අහංකාර නගරේ -40

දවස් ගෙවී ගියේ ඉක්මනට ය. උදේ පිබිදීමත් දවසේ නිමාවත් අතරේ ගුරු පුහුණු පාඨමාලාව, ඉංග්‍රීසි පාඨමාලාව හා සිංහල උපකාරක පන්ති පැවැත්වීම ලහි ලහියේ සිදු විය. සති අන්තයේ සහභාගී වූ බාහිර උපාධි පන්ති නිසා විවේකයක් කියා දෙයක් හොයා ගැනීමත් අමාරු වූ තරමි.පන්ති වලට අලුතෙන් එක් වූ ළමයින් ගණන වැඩි වෙමින් පැවති නිසා ඉඩ ඇති වෙලාවන් බලා අලුතෙන් පන්ති පටන් ගන්නට සිදු විය. සැන්දෑ කාලය බොහෝ දුරට පන්ති වලින් පිරී පැවතුණෙන්, සිතිජ රැකියාව නිම වන සැන්දෑ කාලයේ දී බොහෝ විට අපට හමු විය නො හැකි වූයේ ය. එහෙම හමු නොවී ගත වන දෙතුන් දිනක දී ඔහු දකින්නට ඇස් කකියන බවක් දැනේ. 

“එහෙම තමයි ලොකු නෝනල වෙනකොට…අපිව හම්බ වෙන්නවත් වෙලාවක් නැතිව යනව”

මගේ වැඩ නිම වෙන රාත්‍රී කාලයේ දී, සිතිජ දුරකතනය ඔස්සේ නෝක්කාඩු කියයි.

“මාත් ආසාවට මෙහෙම කරනව නෙවෙයි. ඒත් උදේට ළමයින්ට ඉස්කෝලෙ නිසා හවසට තමයි පන්ති දා ගන්න වෙන්නෙ. මං හිතුණොත් ක්ලාස් කීපයක් නතර කරනව”

නගරයේ මිනිසුන් වැඩ මත්තේ හුස්ම හිර කර ගන්නා හැටි මම අත්දකිමින් සිටියෙමි. සැබවින් ම මේ තරඟකාරී සමාජයේ ඒ රැල්ලට ගසා ගෙන යා යුතු ය. එසේ කළ නො හැකි අය රැල්ල විසින් ම පැත්තකට විසි කර දමනු ඇත.

නමුත් ගමේ දී කාලය කියන්නේ බොහෝ හෙමිහිට ගමන් කරන දෙයක් සේ මට දැනුණේ ය. මා පමණකුදු නොව ගොවිතැන් බත් කරන බොහෝ ගැමියන් ගෙවන්නේ විවේකී දිවියකි. ගම දී එක සිංහල අවුරුද්දකට පසු ඊළඟ සිංහල අවුරුද්ද උදා වෙන තුරු ගත වන වසරක කාලය බෝ දිගු කාලයක් ව මට දැනී තිබේ.පාසල් නිවාඩුව ලැබෙන මාසයක කාලය ද වසරක් සේ දිගු වූ බව දැන් කෙසේ විශ්වාස කරන්නද?

“එහෙම මෝඩ වැඩ කරන්න එපා. මොනා වුණත් ඔයාට ආදායමක් එන දේ වැඩි දියුණු කර ගන්නව මිසක් නැති කරගන්න එක නෙවෙයි කරන්න ඕනෙ”

“ඒත් මෙහෙම ගිහිං ඔයාට මාව අමතක වෙලත් යයි”

මගේ ස්වරයෙහි ආත්මානුකම්පාවක් තැවරී තිබෙන බවක් මට දැනිණි. ඒ ආත්මානුකම්පාව, මගේ උගුර හිර කරමින් වචන බිඳ දමන ලදී.

“ඔව් ඉතිං. එහෙම වුණොත් වෙන කෙල්ලෙක් හොයා ගන්න වෙයි තමයි”

සිතිජ එසේ කියන්නේ මා තවත් නෝක්කාඩු කරවනු වස් බව මම දනිමි. නමුත් ඒ වගේ විහිළු සැබවින් වන්නට ද බැරි කමක් නැත. සම්බන්ධතාවයක් කියන්නේ අඩු තරමින් දෙපාර්ශවයක් වත් අවශ්‍ය කරන දෙයකි. පෙම් සබඳකමක් වැනි ගනු දෙනුවක දී එහි නිරෝගී පැවැත්ම කෙරේ අදාල දෙපාර්ශවය ම වග විය යුතු වේ. එක් කෙනෙකු ගෙන් හෝ සිය වගකීම ඉටු වන්නේ නැති වත්දී එම සබඳකම දෙදරා යන්නේ නිරායාසයෙනි. මට අප දෙදෙනා අතරේ එවැන්නක් සිදු වෙනවා දැකිය නො හැකි වනු ඇත. 

“බලාගන්නංකො එහෙම වුණොත්…මං මගෙ දෙයක් වෙන කාටවත් නිකංම අයිති වෙන්න ඇරල බලං ඉන්නෑ හරිද…”

සිතිජ හඬ නගා හිනැහුණේ ය. එය විහිළුවක් වූවත් මගේ ඇස් වලට කඳුළක තෙත කාන්දු වී තිබිණි.

“මං කියන්නද මෙව්නා…අපි තැනක් හොයා ගෙන ග්‍රේඩ් වයිස් ක්ලාසස් කරන්න ගමු. එතකොට එක ග්‍රේඩ් එකක ඉන්න ළමයි ඔක්කොටම එක පාර ක්ලාස් එක කෙරනවනෙ. ඔයාගෙ වෙලාවත් ඉතුරු වෙනව”

සිතිජ ගේ යෝජනාව හොඳ එකකි. නමුත් මාවැනි කුරු කුහුඹු කෙල්ලකට මේ නගරයේ එහෙම ස්ථාවර විය හැකි දැයි මම නො දනිමි.

“ඒත් කොහොමද සිතිජ එහෙම කරන්නෙ…ඒකට හෝල් එකක් ඕනෙ. රෙන්ට් එක ගෙවන්න ඕනෙ”

“රෙන්ට් එක ගෙවන්න ඕන තමයි ළමයො. ඒත් ඒ වගේද ඔයාගෙ වෙලාව ඉතුරු වෙන එක. අපි හෙමිහිට ලෑන්ඩ් එකක් අරං ගෙයක් හදා ගන්න කාලෙකදි උඩ තට්ටුවක හරි එහෙම ස්පේස් එකක් තියා ගමු”

සිහින මගේ දෙපා මුලින් තැබුවේ ඔහු ය. මට ඉහලට නගින්නට ඉණිමං බැන්දේ ඔහු ය. බොහෝ පිරිමින් ගෑනු ළමයින් තමන් ට වඩා ඉහළ යනවාට ඊර්ෂ්‍යා කරතැයි සුරනි කියා තිබුණාට, සිතිජ වෙතින් එවන් පිරිමියෙකු ගේ සෙවනැල්ලකුදු දැකිය නො හැකි විණි.

සෙල්ලක්කාරයෙකු වෙනුවට ඔහු නිවුණු තැන්පත් පුරුෂයෙකු ලෙස පරිනත වෙන හැටි මම ආශාවෙන් බලා සිටියෙමි. 

“අපි පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කරල බලමුද බණ ශාලාවෙ පන්ති කරන්න…”

සිතිජ ගේ යෝජනාව ගැන මා කී කල සුරනි ප්‍රශ්න කළා ය. ඒ අදහස නරක ම නැති ලෙසක් මට දැනිණ. නමුත් බෝඩිමේ ඇන්ටි ඒ ගැන ඒ හැටි මනාප වූයේ නැත.

“මං හිතන්නෙ ගෑනු ළමයෙකුට ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි”

“ඇයි…”

සුරනි ගේ ස්වරයේ වූයේ අභියෝගයකි.

“කොච්චර වුණොත් ළමයිනේ බෞද්ධ භික්ෂුව කියන්නෙ බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන කෙනෙක්නෙ. දැන් කාලෙ මේ පන්සල් වල ඉන්නෙ රහත් වෙච්ච හාමුදුරුවරු නෙවෙයිනෙ. හිත කියන දේ ඕන වෙලාවක එහෙ මෙහෙ වෙන්න පුළුවන්. අපේ උපාසක අම්මල හිතං ඉන්නෙ ගමේ පන්සලේ ඉන්නෙ රහතන් වහන්සෙල කියලද කොහෙද. ගෙවල් වල වැඩ ඇතා නැතා ගමේ ගෑනු හැම තිස්සෙම පන්සලට රිංගන එකටනං මං පොඩ්ඩක්වත් කැමති නෑ ළමයි. ඒ උත්තමයන්ට හිත එක අරමුණක තියාගෙන ඒ කාරිය කරගන්න උදව් කරගෙන සිව් පසයෙං උපස්ථාන කරන එකයි අපෙං වෙන්න ඕනෙ”

“ඇන්ටි කියන කතාවත් ඇත්ත තමයි”

මම කෙඳිරුවෙමි. සුරනි කට ඇද කළා ය.

“අපි උත්සාහ කරන්න ඕනෙ හැම තිස්සෙම කතාවක් හැදෙන්නෙ නැති වෙන්න…වරදක් සිද්ද වෙන්නෙ නැති වෙන්න ජීවත් වෙන්නයි”

“අපිට අනුංගෙ කටවල්නං වහන්න බෑ ඇන්ටි”

සුරනි සිය රැඩිකල් මත හකුලා ගන්නට උත්සුක වූයේ නැත.

“අපි කරන්න ඕනෙ අපිට හරි කියල හිතෙන දේ”

“රණ්ඩු කරන්න පුළුවන්…තර්ක කරන්න පුළුවන්…ඒත් ඊට වඩා නරකද කාටවත් වචනයක් කියන්න ඉඩක් ඉතුරු නොවෙන විදිහට වැඩ කරන එක…ඔය ළමයට ඕනනං මේ වත්තෙ ඉඩ තියෙන්නෙ. හට් එකක් ගහගෙන ඔය වැඩේ දැනට පටං ගන්න”

මම ත් සුරනි ත් මූණෙන් මූණ බලා ගතිමු. මේ නගරයට පය ගැසූ දා පටන් මා දුටුවේ මුදලට ඇති වටිනාකම ය. නගරයේ දී වතුර ටිකක් තබා ගමේ ගස් මුල කුණු වී වැටී යන කොස් මදුලක් වත් මුදලක් නො ගෙවා ලබා ගත නො හැකි ය. එහෙම එකේ බෝඩිමේ ඇන්ටි වගේ කොස් ඇටයකුදු අපතේ නො හරින කාන්තාවක වෙතින් මෙහෙව් ප්‍රකාශයක් බලාපොරොත්තු විය නො හැකි තරම් ය.

“හැබැයි ඉතිං මට ඕව ගහල දෙන්න බෑ”

“අනේ ඒකට කමක් නෑ ඇන්ටි. මං ඒක කර ගන්නං. ඇන්ටි මේ වෙලාවෙ එහෙම දේකට ඉඩ දීපු එක මට කවදාවත් අමතක කරන්න බැරි උදව්වක්”

“බිං කුලිය විදිහට ඉතිං ඔය ළමය හිතල බලල ගාණක් ගෙවන්නකො”

ඒ වෙලාවේ හිර කර ගත් සිනහව, සුරනි එළියට දැම්මේ කාමරයට ගිය පසුව ය. ඇය බඩ අල්ලා ගෙන සිනහ වෙන්නට වූවා ය.

“ඇන්ටි තමයි ඇන්ටි කියන්නෙ”

“ඒත් කමක් නෑ සුරනි. ඒ මනුස්සය ඒකට ඉඩ දුන්නනෙ. අපේ නෑදෑයෙක්වත් එහෙම දෙයක් කරයි ද…නෑනෙ…”

“ඔව් ඔව් ඒක හරි. ඒත් මට ඇන්ටි ඒක කිව්ව විදිහ මතක් වෙනකොට හිනා යනව”

එදා දවසේ කිහිප විටක් ම ඇය ඒ සිදු වීම සිහිපත් කරමින් සිනහ වූවා ය.

සිතිජ ගේ උපදෙස් මත ඔහු සොයා දුන් කාර්මිකයෙකු ලවා, පන්ති සඳහා ශාලාවක් සකසා ගත හැකි විය. බෝඩිමේ ගෙදර වල් වැවී කැලෑ වැදී තිබූ බිම් කොටස එළි පෙහෙළි කිරීම නිසා වත්ත ද කල එළි වූයේ ය. සිංහල පන්ති කිරීම සඳහා වැය වූ මගේ කාලය හරි අඩකට වඩා ඉතිරි කර ගත හැකි විය.

“මගෙ ටිකිරි මොළේ තමයි ඉතිං”

අප හමු වූ වෙලාවක ඔහු එහෙම කියා හිනැහුණේ ය. මම ඒ මූණ දෙස ම බලා සිටියෙමි. කාලය කෙතරම් වෙනස් වී ඇත්ද? මා කොළඹ ට විත් වසරක් ගෙවී යමින් තිබේ. එදා උන් අහංකාර විශ්ව විද්‍යාල සිසුවා නොව අද සිටින්නේ කර පටි පැළඳ අත් දිග කමිස හැඳ රැකියාවට යන ඉංජිනේරුවෙකි. එදා අප හමු වූයේ සෙනග පිරුණු බස් රථ වල දී ය. නමුත් දැන් ඔහු මා බලන්නට එන්නේ ජයශාන්ත මහතා ගෙන් තිලිණ ලද මෝටර් රථයෙහි ය. එදාට වඩා අපේක්ෂා වලින් දැල් වී ගත් දෑසක් අද මම සිතිජ වෙතින් දකිමි.

“ඇයි…”

ඔහු ඇස් කුඩා කොට ඇසුවේ ය.

“ඇයි…”

“ඔහොම බලන්නෙ…ලැජ්ජ නැද්ද කොල්ලො දිහා ඔහොම බලන්න ආ…”

“අපෝ…අපි ඔයිට වඩා හැන්ඩ්සම් කොල්ලො දැකල තියෙනව හරිද…”

මම කට ඇද කළෙමි. සිතිජ හඬ නගා හිනැහුණේ ය.

“ඇයි…”

“නෑ මං දැකල තියෙනව ඒ හැන්ඩ්සම් කොල්ලො”

“කොහෙදිද…”

“ඕගොල්ලංගෙ ගමේදි. කිරි අම්මගෙ බඩ ඉරිඟු වගාව ළඟත් හිටියද කොහෙද…කුඹුරු වලනං දිගටම හිටියා…”

“අනේ මේ…”

මම අත් මිට මොලවා සිතිජ ගේ අත් බාහුවකට පහරක් ගැසුවෙමි.

“මං කියන්නෙ පඹයො ගැන නෙවෙයි හරිද…ඇයි අපේ ගම් වල ලස්සන කොල්ලො නෑ කියල හිතුවද…”

“ඉන්නව ඉන්නව. ඒ ඔක්කොම ලස්සන කොල්ලො ලස්සන කෙල්ලංව යාළු කර ගෙනනෙ”

“හරි නරකයි අනේ”

සිතිජ සිනහ වෙවී ම මගේ උරහිස වටා වමත යවමින් මා තුරුළු කර ගත්තේ ය. මහියංගනයේ ඈත පිටිසර ගමක සිට ජීවිතය හොය හොයා කොළඹ ආ කෙල්ල, ජීවිතයේ අග්‍ර ඵලය ද නෙලා ගෙන ඇති බව මම ඒ තුරුලේ සිට සිහිපත් කළෙමි.

කිරි අම්මා ව මවෙත ගෙන්වා ගැනීම මගේ ඊළඟ ලොකු ම බලාපොරොත්තුව වූයේ ය. යළි ගමට ගිය අවස්ථා කිහිපයකදී ම ඒ ගැන මා ඇය එක්ක කීව ද කිරි අම්මා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ මඳ සිනහවකිනි.

“අනේ මගෙ හුස්ම ටික යන්න ඕනෙ මේ මිනිස්සු අතරෙදිමයි රත්තරනේ. ඔය නොදන්න රට රාජ්ජ වල ගිහිං ජීවත් වෙන හැටි අපි දන්නෙ නෑ”

ඇය ඒ පොළොව මත්තේ හැපී දුක් විඳි ගැහැනියකි. ඒ දුකක් බව නො දැන, සැපත යනු කුමක් දැයි නො දැන, ජීවිතය ඒ යයි තරයේ ඇදහූ ගැහැනියකි. දැන් හෝ ඇය නිදහසේ හුස්ම ගත යුතු යයි මම විශ්වාස කළෙමි. පුංචි ගෙයක් කුළියට ගෙන හෝ ඉක්මනින් ම එසේ කළ යුතු යයි මම තීරණයකට ආවෙමි. අම්මා අමතක නො වුණත්, මට ඈ ගැන නො සිතා ඉන්නට පුළුවන. ඇය තෝරා ගත් ජීවිතයක් තිබේ. මට උවමනා වුණත් ඇය ඒ ජීවිතය අත් හරින්නේ නැත. ඇය හා මා අතර ලේ බැම්ම හැරුණ විට බිඳ ලිය නො හැකි වෙනත් බැඳීමක් ද නැත. නමුත් කිරි අම්මා කියන්නේ මට ජීවිතයකි. 

“ඉතිං ළමයො ආයෙ වෙන තැනකට යන්න ඕනයෑ. ඔය වහල දාල තියන අනිත් ඉස්තෝප්පු කාමරේ සුද්ද කර ගෙන කිරි අම්මව ගෙනත් ඒකෙ තියා ගන්නකො. කොහොමටත් ඔය ළමයි දෙන්නා බඳින දවසක ඉතිං මෙහෙං යන එකනෙ. ඔය ටික කාලෙට තව තැන් හොයන්න ඕන නෑ”

බෝඩිමේ ඇන්ටි මට ඒ අවස්ථාව ත් ලබා දුන්නා ය. පුංචි දුර්වලතා තිබුණා ට ඇය මේ ගෙන්දගම් පොළොවේ තෙම්පරාදු වූ අනිත් බොහෝ මිනිසුන් ට වඩා හදවතක් ඇත්තියකි. අනිත් අතට මා හා සුරනි නිසා, ඇගේ දියණිය ඈ ළඟ නැති අඩුව සපුරා ගන්නට ඇය ට හැකි වන්නට ඇත. සුරනි නිතර ම ඇන්ටි එක්ක වාද වලට පැටළුණා ය. නමුත් මා ඈ කියන ඕනෑ ම දෙයකට මඳහසින් එකඟ වන නිසා දෝ ඕ වැඩිපුර මා කෙරේ බැඳී සිටි බවක් දැනිණ.

කිරි අම්මා කැටි ව එන්නට අප නික්ම ගියේ සෙනසුරාදා උදයක ය. එදා මම බාහිර උපාධි පන්තියට නොයා සිටියෙමි. දහවල ගෙවී යමින් තිබිය දී අපි මහවැලි කලාපයට ළඟා වී සිටියෙමු. අපේ කුඩා මැටි ගේ ඉදිරියේ, විශාල සුදු වැලි මිදුල් තලාවේ ගැහැනු පිරිමි ගණනාවක් ම සිටින බව මා දුටුවේ කඩුල්ල ළඟදී ම ය. කිරි අම්මා! 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content