අහංකාර නගරේ -03

මම මග ට බැස්සෙමි. නමුත් කොහේ කොයි අත යා යුතු දැයි මට පැහැදිළි අදහසක් වූයේ නැත. මහියංගනයෙන් බසයට ගොඩ වෙන විටත් සිදු වෙන්නට නියමිත දෙයක් ගැන මා දැන සිටියා නොවේ. මවෙත වූයේ මගේ ඉරණම සොයා යෑමේ අවශ්‍යතාවය පමණකි.

තවමත් මා සිටියේ උසස් පෙළ ප්‍රතිඵල ආ ගමන් ය. පාසලේ ඉහළ ම ප්‍රතිඵලය මම ලබා සිටියෙමි. එය වූ කලී පහසුවෙන් ලබා ගත්තක් නොවේ. හරියට පාසලේ ගුරුවරයෙකු නොමැති ව, කිසිදු ටියුෂන් පන්තියකට සහභාගී නොවී, මගේ ධෛර්යයෙන් පමණක් ලබා ගත් ප්‍රතිඵලයකි. නමුත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය බලාපොරොත්තු වෙන ශිෂ්‍යාවක් වන්නට තරම් මගේ ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවනු ඇත.

ගමේ හේන් වල අව්වේ කර වෙවී කළ ගොවිතැන් කටයුතු මිස, මට වෙන කිසිදු වෘත්තීය අධ්‍යාපනයක් නොමැත්තේ ය. සුදුසුකමක් ද නොමැත්තේ ය. විදුහල්පති තුමා මා කොළඹ එන්නට ඕනා කියත්දී කීවේ ඒ තත්වයන් මත මා කොළඹ රැකියා වලට තරම් නොවන බවයි. නමුත් කොතැනකින් හෝ පටන් ගත යුතුයි කියා මගේ හදවත මට කෑ ගසා කියමින් සිටියි.

මම බස් පාර දිගේ ඉදිරියට යමින් සිටියෙමි. ජනාකීර්ණ සිව් මං සල ක දී ඒ කොහුවල නමැති නගරයක් බව කඩ සාප්පු වල ලිපිනයන් හි ලියැවී තිබිණි. ‘සේවිකාවක් සඳහා ඇබෑර්තු තිබේ’ යනුවෙන් වීදුරු දොරක දැන්වීමක් ඇලවී තිබුණේ ය. මම ඒ සාප්පුවට කර පොවා බැලුවෙමි. 

“ගෑනු ළමයි වැඩට ගන්නව කියන බෝඩ් එක දැකල ආවෙ”

එතුළ වූ මැදි වියේ පිරිමි පුද්ගලයා උපැස් යුවළ ට යටින් මදෙස බැලුවේ ය.

“සිංහල ඉංග්‍රීසි දෙක ම ටයිප් සෙටින් පුළුවන්ද…”

එය හරියට උගුර යටින් ගෙරවීමකට සමාන ප්‍රශ්න කිරීමකි. මම හිස දෙපසට සැළුවෙමි. අපේ ඉස්කෝලේ තිබුණ කැඩි ගිය පරිගණකය මට සිහි විය. වසර ගණනාවක් තිස්සේ එය තිබුණේ භාවිතයෙන් තොර ව ය. පිළිසකර කර දෙන්නයි අදාල අංශ වලින් කෙතෙක් ඉල්ලීම් කර තිබුණත් අප පාසලෙන් සමු ගන්නා තුරුත් එය සිදු වූයේ නැත. ඉතින් හද්දා පිටිසර වන්නියේ කෙල්ලකගෙන්, රැකියාවක් සඳහා පරිගණක භාවිතය ගැන සුදුසුකම් සොයන එක දෛවයේ මොන තරම් නම් සරදමක් ද? 

“නැත්තං ඉතිං මෙතන වැඩ කරන්න බෑ”

ඔහු කිසිදු තෙතමනයකික් තොර ව කියා දැමුවේ ය. ව්‍යාපාර කරන මිනිසුන් ගේ හදවත් වල තෙතමනය සිඳී ගිහින් ද නැත්නම් ඔවුන් උපදින්නේ ම එවන් තෙතමනයක් නැති ව ද කියා සිතමින් මම සන්නිවේදන මධ්‍යස්ථානයෙන් පිටතට පිවිසියෙමි. හේන් හා කුඹුරු ගොවීන් ගේ අස්වැන්න මිල දී ගන්න ට එන අතරමැදි වෙළෙඳුන් ගෙන් ද මා දැක තිබෙන්නේ ඔවැනි වියළි මුහුණු ම ය. ගිනි මද්දහනේ කාෂ්ටක පොළොවත් එක්ක නැහෙමින් ගොවීන් නෙලා ගන්නා අස්වැන්න ට ඔවුන් මිලක් නියම කරන්නේ ඒ ශ්‍රමය ගැන කිසිදු හැඟීමකින් තොර ව අකාරුණික රොබෝ හදවත් වලිනි. වට්ටක්කා අස්වැන්න ඔවුන් ට පවරා මිට මොළවා ගන්නා සොච්චම ගැන හාවක් හ්ම් වක් නොකියා බිම බලා ගන්නා කිරි අම්මා ගැන මෙතෙක් කිසි දා ක නො දැනුණ විදිහේ සන්තාප සිතිවිල්ලකින් මා හිරි වැටී යමින් තිබිණි. ඔවුන් වූ කලී අද අද වන තුරාවට දෛවයේ  කිසිදු කරුණා මහිමයක් නො ලද මිනිසුන් ය. ඉරණම දෙන දෙයක් ඒ විදිහට ම පිළි ගත්තා මිස ඒ ගැන කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර ව සියල්ල උහුලා ගත්තා වූ මිනිසුන් ය.

එනකොට මා අර ගෙන ආවේ කිරි අම්මා මගේ අත මිට මෙළවූ සුළු මුදලක් පමණකි. ඒ මුදල වැය වී නිම වී යන්නට මහ ලොකු දින ගණනක් අවශ්‍ය නො වනු ඇත. ඊට පෙර මා මුදලක් අතට එන වැඩක් සොයා ගත යුතු ව තියේ. නො එසේ වී නම්, මගේ ය කියන්නට කාත් කවුරුත් නැති මේ නන්නාඳුනන නගරයේ මා කෙසේ ජීවිතය පවත්වා ගන්න ද?

මම හෙමි හෙමිහිට ඉදිරියට ඇවිද ආවෙමි. තැන් තැන් වල කඩ සාප්පු වල නතර වී රැකියා ඇබෑර්තුවක් ගැන ගැන විමසීමි කළෙමි. බොහෝ දෙනෙක් බැලුවේ මගේ ස්වරූපය දෙස ය. කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම විමසුම් බැලුම් හෙළන ඔවුහු වැඩක් නොමැති බව පැවසූහ. 

“මට මොකක්ම හරි වැඩක් දෙන්න සර්. අතුගාන්න පිඟන් හෝදන්න හරි කමක් නෑ”

හෝටලයකට ගොඩ වී නොමිලේ වතුර වීදුරුවක් බී මම එහි අයකැමි අසුනේ වූ උසින් අඩු මිනිසා ගෙන් ඉල්ලා සිටියෙමි. මේ නගරයේ බොන්නට වතුර බෝතලය පවා මුදල් ගෙවා ලබා ගත යුතු බව මේ වෙත්දී මම පසක් කොට ගෙන සිටියෙමි. ගමේ නම් පිපාසයෙන් එන ඕනෑ ම කෙනෙකු ට මැටි කළයෙන් සීතල වතුර කෝප්පයක් ලැබෙන්නේ ය. එසේ මුදල් ගෙවීමකින් තොර ව වතුර වීදුරුවක් බිය හැකි තැනක් ලෙස මේ නගරයේ මෙතෙක් මට හමු වූයේ මේ හෝටලය පමණ ය.

“ඔය වගේ ගෑනු ළමයි මේ වගේ තැන් වල වැඩ කරන්නෑ”

අයකැමියා මා නොසලකා හරිමින් කීවේ ය.

“අනේ එහෙම නෑ සර්. මං ගමේ ඉඳල ආපු ගමන්. මට මොකක්ම හරි රස්සාවක් ඕනෙ. අඩුම තරමින් මෙහෙ වතුර උගුරක්වත් සල්ලි නැතුව ලැබෙන්නෙ නෑ කියල මං තේරුං අරං ඉන්නෙ”

මම වහා පිණ්සෙන්ඩු වුණෙමි. එක හෙළා මා ප්‍රතික්ෂේප කළ අනෙකුත් ව්‍යාපාර හිමියන් සේ නොව මේ මිනිසා ගෙන් අල්ප මාත්‍රික යමක් ලැබිය හැකි වනු ඇතැයි මගේ ගැහැනු ඉව විසින් මට දන්වා සිටින ලදී.

“පිඟන් හෝදන වැඩේ කරන්න පුළුවන් ද…බෑනෙ…”

“පුළුවන් සර්”

“බලමුකො දවස් කීයක් කරයිද කියල”

ඔහු ගේ සුදු කඩදාසියක් බඳු මුහුණ මත අජීවී සිනහ රේඛාවක් ඇඳිණි.

“කියන ඕනම දෙයක් මං කරන්නං සර්. හරි නැත්නං සර් කියන්න. මං වැරැද්ද හදා ගන්නං”

“ඔහොම කියා ගෙන තමයි හැමෝම එන්නෙ. කරන්න ගියාම තමයි ඊළඟට අර ඉල්ලීම් මේ ඉල්ලීම් අයිතිවාසිකම් අරව මේව ඔක්කොම”

“අනේ මං එහෙම නෑ සර්. මට ඕනෙ ජීවිතේ කොතනකින් හරි පටං ගන්න. අපි කැත්ත උදැල්ලත් එක්ක වැඩ කරල පුරුදු මිනිස්සු සර්”

“හරි එහෙනං වැඩ කරමුකො. හැබැයි පිඟන් හේදිල්ලත් එක්ක කුස්සියෙ තියන හැම වැඩක් ම කරන්න ඕනෙ.  නිවාඩු ගන්න බෑ. පරක්කු වෙන්න බෑ. වේලාසන යන්න අහන්න බෑ. ටෙලිපෝන් එක කනේ ගහං ඉන්න බෑ. බඩු කැඩුණොත් පඩියෙං කපනව. එන්නෙ වැඩ කරන්නනං වැඩ කරන්න ඕනෙ”

“එකඟයි සර්”

“හ්ම්”

ඔහු මාව මැදි වියේ ගැහැනියකට භාර දී මොන මොනවාද කියවූවේ ය. ඒ ගැහැනිය මා කැටිව හෝටලයේ කුස්සියට ගියා ය. සින්ක් එක උඩ පිඟන් කෝප්ප අට්ටියක් ම ගොඩ ගසා තිබිණි. ඇය මගේ අතට පිඟන් අතුල්ලන ස්පොන්ජ් එකක් හා සබන් දියර බෝතලයක් දුන්නා ය.

මම හැල්මේ ඒවා සෝදන්නට පටන් ගතිමි. සෝදන්නට සෝදන්නට අලුතෙන් කිළිටි පිඟන් ගොඩ ගැසී තිබුණේ ය.

“ළමයො”

මා කුස්සියට කැටිව ආ ගැහැනිය ඈතක සිට මට කතා කළා ය. ඈ කරන්නේ ඉවුම් පිහුම් කටයුතු බව මම වටහා ගෙන සිටියෙමි.

“කහට ටිකක් බොමු. මහන්සිත් ඇතිනෙ”

ඒ තේ කහට ටික ඒ වෙලාවේ මට දිව්‍ය ඖෂධයක් සේ වූයේ ය. 

“පිං නැන්දෙ”

ඇගේ ඇස් වල මා දුටු කරුණාවන්ත කම, මගේ කිරි අම්මා ගේ ඇස් වල මා දැක තිබි කරුණාව ම ය. මේ අහංකාර නගරයේ  එබඳු දෑසක් මා දුටු ප්‍රථම වතාව ඒ ය.

“මේ දරුව ඉන්නෙ කොහෙද…”

“මහියංගනේ”

ඇය දෑස් කුඩා කළේ මා කියන්නේ සත්‍යයකැයි විශ්වාස නැතිවා වාගේ ය.

“මං කොළඹට ආවෙ ඊයෙ නැන්දෙ”

මා කී ඒ වචන කිහිපයෙන් ඇය බොහෝ දෑ වටහා ගන්නට ඇත. ඒ හිස සැළුණේ එනිසාවෙනි. 

“මටත් ඉන්නව ඔයා වගේ දුවෙක්”

ඇය තෙත් බර සුසුමක් පිට කොට හැරියා ය.

“එයාට උගන්නගන්න තමයි මං මේ හැටි නැහෙන්නෙ”

අම්මා කියන අකුරු තුනෙහි අරුත ඇගේ වත මත සනිටුහන් ව තිබිණි. අම්මා! එසේ අමතන්න ට මා ළඟ කිසි දා අම්මා කෙනෙකු සිටියේ නැත. මා බිහි කිරීමෙන් පස්සේ කිරි අම්මා ගේ ඇකයේ මා හෙවූ ඕ රැකියා සොයා ගෙන තැන් තැන් වල රැඳී හිඳ තිබේ. ඒ අතරේ මුණගැහුණු යාබද ගමක පුරුෂයෙකු හා අන්තිමට ඕ දීග ගියා ය. කිරි අම්මා කියන්නේ  අම්මා ඒ ගෙදර  මෙහෙකාරියක වූවා කියා ය.

“ඇයි පුතේ..”

මගේ ඇස් වල වූ කඳුළු දැක ඇය ප්‍රශ්න කළා ය.

“අම්ම කෙනෙක් හිටියනං කියල හිතුණා නැන්දෙ”

අපි තවත් කතා නැති ව අපේ වැඩ වලට යොමු වුණෙමු. ඉනික්බිති රංජනී නැන්දා මා කෙරේ වඩාත් සානුකම්පිත වූවා කියා සිතමි. හෝටලයෙන් ආහාර ලැබීම මට වූ ලොකු ම සහනය ය. රෑ බෝ වෙත්දී මම ඇවිත් විදුහල්පති නිවසේ කාමරයට ගාල් වෙමි. 

“මෙව්නා කෑම කන්න”

නුගේගොඩ හෝටලයේ රැකියාව ලද දා රාත්‍රියේ මා පහළට කැඳවූ රෝස් මහත්මිය ආරාධනා කළා ය.

“මං කෑම එළියෙං ගත්තා මැඩම්”

අසල අසුනක හිඳ රූපවාහිනියේ ඉංග්‍රීසි ගීත ඇල්බමයකට නෙතු යොමා උන් බුම්මට්ටා  හිස හරවා බලනු මගේ අඩැසට පෙනිණි.

“ඇයි අනේ…සල්ලි දීල කෑම ගන්න ඕන නෑනෙ. මෙහෙං කෑම කන්න. ඒ ගැන වොරි වෙන්න එපා”

මම මඳහසක් පමණක් පෑවෙමි. කීයක් හෝ උපයා ගන්නට මා පිඟන් සෝදන හෝටලයෙන් කෑම ටික ලැබෙන බව මම නො කියා සිටියෙමි.

හිතෙහි සැහැල්ලුවක් සේ ම බරක් ද විය. කාමරයෙන් සඳැල්ල ට ගොඩ වී මම ඒ මිශ්‍ර හැඟීම හිතේ හැටියට විඳ ගත්තෙමි. බුම්මට්ටා ඒ ටිකට සඳැල්ලට පැමිණ තිබෙන බව මා දුටුවේ පමා වී ය. ඔහු ව දැක්කා කියා වහා හැරී යන්නට මා උත්සාහ කළේ නැත. මේ තරමට ගොළු වී ඉන්නේ නැති ව වචනයක් කතා කරන්නට කෙනෙක් මේ ගෙන්දගම් පොළොවෙහි සිටිත යුතු ම ය. මම බුම්මට්ටා දෙස බලා සිනහවක් පෑවෙමි.

“කැම්පස් යන්න මාත් ආසයි. ඉස්කෝලෙ බෙස්ට් රිසල්ස් තිබිලත් කැම්පස් යන්න මදිනෙ මට”

ඔහු පුදුමයෙන් වාගේ මදෙස බලා ගෙන ම සිටියේ ය. ඊළඟ ට ඈත අඳුරු අවකාශය දෙස බලා ගත්තේ ය.

“ඒ වුණාට මං උපාධියක් ගන්නවමයි”

සිතිජ නැවත වතාවක් හැරී බැලුවේ ය. ඒ වතාවේ අඳුරු අහස දෙස බලා ගත්තේ මා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles