ඈත දුර ආකාසේ -08

ගිම්හානයකට වඩා කාෂ්ටක කාලයකට කිට්ටුවෙන් සිටි ආකාසයේ දීප්තිමත් නීල පැහැය මැකී ගියේ වැහි වළාකුළු එහි රැඳෙන්නට වූ නිසා ය.දැවෙන හිරුත් වලාකුළු රහිත අහසත් නැති ලෝකය අමුතු සිහිලසකින් පිරී ඇති බව තුරුලි සිතුවා ය.අනන්තාවකාශයට ඇස් අලවාගෙන අවිනිශ්චිත අනාගතය ගැන සැක සංකා හිතමින් හුන් කාලය ඈ කෙරෙන් ද පලා යමින් තිබිණ.

කාර්යබහුල රැකියාවක ගෙවී යන සතියේ දවස් ඩ්ග ඉන් අනතුරුව සති අන්තයේ උපාධියේ කටයුතු ද නිසා ඈ හුන්නේ කාර්යබහුලව ය.ආදිත්‍ය මොනතරම් චෝදනා කළ ද ඇයට ඒ ජීවන රටාව වෙනස් කර ගන්නට සිතුණේ ම නැත.අත් මිටින් ගිලිහී ගිය සුන්දරම කාලය නැවත ලබා ගන්නට ප්‍රමාද නැති බව කියමින් සඳලි ඈ පසුපසම හුන්නා ය.මිනිස් ලෝකයට එන්නට පෙරුම් පුරා මව් කුසක් තෝරා ගනිද්දී එකම කුසයක් එකම කාලයක බෙදා ගත්තා නම් ජීවිතය ද බෙදා ගත යුතු බව සඳලි තරයේ විශ්වාස කළා ය.

“මං ආසම ෆැකල්ටි එකකට ගියා.කැම්පස් සිලෙක්ට් වෙලත් නොගිය ඔයා දැන් ඩිග්‍රි එක පටන් අරන්.රනුක හින්දා මම සැනසීමෙන්.ඔයත් හොඳ මනුස්සයෙක්ට අයිති වෙලා සැනසීමෙන් ඉන්න ඕන..”

සඳලි එසේ කියද්දී තුරුලිගේ හදවත ආදරයෙන් පිරී ගියේ ය.අත නෑර දරා ගන්නා සහෝදරියක ලැබීම මොනතරම් භාග්‍යයක්දැයි ඈ දැන සිටියා ය.

“මොකක්ද ඔයාට හදිසියේ හැදුණු කුලප්පුව?”

හෙනහුරා මාර්ගය අවහිර කරන්නට ආවේ නොසිතූ දවසක ය.තුරුලි ඔහුගේ කෙළවරක් නැති ඇමතුම් සහ පණිවිඩ මඟ හරින තරමට දැන් ගැළවී ගත නොහැකි බව තේරුම් ගත්තා ය.

කියවන්න :  ඈත දුර ආකාසේ -15

“මං ඔයා ගැන හරියට කළකිරුණා තුරුලි.මේ ලක්ෂ පහටනෙ ඔයා ඔය නටන්නෙ. මං මේක හොයාගත්තෙ මගෙ ළඟ තිබ්බ දේවල් විකුණලා.බයික් එක පවා විකුණුවා.”

ඒ මෝටර් සයිකලය ඔහු මහන්සියෙන් උපයා ගත්තක් නොව තමන්ගේ මුදලින් ගත් එකක් නොවේදැයි සිතද්දී තුරුලිට කෝපයක් හට ගති.එහෙත් ඈ කිසිත් නොකියාම මුදල් පාර්සලය අත් බෑගයට දමා ගත්තා ය.ආදිත්‍යට දෙලොව රත් විය.ඔහු ඒ රැගෙන ආවේ රශ්මිගෙන් ලබා ගත් මුදලකි.තුරුලි මේ මුදල් බාර නොගන්නා නිසා ඒවා යළිත් රැගෙන ආ හැකි බවට ඔහුට දැඩි විශ්වාසයක් ද විණි.නමුත් දැන් සිදුව ඇත්තේ නොසිතූ දෙයකි.

“ඉගෙන ගන්න නටන්නෙ ඇයි බබා. ඔයා බැන්දම රස්සාවක් කරන්නෑ කොහොමත්.බබාලා බලාගෙන ගෙදර ඉන්න ඔයා..”

මෙවැනි සුරංගනා කතාන්දර තුරුලි හිස මුදුනේ තබා පිළි ගන්නා බව ආදිත්‍ය දැන සිටියේ ය.ඉගෙන ගන්නට පටන් ගෙන තමන්ට වටිනාකම් එකතු කරගන්නට සැරසෙන ඇගේ මාවත වසා දමන්නට ඔහුට ඕනෑ විය.

“මං ජොබ් එක අතෑරියම ඉතින් අපි කන්නේ බොන්නේ කොහොමද? ඔයා තාම බිස්නස් සක්සස් කරගෙනත් නෑනේ..”

ආදිත්‍යට ප්‍රථම වරට තමන් ගැන ලැජ්ජාවක් ඇති විණි.නමුත් ඔහු වහා තුරුලි ගැන කෝපයක් මවා ගත්තේ ය.ඕනෑම මොහොතක ඔහු පාවිච්චියට ගන්නා කේන්තිය මෙවෙලෙහි අත්‍යවශ්‍ය බව ආදිත්‍ය සිතුවේ ය.

“සක්සස් කරන් නැත්නම් කොහොමද ඉතිං මං ඔය සල්ලි ගෙනාවේ..”

කියවන්න :  ඈත දුර ආකාසේ -31

ඔහුගේ කෝපය රැඳි හඬ තුරුලි වෙනදා තරම් කම්පනයට පත් කරන්නට සමත් නොවී ය.ඇය ප්‍රශ්නාර්ථයක් රැඳි මුහුණින් ආදිත්‍ය දෙස බැලුවා ය.

“දැං ඔයා හතරතේ ඔක්කොම විකුණලා සල්ලි ගෙනාවා කියලනෙ කීවේ..”

කෝපයට පත් ආදිත්‍යට නික්ම යාම තරම් වෙනත් විසඳුමක් නොවිණි. වෙනදාමෙන් ඇයට පහර දීම සහ බැන වැදීම කරන්නට ඔහුට අද සිතුණේ නැත.ඇය මොකක්දෝ අභිමානයක් ද ආත්ම විශ්වාසයක් ද පැළඳ ගෙන ය. එය විනාශ කර දැමිය හැකි සියළු ආකාර සිතමින් ඔහු සිටියේ දැවෙමිනි; වියරුවෙනි.

“අපේ සම්බන්ධෙ ඉවරයි!”

ඔහු අන්‍තිම තුරුම්පුවෙන් ගසා දැමුවේ ය.ඒ වචන තුන කියවා දිග වට්ස් ඇප් පණිවිඩ එවන තුරුලි මවා ගනිමින් ආදිත්‍ය සිනාවක් හෙළී ය.ඕනෑම අවස්ථාවක ඒ පණිවිඩය ඇය මට්ටු කරන වචන තුනක් බව ඔහු හොඳාකාරවම දනියි.ඇය සිතන්නේ පළමු ප්‍රේමය ම විවාහයෙන් අවසන් විය යුතු බවක් වග ආදිත්‍ය දැන සිටියේ ය.ඔහුගේ තුරුම්පු ආසියා වූයේ එය ය.

තුරුලි ඒ පණිවිඩය කියැවූයේ උදාසීන හදවතිනි.ඇයට වෙනදා මෙන් කදුළු උල්පත් මවන්නට ඒ වචන තුනට හැකි නොවිණි.බොහෝ වෙලාවක් නිසොල්මන්ව හුන් ඈ වෙතට සඳලි ආවේ ආරංචියක් රැගෙන ය.

“අක්කා..අපි ලබන සතියේ ට්‍රින්කො යනවා. එනවද? “

වෙනදා නම් තුරුලිට ඒ ගමනෙන් වැළකෙන්නට දාහක් නිදහසට කාරණා ඇත.ඇය මේ වතාවේ ඇසුවේ වෙනත් පැනයකි. අක්කා යමක් අසන්නට කට හද්දදී ඒ කුමක් වේදැයි සඳලිට අනුමානයක් විය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
25 days ago

👍

Sudharshana Abeyrathne
25 days ago

තුරුලිට ජය වේවා!!!