ඈත දුර ආකාසේ -අවසන් කොටස

“අක්කා නැත්තං මං මෙච්චර හයිය ගෑනියෙක් වෙන්නේ නෑ කවදාවත්”

එරංගා පැවසුවේ නව නිවසේ තිර රෙදි සකසන අතර ය.තුරුලි සිනා මුවකින් ඇය දෙස බලා හුන්නා ය.ගෙවී ගිය වසරකට අධික කාලයක මොනතරම් සටනක නිරත වන්නට සිදු වූවාදැයි ඇය සිතුවේ උපේක්ෂාවෙනි.

“බැලන්ස් එකේ ඉඳගෙන කර්ටන් එකක් දාන එක ලොකු හයිය වැඩක් නෙවෙයි නෝන.පරිස්සමින් බහිනව ඈ..”

ඇය එසේ කියා හිනැහුණේ හදවත බරව ගිය නිසා ය.එහෙත් මේ නිවස තුළ හදවත බර කර නොගන්නා ගැහැනියක ජීවත් විය යුතු බව ඈ නැවත විශ්වාස කළා ය.

“මං ඕඩර් කරපු කෑම ආවා.අපි ගාඩ්න් එකට වෙලා කමු.අලුත් ගෙට තාම ගෙවදිලා නෑනෙ..”

අසේනි දිව ආවේ උඩුමහලේ සිට ය.ඈ එහි මොනවා හෝ කටයුත්තක නිරතව හිඳින්නට ඇත.තුරුලි කාමරයකට ඇස යැව්වා ය.එහි බිම එරංගාගේ කුඩා දියණිය සැපෙන් නිදන්නී ය.තුරුලි හීන් සීරුවේ ඇගේ හිස අත ගෑවා ය.

“මියුරුගේ අක්කා රනුකගෙ අයියා මැරි කළේ චූටි පුතාට අවුරුදු දෙකටත් කිට්ටු වුණාම හොඳේ..”

ඈ එරංගාට පැවසුවා ය.එරංගා දණ බිම තබා තුරුලිත් දියණියත් අසලින් හිඳ ගත්තා ය.

“අක්කා..ඔයා හිතනවද මං ආයේ මැරි කරයි කියල.මං හරි පොඩි කාලෙකින් පිරිමින්ව අන්තෙටම තිත්ත කරගත්තා.ජීවිතේ ඇති වෙන්න කළකිරවා ගත්තා.මට දැන් ඕන පැංචිව හදාගෙන ලස්සනට ඉන්න.බැරිකමක් නෑනෙ..”

එරංගා පවසන්නේ කුඩා දියණියගේ හිස මුදුව පිරිමදින අතර ය.ඇගෙන් වහනය වන කිරි සුවඳ තුරුලි දරා හුන්නේ ආදරයෙනි.මේ නිවස තුළ ද කිරි සිනා ඉතිර යන දිනක් ගැන ඈ සිහින දකින්නට පටන් ගත්තා ය.විවාහ වී තමන්ගේම නිවසකට පදිංචියට එන්නට තරම් සවිමත් වන්නට හැකි වීම ගැන ඇයට තිබුණේ උසුලා ගත නොහැකි සතුටකි.

“මං ආස නම් නෑ ඔයා තනියම හවුසින් ලෝන් එකක් දැම්මට.මට නිකං ආදිත්‍ය කාරයා උනා වගේ හැඟීමක් එනව.”

මියුරුගේ අවසන් විභාගය පැවැත්වෙන කාලයේ තුරුලි නිවාස ණය වෙනුවෙන් වෙහෙසෙද්දී මියුරු පැවසුවේ ළතැවුලෙනි.තුරුලි දුරකථන තිරය දෙස ප්‍රේමය පිරි බැල්මකින් බලා සිටියා ය.

“ඇත්තටම මං ඕක ගෙවන්න බලාපොරොත්තුවක් නෑ.ඔයා ගෙවන්න.මං ඔයාට ණයක් අරන් දෙන්නං..”

එසේ කියා හිනැහෙන තුරුලි දෙස මියුරු ද බලා සිටියේ ආදරයෙනි.ජීවිතය සතු සෑම බලාපොරොත්තුවක් ද සිහිනයක් ද අතහැර සිටි යුවතියක තමන්ගේ අතේ එල්ලී සිහින ලුහුබඳින්නට ගත් සොම්නස ඔහු දරා හුන්නේ දරන්නට බැරි ආදරයකිනි.

“අක්කා කොහෙටද ඈතක ගියා..”

එරංගාගේ කටහඬ තුරුලි නැවත පියවි ලෝකයට රැගෙන ආවා ය.ඇය එරංගාගේ අතකින් අල්ලා ගත්තේ ආදරයෙනි.

“නංගි, ආයෙ මැරි කරන් නෑ වගේ කතා දැන්ම කියන්න ඕන නෑ.අපි බලමුකො..කාලයට ඉඩ දෙන තමයි හොඳම..”

තුරුලි එසේ කියද්දී එරංගා සුසුමක්.හෙළුවා ය.එය සක්වල කම්පා වන තරමේ වේදනාබර සුසුමකැයි තුරුලිට සිතිණ.

“අක්කා..ගෑනියෙක්ට සතුටින් ඉන්න පිරිමියෙක් ඕනම නෑනෙ..”

“ඒ උනාට අපි දෙන්නම ලෝකෙ ඉන්න නරකම පිරිමියා හින්දා හිත තලා ගත්තු ගෑනු නංගි.ලබන සතියෙ වෙඩින් එකෙන් පස්සෙ මං මේ ගෙදර ජීවත් වෙන්න යන්නෙ සන්තෝසෙන්.මම ආදිත්‍ය නිසා අවුරුදු කීයක් නාස්ති කරගත්තු කෙනෙක්ද..ඔයාට නාස්ති උනේ අවුරුදු දෙකයි.ඔයාටත් පුලුවං වෙන්න ඕන..”

තුරුලිට ආදිත්‍යගේ නපුරු දෑස සිහිව ආවේ ය.ඒ දෑසට ආසක්තව ගෙවූ කාලය යළි ලබා ගත හැකි නම් කරන්නට කොපමණ වැඩ තිබේ දැයි ඇය සිතුවා ය.අතීතයට යන්නට හැකි නම් ඈ කරන්නේ එකම එක දෙයකි.ඒ ආදිත්‍යට කැමැත්ත නොදී හිඳීම ය.

“ආදිත්‍යගෙ අම්මා පිංසෙණ්ඩු වෙන තරමක්.දූට අම්ම වගේම තාත්තත් ඕන නිසා ආදිත්‍යට සමාව දෙන්නලු.ලැජ්ජ නැතුව ආයෙ මැරි කරන්නත් කියනව..”

ගැබිණි බිරිඳ හිංසනයට ලක් කිරීම නිසා නීතියේ රැහැනට අසු වූ ආදිත්‍ය ගැන අම්මා තැවෙන්නේ දැන් ය.නමුත් ඔහු නිදහස්ව ආ කාලයක නැවත ඔහු හුරතල් කරමින් විනාශ කරන්නේ ද අම්මා බව තුරුලි හොඳින්ම දන්නා කරුණකි.

“අම්මා හින්ද තමයි ආදිත්‍ය ඔච්චර නම් විනාස උනේ..”

තුරුලි එරංගාට සහමුලින්ම එකඟ වන අතර පැවසුවා ය.එරංගා හිස් සිනාවක් නැඟුවා ය.ඇය දැන් තනිව ජීවිතය ගෙවන්නට තරම් ශක්තිමත් ය.රැකියාව සහ දියණිය සමබර කරගෙන ජීවිතය සුන්දරව ගෙවන සිහින දහසක් ඇයට ඇත.ඈ ආදිත්‍යට ගෙවන්නට උසාවියෙන් නියම කළ වන්දිය පවා ප්‍රතික්ෂේප කළේ එනිසා ය.

“මියුරු අයියා ආව නේද අක්කේ?”

එරංගා පැවසුවේ මෝටර් රථයක හඬට සවන් දෙමිනි.තුරුලි මිදුලට බසිද්දී මියුරු අසේනි සමඟ සංවාදයක ය.ලබන සතියේ විවාපත් වන ප්‍රේමවන්තයන්ට ඉඩ දී අසේනි නිවස තුළට ගියේ එරංගාට හඬ ගසමිනි.

“දැන් තියෙන්නෙ බඩු ටික ගෙනල්ල පදිංචි වෙන්න.සේරම හරි..”

මියුරු තුරුලිගේ කර වටා අතක් දමා ඈ සමීපයට ගත්තේ ය.

“සංතෝසයිද..”

ඇය හිස වැනුවේ අප්‍රමාණ සතුටකිනි.සැබෑවටම සතුට සහ ආදරය ගැන ඇය උගනින්නේ දැන් ය.

“මේ මිදුල පොඩ්ඩයි කියලා හිතුණට දැන්නම් හිතෙනව ඇති කියලා..එච්චර ලොකු ඉඩක් මොකටද..”

අලුතෙන් සිටවූ තණ බිස්ස මත සීරුවට අඩිය තියමින් තුරුලි පැවසුවා ය.මියුරු ඇය දෙස බලා සිටියේ හිනැහෙමිනි.

“මිදුල නෙවෙයි..අර අහසත් අයිති ඔයාට..”

ඔහු කියයි.ඇය දෑසින් හිනැහෙන්නට ගත්තා ය.

“මැරි කරාට කමක් නෑ.ඔයාගෙ හීන හොයාගෙන ඕනතරම් දුරක් පියාඹන්න.මහන්සි දැනුණම හැරිලා බලන්නකො..මං ඉන්නව ළඟටම වෙලා..”

ඈ ඔහුගේ උරහිස මත හිස තබා අනන්තාවකාශයට නෙත් දල්වා ගත්තා ය.සිහින සොයා පියඹන කිරිල්ලක ද ඇගේ ආරක්ෂකයා ද පිළි ගන්නට මඟ බලමින් අහස හිඳින හැඩකි.

ප්‍රේමය අහසක් විය යුතු නොවේදැයි ඈ සිතුවා ය.

-සමාප්තයි-

3.7 6 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Shania
2 months ago

Thank you for your happy ending

Chamira
2 months ago

Thank you for lovely story. Please write another 👍

Sudharshana Abeyrathne
2 months ago

හරිම ආසාවෙන් කියවපු කතාවක්.
අලුත් එකක් ඉක්මනටම අපිට දෙන්ඩ

Madushika
1 month ago

හ්‍රරිම ලස්සනයි කතාව ❤️❤️❤️❤️