“මං කෝවිලකට ගිහිං පොල් ගහනව”
ඇමතුමේ එහා කෙළවර කියැවුණේ එය ය.තුරුලි එපමණක් අසා ඇමතුම විසන්ධි කර දැමුවා ය.
“ඔච්චර ඉක්මනින් කතා කරාද?”
තත්පර කිහිපයකට පසු යළිත් තමන් ඇමතූ තුරුලිගෙන් මියුරු ඇසුවේ සිනාමුසුව ය.
“මං ඇත්තටම හිතුවෙ එක්කෝ සමාව ඉල්ලනවා.නැත්නම් දුක කියනවා කියලා.බනියි කියලත් හිතුණා..ඒත් කිව්වෙ ඔක්කොටොම වඩා විකාර කතාවක්..”
ඇය පොල් ගසන කතාව හෙළි කළේ හිනැහෙමිනි.මියුරු ද ඒ සිනාවට හවුල් වූයේ ය.
“දැං අම්මා කෙනෙක් හැටියට ආදිත්‍යගේ අම්මට එච්චරයි තමා ඉතුරු..හදා ගන්න පුලුවං කාලේ පුතා හදා ගත්තේ නෑනෙ..”
තුරුලිගෙන් ආදිත්‍ය ගැන අසා ඇති දේට වඩා බොහෝ දෑ බාල කාලයේ පටන් දැක ඇති මියුරු පැවසුවේ කල්පනාකාරීව ය.කුඩා වුන් කාලයේ සෙල්ලමකදී ආදිත්‍ය පැරදෙන තැනක පවා අම්මා ඔහු වෙනුවෙන් පෙරට ආවා ය.තමන්ගේ පුතු පැරදිය යුතු නැති බව ඈ තරයේ ඇදහුවා ය.ඇය ඔහුගේ දිනුම සහ සැනසුම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පැකිලුණේ නැත.
“ඉස්සර අපෙ අම්මා කියනවා ආදිත්‍යගෙ අම්මා හැසිරෙන හැටි.ආදිත්‍ය විතරයි හුරතල් කතා කියන්නෙ, ආදිත්‍ය පුදුම හොඳ ළමයෙක්.ලෝකෙ තියන සේරම යහපත අයිති ආදිත්‍යට විතරයි.මොකක්ම හරි හේතුවකින් ඌට ඕන දෙයක් නොලැබෙන තත්වයක් තියනව නම් අර ඡන්ද කාරයො වගේ මරලා හරි ගන්න ඕන කියන තැනක ආන්ටි හිටියේ.ඇත්තටම අපිට මොකක් හරි දෙයක් ලැබෙන්න තියනවනම් ඒක කොහොමහරි ගන්න තැනකට ආදිත්‍ය ගත්තෙ ඔය ආන්ටිම තමා..”
තුරුලිට එක්තරා ගැටළුවක් සිතට පැමිණ මඳ කාලයකි.එය එසේදැයි අසන්නට හිත හදා ගන්නට නොහැකිව ඈ ළතැවුණු දවස් බොහෝ ගෙවී ගොස් ඇත.නමුත් එය දැන ගන්නට හොඳම මොහොත පැමිණ ඇතැයි ඈ සිතුවා ය.
“මියුරු, මට දෙයක් අහන්න ඕන..ඇත්තම කියනවද?”
ඔහු ඇත්ත කියන්නට පිළිණ දුන්නේ ය.
“ආදිත්‍ය මාත් එක්ක යාළු වෙනකොටත් ඔයා මං ගැන හිතේ තියන් හිටිය කියල හැමෝම කියනවනෙ.ඉතිං ඇයි මගෙන් ඇහුවෙ නැත්තේ..ආදිත්‍යට කලින්? ඉස්කෝලෙ යන නිසා බය හිතුණද?”
මියුරු සුසුමක් හෙළී ය.ඒ දවස් අද ඊයේ මෙනි.තමන්ට නොරිදුණු බව මිතුරන්ට අඟවා අක්කා ඉදිරියේ හඬා වැටුණු දවස් ඔහු සිහි කළේ ය.
“අපි ඔයාව දැක්කෙ එකම කාලෙ.එකම දවස්වල.ආදිත්‍යට එතකොටත් වෙන ගෑනු ළමයි කීප දෙනෙක් ගැනම අදහස් තිබ්බා.සඳලි ගැන පවා.මං ඔයා ගැන උනන්දුයි කියල දැනගත්තම ආදිත්‍ය කොල්ලො එක්ක ඔට්ටු ඇල්ලුවා ඔයාව මට කලින් යාලු කරගන්නවා කියලා..”
පස් වසරක ප්‍රේමය ඔට්ටුවක ප්‍රතිඵලයක් බවත් සැබෑ ආදරයකින් නොබැඳුනු මිනිසෙකුගේ අනන්ත කායික සහ මානසික හිංසන දරා ගැනීමට වූයේ ඒ නිසා බවත් සිතද්දී තුරුලිට හඬන්නට ඕනෑ විණි.අතීතය සිහි කරමින් හඬනවාට වඩා කරන්නට දේ ඇති බව කියන්නේ මියුරු ය.එනිසාම ඈ නාඬා හිඳින්නට තැත් කළා ය.
“මිනිහට ඒ මුලින්ම හිතුණා වගේ සඳලි පස්සෙ වැටෙන්න හිතුණා නම් මෑන් හිරේ යන්නෙ අද නෙවෙයි.මීට බොහොම කලින්.”
මියුරු වහා සරදමක් කළේ ය.තුරුලිට නැගණිය සිහිව දෙතොල් මත සිනාවක් පිපී ආ අතර වහා ඇය දැක ගැනීමේ උවමනාවක් දැනිණ.අම්මා බොහෝ විට උපදෙස් දෙන්නේ “නංගි වගේ හයියට හිඳින්නට” ය. පෙනුම සේම ගතිගුණ ද අසමාන නිවුන් දැරියන් දෙදෙනාගෙන් සඳලි ඕනෑම කටුක කාලයක පතොක් මලක් ව පිපෙනා බව අම්මා දැන සිටියා ය.ඇය බිය වූයේ අක්කා ගැන ය.වැඩිමලිය සුළං දල්ලකට පවා සසැලෙන කෙල්ලක වීමම අම්මාට ඇය ගැන බොහෝ නොසන්සුන්කම් රැගෙන ආවේ ය.
මේ මොහොතේ ද තුරුලිගේ අම්මා සිටියේ කම්පිතව ය.ආදිත්‍යගේ මව පොල් ගසා පලි ගන්නා තර්ජනය ඇයට ද කර තිබුණා ය.
“අම්මලා කරන ආශිර්වාද නම් ඉෂ්ට වෙනවා කියල මං දන්නව අම්මෙ.ඒත් කේන්තියෙන් පිපිරෙන ගෑනියෙක්ගෙ විකාර අදහස් ඉෂ්ට කරනවට වඩා දෙයියන්ට වෙන වැඩ නැද්ද..ඕවට කම්පා වෙන්න අම්මටත් පිස්සු අප්පා..”
සඳලි කෑගැසුවේ අම්මා තවත් කලබලයට පත් වීම ගැන වේදනාවෙනි.අම්මා එහෙමෙහෙ වනතුරු හිඳ ආදිත්‍යගේ අම්මාට ඇමතුමක් ගෙන හොඳ දෙකක් කියන්නට ඇයට සැබෑවටම ඕනෑ විය.
“අම්මේ, ආදිත්‍යගේ අම්මා ඒ මනුස්සය කරපු අන්තිම නරක වැඩකට අත් දෙකම උස්සල සපෝට් කරපු මනුස්සයෙක්.ඉස්සර අක්කයි මායි ටීචස්ලට පොඩි බොරුවක් කියන්න ප්ලෑන් කරනකොට පවා අම්මා අපිව හරි ගස්සපු හැටි අමතකද..අම්මා කෙනෙක් කියන්නෙ එහෙම කෙනෙකුට.ඉතිං අම්මා දුක් නොවී ඉන්න.තමන් අම්මා කෙනෙක් කියලවත් අමතක වෙලා විකාර වැඩ කරන ගෑනු මනුස්සයෙක්ගෙ වචන වලට රිද්දා ගන්නවට වඩා අම්මට කරන්න දේවල් නැද්ද..”.
සඳලි නම් උදෑසන සිට වැඩ වපුරාගෙන හුන්නා ය.ඇය මෙතරම් කෑම බීම සකසන්නේ ඇයිදැයි අසන හැම මොහොතකම “යාලුවෙක් එනවනෙ අම්මෙ..” කියමින් ඇය බොහෝ කාර්යබහුලව සිටියා ය.තුරුලි නැවත එන්නට පිටත් වූවාදැයි අම්මාට වූයේ සැකයකි.ඇය තව ටික දිනක් රනුකගේ නිවසේ නැවතීම සහනයකි.ආදිත්‍යගේ නිවසේ උදවිය සන්සුන් වනතුරු හෝ ඇය එසේ හිඳීම අම්මාට සැනසීමකි.
රියක් මිදුලේ නැවතුණේ ඒ මොහොතේ ය.සඳලි වහාම ආලින්දයට දුව යද්දී නොකියා පැමිණීම ගැන තුරුලිට දෙස් දෙන්නටත් ඇය දැන්ම කැඳවාගෙන ඒම ගැන රනුකට තරවටු කරන්නටත් සිතමින් අම්මා සාලයට ආවා ය.
නමුත් එහි වූයේ ඇගේ සැබෑ සැනසීම ය.දරා ගත් බොහෝ වේදනා බිම තබන කාලය ය.