ලංකාව ම කැළඹූ පළමු ළමා පැහැරගැනීම

අපරාධ සුලබ නොවූ අතීතයක ලංකාවේ පළමු අපරාධය යැයි නම් දැරිය හැකි අපරාධයක් ගැන  සටහන් කළ හැකියි.ඒ ලංකාව තුළ සිදුවූ ප්‍රථම ළමා පැහැරගැනීම යි.ඉන්පසු බොහෝ දෑ බොහෝ ආකාරයට සිදු වන්නට මේ සිදුවීම ගුරු වන්නට ඇති.ලංකාවේ පළමු වතාවට ළමයෙකු පැහැර ගත්තේ සමන් කුමාර සිදුවීමේදී බව වරදවා වටහා ගත්ත ද මුල්ම ළමා පැහැර ගැනීම 1958 පෙබරවාරි 11 වැනි අඟහරුවාදා හොරණදී වාර්තා වී තිබෙනවා.

හදිසියේ සිදු වූ පැහැර ගැනීම 

දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ  උදේ 9ට පමණයි. දරුවාගේ මව වන  සෙලෝහාමි අබේසිංහ (35) මෙහෙකාරියක් වන හීන්මැණිකේ යන දෙදෙනා දරුවන් දෙදෙනකුත් සමඟ මේ අවස්ථාවේදී ගෙදර සිටි බව කියවෙනවා මෝටර් රථයක් ගේ අසල නතර කරන බව දුටු හීන්මැණිකේ පිටිපස දොර වසා ගෙට ගොස් තිබුණා. මඳ වේලාවකින් පසු අබේසිංහ මහත්මිය සිටි කාමරයේ ජනේලය අසලට පැමිණි දෙදෙනෙක් බී.ඩී. සිරිසේන මහතා ගෙදර සිටින්නේ දැයි අසා තිබුණා.  වැසූ දොරටුවට පයින් ගසා හැරගත් තවත් දෙදෙනෙක් මව සමඟ සිටි ජගත් කුමාර කුලසිරි දරුවා හඬද්දී පැහැරගෙන ගොස් තිබුණා.

දරුවා පැහැර ගැනීම පොලිසියට නොකියා රුපියල් දොළොස්දාහක් ලබා දෙන මෙන් දන්වා තිබුණත් ඒ වෙද්දී ද මව එය පොලිසියට දන්වා අවසන්.

ආරංචිය රට පුරා පැතිරේ

මුදලක් හිලව්වට මව්තුරුලෙන් ළපටියෙක් පැහැරගෙන යයි” ගනුදෙනුව කතා කරගන්න එන්නැයි පියාට පණිවුඩයක්. පොලිසියට කීවොත් ළමයා ලැබෙන්නේ නෑ.

මේ සිදුවීම ගැන ලංකාදීප පුවත්පත එසේ වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද කතාබහක් ඇති වූ අතර එය හැන්සාඩ් වාර්තාවේ ද සඳහන්.මෙයට පෙර කප්පමක් ගැනීමට දරුවකු පැහැරගෙන යාමක් ශ්‍රී ලංකාවේ වාර්තා වී නැති නිසා බණ්ඩාරනායක අගමැතිවරයා එයට පූර්ණ අවධානය දී තිබුණා.

දරුවා සොයා ගැනේ 

පොලිසිය සහ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් බොහෝ වෙහෙසක් දැරුවා.කුලී මෝටර් රථයේ රියදුරු අත්අත්අඩංගුවට ද පත් වුණා.ග්‍රෑන්ඞ්පාස් වීදියේ බබාපුල්ලේ දිස්පැන්සරිය තුළ හඬමින් සිටි දරුවා මුණ ගැසෙන්නේ ඒ අතර.පැහැර ගැනීමට ලක්ව සිව් දිනකට පසු, පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනය දවසේ උදෑසන 6.30ට පමණ හොරණ පොලිස් කාර්යාලයේදී ජගත්ව දෙමාපියන්ට ලබා දෙනවා.

“බබා කොහේ ගියේදැයි” අම්මා ඇසූ විට “නැන්දාගේ ගෙදර”ගිය බව කුඩා ජගත් පවසා තිබුණා.

දඬුවම් ලබා දීම

පැහැරගැනීම වෙනුවෙන් ජයසිංහ නැමති පුද්ගලයා දස වසරකට සිරගත වුණා.කණ්ඩායමේ සෙසු පිරිස ඉක්මනින් නිදහස් වූ බව සඳහන්.ඛේදවාචකයක් නොවී දින හතරකට පසු කුඩා ජගත් දෙමාපියන්ට ලැබෙන්නේ මුල්ම සිදුවීම භයානක සිදුවීමක් නොවී.ඇමරිකන් චිත්‍රපටිවලින් මේ පැහැර ගැනීම කරන්නට ආභාෂය ලැබූ බව ද එකල පුවත්පත් සඳහන් කළා.

ජගත් කුමාර කුලසිරිගේ වර්තමාන තත්ත්වය 

ඔහු ලංකාවේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු බවට පත් වුණා.හොරණ සහ කිරුළපන ඇති සිග්මා ආයතනයේ හිමිකරු වන්නේ ඔහු.පාසල් පෙම්වතිය හා විවාහ වී දරුවන් ලබා ඔහු ඉතා හොඳ ජීවිතයක් ගත කළා.තමන් පැහැරගත් ජයසිංහගේ අවමංගල්‍යයට පවා කුලසිරි තරුණ කාලයේදී සහභාගී වී තිබෙනවා.2017 වසරේ පෙබරවාරි 26 වැනි දින ස්වභාවික මරණයකින් සමුගන්නා තුරු ඔහු යහපත් ජීවිතයක් ගත කළ මිනිසෙක්.

පළමුවැනි සිදුවීම හානිදායක නොවී අවසන් වුණා.එහෙත් අවසාන සිදුවීම ගැන අසා ඉන්පසු සැනසීමට පත් වීමට තරම් අප වාසනාවන්ත නෑ.ඒ නිසා මේ අතිශය අර්බුදකාරී කාලයේ ඔබේ දරුවන් බොහෝ ප්‍රවේසම් කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles