ඔබ දකිනා තුරා – 47

කේෂි ට ඖෂධ සේ ම උපදේශනය මගින් ද ප්‍රතිකාර ලබා දෙන ලදී. මේ බව දැන ගත් වේලේ දිසත් පරාක්‍රම ට කතා කොට කේෂි ගේ සුව දුක් විමසීම සඳහා ඔවුන් ගේ නිවසට ගියේ අමාරසී ද සමගින් ම ය. කේෂි පරාජිත ව සිටියා ය. සිය බිරිඳ ලෙස වසර කිහිපයක් එක වහල යට ජීවත් වූ ඇය ව එසේ දකින්නට වීම දිසත් තුළ ද කණගාටුවක් ඇති කරන ලදී. 

“ඔයාට මේක හොඳ අවස්ථාවක් කේෂි..ජීවිතේ ගැන අලුතෙන් හිතන්න. අපේ ජීවිතේ අනිත් කාටත් වැඩිය අපිටයි වටින්නෙ. ඒ නිසා අපි තීරණ ගන්න ඕන අපේ ජීවිතේට වටිනකමක් ලැබෙන විදිහට. දැන් ඔය පරණ දේවල් අමතක කරල දාන්න කේෂි. මෙතනින් පටන් ගන්න. ඔයා සතුටෙන් ඉන්න කැමති කෙනෙක්නෙ. හැබැයි ඒ සතුට හැමදාම පවතින සතුටක් වෙන එකයි වැදගත්. ඔහොම ටික දවසක් සන්සුන් ව ඉන්න. එතකොට හික පැහැදිලි වෙලා තියෙයි. ඊට පස්සෙ කරන්න ඕන මොනාද කියලත් ඔයාට පේන්න ගනී. අපි ඔයා එක්ක ඉන්නව”

දිසත් එසේ කීවේ මූණිච්චාවට නොවේ. කේෂි ගේ ඇස් වල, ඔහු විශ්වාස කළ බවට ද හැඟීමක් විය. කෙසේ වෙතත් ඔහු නැවත පැමිණියේ නිදහස් හැඟීමකිනි.  විවාහයක් නීත්‍යානුකූල ව බිඳ වැටෙනවා කියන්නේ ඒ තුළ ජීවත් වූ දෙදෙනා වෛරක්කාරයන් විය යුතු ය යන්න නොවේ. අඹු සැමියන් ලෙස නොවුණා ට, ඔවුන් ට සමොන්‍ය මිනිසුන් ලෙස හිතවත් කමින් ඇසුරු කරන්නට බැරි කමක් නැත. නමුත් එසේ කරන්නට කුඩා හදවතක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා විසල් හදවතක් ද පුළුල් මනසක් ද අවැසි ය.  ඔවුන් ගේ අලුත් ජීවිතයට සුබ පැතූ කේෂි, විවාහ මංගල්ලයට පැමිණෙන බවට ද පොරොන්දු වූවා ය.

“එයා එයාගෙ වැරදි තේරුං අරගෙන ඒ වැරදි හදා ගත්තොත් එච්චරයි”

“සමහර විට කේෂි ඉස්සරහට ලංකාවෙන් යයි. එයාගෙ ක්‍රමය පිළිගන්න සමාජයක මීට වැඩිය පහසුවෙන් එයාට ජීවත් වෙන්න පුළුවන් වෙයි”

ඊළඟට උදා වූ දින ටික කාර්ය බහුල වූයේ ය. විවාහ උත්සවය ලස්සනට සංවිධානය කිරීමේ සිහිනයක් අමා ට විය. එය බොහොමයක් යුවතියන් ගේ සිහිනයකි. නමුත් ප්‍රේමය ගැන උදාසීනත්වයට පත් වූ කාලයේ දී ඇගේ ඒ සිහින වල පාට වියැකී ගොස් තිබිණ. ඒවා යළි වර්ණ ගන්වා ජීවිතය ගැන සුබ සිහින දකින්නට ඕ ඉත සිතින් සූදානම් වූවා ය.

විවාහ උත්සවය ගැන වඩා වැඩි උනන්දුවක් දැක්වූයේ දිලිනි හා තරුෂි ය. 

“වෙඩින් ඉන්විටේශන් කාඩ්ස් දීපු වෙලාවෙ ඔෆිස් එකේ සමහර එවුංගෙ මූණු ඇද වෙලා ගිය හැටි මං හොඳට බලා ගෙන. මට දැං ආස ඒ උන්දැල වෙඩින් එකට ඇවිත් හිනා වෙවී ඉඳල කාල බීල රසී ව බදා ගෙන විශ් කරන හැටි බලන්න”

“එහෙම තමයි. කපන්න බැරි අත ඉඹින එක තමයි මිනිස්සුන්ට හිත් හදා ගන්න පුළුවන් හොඳම විදිහ. අනුකම්පා කරනව මිසක් අපිට ඒ මිනිස්සුන්ට කරන්න වෙන දෙයක් නෑ”

කෙසේ වෙතත් ජීවිතය ගිරි ශිඛර හෝ මරියානා අගාධ හෝ කළු කුහර හෝ කරණය කරනාතරවාරයේ ළඟින් සිටිය යුත්තේ ඔවුන් වාගේ හිතවතුන් බව අමාරසී ඉත සිතින් සිතුවා ය. එබඳු මිත්‍රත්වයන් ව්‍යාජ ඒවා නොවේ. සිය වෘත්තීය ජීවිතයේ දී, මිත්‍රත්වය පවා ව්‍යාජයක් කර ගත් මිනිසුන් ඕනෑ තරම් ඇය ට හමු වී තිබේ. ඔවුන් මිත්‍රකම් පෙන්වන්නේ ඔවුන්ට ආවේණික අවශ්‍යතාවයක් වෙනුවෙන් පමණකි. බොහෝ විට එය වෘත්තීය ජීයේ හෝ පෞද්ගලික ජීවිතයේ ලාභාපේක්ෂාවකි. කාරිය කර ගත් පසු ඒ හිතවත්කම් හැව හැරියා සේ අතැර දමා නිශ්ශබ්දව ම වැඩි දෙනෙක් නික්ම යති. ඇතැමෙක් ඒ නාම මාත්‍රික මිත්‍රත්වන්ට පවා නිග්‍රහ කොට නික්ම යති. හෙවනැල්ලක් වගේ ළඟ රැඳෙනා මිනිසුන් ඉතිරි වන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. නමුත් සිය ගණන් ව්‍යාජ මිත්‍රත්වයන් අතරේ එබඳු එක් අවංක මිතුරෙක් හොඳටම ප්‍රමාණවත් බව ජීවිත අත්දැකීම් විසින් ම අපට උගන්වනවා ඇත.

ඒ දවස යෙදී තිබුණේ පින්බර වෙසක් මාසයට ය. වසන්තයේ මලින් තුරු හිස් බර වෙන, කුරුලු කූජන තුඩ තුඩ ගැයෙන, උණුහුමත් වැස්සත් නිති මහ පොළොව සිප ගන්නා නැකත් පිරි මැයි මාසයේ දවසක හිමිදිරියේ ම අමාරසී ව මනාලියක සේ සරසවනු ලැබිණ. අපමණ කාර්ය බහුලත්වයන් අතරේ වී ද නිර්මලා වරින් වර පැමිණ මනාලිය දෙස නෙතු පිය නො සලා බලා සිටියා ය. නමුත් ඡායාරූප ශිල්පීහු ඒ දවසේ ඇගේ නිල හිමිකරුවන් වී සිටියහ.

දිසත් මුලින් ම ඇය දුටුවේ පෝරුව චාරිත්‍ර සඳහා එළඹෙත්දී ය. ටික වෙලාවකට ඇගෙන් නෙත් ඉවතට ගන්නට ඔහු ට අමතක වූයේ ය.

“මනමාල මහත්තය පස්සෙ මනමාලිගෙ ලස්සන බලමු නේද…අපි දැං චාරිත්‍ර ටික ඉවර කර ගෙන ඉමුකො”

පෝරුවේ චාරිත්‍ර සිදු කරනා ආශිර්වාද කරු ගේ විහිළුවට මංගල සභාව ම සිනහවෙන් පිරී ගියේ ය. මනාලිය ලැජ්ජාවෙන් රතු වූ වත බිමට හරවා ගත්තා ය.

අෂ්ඨක ජය මංගල ගී සිලෝ මැද පෝරුවේ කටයුතු සිදු වූයේ කඳුළු මධ්‍යයේ ය. වසර විසි ගණනක් තිස්සේ දෑහේ මූණේ තියා ගෙන හැදු දියණියක දීල දෙන දා අම්මා කෙනෙකු ගේ නෙතින් ගිලිහෙනා කඳුළු පිසින්නට රෙදි කච්චි සියයක් වුව ප්‍රමාණවත් වන්නේ නැත. පෝරුවේ දී මනාලයා විසින් නැන්දණිය ට රෙදි කච්චියක් පිළිගන්වන්නේ ඒ සංකේතවත් කරනු වස් ය. නිර්මලා හා අමාරසී පමණක් නොව ඒ මොහොතේ එතැන උන් බොහෝ ස්ත්‍රීන් ගේ ඇස් වල කඳුළු තිබිණි.

මෙවන් දවසක තත්පර වලට තටු මැවේ. දවසේ අසීරු ම මොහොත උදා වන්නේ මංගල යුවල නික්ම යාමට සූදානම් වත්දී ය. ලංකාවේ මගුල් ගෙවල් වල අවසාන භාගය මළ ගෙයක ස්වභාවය ගනී. මේ මංගල්ලය ද එවැන්නකි. නිර්මලා කල් ඇතිව ම කඳුළු පිසිමින් සිටියා ය. අමාරසී ද වැඩි වෙලා නො ගොස් ඊට එක් වූවා ය. එතෙක් තද කර ගෙන උන් අජිත් ගේ හිත දිය වී වැගිරෙන්නට වූයේ දියණිය ඔහු ගේ දෙපා වඳිත්දී ය. ඈ දැඩි ව වැළඳ ගත් ඔහු ඇස් දෙක පියා ගත්තේ ය. නවතා ලිය නො හැකි ලෙස අජිත් ගේ පිරිමි ඇස් වලින් කඳුළු ගැළුවේ ය. ඈ උපන් දා පටන් බොහෝ සිදුවීම් මිතුවම් පටයක් සේ ඔහු ගේ මනසෙහි ඇඳෙමින් මැකෙමින් තිබිණි. 

“අජී..ඔය ඇති දැං…”

නිර්මලා ඔහු ව මුදවා ගන්නට හැදුවා ය. නමුත් තාත්තාට දුවත් දුවට තාත්තාත් ඉතා තදින් බැඳී සිටියහ. 

“රසී..පිටත් වෙන්න නැකත් වෙලාව හරි දැන්”

අනතුරුව ඕ තොමෝ දියණිය ගේ සවනට මිමිණුවා ය. 

“පහු වුණාදෙන් අම්මෙ”

ඇය තව තවත් තාත්තා ගේ පපුවෙහි තුරුළු වූවා ය.

“අනේ මට යන්න බෑ අම්මෙ”

ඉනික්බිති තිදෙන ම උනුන් වැළඳ හඬන්නට වූහ. හරියට සදහට කෙසේ වතුදු වසර ගණනාවකට හෝ උනුන් දැකිය නො හැකි මානයකට වෙන් ව යනවා මෙනි. 

“අයියෝ..ඉතිං ඇති අනේ…දැං ඔය පේකප් මෙල්ට් වෙලා හැම තැනම ගෑවිලා මනමාලි යක්ෂණියක් වගේ පෙනෙයි. කෝ ඔය කඳුළු පිහිදාන්න”

දිලිනි හා තරුෂි බලයෙන් ම වාගේ අමාරසී ව මුදවා ගෙන ටිෂූ වලින් ඇගේ කඳුළු තෙත මාත්තු කළහ. 

“මගෙ කෙල්ලව ඇස් දෙක වගේ බලා ගන්න ඕන පුතා. ඒකිට දුකක්නං දෙන්න හිතන්නවත් එපා”

ඔවුන් මංගල රියට නැගෙත්දී අජිත් දිසත් ඉදිරියේ දෑත් එක්කාසු කොට බැගෑපත් වූයේ එතැන උන් හැම හදවතක් ම වේදනාවේ කරවටක් ගිල්වමිනි. බෑණා මාමා ව දෙවන වරට ද වැළඳ ගත්තේ ය.

ගමනාන්තය තෙක් ම අමාරසී කළේ හඬනා එක ය. ඈ සන්සුන් කරන්නට දිසත් දැරූ තැත අපතේ ම ගියෙන් ඔහු ඇගේ අතක් අල්ලා ගෙන නිහඬ වූයේ ය.

“මගෙ තාත්ත…”

අමාරසී ඉකිබිඳුම අතරින් හඬ අවදි කළා ය.

“එයා මීට කලින් කවදාවත් මේ වගේ අඬල නෑ දිසත්”

“ඔයානෙ ඉතිං ඇඬෙව්වෙ. ඔයා අඬනකොට එයාට අඬන්නැතුව ඉන්න බැරි වෙන්න ඇති. ඕගොල්ලො කාටවත් අඬන්න මං ඉඩ තියන්නෑ අමා. ඒ කඳුළු අදින් අඬල ඉවර කරන්න තියන ඒව වෙන්න ඇති”

අමාරසී සන්සුන් වූයේ බොහෝ වේලා ගිය පසු ය. එදා රෑ බෝ වන තුරු ම අජිත් මී විත සමගින් තනි වූයේ ය. විටෙක නිහඬ ව ද විටෙක ඉකිලමින් හා දොඩවමින් ද හැඬුවේ ය. උදේ පටන් ඔහු ගේ කුසට අහරක් වැටී තිබුණේ නැත.

නිර්මලා වරින් වර ඔහු වෙත විත් ඒ බීම නවතා ලන්නට උත්සාහ කළා ය.

“අද විතරයි නිර්මලා. මේ මං මෙහෙම බොන අන්තිම දවස. ආයෙ බීල සිහි නැති කර ගෙන කොහොමද…කවුද එතකොට ඔයාව බලා ගන්නෙ..”

දුවෙක් හදනවා කියන්නේ අම්මා කෙනෙකු ට තාත්තා කෙනෙකුට අනුන්ගේ වත්තක මල් පැළයක් වවනවා වාගේ දෙයකැයි පැරණි කතාවක් තිබේ. අයිතිකරු පැමිණි විට වත්තත් එක්ක ම මල් පැළය ද භාර දී නික්මිය යුතු ය. නමුත් දිසත් කියන්නේ පවුලට ලැදි ව සිටිත හැකි මිනිසෙකු ය යන විශ්වාසය අජිත් ට තිබේ. ඒ නිසා ඔහු වැවූ මල් පැළය ගැන ශෝක වන්නට කාරණයක් නො තිබිය යුතු ය.

“ඒකට කමක් නෑ. බෑණත් එක්ක පොඩ්ඩක් විනෝද වුණාට මගෙ අකමැත්තක් නෑ”

ඇය තමන් සැහැල්ලුවෙන් හිඳිනා බව පෙන්වන්නට උත්සාහ කළා ය. නමුත් නිර්මලා තුළ වූයේ ද දැවෙනා හදවතකි. 

“මං බැන්ද දවසෙ අම්මලට ඔහොම දුකක් තිබුණෙ නෑනෙ”

කියා මීට ටිකකට පෙර පබසරා නෝක්කාඩු කීවා ය. ඕනෑ ම දෙයක් හදවතට දැනෙන්නේ ඒ දේ හදවතට හෘදයාංගම වූ ප්‍රමාණය මත යයි ඇය නො කියා සිටියා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...