fbpx

අහංකාර නගරේ -35

උදේ බඩ ඉරිඟු පුච්චා කෑ අපි වත්තේ ඇවිද්දෙමු. ඇල කණ්ඩි දිගේ ඇවිදින්න ට ගියෙමු. සිතිජ ට ගම්මානය බලන්න ට ඕනෑ වූයේ ය. වගා ඇලක බැස නාන්නට ද ඕනෑ වූයේ ය. 

නෙළුම් නැන්දා කිරි අම්මා එක්ක එකතු වී ගමේ කෑම හදන්න ට ඉගෙන ගත්තා ය. වට්ටක්කා දලු මාළුව, ඇය හෝ මීට පෙර රස දැන සිටියේ නැත. 

ගමේ විදුහල්පති තුමා බැහැ දැක එන්නට ජයශාන්ත මහතා ට උවමනා වූයේ ය. නමුත් ඔහු රෝස්මරී ව යම් පමණකට හෝ දන්නා නිසා නෙළුම් ඇන්ටි එහි යාමේ උත්සාහයක් ගත්තේ නැත. සිතිජ ද ගමේ ඇවිදීම නිසා තරමක් විඩා පත් ව සිටියෙන් අප හා යාම ප්‍රතික්ෂේප කළේ ය.

“එහෙට ගොඩක් දුර ද මෙව්නා…පයින් යන්න බැරිද…”

ජයශාන්ත මහතා ඇසුවේ ය. මම සිනහවක් නගා ගතිමි.

“අපිනං ඉතිං පයිං තමා යන්නෙ සර්. ඒත් සර් ට එච්චර දුර ඇවිදං යන්න අමාරු වෙයි”

“ඇයි මෙව්නා හිතං ඉන්නෙ මං ලෙඩෙක් කියලද…”

ජයශාන්ත මහතා අභියෝග කළේ ය.

“ඒ වුණාට කාරෙකේ යන්නකො. උදේ ඉඳං ඇවිදල ඇවිදල මහන්සිනෙ”

නිහඬ ව උන් නෙළුම් ඇන්ටි, තීන්දුව දිය යුතු වෙලාවේ කතා කළේ ය. දහස් ගණන් පිරිමි ළමයින් මෙහෙයවන විදුහල්පති තුමා සිය පෙම්බරිය ගේ එක වචනයට කීකරු වූ අයුරු දැක සිතිජ වහා මදෙස බැලුවේ ය. “ඕක තමයි කොයි පිරිමියටත් වෙන්නෙ” වැනි බැල්මකින් මම සිනා සුනෙමි.

“සර්ත් එක්ක මෙහෙම අපේ සර්ලගෙ ගෙදර යන්න ලැබුණ එක හොඳයි”

ගමන පටන් ගත් ගමන් මම කීවෙමි.

“ඒ මොකද මෙව්නා…”

“නෑ..රෝස් මැඩම් අපේ සර්ට කෝල් කරල මං ගැන එක එක නරක දේවල් වගයක් කියල තිබ්බා”

ජයශාන්ත මහතා දිගු සුසුමක් හෙළුවේ ය.

“මට දැනුණ විදිහට…අපේ සර් මං ගැන පොඩි වැරදි වැටහීමක ඉන්නෙ සර්. මං සර්ට පොරොන්දු වෙලයි ඉන්නෙ ජීවිතේ වරද්දගන්නෙ නෑ කියල”

ජයශාන්ත මහතා ටිකක් දුර නිහඬ ව රිය පැදවී ය. මාස ගණනකින් වැහි දිය බිඳක් නො ලද පොළොව වියළී ඉරිතලා ගොස් තිබුණේ ය. මාවත් රතු දුඹුරු වන් දුහුවිල්ලෙන් වැසී ගොස් තිබිණි. වගා ඇල වල ගලා යන වතුරට පින් සිදු වන්නට ගැමියෝ ගොවි තැනක් කර ගෙන සිටියහ.

“එයා ඉතිං කරන්නෙ හිතුවක්කාර විදිහට එයාට ඕන දේමනෙ. ඒක අද ඊයෙක පුරුද්දක් නෙවෙයි”

මඳ නිහැඬියාවකට පස්සේ, ඒ නිහඬ බව බිඳිමින් ජයශාන්ත මහතා දෙඩුවේ ය.

“සර්”

මගේ ස්වරයෙහි වූ කම්පනය මා තුළ ම තැතිගැන්මක් ඇති කරවන ලදී.

“කියන්න මෙව්නා”

“සර් මං ගැන වැරදියට හිතන්න එපා. මට තේරුං ගන්න බැරි දෙයක් තියනව”

“ඔව් මොකද්ද…”

“ඇයි ඉතිං ඔච්චර කල් ගිහිං රෝස් මැඩම් සර් ගෙන් ඈත් වුණේ…දරුවො තුන් දෙනෙකුත් ඉපදුණාට පස්සෙ…”

“මෙව්නා එක්ක නිසා මං මේව කතා කරන්නෙ…නැත්තං මේ දේවල් ආයෙ මතක් කරන්නෑ කියන තීරණේ අරගෙනයි මං මෙහෙම ජීවත් වෙන්නෙ”

“අනේ සර් එහෙනං මොනාත් කියන්න එපා. සොරි සර්”

“නෑ. එක අතකට මේව මෙව්නා හරි දැන ගෙන ඉන්න එක හොඳයි. එයා මාව රවට්ටල තිබුණෙ ඊටත් වඩා කලින් ඉඳලයි මෙව්නා. කොටින් ම රැවටි රැවටියි සෑහෙන කාලයක් අපේ පවුල් ජීවිතේ ගෙවිල තිබුණෙ”

ජයශාන්ත මහතා සිටින්නේ ශෝකයෙන් දැයි දැන ගන්නට මම ඒ මූණ දෙස බැලුවෙමි. ශෝකයක් නොව එහි වූයේ නතර වීමක නිවීමකි. පරිනතියට පත් වීමේ සන්සුන් කම මම ඔහු වෙතින් දුටුවෙමි.

“ඉහළ සමාජෙ ස්ථාවර වෙන්න ඕන නිසා මං රෝස් ව බැන්දා තමයි මෙව්නා. ඒගොල්ලංගෙ පවුලෙ අය මාව තෝර ගත්තෙ ඒ වෙද්දිත් මං වයිස් ප්‍රන්සිපල් කෙනෙක් නිසා.මගේ වෘත්තිය ඒගොල්ලන්ට අමතර වැදගත් කමක් ගේන හේතුවක් නිසා. හැබැයි මුල ඉඳලම රෝස් ගෙ තිබුණ සෙල්ලක්කාර ගති මට්ටු කර ගන්න මට බැරි වුණා”

“ඒ කිව්වෙ…”

ඇසුවේ වැරදි ප්‍රශ්නයක් ද කියන පැනය මා තුළ ඇති වන විට මා එය අසා අවසාන ය.

“එයා තව පිරිමි කීප දෙනෙක්වම ආශ්‍රය කළා. මට එහෙං මෙහෙං එක එක විදිහෙ ආරංචි ආව…”

“ඉතිං සර් හදා ගන්න බැලුවෙ නැද්ද…”

ඒත් ඒ වෙත්දී අප ගමේ විදුහල්පති තුමා ගේ නිවස ඉදිරියට පැමිණ සිටි නිසා මට ඒ ප්‍රශ්නය ට උත්තර ලබා ගත හැකි වූයේ නැත.

විදුහල්පති තුමා ගමේ පැරණි පවුලකට අයත් සාමාජිකයෙකි. ගැමියෙකු ගේ ඕනෑ ම වැදගත් කටයුත්තක දී දැනුමෙන් හා අත්දැකීමෙන් උදව් පදව් කරන හෙතෙම, ප්‍රභූ පවුලකට අයත් වූවා ය හිස උදුම්මා නො ගත් මිනිසෙකි. රෝස්මරී ගේ දුරකතන ඇමතුම නිසා මා කෙරේ බිඳුණු එතුමා ගේ හිත සැකසෙනු වස් මම බුලත් අතක් දී පාද වැන්දෙමි.

“සර්…මේ සැරේ මං ගමේ ආවෙ මේ සර්ල එක්කමයි”

පරණ ළෙංගතුකමෙන් එකිනෙකා වැළඳ ගත්තත්, තවම කුතුහලාත්මක සිතින් සිටින ගමේ විදුහල්පති තුමා ගේ හිත සන්සුන් කරනු වස් මම ඒ හඳුන්වා දීම කළෙමි. 

“දිසා එහෙනං අපේ ලේලිව හොයල ගෙදරටම එව්වා නේ…”

ජයශාන්ත මහතා හඬ නගා හිනැහුණේ  ය. අපේ විදුහල්පති තුමා කිසිත් වටහා ගත නො හැකි බැල්මකින් බලා සිටියේ ය.

“දිසා…අපේ වයිෆ් දිසා ට කතා කරල මේ ළමය ගැන අනං මනං කියල තියෙනව තමයි. ඒත් මං ඒ වෙනුවෙන් සමාව ඉල්ලනව. මගෙ පුතාගෙ අනාගත වයිෆ් විදිහට මේ ළමයව පිළිගන්න මමනං ලෑස්තියි. දිසා දන්නවනෙ ඉතිං ගෑනුංගෙ හැටි…ම්…”

“මෙව්නාව මං ජයේ ළඟට යැව්වෙ ලොකු විශ්වාසෙකිං. බලාපොරොත්තුවකින්. ඒත් ජයේ ගෙ වයිෆ් කතා කරපු වෙලේ මගෙ ඒ බලාපොරොත්තු කුඩු පට්ටං වෙලා ගියා වගෙයි මට දැනුණෙ”

මා ගැන කතා කිරීමෙන් පස්සේ ඔවුන් දෙදෙනා ට කතා කරන්නට පරණ කතා ඕන තරම් තිබුණේ ය. මම ඉස්තෝප්පුවේ කෙළවර පුටුවකට වී කල් මැරුවෙමි.

“එන්නෙ නැද්ද අනේ…”

සිතිජ දුරකතන ඇමතුමක් දී ඇසුවේ ය.

“අද ඒ වගේ තමා පේන්න තියෙන්නෙ”

මම හඬ වඩාත් අඩු කොට කීවෙමි.

“ඔයා එන්න එහෙනං”

“එහෙම කරන්නෙ කොහොමද…”

අපේ කසු කුසුව අසා ජයශාන්ත මහතා අසුනෙන් නැගිට ගත්තේ ය.

“අපේ එකාට එක පැයක්වත් මේ කෙල්ලව නොදැක ඉන්න බෑ වගේ”

විදුහල්පති තුමා හඬ නගා සිනා සුණේ ය.

“ටිකක් කල් යනකොට තමයි එක පැයකට හරි මාරු වෙලා ඉන්න බලන්නෙ…”

දෙදෙනා ම කොක් හඬ ලන්නට වූහ. මම රතු ව ගිය වතින් බිම බලා ගෙන සිටියෙමි. ජීවිතය හැම මොහොතක ම මේ වගේ මිහිර ට දැනෙනවා නම්! 

ආපසු එත්දී හිතේ වූයේ සැහැල්ලුවකි. වැරදි අවබෝධ ඇතුළේ ජීවත් වෙන තාක් කල් ජීවිතය මොන තරම් බරක් ව, වදයක් ව දැනෙන්නේ ද? 

“මෙව්නා ඇහුවා නේද මං රෝස් ව හදා ගන්න උත්සාහ කළේ නැද්ද කියල….කීප වතාවෙ මං එයාට අවවාද කරල තියෙනව මෙව්නා. හැබැයි ඉතිං ඔය අනවශ්‍ය මිත්‍ර සමාගමුයි නයිට් ක්ලබ් යන ඒවයි වගේ දේවල් නතර කර ගන්න තරං නං මට පුළුවන් වුණෙ නෑ. ඒව හදන්න වෙන කාටවත් බෑ මෙව්නා. ඒකයි ඇත්ත”

ටික දුරක් යන තෙක් ජයශාන්ත මහතා කල්පනාවක නිමග්න ව සිටියේ ය. මම ඒ කල්පනාව ට බාධා කරන්නට නො ගියෙමි. පිටතට පෙන්වන ජීවිතයත් හැබෑ ජීවිතයත් ලෙස ජීවිත දෙකක් ගත කරන්නට වීම කෙනෙකු ට මොන තරම් අසීරු කාරියක් වනු ඇත් ද? නමුත් මිහිපිට වැඩි පුර සිටින්නේ දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් යයි සුරනි කියන්නී ය.

“හදාගන්න බලාගෙන කිසිම කෙනෙක් කසාද බඳින්න හොඳ නෑ දරුවො. ඒක මං අත්දැකීමෙන් ඉගෙන ගත්ත දෙයක්. හදා ගන්න ඕන කමක් තියෙනව නං දරුවෙක් හරි බලු පැටියෙක් හරි අරං හදා ගන්න එකයි තියෙන්නෙ. ගෑනු මිනිස්සු හදා ගන්න හිතාගෙන බඳින එක හරි බැඳල හදා ගන්න හිතන එක හරි මහ විහිළුවක්”

ජීවිතය කියන්නේ පත පොතින් ඉගෙන ගත හැකි පාඩමක් නොවේ. අත්දැකීමෙන් ඉගෙන ගත යුතු මහා පාඩමකි. ඇතැම් විට අත්දැකීම් වලින් අවබෝධය ලබත්දී ජීවිතය වැරදී තියෙන්නට පුළුවන. ජයශාන්ත මහතා ට සිදු ව තිබෙන්නේ එයද කියා මම නො දනිමි. ඔහු සතුටෙන් සිටිත හැකි තැනක් පමා වී හෝ සොයා ගෙන ඇති නිසාවෙනි.

“කවුරුවත් ම දන්නෙ නැති කතාවක් මං මෙව්නට කියන්නං. මං හිතනව මේක ඔයා සිතිජ එක්ක වුණත් කියන්න යන එකක් නෑ කියල. ඔය ළමයට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් තැන් නිසයි ඇත්තටම මං මේක කියන්නෙත්. ගෑනියෙක් කවදාවත් පිරිමියෙක් ගෙ විශ්වාසෙ බිඳින්න හොඳ නෑ මෙව්නා”

ප්‍රථම වතාවට මා ජයශාන්ත මහතා ගේ ඇස් වල පරාජිත බවක් දුටුවේ ඒ වෙලාවේ ය. ඒ මා සසල කළ හැකි විදිහේ හැඟීමක් විය. 

“සර්…”

මට මිමිනිණි.

“ඔය ශෙනාලි මගෙ දරුවෙක් නෙවෙයි. ඒක මං ඔප්පු කර ගත්තා ඩීඑන්ඒ ටෙස්ට් එකකින්”

මහත් කඩා වැටීමක් මට දැනිණ. ඒ හරියට, මහ තේජසකින් වැජඹුණ මැදුරක් ඇස් ඉහත්තාවේ දෙපා පා මුල ම කඩා වැටුණා බඳු සංවේදනයකි. මහත් කම්පිත බවකින් මම ජයශාන්ත මහතා දෙස බලා ගෙන ම සිටියෙමි.

සැබවින් ඉනික්බිති එවන් විවාහයක් තුළ විශ්වාසය නමැති පදනම විනාශ වී යන්නේ ය. පාදම දෙදරූ මැදුරක බිත්ති වල ශක්තිය ගැන දිය හැකි තක්සේරුව කුමක් ද? ලෝකය ඉදිරියේ කඩා ගෙන නො වැටුණා ට ජයශාන්ත රෝස්මරී විවාහය එසේ දෙදරා ගිය මැදුරකි. මුදුන් මුල සිඳී ගිය වෘක්ෂයකි. 

“මං වැරදි නෑ කියල මෙව්නාට තේරෙනව ඇති නේද…ඇත්තට ම මං මේ කතා කිව්වෙ මං වැරදි නෑ කියල අඟවන්න ම නෙවෙයි. ඉගෙන ගන්න කෙනෙකු ට මේ වගේ ජීවිත අත්දැකීම් ලොකු පාඩමක් කර ගන්න පුළුවන් නිසා. රෝස් කවදාවත් හැදෙන ගෑනියෙක් නෙවෙයි. එයා ලේසියෙං දේකින් සතුටු වෙන ගෑනියෙකුත් නෙවෙයි. ඒකයි මට එයා ගැන තීරණයක් ගන්න වුණේ”

මම අභ්‍යන්තරික දෙදරීමකට ලක් ව සිටියෙමි. කතා කරන්නට වචනයක් දෙකක් හෝ සොයා ගන්නට, අත පොවන මානයක හැකියාවක් වූයේ නැත. මිනිස් ජීවිතයක් කියන්නේ රහස් ගුහාවකි. අභිරහස් අඩවියකි. රෝස්මරී ගැන, පතිනියක ලෙස ඇයට අහිමි වී ගිය අයිතිවාසිකම් ගැන පෙර දා මසිත් හි එහෙ මෙහෙ වෙමින් තිබූ හැඟීම මුළුමනින් බිඳ වැටී තිබුණේ ය. ඒ නටඹුන් අතරින්, ශෝකයක් නැතහොත් භීතියක් හිස ඔසවනවා මට දැනිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x