දැයි අවබෝධයක් මවෙත වූයේ ම නැත. නමුත් මම වෙන එකක් වුණාවේ යන සිතින් මට ම කතා කළෙමි.

“මේ…ප්‍රින්සිපල් සර්ව. සර් දන්නව මං අද එනව කියල. මහියංගනේ ධම්මිස්සරේ ප්‍රින්සිපල් සර් මේ සර්ට මං ගැන කියල තියෙන්නෙ”

“ඉන්න”

ඉතින් මම හිටියෙමි. කතා කළේ කා සමගින් ද කොහොම ද කියා මා දන්නේ නැත. ටික වෙලාවකට පස්සේ පැති දොරටුව විවර විය. ඒ, මේ නගරයේ දී මා ළඟින් දුටු ප්‍රථම දෑස ය. නගරයේ තරම් ම අහංකාර කමක් මම ඒ මුහුණේ දුටිමි. නමුත් ඒ දෑස් පත්ලේ වූයේ ගැඹුරු දුකක් යයි මට සිතිණි.

සැබවින් ඒ නම් පුදුම ආඩම්බරකාරයෙකි. දොරටුව විවර වූ ගමන් මා සිනහවකට අරෑඳුවත්, ඔහු සිනාසුණේ තබා මා වගකට ගත්තේ හෝ නැත. පැති දොරටුවේ සිට වැරැන්ඩාව තෙක් අළු හා රතු පැහැති කොංක්‍රීට් ගල්, රටා මවා අල්ලා තිබුණේ ය. එහෙම මනරම් ගෙමිදුලක් මා දැක තිබුණේ ගමේ ඇති හැකි නිවසක දී රූපවාහිනියේ පමණකි. 

වැරැන්ඩාව දිග පුටු පෙලක් තබා තිබිණි. නමුත් එහි හිඳ ගත් කිසිවෙකු වූයේ නැත. යෞවනයා ගෙතුළට යන්නට පෙර සිය ජංගම දුරකතනයෙන් “කවුද ඇවිත්” කියා කීවේ ය. මට වචනයකුදු නොකී හෙතෙම මා වැරැන්ඩාවේ තනි කොට දමා ගෙතුළට වැදිණ. දහඩිය මුගුරු වගුරුවා ගෙන බෑග් එකක් ද ඔසවා ගෙන උන් මහියංගනයේ ඈත පිටිසර ගමක අසරණ කෙල්ල ඔහේ බලා උන්නා ය. අඩු තරමින් ඔහු මට “ඉඳගන්න” කියා හෝ කීවා නම්! 

විදුහල්පති තුමා නිවසින් බැහැර ගොස් ඇතිවා විය යුතු ය. අර යෞවනයා දුරකතන ඔස්සේ මගේ පැමිණීම දැනුම් දුන්නේ ඒ නිසා විය හැක. නමුත් එතුමා පැමිණෙන්නට කෙතරම් වෙලාවක් ගත වේ දැයි ඔහු කීවේ නැත. අඩු තරමින් දුර කතර ගෙවා ගෙන පැමිණි මට වචනයක් හෝ කතා කරන්න ට තරම් ඔහු කාරුණික නො වුණේ ය.

“ආ…මේ ළමය තාමත් හිටගෙනනෙ. ඉඳගන්න ඉඳගන්න”

කියමින් දේහධාරී පුරුෂයෙක් මවෙත පැමිණෙමින් සිටියේ ය. මම සිනහ වෙන උත්සාහයක් ගත්තෙමි. නමුත් මේ කවුරුන් ද? විදුහල්පති තුමා විය නො හැකි යැයි මට සිතිණි. ඔහු ට තරුණයා දුරකතනයෙන් පණිවිඩය කීවේ ඔහු ගෙතුළ නො වන නිසාවෙනි.

“සර්…මං ආවෙ මෙහෙ ඉන්න ප්‍රින්සිපල් සර් මුණගැහෙන්න”

මම යන්තම් අසුනකට බර වෙමින් කෙඳිරුවෙමි. මට වම් පැත්තේ අසුන් ගත වෙන ගමන් දේහ ධාරියා හිනැහුණේ ය.

“මෙහෙ ඉන්න ප්‍රින්සිපල් සර් ඉතිං මං තමයි”

එහෙම කියන අතරේත් කියා අවසානයේත් ඔහු හිනැහුණේ ය. මම කිසිත් නිරවුල් කර ගත නො හැකි පටලැවිල්ලක සිටියෙමි. එසේ නම් අර බුම්මට්ටා දුරකතනයෙන් පණිවිඩය කීවේ ගෙතුළ සිටින මනුස්සයාට ද? මේ නගරයේ ජීවිත එහෙම විය හැකි යයි මට සිතිණි.

“සර්…මං තමයි මෙව්නා”

අතේ ගුලි වූ තිබූ කිළිටි ව යමින් පවතින කුඩා ලේන්සුවෙන් මුහුණේ දහදිය පිසිමින් මම බයාදු ලෙස දෙඩුවෙමි.

“ඒක තමයි. මෙව්නා  පාන්දර පිටකොටුවට එන බස් එකේ එනව කිව්වට මං මේ ගමනකුත් නොයා බලං හිටිය. හොඳටම ප්‍රමාද වුණානෙ”

මා පිටකොටුවේ පාරවල් සොයමින් කරක් ගැසු බවක් මම නො කියා සිටියෙමි.

“හරි. දැං ඔය ළමයට මහන්සි ඇතිනෙ. අපි වෙන වෙලාවක කතා කරමු. කාමරේට ගිහිං විවේක ගන්නකො”

කියමින් හෙතෙම නැගිට ගත්තේ ය. මම මගේ බෑගයත් ගෙන නැගිට්ටෙමි.

“නන්දාවතී….නන්දාවතී….”

ගෙතුළට යමින් ගමන් ඔහු හඬ ගෑවේ ය. කාන්තාවක් ඇතුළත සිට ආවා ය.

“සර්…”

ඇය මේ ගෙදර සේවය කරන තැනැත්තියකැයි මා අනුමාන කළේ ඒ ආමන්ත්‍රණයෙනි.

“මේ ළමයව අර කාමරේට එක්කගෙන යන්න”

ඇය පිය ගැට පෙළෙහි ඉස්සර වූවා ය. මම විදුහල්පති තුමා දෙසට ස්තූති පූර්වක බැල්මක් හෙළමින් ඈ පසු පස ගියෙමි.

“කොහෙද ගම කිව්වෙ…”

කාමරයේ දොර හැරි නන්දාවතී මගෙන් විචාලා ය. මා ඇය ට කිසිදු ගමක් ගැන නොකී බව කියන්නට සිතීත් මම ඒ සිතිවිල්ල වෙනස් කොට ගතිමි.

“මහියංගනේ. මහියංගනෙනුත් ටිකක් ඇතුළට යන්න ඕනෙ”

“අම්මෝ…එහෙ නේද වැද්දො ඉන්නෙ…”

ඇය ඇස් ලොකු කළා ය.

“බුදු හාමුදුරුවො මුලින්ම වැඩියා කියන්නෙත් මහියංගනේටනෙ”

මගේ මුරණ්ඩු ස්වරූපය එළියට පැන්නේ ය.

“අනේ ඒක නෙවෙන්නං. වැද්දන්ට බණ කියන්නද මන්දා. අරක තමයි නාන කාමරේ”

කියා ගෙන ඇය හැරී ගියා ය. මම නිකමට යහනෙහි වැතිර ගතිමි. නමුත් ගත වූ වෙහෙසට ද මන්දා මා යළි නෙතු හරින විට  හැන්දෑව අවරට ගොසින් ය. කුස ගිනි මෝරා වැඩී තිබිණි. මම යාබද ව වූ නාන කාමරයට වැදී  දිය නෑවෙමි. මහියංගනයේ යාය හයේ මහවැලි ව්‍යාපාරයෙන් වතුර සපයන ඇල වල බැස පෙඟෙන තුරු දිය නා පුරුදු මට මේ වතුර මලේ වතුර හිසේ ගෑවෙනවා හෝ දැනුණේ නැති තරමි. නමුත්  නාන කාමරයකින් දිය නෑමේ ප්‍රථම අත්දැකීම ලෙස මෙය මගේ මතක ඉතිහාසයට එක් වූයේ ය.

“කිරි අම්මට කියන්න මං සර්ලගෙ ගෙදරට ආව කියල”

ගමේ අපේ ගෙදරට යාබද ගෙයක හිඳින මුදිතා ට දුරකතන ඇමතුමක් ගෙන මම ඉක්මනින් පණිවිඩය කීවෙමි. දින කිහිපයකට පෙර දුරකතනයට දමා ගෙන තිබූ රුපියල් පණහක මුදලෙහි තව ඉතිරි ව තිබුණේ අල්ප ශේෂයක් බව මට මතක ය.

හිතේ තිබුණ ආසාවට මේ ජංගම දුරකතනය මිල දී ගන්නට මා ගිනි අව්වේ හේනේ කර වූ තරම දන්නේ මා පමණකි!

බඩගින්න මා කළඹවා ලන්නට වූයේ ය. බස් එකේදී බඩගිනි වුණොත් කන්න කියා කිරි අම්මා ඔතා දුන් කුරහන් තලප ටික මට සිහි වූයේ ඒ වෙලාවේ ය. මම තලප මුල දිග හැර ගෙන කිඹුලියක සේ එය ගිල දැමුවෙමි. අනතුරුව, නාන කාමරයේ කරාමයෙන් දෝතට වතුර ගෙන මුව තබා බීවෙමි.

ඒ කාමරයේ වූයේ බිමට ම දිග වීදුරු ජනේල යුගලකි. ඒවා විවර වන්නේ සඳළුතලයකට බව පෙනිණ. ජනේලය විවර කර ගෙන සඳැල්ලට පිවිසෙන ළමා ආශාවක් මා තුළ පහළ විය. අපේ ගම් තුලානේ හොඳ ම ගෙයක් වත් මේ වගේ නැති බව මට විශ්වාස ය. ටික දිනකට හෝ මෙහෙව් තැනෙක නැවතෙන්නට ලැබීමේ උද්දාමයෙන් මම පිනා ගොස් සිටියෙමි. සඳැල්ලට වන් කල යායක් ඈතට නිවෙස් පෙනේ. ඒ සියල්ල ඉතා ලං ලං ව ඉදි වී තිබෙන්නේ ය. ගහ කොළ අඩු වුණත් සිසිල දනවමින් පවනක් හමා ගියේ ය. මම ගරාදි වැටට බර වී ගෙන ඇස් දෙක පියා හුස්ම ඉහළ පහළ දමමින් හිඳ යළි නෙතු හැරියෙමි. ඒ සඳැල්ලට කිසිවෙකු එනු දැනී ය.

යෞවනයා!

දෙවරක් නො සිතා මම සිනහ වුණෙමි. 

“උඹ හිනා වෙනකොට නිකං හඳ පායන හේ ලස්සනයි මයෙ කෙල්ලෙ”

කිරි අම්මා නිතර කියන ඒ කතාවත් සිනහව අතරේ ම මට සිහි විය. මගේ සිනහ වත දෙස ඔහු බලා සිටි බව විශ්වාස ය. නමුත් ඒ සිනහවට අංශු මාත්‍රික ප්‍රතිචාරයක් නො මැති ව බුම්මට්ටා ඉවත බලා ගත්තේ ය. ඊළඟ තත්පරයේ ඔහු සඳැල්ලෙන් නික්ම යන්නට තරම් උද්දච්ච වූයේ ය. මම අවකාශයට රවා ගතිමි.

හද්දා පිටිසර මහියංගනයේ මහවැලි කලාපයේ සරල ජීවිත ගෙවන මිනිසුන් මට සිහි විය. මග දී හමු වුණොත් කිසිවෙකු කතා නොකර යන්නේ නැත. අඩු තරමින්, ජීවිතයේ දෛවයත් සමග ඔට්ටු වී කේඩාරි වී ගිය වතින් සිනහවක් තිලිණ කරන්නට හෝ අමතක කරන්නේ නැත. නමුත් මේ නගරයේ ඉන්නේ සිනහ වෙන්නට නො දන්නා මිනිසුන් ද?

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x