ඈත දුර ආකාසේ – 26

ආදිත්‍ය රැගත් මෝටර් රථය තුරුලිගේ මිදුලේ නැවතුණේ වේගයෙනි.රොෂේන් ට එහි හිඳින්නට ඉඩ හැර ආදිත්‍ය පිටතට ආවේ මවා ගත් අහංකාරකමක් සහ කෝපයක් සහිතව ය.සඳලි සහ රනුක සිටී නම් ගැටළුව විසඳීම කොහෙත්ම පහසු නැත.ඔහු නිවසට ගොඩ වැදුණේ අනවසරයෙනි.සඳලි ලැප්ටොප් තිරයෙන් දෑස මෑත් කර ඔහු දෙස නොවටිනා බැල්මක් හෙළුවා ය.

“අම්මා..මේ ආදිත්‍ය ඇවිත්..”

එපමණකි. කලබලයකින් තොර ඔවුන්ගේ හැසිරීම ආදිත්‍යට ගෙනාවේ පුදුමයකි.අම්මා පැමිණ අසුන් ගත්තේ ද ආදිත්‍යට තද බැල්මක් හෙළන අතර ය.

“කෝ තුරුලිත් ආවද? එයාව ආපහු ගෙට ගන් නෑ අපි..”

ඉන්දීය ටෙලි නාට්‍යවල අම්මලාගේ කතාවක් ඇසුණු ආදිත්‍ය පුදුමයට පත් විණි. මොවුන් සිතා සිටින්නේ තුරුලි තවමත් තමන් ළඟ බව ද?

“කෝ තුරුලි?” ආදිත්‍යට සුපුරුදු හදිසි කෝපය මතුවන අන්දම සඳලි නෙත් කොණින් බලා සිටියා ය.ඇය හෙමින් සීරුවේ නැගිට ගත්තා ය.මේ සියල්ල කළ යුත්තේ ඉතා ප්‍රවේසම් සහගතව ය.

“අනේ ආදිත්‍ය, ඒ ලෙවල්ස් කරන කොල්ල වගේ ඇක්ට් කරන්න එපා.අක්කා අපිට දැන්නුවනෙ ඔයාලා හොරෙන්ම මැරි කළා කියල.දැන් ඔයා මෙතන රඟපාන්නේ ඇයි..”

විශාල වරදක් සිදුව ඇති බව ආදිත්‍ය අවබෝධ කර ගත්තේ ය.නමුත් ඒ නූල් බෝලයේ පැටලුම් කෙසේ හෝ දිග හැරිය යුතු වේ.ඔහු සඳලි අසලට ආවේ එවග සිතමිනි.

“තුරුලි මං ගාව නෑ.මං ආවේ එයාව හොයන්න..”

ඔහු අපේක්ෂා කළ අන්දමට තුරුලිගේ අම්මා එයට කලබල වූයේම නැත.ඈ ගණනකට නොගන්නා බැල්මකින් බලා සිටියා ය.

“කසාද බැන්දෙ අපෙන් අහල නෙවෙයිනෙ ආදිත්‍ය.දෙන්න දෙමහල්ලන්ගෙ ප්‍රශ්න ඔයාලා විසඳ ගන්න.මං තුරුලිව දරුකමින් අයින් කරලත් ඉවරයි..”

තුරුලි සමඟ සම්බන්ධතාවය නවතා දමන ලෙස තමන්ට බොහෝ වාරයක් බැගෑපත් වූ ගැහැනියගේ ආඩම්බරකාර කතාවට ආදිත්‍යට නිවසේ බඩුමුට්ටු පොඩි කර දමන තරමට කෝපයක් ඇති විණි.

“මේ ආන්ටි, තුරුලි මාත් එක්ක ගියා තමයි.ඊට පස්සෙ එයා අසනීප වෙලා මං හොස්පිටල් ඇඩ්මිට් කරා.එයා බලෙන්ම ඩිස්චාජ් කරගත්තා කියනව හොස්පිටල් එකේ අය.දැන් එයා කොහෙවත් නෑ..”

ආදිත්‍ය සැබෑවටම කලබල වී ඇති අන්දම බලා සිටි සඳලිට සැබෑ සිනාවක් නැගී ආවේ ය.ඈ උස් හඬින් හිනැහුණා ය.ඇගේ මුහුණ පොඩි වෙන සේ පාරක් ගසන්නට තරම් තරහකින් ආදිත්‍ය දැවී ගියේ ය.

“මාර ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක්.ඔයා තනියම හැදුවද අපේ අක්කත් උදව් කරාද? මෙහෙමයි,දැන් එයා අතුරුදහන් වෙන ඒවා,පැනල යන ඒවා බලා ගන්න ඕන එයා.ඔයාලා මැරි කරලනෙ.අපිට එයා අයිති නෑ. ආයේ එයා ගැන කියාගෙන මෙහෙ එන්නත් එපා.දැන් ඔයාට යන්න පුලුවං..”

කලබලයට පත්ව සිටින ආදිත්‍ය කෝප ගැන්වීම සැබෑ විනෝදයක් වග ඇයට සිතිණ.ඉතින් සඳලි දිගින් දිගටම කියවන්නට ගත්තා ය.

“ඔයයි අක්කයි හිතුවද පැනල ගිහිං දවස් දෙකකට තුනකට පස්සෙ තුරුලි ඉන්න තැන මාත් දන් නෑ කියාගෙන ඔයා කඩාපාත් උනාම අම්මයි මායි බය වෙයි කියල.අපිට ඇත්තටම එයා වගේ හිතුවක්කාර මනුස්සයෙක් වැඩක් නෑ.ඔයාට වැඩක් තියනම් හොයා ගන්න.අපි මොකුත්ම කියන් නෑ..”

ආදිත්‍ය නොසන්සුන්ව එහෙමෙහෙ සක්මන් කළේ ය.අනතුරුව ඔහු තුරුලිගේ අම්මා දෙසට හැරුණි.

“මට ගේ චෙක් කරන්න ඕන..එයා ගේ ඇතුළේ ඇති..”

ඒ ඉල්ලීම ඉටු නොවන්නේ නම් තමන්ගේ බිරිඳ සඟවාගෙන ඇති බව කියා පොලිසිය වෙත යන්නට ඔහු දැනටමත් තීරණය කළ අවසන් ය.

“මම වෙනදට නම් ආදිත්‍යව මේ දොරෙන් ඇතුළට ගන්න ආසාවක් නෑ.කමක් නෑ..වයිෆ් හොයන් ආව ගමනක්නෙ.බලන්න.”

සඳලි ඔහුට නිවසේ සෑම අහුමුල්ලක්ම නිරීක්ෂණයට ඉඩ හැරියේ අම්මා එසේ පැවසීමෙන් පසු ය.ගබඩා කාමරය,සේවක වැසිකිළිය පවා දොරවල් හරිමින් පෙන්වන සඳලි දෙස ආදිත්‍ය කෝපයෙන් බලා සිටියේ ය.

“ඔයාට ඇත්තටම ගාණක් නැද්ද?”

ආදිත්‍ය එසේ අසද්දී සඳලි සිනා වාවාගෙන ඔහු ගෙවත්තට රැගෙන ගියේ ය.සැබෑවටම තුරුලි නිවසට නොපැමිණි බව දැන් ආදිත්‍යට පැහැදිලි ය.

“අර ලිඳ ඇතුළෙත් බලන්න..ඕනනං..පැනලද දන් නෑනෙ..”

සඳලි එසේ පවසද්දී ආදිත්‍යගේ කෝපය පුපුරා ගියේ ය.ඔහු ගිනි පුළිඟු විසිවෙන දෑසින් සඳලි දෙස බලා සිටියේ ය.

“ඕයි!! ඒ තමුසෙගෙ අක්කා නේද? අනික ට්වින්ලගෙ බොන්ඩ් එක වැඩියි නේද..ඇත්තටම තුරුලි අතුරුදහන්.එයා පැනල ගියා කියලා මාන්නේ තියන් තමුසෙල මේ හැසිරෙන විදිය මොකක්ද..එයාව හොයන්න ඕන..එයාට කරදරයක් ද දන් නෑ..”

සඳලි තද බැල්මකින් ආදිත්‍ය දෙස බැලුවා ය.ඔහු පලවා හරින්නට දැන් වෙලාව ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.

“ආදිත්‍ය, මම මුල ඉඳන්ම කිව්වනෙ තමුන්ට අක්කා ගැලපෙන් නෑ කියල.කසාද බැඳල දවසක් ගෙවෙන්නත් කලින් එයා තමුන්ව දාලා ගිහිංනම් ඒකෙන් තේරුම් ගන්න ඕන තමන් කොච්චර ෆේල්ද කියල.කොච්චර එපා වීමක අක්කා හිටියද කියල.තමන්ට දවසක් වත් ගෑනියෙක් පරිස්සං කරගන්න බෑ කියල දැන් තේරුණාද?”

නොකියවිය යුතු දේ කියවෙන බව සිහිපත් වූ ඇය නැවත සාමාන්‍ය වන්නට යත්න දැරුවා ය.රනුකගේ උපදෙස් වලින් පිට පවා දේවල් කියැවෙන තමන්ගේ කටට වැට බැඳිය යුතුම ය.

“ඒත් ඔය අක්කා අතුරුදහන් කතාව ඩ්‍රාමා එකක්නෙ ආදිත්‍ය..දැන් ඔයා යන්න.ඇත්තටම අපි ඔයාලා එක්ක කතා කරන්නවත් ආස නෑ..”

ආදිත්‍යට පිටව යන්නට හැර නිවසට ආ සඳලි පුටුවකට ඇද වැටී දෑසින් කඳුළු පනිනතුරුම හිනැහුණා ය.ඇති වෙනතුරු හිනැහී ඇය අම්මා දෙස බලද්දී අම්මා සිටියේ නිකටේ අත ගසාගෙන ය.දුක් වන්නට හේතු අල්ප නිසාම ඇය කම්පා නොවී සිටින්නට වෙර දැරුවා ය.

“ෆේස්බුක් එකේ විහිලු පෝස්ට් තියනව අම්මා, අම්මගෙ බෑනා බූරු පැටියෙක් කියල..ඒ මේ වගේ උං ගැන..”

සඳලි හිනැහෙමින් කියද්දී අම්මා ඇයට රැව්වා ය.ආදිත්‍යට එවැනි නෑකම් දෙන්නට අම්මා මනාප නැත.

“මගෙ බෑනලා බූරු පැටව් නෙවෙයි.ඒ ළමයි දෙන්නා මොලේ කල්පනා කරන හින්ද තමා මං කඳුලක්වත් හෙලන් නැතුව මේවා උහුලන් ඉන්නේ..”

සඳලි වහා අම්මා වැලඳ ගත්තා ය.අක්කාට දික්කසාද නඩු පවරන්නට වෙන නිසා ඇය ඉන්නේ වේදනාවෙනි.ඒගැන ඇති අත්දැකීම් ඊයේ මියුරුගේ අම්මා බෙදා ගන්නා තුරුම ඇය සිටියේ නොපෙනෙන්නට හඬමිනි.

“අක්කට ඩිවෝස් නඩු දාන්න වෙන එකක් නෑමයි කියල මට හිතෙනව අම්මා.මේ යක්කු හොර කසාදයක් කරන්න ඇත්තෙ.අපි බලමුකො.දැන් මෙයා රට වටේම අක්කා හොයන්නැතැයි..”

සඳලි හිනැහෙන අතර රනුකට ඇමතුමක් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles