දර ලිපක් මත ඉදෙන බතක නැවුම් සුවඳ අතීත මුළුතැන්ගෙයට අරුමයක් වුනේ නැහැ.ලුණු පොල්කට්ට ,ඇඹරූ තුනපහ ගුලිය එදා මුළුතැන්ගෙයි අනිවාර්‍යය අංගයක් වුණා.
අතීත මුළුතැන්ගෙය ඔසු හලක් කීවොත් නිවැරදියි.මන්ද,බාල ,තරුණ ,මහළු සියල්ලන්ගේම විවිධ රෝගාබාධ සඳහා පිලියම් එහි තිබුණා.
බොහෝවිට මුළුතැන්ගෙයි වෙදැදුරුවරිය වුණේ අත්තම්මා.ඉතින්,මේ මුළුතැන්ගෙය නම් ඔසු හලේ නිපදවන අමෘතයක් බඳු ඔසුවක් තමයි “ලුණු කැඳ ” කියන්නේ
කැඳ කිව්වම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ”කොළ කැඳ”.නමුත් කොල කැඳ කියන්නෙ ශ්‍රී ලාංකීය අපට පුරුදු එක් කැඳ වර්ගයක් පමණයි. ඉතා පොහොසත් ආහාර සංකෘතියකට උරුම කියන අපේ රටේ විවිධ රස ,ගුණ දෙන කැඳ වර්ග බොහොමයක් තියෙනවා.
ඒ අතරම විවිධ රෝගාබාධ වලට විශේෂිත වූ කැඳ වර්ගත් තියෙනවා .මේවා අතර මුල් තැන ගන්නා,ඉතාම සරලව පිළියෙල කර ගත හැකි ගුණයෙන් ඉහල කැඳ වර්ගයක් තමයි ලුණු කැඳ කියන්නේ.
ලුණු කැඳ නිවැරදි ලෙස සාදාගන්නේ කොහොමද?
ලුණු කැඳ පිළියෙල කර ගත හැකි ක්‍රම 2 ක් තියනවා
හොඳින් සෝදා ගරාගත් නිවුඩු සහල් මිටක් බඳුනකට දමා වතුර කෝප්ප හතරක් දමා බඳුන නොවසාම තම්බාගත යුතුයි.
බත හොඳින් ඉදුණු පසු බත් ටික වෙන් කර ,පිරිසිදු නෑඹිලියකට දමා හැන්දකින් පොඩි කරගෙන නැවත කැඳ වතුර හා මිශ්‍ර කර ,හොඳින් හැඳි ගා ,රස අනුව ලුණු එක් කර,පෙරා ,දියර කොටස පමණක් කැඳ ලෙස ලබා ගන්නවා.
ලුණු කැද පිලියෙල කරන තවත් ක්‍රමයක් තමයි
සහල් ලිප තබන විට මදක් වැඩිපුර වතුර තබා ,බත ඉදෙන විට එම වතුර පෙරාගෙන එයට ලුණු ස්වල්පයක් එක් කිරීම. මෙලෙසද ලුණු කැඳ පිළියෙල කරගත හැකියි.
කැඳ සෑදීමේදී සැලකිලිමත් විය යුතු දේවල්
මෙලෙස කැඳ පිළියෙල කිරීමේදී ඉක්මනින් සහල් තම්බා ගැනීම සඳහා සහල් එක් කිරීමට පෙර මඳ කාලයක් පෙඟීමට තබා , එම සහල් කොටා එක් කිරීමෙන් තැම්බීම පහසු කරගැනිමට හැකියි.
කැඳ පිසීමේදී මැටි මුට්ටියක් භාවිත කිරීම වැදගත් වන්නේ එමගින් නැවුම් රසයක් එක් වන නිසා මෙන්ම සෞඛ්‍යයට ද එය හිතකර වන නිසාවෙන්.
කැඳ පිළියෙල කිරීමේදී සුදුළූණු ,රතු ළූණු ,ගම්මිරිස් ඇට කිහිපයක් ,ඉඟුරු කැබැල්ලක් එක් කර ගැනීමෙන් මෙහි ගුණය තවත් වැඩි කරගත හැකි වෙනවා.
ලුණු කැඳ වල ගුණ මොනවාද?
උණ ,සෙම් ප්‍රතිෂ්‍යාව වැනි රෝග තත්ව වලදී බොහෝ විට අපට කුසගිනි නොදැනී යනවා.එමෙන් ම ආහාර රුචිය නොමැති වීම,ගන්නා ආහාරය නිසි ලෙස නොදිරවීම සිදු වෙනවා. ශරීරයෙන් ආහාර ප්‍රතික්ෂේප කරනවා.ජල පානයට පවා අරුචියක් ඇති වෙනවා.මල බැහැර කිරීම අක්‍රමවත් වෙනවා.ශරීරය දුර්වල වෙනවා.
නමුත් මෙම අවස්ථා වලදී රෝගයට විරුද්ධව සටන් කිරීමට ශරීරයට ශක්තිය අවශ්‍ය යි.
බර ආහාරයක් ගතහොත් එය දිරවීමට අපහසු නිසා තවත් ශරීරයට පීඩාවක් ගෙන දෙන්න පුළුවන්.
මේ වෙලාවෙදි තමයි “ලුණු කැඳ “පිහිටට එන්නේ.
ලුණු කැඳ සැහැල්ලු,එනම් ලඝු ආහාරයක්. එනිසා පහසුවෙන් දිරවා අවශෝෂණය වෙනවා. එහි ස්වභාවයෙන් අඩංගු දීපන ,පාචන ගුණ නිසා කුසගින්න වඩවා ආහාර රුචිය ඇති කරවනවා
ඒවගේම ශරීරයට අවශ්‍ය ජලය,ලවණ කොටස් ,වෙනත් පෝෂක ලබාදී ශරීර ශක්තිය නැවත ස්ථාපිත කරනවා.රෝග සුවයට උපකාර වෙනවා.
පෙර සඳහන් කල ලෙස ඉඟුරු ,සුදුළූණු ,ගම්මිරිස් එක් කර ගැනීමෙන් මෙහි ඖෂධීය ගුණය වඩාත් වර්ධනය වෙනවා.
එමෙන්ම රෝගී පුද්ගලයන්ගේ පමණක් නොව සාමාන්‍ය පුද්ගලියන්ගේ පවා ලුණු කැද ආහාරයට ගැනීමෙන් මල පිටවීම පහසු කරනවා. මුත්‍රද පිරිසිදු කරනවා.
ශරීරයට යථා තත්වයට ගෙන ඒමට ,ආහාරයක් ,පානයක්,ඖෂධයක් ලෙස එකවර ක්‍රියා කරනවා.ප්‍රතිශක්තිය වඩවනවා.
එමෙන්ම සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙකුට වුණත් සතියට කිහිප වරක් ලබා ගන්නා සැහැල්ලු ආහාරක් ලෙස ලුණු කැඳ ලබා ගැනීමෙන් ඔහු ගන්නා ආහාරය නිසි ලෙස දිරවා පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස අවශෝෂණය කිරීමේ හැකියාව ලැබෙනව.
එමෙන්ම අග්නිදීපනය “හෙවත් කුසගින්න නිසි ලෙස දැල්වීම නීරෝගී බවට රැක ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් මේ නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට වුවත් ලුණු කැද ආහාරයට ගැනීමෙන් වාසියක් මිස අවාසියක් නෑ.
ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වෙන තවත් කැඳ වර්ග කිහිපයක් ගැන මේ වෙලාවෙ මතක් නොකර බැහැ.
මණ්ඩ , පේයා හා විලේපී ලෙස දැක්වෙන ,සහල් යොදාගෙන සාදන කැඳ වර්ග තුනක් තිබෙනවා.
“විලේපී ” බෙරි බත් හා සමාන අතර මණ්ඩ හා පේයා යන කැද වර්ග බොහෝ දුරට ලුණු කැඳ හා සමානයි.
මණ්ඩ යන කැද සඳහා සහල් කොටස් එකකට ජලය කොටස් 14 ක් එක් කර හොඳින් පිසගෙන ,වතුර කොටස පෙරාගෙන එයට සහිඳ ලුණු හා ඉඟුරු කුඩු එක් කරන ලෙසත්
පේයා කැද වර්ගය පිලියෙල කිරීම සදහා ඉහත අනුපාතයටම සහල් හා ජලය එක් කර බත ඉදුණු පසු හොඳින් පොඩි කර බත් කොටස සමගම පානය කරන ලෙස දක්වනවා.එකතු කරන ජල ප්‍රමාණය වැඩි නිසා මෙන්ම සහිඳ ලුණු හා ඉඟුරු කුඩු එක් කරන නිසා මෙම කැද වර්ග දෙකම සැහැල්ලු බවෙන් පිරිපුන් .ඖෂධීය ගුණය අධිකයි.
[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]
උදේ බොන පිටිකිරි වීදුරුව වෙනුවට මෙතරම් ගුණ ඇති සරල ආහාරයක් වන ලුණු කැඳ කෝප්පයක් අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් බොහෝ ලෙඩරෝග වලින් මිදී නිරෝගීව දිවි ගෙවීමට එය මහඟු පිටිවහලක් වනු නොඅනුමානයි.
තොරතුරු සැපයීම –
රුචිරා නිශ්ශංක
බී.ඒ.එම්.එස්(ගෞරව )කොළඹ විශ්ව විද්‍යලය
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී(වැලිමඩ )