“ආදරේටයි රැවටීමටයි කවදාවත් සමාන වෙන්න බෑ මියුරු.”
ඉකි ගැසීම අහවර කළ තුරුලි මියුරුට පැවසුවේ කල්පනාකාරීව ය.ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඕනෑ විය.
“ඒ උනාට ආදරේටයි බලා ඉන්න එකටයි සමාන වෙන්න පුලුවං..”
“මියුරුගේ හිතේ ඔයා ගැන අයිඩියා එකක් තියනවා” මිතුරියක ඒ පණිවිඩය රැගෙන ආවේ ඈ ආදිත්‍යගේ පෙම්වතිය වූ අලුත වග තුරුලිට මතක ය.අනුන්ගේ අයිතියකට පෙම් බඳින ඔහු ගැන තුරුලි හුන්නේ ම කෝපයෙනි.
“අවුරුදු ගාණක් ඔයා බලන් හිටියේ ඇයි කියලයි මට පුදුම..”
දෛවය සිදු කළ හොඳම දෙය එය බව දැන දැනම තුරුලි පැවසුවේ හැකිතරම් ආදරය පුරවා ගත් හඬකිනි.
“ආදිත්‍යගේ වෙස් මූණ ගැලවෙයි කියල මට විශ්වාසයක් තිබ්බ.ඒ අවුරුදු පහම මං බලන් හිටිය.ඔයා ගැන හෙව්ව.ඔයා දුකින් හිටිය දවස් ගැන මං දන්නවා.මමත් දුක් උනා.ඒත් ඔයා අයිති මටයි කියල මට පුදුම විශ්වාසයක් තිබ්බ..”
තුරුලි තද හුස්මක් හෙළුවා ය.ආදිත්‍යගේ ප්‍රේමයට යන්නට හැර එදවසම මියුරු තෝරා ගත්තා නම් මේ වෙද්දී ඔහු සමඟ විදෙස් සරසවියක අධ්‍යාපනය හදාරන්නට පවා තිබුණා නොවේදැයි ඇය සිතුවේ වේදනාවෙනි.
“අපි මුණ ගැහුණෙ හොඳම කාලේ.ජීවිතේ ගැන තේරෙන කාලේ.මං හිතන්නෙම අපිට පුලුවං පරණ වේදනා ඔක්කොම අමතක කරලා දාන්න.ඔයා නැතුව දුකින් හිටිය මගෙ අතීතෙයි, ආදිත්‍යගේ කරදර උහුලපු ඔයාගෙ අතීතෙයි කියන්නෙ ගෙවිලා ඉවර දවස්වලට.ඔය මදැයි ඕකට වොරි උනා.ඉස්සරහට වෙන්න තියන දේවල් වින්ඩි බලා ගනී.අපි මේක ගෙවිලා යන්න අරිමු..”
දැනෙන්නට ගෙන ඇති මහත් භීතිය ගැන මියුරුට කියන්නට තුරුලිට උවමනා විණි.ඈ හැඬුම්බර ස්වරයකින් ඔහු ඇමතුවා ය.
“මට උසාවි යන්නත් වෙයිද මියුරු.මං බයයි..”
“පොලිසි උසාවි තියෙන්නෙ මිනිස්සුන්ට යන්න තමයි ළමයො.ආදිත්‍ය වගේ සත්තුන්ට එතන පොඩ්ඩක් අමාරුයි තමා.ඔයාට බය වෙන්න දෙයක් නෑ.ආදිත්‍යගේ ලෝයර්ට ඔයා හිර කරන්න තැනකුත් නෑ.මිසිස් වාසලලගෙ ගෙදර සීසීටීවි වල ඔයාව බලෙන් වාහනේට දාගන්නවා පැහැදිලිවම තියනවනෙ.”
තුරුලි නිහඬවම මොහොතක් ගෙවා දැම්මා ය.අරුණි දික්කසාද නඩු කියන්නට පැමිණිලිකාරියක වූයේ කුඩා පුතු කුසයේ දරාගෙන බව ඇයට සිහි විණි.ඈ කොපමණ වේදනාවක් උසුලා හිඳින්නට ඇතිදැයි ඈ සිතුවේ වේදනාවෙනි.
“රනුකලගෙ අයියා කෙනෙක් ඉන්නව.අවුරුදු තිස් පහත් පැනල..ගර්ල් ෆ්‍රෙන්ඩ් කැන්සර් එකකින් නැති උනාට පස්සෙ මැරි කරන්න හිත හදා ගන්න බැරි උනාලු..”
තුරුලිගේ හඬ සන්සුන්ව ගලා එන අන්දම මියුරු අසා සිටියේ ය.ආදරයට එක් එක් හැඩ පවතී.
“ඉතිං..නංගි දීග එන ගමටම දීග එන්න හිතුණද ඔය ළමයටත්..”
ඔහුගේ උස් සිනා හඬ තුරුලි අසා හුන්නේ ආදරයෙනි.උණු වූ ලේ නහර නිවී යන සිනාවකැයි කියන්නේ මෙවැනි සිනාවකට විය යුතු යැයි ඈ සිතුවා ය.
“පිස්සුද මෝඩයෝ..එදා එයා අපේ චූටි පුතාට වත්තෙම තියන පළතුරු කඩල දුන්නා.හරි යාලු උනා.අද පුතා ගැන කතා කරනකොට මං පැනලා කිව්වා පුතාගෙ තාත්තා ඩිවෝස් කියලා..”
සැහැල්ලු ප්‍රේමවන්තයෙකුගේ සිනා නවතා දමා වගකීම් සහගත සහෝදරයෙකුට වෙනස් වූ මියුරු කිසිත් නොදොඩා බොහෝ වෙලා සිටියේ ය.
“පුතාට හොඳ තාත්තා කෙනෙක් මේ රටේ කොහෙහරි ඉන්න ඕන මියුරු.මං දන්නව ඔයා එයාට තාත්තෙක්ට තරම් ආදරෙයි.ඒත් නරක මිනිස්සු හින්දා ජීවිතේ එපා කරගන්න ගෑනු කාටත් ඊට පස්සෙ ලෝකෙ තියන හොඳම ආදරයක් හම්බෙන්න ඕන.මං හිතනව අරුණි අක්කටත් ඒක ලැබෙන්නම ඕන.කොහෙවත් ඉන්න මිනිහෙක් නිසා අපිට හැමදාම අඬ අඬ ඉන්න වෙනව නම් ඒක මහ අසාධාරණයක් නෙ..”
ප්‍රේමය පිපී එන්නට ප්‍රමාද වන තැන් අනන්ත ය.නමුත් වියළි කාෂ්ටක පොළොවකට පවා වැසි ඇද හැලෙන දවස් ඇත.මල් පිපී එන්නේ ඉනික්බිති ය. අරුණිගේ ජීවිතය ද තමන්ගේ ජීවිතය තරමටම පැහැබර වන්නේ නම් මොනතරම් අපූරු දැයි තුරුලි සිතුවා ය.
ඇගේ දුරකථනයට ඇමතුමක් ආවේ ඒ මොහොතේ ය.අන්තර්ජාල ඇමතුම බිඳ දමමින් ආ ඒ ඇමතුම දෙස ඇය මොහොතක් බලා සිටියා ය.
“මියුරු, ආදිත්‍යගේ අම්මා කෝල් කරනවා..”
ඇය එයට මඟ හැරෙන්නට හැර මියුරුට පැවසුවා ය.
“ආයේ ආවොත් ආන්සර් කරන්න.රෙකෝඩ් කරන්න ඕන හැබැයි.දැන් ඔයා ඉන්නේ සාක්කි එකතු කරන්න ඕන වෙලාවක..”
මියුරුගේ උපදෙස අතරම යළිත් ඒ ඇමතුම නැගෙන්නට පටන් ගත්තේ ය.තුරුලි හොඳ හුස්මක් ගෙන එය හා සම්බන්ධ වූවාය.