ඉනික්බිති ඇරඹියේ සුවදායක කාලයකි.තුරුලිට සෑම මොහොතකම කරන්නට දෙයක් තිබිණ.ඈ අම්මා සමඟම උදෑසන අවදි වූවා ය.මහමෙර හිසින් දරා ජීවත් වූ කාලය නොතිබූ සැහැල්ලුවක් ඇති නිසා මුළුතැන්ගෙයි කටයුතු වලට පවා අම්මාගේ ලොක්කී ඉත සිතින් දායක වූවා ය.මොකක් හෝ සාරියක් පටලගෙන කොණ්ඩය ගුලියකට බැඳගෙන බසයටවත් දෙන්නට කාසි ඇතිදැයි විපරම් කළ දවස් නපුරු සිහිනයක් බව දැන් ඇයට වැටහෙයි.එකල තිබූ ගැටළු වෙනුවට දැන් ඇයට ඇත්තේ සාරියට ගැළපෙන අත් බෑගය හෝ සෙරෙප්පු යුවළ තෝරා ගැනීම ගැන ගැටළු ය.රාත්‍රිය මුළුල්ලේ පාඩම් කර උදෑසන අවදිවන සඳලි ඉස්සර අක්කාට බනින්නේ ඈ ආදිත්‍යගේ ඇමතුමක් අසා කඳුලු පෙරමින් සිටීම නිසා ය. කරන්නටම දෙයක් නැතිකම නිසා බස් රථයට දෙන්නට මුදල් ඉල්ලීම නිසා ය.දැන් ඒ වෙනුවට ගැල්වූ තොල් ආලේපනය නොගැලපෙන බවත් ඒ ආභරණ වලට වඩා මේ ආභරණ ගැළපෙන බවත් කියා අක්කා වෙහෙස කරන්නට සඳලි මනාප ය.
ගැහැනු දරුවන්ට බෙදා ගත හැකි සොඳුරුම වාද අක්කා සමඟ බෙදා ගැනීමට කාලය පැමිණි නිසා සඳලි සිටියේ අප්‍රමාණ සතුටකිනි.ආදිත්‍යට මුළු වැටුපම වැය කර උදෑසන සෙනඟ ඉතිරෙන බසයක තැලී පොඩි වෙමින් රාජකාරියට ගිය තුරුලි දැන් කාර්යාලීය සේවා බස්රියේ සැපපහසු අසුනකට වී ඈත අහස දෙස බලා හිඳින්නී ය.වෙලාවන් නොගැළපුණ ද ඈ කාර්යාලයට යන වෙලාව නිදහසේ හිඳිමින් ඈ සමඟ මොනවා හෝ කියවන්නට කැමැත්තෙක් ඈත රටක හිඳියි. කිලෝමීටර කිහිපයක දුරින් හිඳිද්දී පවා තුරුලිව නිතර දෙවේලේ සැක කළ මිනිසෙකු ගැන මතක තවමත් තුරුලිට අමතකව නොයයි.
“බස් එකේ එහා ශීට් එකේ කවුද ඉන්නේ?”
ආදිත්‍ය එසේ අසද්දී උස් හඬින් ඇසෙන බස් සින්දු නිසා හිසරදයෙන් හිඳින තුරුලිට ඉරුවාරදය හැදෙන්නට එයි.
“මල්ලි කෙනෙක්..” ඇය එසේ ලියා යැවූයේ පවා බියකිනි.කොල්ලෙකුට ඉඟිබිඟි කරන්නට ඇත්නම් ඒ බාලයෙකු වූවත් කමක් නැති බවට ආදිත්‍යගේ බැනුම් වරුසා ඇද හැලෙන්නේ ඉනික්බිති ය.
“අර එඩියුකේෂන් ඩිපාට්මන්ට් එකෙන් බහින තාරක.අද ෂර්ට් එකට හරි හැන්ඩ්සම්..”
දැන් ඈ මියුරුට ලියා යවයි.ප්‍රේමයක් තවම ඔවුනතර නැති බව හැඟවූව ද සෑම මොහොතක ම තුරුලිගේ මුහුණට සිනාවක් ගෙනෙන්නට යත්න දරන යෞවනයා මුලින් ම එවන්නේ සමාජ ජාලාවල දැඩි ලෙස ජනප්‍රිය සිනාසෙන බලු පැටියාගේ විසුළු මුහුණ ය.
“පොඩ්ඩක් වැඩියෙන් ලස්සනට හිනා වෙලා බලන්න..වැඩේ ගොඩ දාගන්න අදවත් පුලුවං වෙයි.”
ඔහු අනතුරුව ලියා එවයි. තුරුලි ද තවත් බලු පැටියෙකුගේ මුහුණක් ඔහුට යවයි.ජීවිතය මෙතරම් නිදහස් වීම ඇයට ම අදහන්නට අසීරු ය.ඔහු ද විදේශීය යුවතියන්ට මැදිව ගත් සේයාරු ඕනෑතරම් ෆේස්බුක් හරහා මුදා හරියි.එතැන සිටින ලස්සනම යුවතිය තෝරන්නට ඇති කරගන්නා රණ්ඩු ආදිත්‍යට හිසේ කෙස් ගණනට සිටින “නෑදෑ නංගිලාගේ” ගැටලු වලට වඩා මොනතරම් සුන්දරදැයි තුරුලි සිතන්නේ සැනසීමෙනි.
හොඳම යාළුවා තුරුලිට බැන වදින තැන් නැතිවාම නොවේ.පරක්කු වී ඉගෙනීම ඇරඹීම නිසා උපාධිය අසීරු යැයි නාහෙන් හඬද්දී ඔහු එසැණින් වීඩියෝ ඇමතුමකින් මතු වේ.කිසිවෙකුට කිසිවක් නොහැකි නැතැයි ඔහුගේ ජනප්‍රියම ආදර්ශ පාඨය අසමින් ඈ ඔහුට අවනත වෙද්දී සඳලි ඒ අහල පහළක සිටී නම් වහා මියුරුට එක් වී අක්කාට දොස් නඟන්නට සඳලි ද අමතක කරන්නේ නැත. තුරුලිට දොස් නගන්නට ඇරඹි සංවාදය දිගු වන්නේ බොහෝ සුන්දර කතාබහකිනි.සහෝදරත්වය උතුරා යන හෝරා වලිනි.”අන්න අර මූසල මිනිහා බහිරවයෙක් වගේ හන්දියෙ රැකගෙන ඉන්නවා.මං මෙතන නවතිනවා.මූණත් මූසලයි බූරුවගෙ..”එකල ආදිත්‍ය දකිද්දී සඳලි බැන වදින ආකාරය සිහි කරමින් තුරුලි නංගීගෙත් මියුරුගේත් වීඩියෝ ඇමතුම් වල උතුරා යන මිත්‍රත්වය සහ සහෝදරත්වය දෙස බලා හිඳින්නේ ආදරයෙනි.
රාත්‍රිය වන තුරු සේවා ස්ථානයේ රැඳෙන්නට සිදු වූ දිනයක “මැනේජර් එක්ක මඟුල් නැටුවද..බැංකු ගෑනුන්ගෙ ලීක් වෙච්ච ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියනව ඕයි..” කියමින් බැන වදින පැරණි ප්‍රේමවන්තයා ව සිහි කරමින් තුරුලි මාවතට බසියි.”ගෙදරට ගිහිං ඇරලවන්න එක්දාස් පන්සීයකුයි,පීසා එකකුයි ඕන..” රනුක ඇය අතින් හෙල්මටයක් තබන්නේ එසේ කියමිනි.
“නංගි කිව්වද මං රෑ වෙනව කියලා..අනේ අපරාදෙත් රනුක කරදර වුණේ..”
තුරුලි පවසන්නේ බියකින් තොරව නිවසට යන්නට හැකි වීම ගැන සතුටිනි. මාර්ග තදබදයක රැඳෙද්දී ඇය වෙතට හිස හරවා හිනැහෙන රනුක කියන්නේ අනිකකි.
“උන්දැට එච්චර සිහියක් තිබ්බොත් මදැයි.මට මියුරු මැසේජ් එකක් දාල තිබ්බ පොඩ්ඩක් බලන්න කියල.මේවා ඉතිං ඌයි තාත්තයි ආපහු එනකං විතරයි.අවුරුදු ගාණක් අම්මවයි කෙල්ලො දෙන්නයි මාව ඩ්‍රයිවර් කරගත්තුවට ඊට පස්සෙ මං මියුරුවගෙනුයි තාත්තගෙනුයි රිටන් ගන්නවා..”
පවුලක ඇති බැඳීමේ මිහිරියාවෙන් හිත පුරවා ගන්නා තුරුලි ජීවිතය ඇත්තේ විඳින්නට බව සිතන්නේ සතුටිනි; සැනසීමෙනි.
“මගේ හිතේ තිබ්බ ලොකුම බර නිදහස් පුතේ.අර රස්තියාදුකාරයාගෙන් ඔයාව ගලෝලා දෙන්න කියල මං බාරහාරම කීයක් උනාද? කිසිම මොහොතක මට සැනසීමක් තිබ්බෙ නෑ.පුතාට හපං අම්මා..”
අම්මා එසේ කියා අනතුරුව වඩා ලස්සන සිනාවක් මුවේ පැළඳ ගනියි.
“අද මියුරු මාත් එක්ක කතා කර කර හිටිය සෑහෙන වෙලාවක්.මං සීනි අමාරුවට පරිස්සං වෙන්නෑ කියලත් බැන්නෙ..දොස්තර වෙන්න ඉන්න කොල්ලනෙ කියල මාත් ඉතිං බැනුමක් දෙකක් අහගෙන හිටියා..
තුරුලි අම්මාට කිසිත් නොපැවසූව ද දැන් ඇගේ හදවත වඩා උනන්දුවෙන් යමක් වෙනුවෙන් මඟ බලන්නට පටන් ගෙන තිබිණ.
ඒ හොඳම යාළුවා ලෝකයේ සිටින හොඳම ප්‍රේමවන්තයා වෙන දවස එනතුරු ය. ඒ දවස එන්නට හොඳම කාලය පැමිණ ඇතැයි ඈ සිතන්නට ගත්තා ය.