මතක දිග හැරුම 21- අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි එක්වන දිගහැරුම ,

මගේ සේවා කාලය තුළ බිහිසුණු අත්දැකීම් සහ සංවේදී අත්දැකීම් වලට අමතරව අතිශය රසබර අත්දැකීම් ද මා අත්විඳ ඇත . පැරිසියට යන ගුවන් ගමන් වාරයකදී මා සේවයේ යෙදුනේ ආර්ථික පන්තියේය.එවිට එක් කඩවසම් සහ තරුණ මහත්මයෙක් පැමිණ යානයේ අවසානම ආසනයට ගොස් අසුන් ගත්තේය .එම ගුවන් ගමන් වාරයේ දී සම්පූර්ණයෙන්ම එම පන්තියේ සිටියේ ගෘහ සේවය සඳහා යන කාන්තාවන් පමනි .මා ගුවන් යානයේ ඉදිරිපසට ගොස් ගුවන් මගීන් සඳහා ආරක්ෂක විධිවිධාන පිළිබඳව නිරූපණයේ යෙදෙන විට අවසාන පේලියේ අසුන් ගත් එකී තරුණ මහතා අසුනෙන් එසවෙමින් වරින් වර මා දෙස බලමින් සිටිනු මා දුටුවෙමි. එය එතරම් තැකීමක් නොකල මා සාමාන්‍ය පරිදි සියලුම ගුවන් මගින් වෙත මගේ සේවාව සැපයූවෙමි. එදින අප කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ කාන්තාවක් ය .ඒ මොහොතේ ඇය රාජකාරි කළේ පලවෙනි පන්තියේ වන අතර මද වේලාවකට පසු ඇය කලබලයෙන් මෙන් මා වෙත දිව විත් පැවසුවේ පලවෙනි පන්තියේ සිටියේ එක් ගුවන් මඟියෙක් පමණක් බවත් මේ මොහොතේ එම ගුවන් මගියා එහි නොසිටින බවත් ය. අවසාන අසුනේ අසුන්ගත් තරුණ මහතාව මතක් වූ මා හිමින් සීරුවේ ඇයට ඔහුව පෙන්වූයෙමි. තමන් සෙවූ ගුවන් මගියා ඔහු බව හඳුනාගත් ඇය වහ වහා එතනට ගොස් ඔහුට නියමිත අසුනට ගොස් ආහාර ගැනීමට ආරාධනා කළාය .නමුත් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ එම තරුණ මහතා තමන්ගේ ආහාර එම ස්ථානයට ගෙනවිත් දෙන්නයි පැවසීය . ඉන් පසුව අප ඔහුට නියමිත ආහාර සියල්ලම එම ස්ථානයට සැපයීමට කටයුතු කළෙමු.

එම සිදුවීමෙන් පසු මා අනෙක් ගුවන් මගින් වෙත මගේ අවධානය යොමු කර ඔවුන් වෙත මගේ සේවාව සපයන අතරතුර ද ඒ තරුණ මහතා නැවත අසුනෙන් නැගිටිමින්,මා දෙස බලනු මා දුටුවෙමි.ඔහුගේ එම හැසිරීම නිසා මදක් අපහසුවෙන් යුතුව මම මගේ රාජකාරි කටයුතුවල නිරත වූයේ හැකි තරම් ඒ වෙත අවධානය යොමු නොකරන්නට සිතමිනි .

එදිනද මා පුරුදු ලෙසම ගෘහ සේවයට යන කාන්තාවන් සියලු දෙනාගේම ගුවන් ගමන් බලපත්‍ර සහ අදාළ පෝරමයන් එකතු කරගෙන ආසනයක තබා ගෙන පිරවූයෙමි. එම අවස්ථාවේ ද ඒ තරුණ මහතා මා දෙස බලා සිටිනු මා දුටුවෙමි . මගේ කාර්යය අවසන් කර මා ඔහු සිටින ස්ථානයෙන් යනවිට ඒ නිල ඇඳුමේ සඳහන් කර ඇති මගේ නම දෙස බලා ඔහු මගේ නමින් ඇමතුවේය. ඉන්පසුව ඔහු duty free එකට අදාල පොත මගේ අතට ලබා දී , තමන්ගේ පෙම්වතියට එහි ඇති හොඳම ත්‍යාගය ලබාදීමට අවශ්‍ය බව පවසා එයට මගෙ සහයෝගය ලබාදිය හැකි දැයි විමසුවේය. එවිට මා එය රැගෙන Opium නැමැති මිල අධික සුවඳ විලවුන් වර්ගය ඔහුට පෙන්වූ විට හොඳම වර්ගයේ තොල් ආලේපන වර්ගයක් ද තෝරා දෙන ලෙස ඔහු පැවසීය.මා භාවිතා කරන Elizabeth Arden නැමැති නාමය යටතේ තොල් ආලේපන වර්ණ තුනක් සහිත ඇසුරුමක් ද එවිට මා ඔහුට තෝරා දුනිමි .ඉන්පසුව පසුව ඔහු ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත මා අතට ලබා දී එම ත්‍යාගයන් දෙක මිලදීගෙන එන්නැයි පැවසීය . මා ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත ද රැගෙන duty free එක වෙත ගොස් duty free බාරව සිටින ගුවන් සේවකයාට අදාළ තරුණ මහතා ව පෙන්වා ඔහුට අවශ්‍ය දේ ලබා දෙන්නැයි පැවසුවෙමි . එම සේවකයා එම ත්‍යාගය ඇසුරුම් කර ඔහු වෙත ලබා දෙනු මා පසුව දුටුවෙමි.

මගේ රාජකාරි කටයුතු වලින් මද විවේකයක් ලද අවස්ථාවක මා පෙර කී තරුණ මහතා අසලින් යන විට නැවතත් ඔහු මා ඇමතුවේය. පසුව ඔහු මිලදී ගත් ත්‍යාගයන් ඔහු මිලදී ගත්තේ පෙම්වතියට නොවන බවත් එය ඔහු මිලදී ගත්තේ මා සඳහාම වන බවත් පවසමින් එම ත්‍යාගයන් මට ලබා දීමට උත්සාහ කළේය .ගුවන් සේවිකාවන් හට කිසිවෙකුගෙන් කිසිදු දෙයක් ලබා ගැනීමට නොහැකි බව මුලදීම අපට පවසා තිබූ නිසා මම ඔහුගේ එම ත්‍යාගයන් වලට ස්තූති කරමින් ඒවා ඉතාම කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි.

ගුවන් මගීන් වෙත අදාල සේවයන් සැපයූ පසු ගුවන් සේවිකාවන්ට ඔවුන්ගේ කාර්යයන් කර ගැනීම සඳහා වෙනමම service area එකක් යානය තුල ඇත. පෙර කී සිදුවීමට මුහුණ දුන් මා පසුව කෙලින්ම එම ස්ථානයට දිවගොස් අනෙකුත් ගුවන් සේවිකාවන්ට එම සිදුවීම පැවසූ අතර එවිට අනෙක් සියලු දෙනාම පැවසූයේ ඉතා මිල අධික එම ත්‍යාගයන් ලබා ගන්නා ලෙසයි. මා එම ස්ථානයේ අනෙකුත් ගුවන් සේවිකාවන් සමඟ සිටින විට පෙර කී තරුණ මහතා එම ස්ථානයට පැමිණියේය. එම වටිනා ත්‍යාගයන් තමන් මිලදී ගත්තේ මා හට වන බවත් එය පිළිගන්නා ලෙසත් ඔහු ඒ මොහොතේදීත් ඇවිටිලි කළේය.එම ස්ථානයේ සිටි අප කණ්ඩායමේ ප්‍රධාන ගුවන් සේවිකාවට ද එම කාරණය පැවසූ ඔහු එම ත්‍යාගයන් බාර ගන්නැයි මට පවසන ලෙස ඇයට පැවසීය .ඉන්පසුව එම සියලු දෙනා ඉදිරියේ ම ඔහු පැවසූයේ මා විවාහ කර ගැනීමට තමන් කැමති බවයි. ඒ මොහොතේ මා ඉතා අපහසුතාවයට පත් විය. කෙසේ හෝ ගුවන් යානය ගොඩ බස්සවන ගුවන් තොටුපොළ වෙත ළගා වූ මොහොතේ ද ඔහු අප සමග ගුවන් යානයෙන් බැසීමට සූදානම් වූයේය. එම අවස්ථාවේදී අප කණ්ඩායමේ ප්‍රධාන ගුවන් සේවිකාව එම ත්‍යාගය භාර ගන්නැයි මට පැවසූ නිසා මිල අධිකවූත් ඉතා වටිනවූත් එම ත්‍යාගයන් මම බාර ගත්තෙමි .පසුව මා ඔහුට ස්තුතිවන්ත වෙමින් එම ත්‍යාගයන් කාරුණිකව භාර ගත්තෙමි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔහු ගුවන්‍ යානා විකුණන ආයතනයක ප්‍රධාන ධූරයක් දරණ අයෙකු බවට මට පසුව දැනගන්නට ලැබිණි. පසු දිනක air lanka ආයතනයේ ප්‍රධානීන් වෙත ඔහු ලිපියක් එවමින් සඳහන් කර තිබුණේ මගේ සේවය අගය කරන බවත් ,මා සියලුම ගුවන් මගීන්ට ඉතා කාරුණිකව මගේ සේවය සපයන බවත් , ඉතා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් රාජකාරියේ යෙදෙන බවත් ,ගෘහ සේවය සඳහා යන අසරණ වූ කාන්තාවන්ට සහයෝගය ලබා දුන් ආකාරය විශේෂයෙන්ම අගය කරන බවත් ය . මා ඉතා අගය කරමින් ඔහු එවා තිබූ ඒ ලිපිය පිළිබඳව පසුව ආයතනයේ ප්‍රධානීන් විසින් මා දැනුවත් කරනු ලැබීය

මතු සම්බන්දයි

More Stories

Don't Miss


Latest Articles