නිකිනි ගේ මුහුණ ට එබී ගෙන සිටියේ පුර සඳක් සේ බබලන උවනකි.
“මිස්…”
ඇය ඉතා ම පවිත්‍ර ලෙස සිනහ වූවා ය. නමුත් මේ යුවතිය කවුදැයි නිකිනි ට නිනව් වූයේ නැත.
“මිස්…නිකිනි මිස් නේද…”
“ඔව්…”
“මං ගුවනි…එදා මිස්ට කෝල් කළේ…කැම්පස් එකේ…”
ගුවනි! නිකිනි ක්ෂණික කම්පනයකට ලක් වූවා ය. සිය සැමියා ගේ පෙම්වතිය ඇවිත් මේ විදිහට කතා කරත්දී එසේ කම්පනය නොවී ඉන්නට මෙලොව වන කිසිදු ගැහැනියක ට හැකි වේවි ද? සසල බවින් යුතුව ම නිකිනි ඇදෙස බලා සිටියා ය. ගුවනි වූ කලී හුරුබුහුටි පෙනුමකින් යුත් පිරිපුන් යුවතියකි. ඇයට කදිම ආකර්ෂණීය දෑසක් තිබේ. මංජුල වාගේ තරුණ පුරුෂයෙකු ගේ ඇස් දෙක ඇද ගන්නට ඈ වගේ කෙල්ලක අසමත් වූවොත් පුදුම විය යුත්තේ ඒ ගැන ය.
“අ..ඒ ගුවනිද මේ..”
පීළිතුරක් නො දී ඇදෙස බලා සිටියා කල් වැඩි යයි සිතුණ ගමන් නිකිනි මඳහස් වතකින් මුණිවත බින්දා ය.
“මං මිස්ගෙ ෆොටෝ එකක් දැකල තිබුණෙ සර් ගෙ ෆෝන් එකේ තිබුණ පින්තූර වගයක් බලද්දි. හැබැයි කවදාවත් අමතක නො වෙන විදිහට මගෙ හිතේ මිස් ගෙ රූපෙ ඇඳිල තිබුණා. දැං යන්තං දැක්ක ගමං මං ඇඳිරුවා මේ මිස් තමයි කියල”
ඇයට හොඳින් කතා කිරීමට වචන එන මුඛරි භාවයක් ද තිබුණේ ය. නිකිනි යළිත් පොත් රාක්ක දෙස බැලුවා ය.
“මිස් නවල්ස් කියවනවද…”
පෙර දා රාත්‍රියේ මංජුල විසින් අසන ලද ප්‍රශ්නය නිකිනි ට සිහි පත් වූයේ ය. ඇගේ මුවට සිනහවක් පිවිසියේ ඒ සිහි ව ය.
“ඉස්සර මැරි කරන්න ඉස්සරිං නං ගොඩක් කියෙව්ව. ඒත් මං හිතන්නෙ මැරි කළාට පස්සෙ මේ අවුරුදු ගාණටම එකම පොතක් වත් කියවන්න හම්බවුණෙ නෑ. මට හොඳ පොතක් දෙකක් තෝරල දෙන්නකො”
බිරිඳ සැමියා ගේ පෙම්වතිය ගෙන් පොත් තෝරා දෙන ලෙස ඉල්ලීමක් කරයි! නිකිනි ට එහි අමුත්තක් නො දැනුණත් ලෝකය ට එහි අමුත්තක් දැනෙන්නට පුළුවන. ගුවනි නිකිනි දෙස බලා උන්නේ සිය දෑස් අභිමුව සැබෑවක් වෙමින් පවතින ඒ අමුත්ත ගැන උහුලා ගත නො හැකි ආදරයකිනි.
“මිස් මොන වගේ පොත් ද කියවන්න ආස…”
“ඒ කාලෙනං අතට අහු වෙන ඕන එකක් කියෙව්ව. ඒත් මගෙං පොත් කියවන එක අත් ඇරිල ගිය අවුරුදු ගාණට මෙච්චර අලුතෙං පොත් ආවද කියල මට හිතා ගන්නවත් බෑ”
නිකිනි පොත් රාක්ක අතරේ නෙතු දිවවූවා ය. අලුතෙන් බිහි වී තිබූ පොත් වල කර්තෘන් ගේ නම් පවා ඇය ට ආගන්තුක ය.
” දැන්නං මට ඕනෙ මාව හොයා ගන්න. මටයි කියල පාරක් හොයා ගන්න. මටයි කියල ලෝකයක් හදා ගන්න. ඒ වෙනුවෙනුයි ආයෙ පොත් කියවන්න තීරණේ කළේ”
විදත් ගැන කතාව මෙතැන කියන්නට ඇය කොහෙත් ම කලබල වූයේ නැත. බොහෝ දුරට මේ සියල්ල ගුවනි විසින් මංජුල ගේ කනේ තබන්නට පුළුවන. එක අතකට එහෙම වෙන එක හොඳයි කියා නිකිනි ට සිතිණි.
“මිස් ට්‍රාන්ස්ලේෂන් කියවනවද…”
“ම්හු”
අත තැබූ පොතකින් ගුවනි සිය අත ගත්තා ය.
“ඉංග්ලිෂ් එකක් නං ඔරිජිනිල් එක ඉංග්ලිෂ් වලින් කියවන්නයි මං පුරුදු වෙලා හිටියෙ. ඒකෙ සිංහල පරිවර්තනේකිං මට ඒ රස ඒ විදිහට ම විඳින්න බෑ”
“ආ…එහෙනං මං මිස්ට හරියටම හරියන පොත දෙන්නං”
ගුවනි, ඉංග්‍රීසි නවකතා අංශය වෙත නිකිනි ව කැටිව ගියා ය.පාවුලෝ කොයියෝ ගේ දි ඇල්කෙමිස්ට් නම් වන පොත ගෙන නිකිනි අත තැබුවා ය.
“දි ඇල්කෙමිස්ට්…රස විද්‍යාඥයා…”
“හ්ම්… රස විද්‍යාව කියන්නෙ ගුප්ත විද්‍යාවක් කියල මිස් අහල තියෙනවද..”
“රත්තරං හදන විද්‍යාවක් නේද…මං එච්චරම දන්නෑ”.
“ඔව්. සින්දුරම් ශාස්ත්‍රය කියන්නෙත් ඒකට. තඹ පිත්තල වගේ වටිනකමෙන් අඩු ලෝහ වර්ග රත්තරං වලට හැරවීමේ ගුප්ත විද්‍යාවට තමයි රස විද්‍යාව කියන්නෙ”
“එහෙනං ඔයා හරි”
“ඒ කිව්වෙ..”
“මට හරියටම හරි පොත තමයි”
නිකිනි ට උවමනා වූයේ හඬ නගා හිනැහෙන්නට ය. නමුත් පොත් මැදුරක් කියන්නේත් පුස්තකාලයක් වාගේ තැනකැයි හදිසියේ ම නිකිනි ට සිහිපත් විය. ඒ නිසා ඕ සිය අවශ්‍යතාවය යටපත් කර ගත්තා ය.
“මිස් කොහෙ හරි යන ගමන් ද…අකමැත්තක් නැත්තං අපි කැෆේ එකකට ගිහිං තේ එකක් බීල යමු මිස්”
මේ පුංචි කෙල්ලට තිබෙන ආත්ම ශක්තිය තමන් ට වගා කර ගත නො හැකි ද කියා නිකිනි සිතුවා ය. සැබවින් ඒ පෞරුෂය නිකිනි ව වසඟ කර ගන්නට සමත් වූයේ ය.
නිකිනි ගුවනි සමගින් අවන්හලක් වෙත ගියේ හිතේ දෙගිඩියාවක් නැතිව යයි කිව නො හැකි ය. යුවතියට මොනවා හෝ කියන්නට තිබෙනවා ද? නමුත් කියන්නට තිබුණ දේවල් එදා ඈ දුරකතනය ඔස්සේ කීවා නොවේ ද? කෙසේ වුව ඈ කතා කළේ පොත් සහ චිත්‍රපට ගැන ය. නැරඹීම සඳහා හොඳ චිත්‍රපට කිහිපයක් ද ඇය නිකිනි ට රෙකමදාරු කළා ය.
තේ එකක් බී නිම වන තෙක් පැවති ඒ කතා බහ කෙටි එකක් වී ද ඉන් නිකිනි මහත් ආශ්වාදයක් ලැබුවා ය. විදත් කීවේ ඇත්තක් බව යටි හිත ඇයට මුමුණා කියමින් තිබිණි. හිර කර ගෙන ඉන්නා හිතිවිලි සිය හිර කඳවුරු වලින් මුදා හැර නිදහස් කළ විට පුදුම සැහැල්ලුවක් දැනේ. ඒ හැඟීම කිසි දා ඒ මුදා හැරීමෙන් මිස රැස් කිරීමෙන් හෝ හිර කර ගෙන හිඳීමෙන් ලද නො හැකි ය.
අහම්බෙන් මුත් මංජුල ගේ පෙම්වතිය හමු වූ බවත්, ඇය තමන් ට පොත් තෝරා දුන් බව හා දෙදෙනා එක් ව තේ එකක් බිව් බව නිකිනි විදත් ට ලියා යැව්වා ය.
“උඹ මාර කෙල්ලෙක්නෙ”
කියමින් ඔහු හඬ නගා හිනැහුණේ ය.
“ඒ ළමය හරි ම ස්වීට් ඕපන් ළමයෙක්. මං එයාට කැමතියි”
“මං කැමතියි ඔය ඉන්න නිකිනි ට…”
කලින් හිටිය නිකිනි ට කැමති නැද්ද කියා ඔහු ගෙන් අසන්නට සිතුණත් නිකිනි එසේ කළේ නැත. ඒ තරමට ඇය කටකාර නැති බවත් ඕ දැන සිටියා ය. අනිත් අතට කැමතියි ආදරෙයි අයිතියි වගේ වචන වලින් තොර වූ සබඳකමක් වඩාත් පහසුව දනවන බව මේ ටික දිනට නිකිනි අවබෝධ කර ගනිමින් සිටියා ය. කවුරුන් විසින් හෝ ඒත්තු ගන්වනවා ට වඩා වටින්නේ ස්වයං අවබෝධය ය.
දි ඇල්කෙමිස්ට් කියවත්දී ත් නිකිනි ට සිහි වූයේ ගුවනි ය. ඔවුන් හමු වූ බව ඈ මංජුල ට කියන්නට ඇත්දැයි නිකිනි සිතුවා ය. ඈ කීවත් නැතත් නිකිනි නම් ඒ බව ඔහු සමගින් නො කියනු ඇත.
ගුවනි ද පසු වූයේ වයින් වීදුරුවක් පාණය කළා බඳු සිහිනමය මත් වීමක ය. නිකිනි වූ කලී රසවත් වයින් වීදුරුවක් ම ය! ගුවනි ට සිතුණේ එහෙම ය.
මංජුල ගුවනි ඉදිරියේ මවා තිබූ නිකිනි ගේ ප්‍රතිරූපය වූ කලී යක්ෂණියකි. ඇය ඔහු කෙරේ මෘදු මොළොක් නො වන, ඔහු ව වටහා නො ගන්නා, ඔහු ව සැකයට බඳුන් කරන, ඔහු මත විශ්වාසය නො තබන වදක බාරියකි. සිය ආත්මය ම පිරිමියෙකු ඉදිරියේ පාවා දුන්නා ට පස්සේ කුවේණියගේ ප්‍රේමය ද ප්‍රේමයක් සේ නො තැකුණේ ය. බොහොමයක් පිරිමින් ට සිය බිරිය යකිණියක වන්නට ගත වන්නේ තවත් ස්ත්‍රියක අවනත කර ගන්නා තෙක් කාලය පමණකි.
මේ පරම සත්‍යය තේරුම් ගන්නට තරම් මේරූ වයසක ගුවනි සිටියේ නැත. මංජුල ගේ දේශනයක් අතරේ දීත් ඇගේ ඇස් වලින් විටින් විට කඳුළු වැටුණේ අම්මා ගේ පිළිකා රෝගය සිරුර පුරා ඔඩු දුවා ඇති බවට වෛද්‍යවරු නිගමනය කළ දා ය. විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක වූ ඇය ට මවු ගේ සුවය වෙනුවෙන් ගත හැකි පියවරක් ගැන සිතා ගත හෝ හැකි නො විණි. එදා දේශනයෙන් පස්සේ දේශකයා වන මංජුල ගුවනි ට පුද්ගලික ව කතා කළේ ය. ඒ වචන ඒ වෙලාවේ දේව වදන් සේ ය ඇය ට දැනුණේ.
මංජුල විවාහකයෙක් බව ගුවනි දැන සිටියේ නැත. ඔහු ඒ බවක් කියන්නට ගියේත් නැත. ගුවනි ඒ බව දැන ගන්නා විට ඔහු සිය සිසුවිය කැටිව ලැගුම් හලක් වෙත ගොස් ද අවසාන ය.
“බැඳල හිටිය නො හිටියා කියල වෙනසක් නෑ. මට කොහොමත් ඒ කසාදෙ තිත්ත වෙලා ඉන්නෙ. මං ඔයාව බඳිනව”
මංජුල ව විශ්වාස කරනු මිස වෙන කරන්නට යමක් ගුවනි ට වූයේ නැත. පිළිකාවෙන් දුක් විඳි මවු ජීවිතය හැර යාමත් සමග ලෝකයේ තනි වූ ඇය ඔහු විශ්වාස කරන්නට රිසි වූවා ය. නමුත් විශ්වාසය වූ කලී ඒක පාර්ශ්වික වූවක් නොවේ.
නිකිනි ගැන මංජුල කියා තිබූ ඇතැම් දේවල් අසත්‍ය බව තේරුම් යත්දී ගුවනි ට තමන් පිළිබඳ ආත්ම වේදනාවකුත්, නිකිනි ගැන සන්තාපයකුත් දැනෙන්නට ගති. ඇය වඩාත් තැති ගත්තේ ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ගැන හෙළි වී නිකිනි පතිකුලය හැර දා මහ ගෙදර ගිය බව දැන ගත් දා ය. ඇයට කතා කරන්නට ඇති අවශ්‍යතාව ගුවනි ගේ හිත පෙළුවත්, මංජුල කිසි සේත් නිකිනි ගේ ජංගම දුරකතන අංකයක් ගුවනි ට ලැබෙන්නට සැලැස්වූයේ නැත.
“මිස් පොඩි කෙල්ලෙක් වගේ. පවු. එයා ගැන මං දවසකට හරි හිතල තියෙන විදිහ වැරදියි”
බෝඩිං කාමරයේ ලාබ රබර් ලෑලි මේසය මත හිස තියාන ගුවනි ඇඟිල්ලෙන් බලි කුරුටු ඇන්දා ය. ස්පර්ශ කළ බලන තෙක් ඇසින් දැක්කත් කනෙන් ඇසුවත් කිසිත් විශ්වාස නො කළ යුතු යයි විශ්ව විද්‍යාල සිසුන් නිතර කියන කතාව මොන තරම් සත්‍යය දැයි ඇය සිතුවා ය.
“මිස් කොච්චර ලස්සනද…තමංගෙ ගෑනි කොච්චර ලස්සන වුණත් පිරිමින්ට ඕන්නං පිට පනින්න පුළුවන්…”
ගුවනි සංවේගයෙන් සිතුවා ය. විවාහ ජීවිතයේ මේ අලකලංචි ගැන කොහොමටත් ඇය ට අත්දැකීම් නැත. අම්මා කෙනෙකු මිස තාත්තෙකු කවදාවත් නො සිටි නිසා දෙමාපියන් ගේ යුග දිවියකුදු ඇය දැක නැත. ඇගේ අම්මා ත් එසේ පිරිමි පහසක් නිසා මග වරදා ගත් ගැහැනියක් වන්නට ඇත. ගුවනි කිසි දා අම්මා ගෙන් පියා ගැන විමසා නැත. විවාහයකට පෙර සිය තුරුණු ශරීරයත් ආදරය කියා රැවටී පිරිමියෙකු ගේ හපයක් බවට පත් වන්නට හැරීම ගැන ඇය තමන් ගැනත් දුක් වූවා ය.
මොනවා වුණත් වැඩියෙන් ම වැරදෙන්නේ ගුවනි ගේ අම්මා හා ගුවනි වන් ගැහැනුන්ට ය. නිකිනි ලාට ආදරයක් නැතත් සැමියෙක් හිඳී. සතුටක් නැතත් ගෙදරක් තිබේ.
“එක අතකට එහෙම මිනිහෙක් ඉඳල මොකටද…එහෙම ගෙයක් තිබිලත් මොකටද…”
ගුවනි තනිව ම කියවූවා ය.
“ඒත් එහෙම හරි ඉන්නවනෙ. අපිට මොනාද අන්තිමට ඉතුරු වෙන්නෙ…අප්‍රසන්න මතකයකුයි මෝඩ වෙච්ච අතීතයකුයි විතරයි”
එදා ඈ නිකිනි ට කතා කළ බව දැන ගත් දා මංජුල ගුවනි සමගින් රණ්ඩු කළේ ය. තේ එකක් බොන්නට පවා අවස්ථාව සැලසීත් ඇගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගන්නට බැරි වීම ගැන ගුවනි පසු තැවුණා ය.
දි ඇල්කෙමිස්ට් කියවා ගෙන යත්දී ගුවනි ට කතා කිරීමේ ආශාවක් නිකිනි තුළත් ඇති විය. වෙන දෙයක් තබා ඒ පොත තෝරා දුන් එක පිළිබඳව ඇයට ස්තූති කරන්නට හෝ තිබුණා නම් හොඳ ය. නමුත් සිය යහන බෙදා නිදන මිනිසා ගෙන් ඔහු ගේ පෙම්වතිය ගේ දුරකතන අංකය ඉල්ලා සිටීම වැනි දෙයක් කරන්නට තරම් නිකිනි දැන් දුර්වල නැත!