අහංකාර නගරේ -30

බෝඩිමේ ඉස්තෝප්පුවේ කොන් හතරට වන්නට තබා තිබූ පරණ ලී පුටුවක සිතිජ ගේ පියා අසුන් ගත්තේ ය. ඔහු හිඳ ගන්නා විට, කාලයකින් අලුතෙන් නො වියන ලද ඒ පුටුවේ දිරා පත් වූ පරණ වේවැල් කිරි කිරි ගානවා මට ඇසුණේ ය.

“මැඩම් මට කිව්ව සර්…ඒ ගැන ගෙදර කවුරුවත් දැන ගන්න ඕන නෑ කියල…”

“එහෙම කියපු එකේම අමුත්තක් දැනුණෙ නැද්ද…අනේ මන්දා ළමයො…මට දැං මේ හැම දෙයක්ම තිත්ත වෙලයි තියෙන්නෙ”

“අනේ සර්…මේ ප්‍රශ්නෙ සර්ල අතරෙ ප්‍රශ්නයක් වෙන්න හේතුවක් කර ගන්න එපා”

මගේ හඬ මට ම දරා ගත නො හැකි තරම් අවිහංසක වූයේ ය. ජයශාන්ත මහතා මවෙත හෙලු බැල්මෙහි වූයේ දයා කරුණා සහගත ළතෙත් බවකි. ඔහු ගේ වියපත් මූණ අස්සෙන් මට සිතිජ ගේ තුරුණු වත මැවී පෙනුණේ ය. විදුහල්පති තුමා ගේ තරුණ කාලයේ ඔහු සිතිජ සේ ඉන්නට ඇත.

“මං ජයශාන්ත මාමාට තේ එකක් හදන්නං”

සුරනි අපට තනි ව කතා කිරීමේ අවස්ථාව ලබා දෙන්නට තීරණය කරන්නට ඇත.

“ඕගොල්ලො මෙහෙ උයාගන්නවද…”

“ඔව් මාමා. එතකොට කඩෙං කනවට වඩා වියදම අඩු කර ගන්න පුළුවන්”

“ඒක හොඳයි. මුල ඉඳලම සකසුරුවමට පිරිමහල ජීවත් වෙන්න ඉගෙන ගන්න එක ගෑනු ළමයින්ට හරි වැදගත්. එහෙම නොවුණහම තමයි කොයි විදිහකින් හරි වැඩි වැඩියෙන් සල්ලි හොයන්න දඟලන්නෙ”

ඔහු කතා කරන්නට ඇත්තේ ජීවත් වීම තුළින් උකහා ගන්නා ලද අත්දැකීම් මත පිහිටා විය යුතු ය. දහස් ගණන් දරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කරන්නට විසල් මෙහෙවරක් කරනා විදුහල්පති වරයෙකුට වුව ජීවිතය වැරදී යා හැකි යයි කිසිවෙකු සිතන්නේ නැත. නමුත් මගේ ඇස් පනාපිට වන්නේ එහෙව් සාක්ෂියකි.

“මට සමා වෙන්න සර්. මැඩම් මාව ඒ ස්පා එකට යවපු දවසෙ හිතා ගන්නවත් බැරි විදිහට බේරිලා ඇවිත් මං ආයෙ ඒ ගෙදරට නොගිහිං හිටියෙ ඔක්කොම ප්‍රශ්න එතනිං ඉවර කරන්න හිතාගෙන…”

මම හිත හයිය කර ගෙන කතා කරන්නට පටන් ගතිමි. සිතිජ ට පෙම් කිරීම හැරුණ කොට මගෙන් වෙනත් කිසිදු වරදක් ඔවුන් ට සිදු වී නැති බව විශ්වාස ය. ඒ වරදට මා දඬුවම් ලැබිය යුතු යයි ජයශාන්ත මහතා තීන්දු කරාවි ද කියා මම නො දනිමි.

“මෙව්නා. මේ ගම නෙවෙයි දරුවො. නගරෙ කිසි දෙයක් අපි ගමේ ඉඳං එද්දි හිතන තරං සරල නෑ. සමහර විට ඒ සංකීර්ණ කම කොච්චර ද කියල තේරුං යනකොට අපි හුඟක් දුරට පටලගෙන වරදගෙන ඉන්න පුළුවන්”

ඒ වියපත් මුහුණ මත මඳහසක් වූයේ ය. ජීවිතය මැනවින් දැන කියා ගත් පරිනත බවක් ඒ සිනහවේ තිබී මට හමු විය.

“ඔයා සිතිජට ලං වෙලා ඉන්න නිසා…අපේ ගෙවල් ඇතුළෙ තියෙන ප්‍රශ්න ගැන සාමාන්‍ය හරි අවබෝධයක් ඇති. මේක ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ ජීවිතයක් ළමයො. ඒක නිසා සිතිජ ගත්ත තීරණේ ගැන මං සතුටුයි”

අහසින් පොළොවට වැටුණා සේ ක්ෂණික කැළඹීමකි එය. ඒ කැළඹුම් තරංග ඈතට ඈතට තුනී වී ගියාට පස්සේ මම නෙතු විදා එතුමා දෙස බැලුවෙමි.

“සර්…”

“අපිට දැනෙන තැනයි අපි නතර වෙන්න ඕනෙ පුතේ. එතකොට ජීවත් වෙන්න ඕන කරන අනිත් හැම දේම මහන්සි වෙලා හරිහම්බ කර ගන්න පුළුවන්. ඒත් අපි මොකද්ද කරන්නෙ…දුවන්නං වාලෙ දුවනව. ලෝකෙට පේන්න කසාද බඳිනව. එතන ආදරයක් කියල අංශුවක්වත් ඇත්තෙ නෑ. අපි හුස්ම ගන්නව විතරයි. ජීවත් වෙන්නෙ නෑ. ඒක දරා ගන්න බැරි අවාසනාවක් දරුවො”

මගේ ඇස් තෙත් වී ගෙන ආ තරමි. මේ කර්කෂ නගරයේ සිහිල් පැන් බිඳක සිසිලසින් යුතු ව මට ඒ වචන දැනුණේ ය.

“සර්…”

ඔහු ට ඒ හඬ නො ඇසුණා විය හැක. 

“බය නැතුව ඉන්න. මං ඔයාට අපේ ගෙදරිං කරදරයක් වෙන්න දෙන්නෙ නෑ”

“සිතිජ ඇරුණහම…මේ කොළඹ ඇත්තට ම ඔය කරුණාවෙන් මට කතා කරල තියෙන්නෙ හරි සර් විතරයි සර්…සර්ට පින් සිද්ද වෙනව…”

එතෙක් නෙත් කෙවෙනි අස්සේ දුක් විඳි කඳුළ ඉහිර ගියේ ය. අසුනෙන් නැගිට ගත් සිතිජ ගේ පියා මා ළඟට ම විත් මගේ හිස් මුදුනෙහි අතක් තබා ගත්තේ ය. ඇයි දෝ මන්දා මට ඉකි බිඳී හැඬිණි. හෙතම මාව ඔහු වෙතට ලං කොට ගත්තේ ය. ඒ පපුවට වාරු වී මම නිදහසේ හැඬුවෙමි.

තාත්තා කෙනෙකු ගේ ආදරය මා කිසි දා ක විඳ නැත. එහෙම ආදරයක සුවඳ හෝ මා හඳුනන්නේ නැත. කිරි අත්තා ද මා උපදින විටත් දිව්‍ය ලෝකයේ ගොස් සිටියේ ය. පියෙකු හරි හැටි නො දන්නා, මව විසින් ද හැර දැමූ දැරියක ලෙස, ගම්මුන්ට මා අත්හැරී, අමතක වී ගිය චරිතයක් විය. ගමේ පාසලේ විදුහල්පති තුමා මා කෙරේ අනුකම්පා සහගත වූවාට, සිතිජ ගේ පියා ළඟ දැනෙන පීතෘ හැඟීම ඔහු අස මට නො දැනුණ බව විශ්වාස ය.

“සමහර විට ලේසි වෙන එකක් නෑ. ඒත් අපි මූණ දෙමු මේකට. ෆයිට් කරමු. තේරුණාද? 

හෙතෙම මගේ හිස පිරිමදිමින් කීවේ ය. දෙවියනි ඒ හැඟීම! 

“ජයශාන්ත මාමා…තේ එක බොමුද…”

සුරනි තේ හදා ගෙන පැමිණ තිබේ. මම සිතිජ ගේ පියා වෙතින් මිදුණෙමි. සුරනි ගේ වත මත සහෝදර සිනහවක් නලියමින් තිබිණි.

“මං කිව්වෙ හරියටම…ජයශාන්ත මාමා හරි දේ හරියට තේරුං ගනියි කියල”

ඔහු තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ කුඩා දරුවෙකු සිහි ගන්වමිනි. වුඩ්ලන්ඩ් මාවතේ නිවස තුල දී මේ නිදහස් කාමී බව ඔහු වෙතින් කිසි දා දැකිය හැකි වූවේ නැත.

“මං දන්නවනෙ මගෙ පුත්‍රයගෙ තරම. මං විරුද්ද වුණයි කියල ඕකා කීයටවත් මේ කැලෑ මලෙං ගලෝ ගන්න බෑ. ඊට මීට වඩා නරකයැ…මුල ඉඳලම කැමති වුණහම ලේලි පොඩ්ඩ මට බැරි කාලෙක හරි සලකයිනෙ. නැත්තං මොකද වෙන්නෙ…”

ඔහු ප්‍රශ්නාර්ථයෙන් මදෙසත් සුරනි දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූයේ  ය. අප දෙදෙනා ම උත්තරයක් නැති ඇස් වලින් බලා සිටියෙමු.

“උඹල ඒ කාලෙ මට පාට් එක දැම්ම නේද කියල කේන්තිය පිරිමහන්න පටන් ගන්නව. එතකොට පුතා ගෙදරින් ගියාම කන්න දෙන්නෙ නෑ. බේත් ටික හරියට දෙන්නෙ නෑ. නාකි ගඳයි කියල ගෙදරිං පන්නන්න බලනව…”

“අනේ සර්…”

සිනහව අතරින් මට හැඬෙන්නටත් ආවේ ය.

“තාත්තෙක් නැති මං දෙයියංව වගෙයි සර්ව බලා ගන්නෙ”

විදුහල්පති තුමා කොක් හඬ ලමින් හිනැහෙන්නට වූයේ ය. සුරනි මගේ උරහිස වටා අතක් යවා මා වැළඳ ගත්තා ය. බෝඩිමේ ඇන්ටි කොකම් පාමින් හිඳ ඇතුල් ගෙයින් ඉස්තෝප්පුවට ආවා ය.

“අනේ මොන තරං සතුටක්ද මෙහෙම දෙයක් දකින්න ලැබෙන එකත්”

ඈ එසේ කීවේ මූණිච්චාවට නොව අවංකව බව පෙනෙන්නට තිබුණේ ය.

“මේ කෙල්ල හරි පිංවන්තයි මහත්තය. මං හිතන්නෙ මහත්තයගෙ පුතාට හරියටම ගැලපෙන ළමයා. දෙන්නා එකට ඉන්නකොට නිකං මැච් කරල ටෙලි නාට්ටියකට අර ගත්තු නළුවෙකුයි නිළියෙකුයි වගේ”

බෝඩිමේ ඇන්ටි ගේ කතාවට සිතිජ ගේ තාත්තා නැවතත් හඬ නගා හිනැහෙන්නට ගත්තේ ය.

“මට කොල්ලෙක් හිටියනං යන්න දෙන්නෑ අම්මප මේ ගෙදරිං”

“ඒවනං කෙරෙන වැඩ නෙවෙයි නෝනා. කෙල්ල ඉස්සල්ලම ආවෙ අපේ ගෙදරට. අපේ කොල්ලා මං වගේ ම දක්ෂයා”

ඔවුන් දෙදෙනා ම හරි හරියට සිනහ වෙන්නට වූහ. සරල ව ගත හොත් ජීවිතය වූ කලී මොන තරම් සුන්දර වූ හැඟීමක් දැයි මම සිතුවෙමි.

දික්කසාදයට වන බිය නිසා රෝස් මැඩම් තරමක් සන්සුන් වනු ඇතැයි සිතිජ කීවේ ය. සිය සැමියා වෙනත් ගැහැනියක සමග තවත් පවුල් ජීවිතයක් ගෙවන බව දැන දැනත් රෝස්මරී ඔය විදිහට නිහඬ ව ඉන්නට එක ම හේතුව, මේ විවාහය දික්කසාදයකින් කෙළවර කරන්නට ඇය ට වන නො හැකියාවයි. එය ඇගේ සමාජ තත්වය ට මරු පහරකි. සමාජ සේවිකාවක ලෙස වැජඹෙමින් හිඳ නොබෝ කලකින් දේශපාලනයට අවතීර්ණ වීම ඇගේ බලාපොරොත්තුව බව මා දැන ගත්තේ පසුව ය.

“එහෙනං හරියට ම හරි”

සුරනි අත්පුඩියක් ද ගසා කීවා ය.

“එයාගෙ වැඩ පිළිවෙල හදා ගෙන තියෙන්නෙම එතනට යන්න තමයි. හැබැයි රෝස් ඒ වැඩේට තක්කෙටම ගැළපෙන ගෑනි”

දේශපාලනය ගැන මට වූයේ අල්ප දැනීමකි. ඊටත් වඩා අඩු උනන්දුවක් හා නො කැමැත්තකි. ගමේ ගොවි ජනතාවට මැතිවරණ ප්‍රචාරණ සමයේ දී දෙන එක පොරොන්දුවක් හෝ දේශපාලකයන්  බලයට පත් පසු ඉටු නො කරන බව නම් මම අත්දැකීමෙන් දනිමි. 

“ආපුදෙන්කො ආයෙත් ඕකුං චන්දෙ ඉල්ලගෙන මේ පැත්ත පලතෙට. දෙන්නෑ ඕකුං එකෙකුටවත්”

සිය දුක් අඳෝනා වලට බලය ඇති කිසිවෙකු කන් නොදෙත්දී බොහෝ ගොවීන් කියනු මම අසා ඇත්තෙමි. නමුත් ඔවුන් ට ඒ බව මතක තියෙන්නේ ඊළඟ මැතිවරණ ප්‍රචාරක සමය තෙක් පමණකි. චන්ද උණුසුම වැඩි වත්දී හේනේ කුඹුරේ පමණකුදු නොව කඩපිලේ හෝ ගෙපිලේ ඇණ තියාගෙන ද චිරාත් කාලයක සිට ඔවුන් චන්දය දුන් පක්ෂය වෙනුවෙන් කතා කරති. විරුද්ධ පාක්ෂිකයන් සමග ගහ මරා ගනිති. ඊළඟ අස්වනු නෙලන සමයේ සිය අස්වැන්න කුණු කොල්ලයට දෙන්නට වෙත්දී යළිත් ඔවුන් ට දේශපාලකයන් සිහි වේ. පුරුදු බණ අඬ ගෑම නැවතත් ගෙයින් ගෙයට ඇසෙන්නට ගනී. ඔවුන් ගේ දේශපාලනය එහෙම ය.

“දේශපාලනේට ඕන තක්කඩි කම අතිං අරගෙන තමයි ගෑනි ඉපදිලා තියෙන්නෙ”

විශ්ව විද්‍යාල සිසුවියක වීම නිසා සුරනි දේශපාලන දැනුම අතින් සන්නද්ධ ව සිටියා ය.

හිතේ තිබූ මහත් බරක් බිමින් තැබුවා වන් සැහැල්ලුවක් මට දැනෙන්නට ගත්තේ ය. සිතිජ ගේ පියා ගේ ආශිර්වාදය ලැබුණා කියන්නේ සටනෙන් හරි අඩක් දිනුවා වන් තත්වයකි. කෑ ගසන දඟලන කොල්ලෙකු නො වන තැන්පත් සිතිජ ඒ සතුට දරා ගත්තේ සන්සුන් සිනහවකිනි.

“තාත්තගෙ කැමැත්ත නැති වුණත් ඒක මට ප්‍රශ්නයක්  නෙවෙයි”

“අපෝ…චණ්ඩියනෙ ඔයා ඉතිං”

“ඒක නෙවෙයි. විශේෂ දවසක් එනව ළඟම”

“ඒ කිව්වෙ…ඔයාගෙ බර්ත් ඩේ එකවත්ද…”

“මගෙ නෙවෙයි. තාත්තගෙ”

“ආව්…ඉතිං අපි මොකද කරන්නෙ…”

“මාත් තාම හිතනව”

“වෙනදට ඕගොල්ලො මොනාද කළේ…”

සිතිජ දිග සුසුමක් හෙළුවේ ය. මම ඔහු ගේ මූණේ ඉරියව් නිරීක්ෂණය කරමින් සිටියෙමි. පසු තැවීමක් මට ඒ ඇස් අස්සේ තිබී සොයා ගත හැකි විය.

“සමහර දේවල් අපිට කොච්චර මිස් වුණාද කියල හිතෙනව මෙව්නා. එක ගෙදරක හිටියත් අපි හිටියෙ අපිට හුඟක් ඈතින්. අපි අපි වෙනුවෙන් මොනවත් ම කරල නැතුව ඇති. වැරැද්ද අම්මගෙ. එයා කවදාවත් අපිව තාත්තා ට ලං කරන්න උත්සාහ කළේ නෑ. ඒ දෙන්නගෙ බිඳීමත් එක්ක අපේ මුළු පවුලම බිඳිලයි තිබිල තියෙන්නෙ කියල දැන් මට හිතෙනව”

සිතිජ ගැන සේ ම ඔහු ගේ පියා ගැන ද මා තුළ ඇති වූයේ ශෝකයකි. ඔවුන් ගේ ගරා වැටුණ සබඳතාවයේ සුන් බුන් මතින් අලුත් බැඳීමක් ගොඩ නැගිය හැකි නම් එය කෙතරම් අගනේ දැයි මම සිතුවෙමි. 

“අපි දෙයක් කරමුද…හැබැයි ඔයා කැමතිනං විතරයි”

සිතිජ මා දෙස බැලූයේ මගේ ඕනෑ ම යෝජනාවකට ඔහු එකඟයි වාගේ 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content