ඔබ දකින තුරා – අවසන් කොටස

පස් වසකට පසු;

උදෑසන බෙහෙවින් කලබලකාරී ය. දිසත් හා අමාරසී රැකියාව සඳහා පිටත් විය යුතු ය. ඔවුන් ගේ සිව් හැවිරිදි දියණිය පෙර පාසල් යයි. වසරක පුතු ගේ සියලු කටයුතු ද සිදු කොට තබා යාම අමාරසී අතින් සිදු වේ. ඇය අවදි වන්නේ අළුයම ය. දෙන්නාට ගෙන යාමට දිවා ආහාර සකසා ගැනීමටත් දියණිය පෙර පාසල් යැවීම සඳහා සූදානම් කිරීමටත් තිබේ. නිර්මලා ට පාන්දර අවදි වන්නට එපා කියා අමාරසී කොතෙක් කීව ද කුස්සියේ සද්ද ඇහෙන විට ඇය යහනට වී ඉන්නේ නැත.අවදි වී කුස්සියට පැමිණ ඉහුම් පිහුම් වලට හවුල් වෙයි. ඇය ට තවමත් අමාරසී කුඩා දැරියකි. ඇතැම් විය ඇය සිය මිණිපිරියට ද වඩා දියණිය නොදරු සේ සලකයි.

අධ්‍යාපන කටයුතු ද ඒ සමග ම රැකියාවක් ලැබීම ද යන කාරණා මත අමාරසී පබසරා සේ ගෙදර වැඩ ගැන හුරුබුහුටි වූයේ නැත. කවදත් ඇය කුස්සියේ වැඩට කම්මැළි ද වූවා ය. නමුත් විවාහයෙන් පසු ප්‍රථම දරු ප්‍රසූතිය තෙක් ම ඔවුන් දෙදෙනා ජීවත් වූයේ දිසත් කුළියට ගත් ඇනෙක්ස් එකේ තනිව ය. ඒ කාලයේ දී ඉහුම් පිහුම් කටයුතු කර ගන්නට සිදු වූයේ ඇයට තනිව ය. දිසත් ඕනෑම කටයුත්තක දී කැමැත්තෙන් ම ඇය ට උදව් කරන සූදානමක සිටිය ද ඔහු ආහාර පිසීම ගැන කිසිත් දැන සිටියේ නැත. මුලදී අමාරසී නිර්මලාට දුරකතන ඇමතුම් දී අසා ගනිමින් ඉව්වා ය. පහු වෙත්දී ඇය යූ ටියුබ් නාලිකා වලින් බලා ගෙන කෑම වර්ග තනන්නට තරම් ඒ කෙරේ හුරුබුහුටි වූවා ය. මුල දී අමා පිසූ බත් බෙරි වූයේ ය. විටෙක අමු ඇට සහිත වූයේ ය. විටෙක ව්‍යාංජන වලට ලුණු හෝ මිරිස් හෝ වැඩි වූයේ ය. විටෙක මදි වූයේ ය. විටෙක ලුණු දමා තිබුණේ ම නැත. එහැම විටෙක ම දිසත් ට සිහි වූයේ අජිත් විසින් කියා තිබූ කතාවකි. පදම නිවැරදි ව අල්ලා ගන්නා තුරු ඒ සියල් තත්වයන් සාමකාමීව විඳ දරා ගන්නට ඔහු සැදී පැහැදී සිටියේ ය. ඇතැම් දිනෙක පිසූ ආහාර ඉවත් කොට  ඔවුහු සිනහ වෙවී පිටතින් කෑහ.

කෙසේ වෙතත් කාලය බොහෝ දේ වෙනස් කරන්නේ ය. ටික දිනක් යන විට අමා හොඳ ගෘහණියක සේ රසට උයන්නට පටන් ගත්තා ය.

මුලින් ඔවුන් සිටියේ දිසත් ගේ ඇනෙක්ස් එකේ වී ද ඉතිරි කර ගෙන තිබූ මුදලට දිසත් විසින් ගත් බැංකු ණයක් ද එකතු කොට ඔහු කලින් මිලදී ගෙන තිබූ පර්චස් දහයක ඉඩමේ ලස්සන කුඩා දෙමහල් නිවසක් තැනවූහ. ඒ කටයුතු ඉක්මන් කරවූයේ අමාරසී ය.

“මෙයාටනං ඕන ශක්‍ර දේවේන්ද්‍රය වගේ මෙතන බැල්කනි එකේ ඉඳන් පහල දුවල දෙන්නයි අම්මයි දිහා බල බල ඉන්න”

ඇය ඔහු ව අවුස්සනු වස් නොයෙක් වර කීවා ය. අජිත් හා නිර්මලාට ද එසේ කීවා ය.

“මොනාද අනේ…තාත්ත කොහොම වුණත් අම්ම මං ගැන මොනා හිතයිද දන්නෑ. දූල දෙන්න කමක් නෑ කියමු. අම්ම ගැනත් එහෙම කිව්වහම…”

දිසත් එතකොට ඇත්තට ම ලැජ්ජාශීලී වූයේ ය.

“මොනාද ඉතිං..අම්ම මං කියපු දේ තේරුං අරං හරියට හිතයි”

ඇය එසේ කියන්නේ සිනහව නෝක්කාඩුවකින් සඟවා ගෙන ය. කෙසේ වෙතත් අමාරසී විහිළුවට වාගේ කී මේ කතාව නිසා දිසත් ගේ සෑදීමේ කටයුතු ඉක්මන් කළේ ය. කේෂි පදිංචිය සඳහා ඇමෙරිකාව බලා ගියේත් අමා ගැබ් ගත්තේ මේ අතරේ ය.

ඒ ටික කාලය නම් හීනයක් වගේ තවමත් ඔවුන් සියලු දෙනා ගේ හිත් වල රැඳී තියේ. මුත්‍රා පරීක්ෂණයක් සිදු කොට වෛද්‍යවරයා විසින් ඇය ගර්භණී බව තහවුරු කිරීමෙන් පසු හෝරා ගණනක් ගත වෙන තෙක් දිසත් සිටියේ පියවි තත්වයෙන් ඈත් ව යයි කිව හැකි තරමි. කිහිප වරක් ම ඔහු ගේ ඇස් වලින් කඳුළු ආවේ ය. ඒ කඳුළු පිටින් ඔහු ඈ වැළඳ ගත්තේ ය.සිප ගත්තේ ය. සතුට එලෙසින් ප්‍රකාශ වූවා මිස වාචික ව කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද කියා ඔහු නො දැන සිටියේ ය. එක ගැහැනියක විසින්  පියෙකු වීමේ අයිතිය ඔහු ගෙන් අමානුෂික ලෙස උදුරා ගත්තා ය. නමුත් සොබා දහම ඔහු ට සිය හීන සමග ම මිය යන්නට ඉඩ තැබුවේ නැත.

“ඔයාගෙ සතුට මට තේරෙනව. හැබැයි ඔන්න අදම මට කොන්දේසියකුත් තියනව දාන්න”

දිසත් ගේ හිස පිරිමැද ආදරයෙන් ඔහු දෙස බැලූ අමාරසී, අනතුරුව මූණ නෝක්කාඩු කොට ගෙන කීවා ය.

“කොන්දේසියක්…”

“හ්ම්..එයා ආවට පස්සෙ මාව අමතක වෙන්න බෑ. එයා නිසා මට ආදරේ නැති වෙන්න බෑ”

ඒ වෙලාවේ ඔහු ඈ තදින් වැළඳ ඉකි ගසා හැඬුවේ ය. ඒ වසර ගණනාවක් තිස්සේ ඇස් ඇතුළේ ගල් ගැසී තිබි කඳුළු විය යුතු ය. ලෝකයට පෙන්වන්නට අකමැති වූවාට පිරිමින්ටත් කඳුළු තිබේ. ලෝකය නිවට නියාළු කමක් සේ සිතුවාට පිරිමින්ටත් කඳුළු තිබේ!

ආරංචිය දැන ගත් ගමන් එදා නිර්මලා දුව ගෙන ආවා ය. කලබලේට දිව ආවාට අමාරසී වෙනුවෙන් යමක් උයා පිහා ගෙන එන්නට ඇයට සිහි වූවා නොවේ. නමුත් හැන්දෑවේ වැඩ නිම වී අජිත්  දියණිය බැහැ දකින්නට පැමිණියේ සයිවර් කඩේකින් තෝසෙ හා වඩේ ද පළතුරු වර්ග කිහිපයක් ද ගෙන ය. එදා තාත්තා ගෙන ආ තෝසේ හා වඩේ වල රස, වසර කිහිපයක් ගත වීත් තව ම අමාරසී ට මතක තියේ.

ඒ දස මාසයේ හැම දවසක් ම පිළිවෙලින් කියන්නට දිසත් ට හැකි තරමි. ඔහු ඒ දින තුන්සියයට බෙහෙවින් ආදරය කරයි. ඒ කාලය තුළ අමා ව ඔහු විසින් රැක ගැනුණේ ඇස් දෙක සේ ය. ඇය සතුටෙන් සිටියා ය. යම් යම් දුෂ්කරතා තිබිණි ද පවුලේ අයගේ ආදරය ඒ දස මස ගෙවා යාමට ඇති මහඟු පාලමකි. දිලිනි හා තරුෂි ද සිය මිත්‍රත්වයේ සෙනෙහස අංශුවකිනිදු ශේෂ වන්නට ඉඩ තැබුවේ නැත. අමාරසී දිගට ම රැකියාවට ගියා ය. ගැබ් ගත් සමය අසහනකාරී මානසිකත්වයන් ගෙන් දුරස් ව හිඳිනට ඇයට ඒ මහෝපකාරී වූයේ ය.

ඔවුන් ගේ ප්‍රථම දරුවා දියණියක වූවා ය.ප්‍රසූතියෙන් පසු අමාරසී හා දරුවා මහ ගෙදර කැටිව යන්නට කලින් ම තීරණය වී තිබිණ. තෙමසක කාලයක් එහි ගත කිරීමෙන් පසු ඔවුහු ඔවුන්ගේ ම නව නිවසේ පදිංචියට ගියහ.

“මේ ගේ රුක්ෂාන්ට දීල අම්මයි තාත්තයි අපි එක්ක ඉමු”

ඒ යෝජනාව කළේ දිසත් ය. මිණිපිරිය නැතිව සිටිය නො හැකි තරමට ඒ මාස තුනට ආච්චි හා සීයා ඇය ට බැඳී සිටියහ. ඒ නිසා වාද විවාද කිරීමකින් තොර ව දිසත් ගේ යෝජනාව ස්ථිර විය.

අමාරසී ඉතාමත් ප්‍රීතිමත් බිරිඳක හා මවක වූවා ය. ගෙදර වෙනුවෙන් යුතුකම් ඉටු කරනා හැටි ද ආදරය බෝ කරන හැටි ද ඇය අම්මා ගෙන් උගෙන තිබුණා ය. ඉඳ හිට කොළඹ එන දිසත් ගේ මව් පියන්ට ද ඕ වෙනසක් නැතිව සැලකුවා ය. එහෙයින් ම සිංහල අවුරුද්දට හෝ වෙනත් හේතුවක් මත දිසත් ගේ මහ ගෙදර ගිය හැම වතාවක ම නැන්දම්මා ඇයට සැලකුවේ රැජිණකට සේ ය. ආදරය කුඩා ප්‍රමාණයක් වැපිරූ විට විශාල අස්වැන්නක් නෙලා ගත හැකි බව ඇය ආදරය කිරීමෙන් ම උගනිමින් සිටියා ය.

පළමු දරු ප්‍රසූතියෙන් වසර දෙකකට පසු අමා නැවත ද ගැබ් ගත් අතර, එවර ඇය නිරෝගී පුත් කුමරෙකු බිහි කළා ය.

අජිත් දැන් රැකියාවෙන් විශ්‍රාම ගෙන විවේක සුවයෙන් පසු වන්නේ ය. ඔහු කොලෙස්ටරෝල් හා අධි රුධිර පීඩනය සඳහා දිනපතා ඖෂධ ලබා ගනී. රෑ කෑමෙන් පසු අමාරසී නොවරදවා ම තාත්තා ට බෙහෙත් පෙති දෙක ගැන සිහිපත් කරන්නී ය.

“ඕක නොබිව්වයි කියල මං මැරෙන්නෙ නෑ. මේ පැටව් දෙන්න නිසා ආයුෂ වැඩි වෙලා තියෙන්නෙ අපේ”

එවන් විටෙක අජිත් කියයි.

“ආ…මේ මං නිසා නෙවෙයි එතකොට ආයුෂ වැඩි වුණේ..කාට කාටත් ඉස්සෙල්ල ආපු කනට වඩා පස්සෙ ආපු අඟවල් ලොකු වෙලා කියල මං දන්නව කොහොමත්”

ඇය ඒ නෝක්කාඩු කියන්නේ දිසත්ටත් එක්ක ය. ඒ වෙලාවට සිනහ වී පාඩුවේ සිටිනවා මිස දිසත් සිය ආදරය ඇයට ඔප්පු කරන්නට යන්නේ නැත. සැබවින් ඔප්පු කොට නො පෙන්නුවාට ඔහු කෙතරම් ආදරණීය මිනිසෙකු දැයි ඇය තරම් දන්නා කෙනෙකු නැති තරමි.

අජිත් දැන් ඉස්සර වාගේ මත් පැන් නො බොයි. ඉතාමත් කලාතුරකින් දිනෙක මාමා හා බෑණා එක්ව බීර ටිකක් තොල ගාති. බොරු අමනාපයකින් කටගැස්මක් තනා දෙන්නේ ද අමා ය.

“අම්මල ඉතිං කවදත් අක්කටනෙ. අම්මල අපේ දරුවෙක්ගෙනං බරවත් දන්නෙ නැතුව ඇති”

නිර්මලා හා අජිත් අමාරසී ළඟට ම වීම ගැන පබසරා තවමත් දොස් කියන්නී ය. ඇය හිතන්නේ ම නිර්මලා හා අජිත් අමාරසී ගේ දරුවන්ට වැඩියෙන් ආදරය කොට ඇගේ දරුවන්ට අඩුවෙන් ආදරය කරනා බවකි. එය එසේ නොවන බව කෙතෙක් දනවන්නට උත්සාහ කළ ද පලක් නැත. එහෙයින් දැන් දැන් නිර්මලා ඒ ගැන මුණිවත රකියි.

“අම්මෙ එහෙනං දුවව ලෑස්ති කරල දෙන්න තාත්තට. මං බෑග් එක රෙඩි කරල තියෙන්නෙ”

කලබලකාරී සූදානමකින් ආලින්දයට ආ අමාරසී සියල්ල නිවැරදි දැයි බැලුවා ය.

“හරිද එහෙනං…යංද…”

දිසත් සන්සුන් ව ඇදෙස බැලුවේ ය.

“යං. අම්මිල යනව මැණික. මගෙ මැණික් කැට දෙක ආච්චටයි සීයටයි කරදර නොකර ඉන්න ඕන හොඳද…මේ චූටි බණ්ඩි පිරෙන්නම බත් කන්න ඕනේ…”

අමාරසී දරුවන් දෙදෙනා සිප ගත්තා ය.

“හෙට සැටඩේනෙ. මට කොහෙහරි යන්න ඕන”

දූටි දූ ඉල්ලීමක් කළා ය.

“හරී.. අපි හෙට බීච් යං”

දිසත් ඇය වඩා සිප නැවත බිම තැබුවේ ය. දරුවෝ සීයා හා ආච්චි ළඟට වූහ.

මිණිපිරිය පෙර පාසලට ගෙන යන්නේ හා ගෙන එන්නේ අජිත් ය. ඒ සඳහා ත්‍රිරෝද රථයක් පැමිණේ. උදේ හා දිවා ආහාර අමාරසී විසින් සකසා තැබෙන අතර, ඇය එන්නට පෙර නිර්මලා රෑ කෑම පිස තබයි. ගෙදර ඇවිත් ඇය ට කෑම පිසිය හැකි යයි අමාරසී කොතෙක් කීව ද නිර්මලා එය කනකට ගන්නේ නැත.

“අම්මයි තාත්තයි දරුවො දෙන්නා බලා ගන්න එක ඇති අපිට”

අමා සේ ම දිසත් ද කොතෙකුත් එසේ කියති. මෙහෙකාරියන් ඇසුරේ දරුවන් තබනවාට වඩා අම්මා තාත්තා ළඟ නැත්නම් ආච්චී සීයා ළඟ ඔවුන් වැඩෙනා එක හොඳ යයි ඔවුහු අදහති.

අමාරසී ගේ පරණ පුරුදු කාර්යාලය ළඟ රිය නැවතෙත්දී ඉස්සර සේ නොව දැන් නිරෝෂන් ලා ඔහු ට අත වනා ආචාර කරති. ගීතානි දුටුවොත් හිස පහලට හරවා සිනහ වෙයි.

“වෙලාවට කන්න හරිද…දැන් ඔයාට ගෑස්ට්‍රයිටිස් වැඩියි”

රියෙන් බසින්නට පෙර ඇය නො වරදවා කියයි.

“ඔෆිස් එකට ගිය ගමං මට රිං කරන්න. පරිස්සමෙන් යන්න බුදු සරණයි”

සියලු කලබල වැඩපල අතරේ ඇය ගෙදර හැම කෙනෙකු ගැන ම සිතයි. සොයා බලයි. කළ යුතු සියල්ල කරයි. ඒ වෙනුවෙන් ඇය ට ලැබෙන්නේ එක ම එක දෙයකි. ඒ අසීමිත ආදරයකි. ඒ ආදරය, සියල්ල ජය ගන්නට ඇය ට මහත් ශක්තියක් ජවයක් ලබා දෙයි.

ඇය දිවි හිමියෙන් විශ්වාස කරන යමක් වේ. එනම් ආදරයට සියල්ල කළ හැකිය යන්නයි!

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා...

නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ....

යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති...

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...