ඔබ දකින තුරා 48

බටහිර අහසේ ගිනි රත් පැහැයක් තැවරී තිබිණි. කහ, තැඹිලි, නිල් හා රෝස වන් පැහැයන් ඒ අතර රටා මවා තිබුණේ මනරම් දසුනක් ගෙන හැර පාමිනි. සුඛෝපභෝගී සමුද්‍රාසන්න හෝටලයේ ඉහළ ම මහලක ලොකු වීදුරු පව්රෙන් එපිට සිතිජ සීමාවෙහි නෙතු රඳවා ගෙන උන් අමාරසී, රතු බෝල හිරු ඈත සයුරේ ගිලි ගිලි ස්නානය කරන හැටි නෙතු පිය නො සලා බලා සිටියා ය.

තවමත් ඇගේ ඇස් වල කඳුළු පැල්ලම් වේ. ගෙදර මතක් වන විට ඒ කඳුළු අලුත් වේ.

“එතකොට මනමාලයෙක් කියන්නෙ මාර අපරාදකාරයෙක්ද..කම්බ හොරෙක්ද…අම්මයි තාත්තයි මනමාලියි තුන් දෙනාම විලාප දිදී අඬද්දි මනමාලිව පැහැරගෙන යන..”

දිසත් ගේ හඬ සවන ළඟ මිමිනිණි. අමා ගේ දෙතොලතර හස මලක් පිපුණේ ය. ඔහු ඇගේ කන් පෙත්ත පා මුල කොපුලේ සුසිනිඳු තැනක් හෙමිහිට සිප ගත්තේ ය.

“දැං ඇති නේද ඇඬුව..ම්..ඔයා අඬනකොට මට හිතෙනව මං වැරැද්දක්ද කළේ කියල. මාව මැරි කළා කියල ඔයාට ඔයාගෙ කිසි කෙනෙක් කිසි දෙයක් නැති වෙලා යන්නෑ අමා”

අමාරසී ඔහු දෙස නො බලා ම ඇගේ අතක් මඳක් ඔසවා ඔහු ගේ කොපුලක් පිරිමැද්දා ය. ඉන් අනතුරුව, ඇගේ බඳ වටා වූ ඔහු ගේ දෑත් සිය දෑතින් ම වැළඳ, දිසත් ගේ සිරුර ට බර වී ගෙන මඳ වෙලාවක් සිටියා ය. ඒ විනාඩි කිහිපය තුළ නෙතු පියාන ඕ බොහෝ දේ ගැන ඉතා කෙටියෙන් සිතුවා ය. ජීවිතය කියන්නේ ගෙවී ගිය අතීතයට හෝ අවිනිශ්චිත අනාගතය ට නොවේ. මේ මොහොතට ය. හුස්ම ගනිමින් හිඳිනා මේ මොහොතට ය.

“මේ කොණ්ඩෙ තියන ක්ලිප්ස් ටික අයින් කරන්න මට උදව් කරන්න”

වහා සිහිපත් වුණ සෙයින් අමාරසී හිස ඔසවා ඔහු දෙස බලමින් කීවා ය. මේ වූ කලී අලුත් ඇරඹුමකි. සමහර පියවරයන් තබා ගැනීම පහසු නැත. නමුත් කෙසේ හෝ කළ යුතු දේ කළ යුතු ම ය. ජීවිතය වනාහි එක තැන නතර වී සිටිත හැකි එකක් නොවේ. එය වූ කලී අනවරත ගමනකි.

දිසත් ගේ අත් මුදා හරිමින් ඕ යහන වෙත ගොස් හිඳ ගත්තා ය. උදේ සිට ම ගත දවටා ගෙන හිඳිනා මේ සැරසිලි වලින් නිදහස් ව සාමාන්‍ය අමාරසී වීමේ අවශ්‍යතාවය ඇය ට දැනිණ.

“මේ තරං කොණ්ඩ කටු ගහන්නෙ මොකටද මන්දා මනමාලියෙක්ගෙ කොණ්ඩෙට. බියුටීශන් හිතන් ඉන්නෙ මනමාලයට වෙන වැඩ නෑ කියලද දන්නෑ කොණ්ඩ කටු ගලෝ ගලෝ ඉන්නවට වඩා…”

කොණ්ඩ කටු ගලවනා ගමන් ඔහු කන් කෙඳිරි ගෑවේ ය.

“රෑ වෙනකල්ම මට බීච් එකේ ඇවිදින්න ඕන අද..”

අමාරසී කොණ්ඩ කටු වලට දිසත් ගේ වන විරෝධය ගැන නොතකා කීවා ය. ඔහු කොණ්ඩ කටු ගැලවීම නවතා අත් දෙක ම කම්මුල් වල ගසා ගත්තේ ය.

“ඒකයි මං කිව්වෙ බීච් සයිඩ් හොටේල් එකකට යං කියල. රෑ වෙනකල් බීච් එකට වෙලා ඉන්න ආසාවක් මට තිබුණෙ හුඟක් කල් ඉඳල”

ඇය ඔහු ගේ විරෝධය නො තකා සිය අවශ්‍යතාවය ට හේතු ඉදිරිපත් කළා ය.

“කොණ්ඩ කටු ටික ගලෝල ඉවර කරන්න”

“හ්ම්…කොහොමත් ඉතින් අන්තිමට නෝන මහත්තයට ඕන විදිහට තමයි ඕන ලොකු මහත්තයෙක්ට වැඩ කරන්න වෙන්නෙ. හැබැයි ඉතිං ඊයෙ පාන්දර ඉඳලම ඇහැරිල සැලොන් එකේනෙ ඔයා. ඒක නිසා වොශ් දාං ටිකක් රෙස්ට් කරල ඉන්න. අපි රෑ වෙලා පහලට යමු”

අමාරසී සිය සැමියා ගේ යෝජනාවට එකඟ වූවා ය. නමුත් දිය නා විත් සැහැල්ලු රාත්‍රී ඇඳුමක් ඇඟ ලා ගන්නට බලත්දී ඒ එකකුදු ඇඳිය හැකි වූයේ නැත. අමාරසී ඉතා හොඳින් ඒවා විමසා බැලුවා ය. අලුතෙන් ම මිල දී ගෙන තිබූ ඒවායේ එවන් දෝශයක් ඇති වූයේ කෙසේ දැයි ඇය ට සිතා ගත හැකි නොවිණි. ජංගම දුරකතනය හැඬවුණේ ඒ මොහොතේ දී ම ය.

“නයිට් ඩ්‍රස් එක ඇන්දද…”

ඒ තරුෂි ය. මේ ඔවුන් ගේ වැඩක් බව අමාරසී ට සිහි වූයේ ඒ මොහොතේ ය. ඇය වඩාත් හොඳින් ඇඳුම් දෙස බැලුවා ය.

“මේව මැදිං මහල නේද…අයියෝ…දැං මං මොනාද අඳින්නෙ..”

තරුෂි හඬ නගා සිනහ වූවා ය.

“කටු කැරැල්ලක් ඇති සයිඩ් පොකට් එකේ. ඒකෙන් කට්ටක් අරං දෙන්නත් එක්ක හෙමීට මැහුං ලිහා ගන්නකො. වෙන වැඩක් නෑනෙ කොහොමත්”

“අනේ”

“මගෙ ක්‍රෂ් එක අයිති කර ගත්තට පනිශ්මන්ට් එක තමයි ඔය”

යළිත් හඬ නගා සිනාසුණු ඕ දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. දිසත් ගේ මුහුණේ සිනහවක් ඇඳී තිබිණි. ඇය ඔහුට ද රැව්වා ය. හංගා ගෙන උන් සිනහව දිසත් වෙතින් පිටතට පැන්නේ ය.

“කරන්නංකො මං එයාගෙ වෙඩින් එක දවසටත් හොඳ වැඩක්…”

ඇය තනි ව මුමුණමින් ඇඳුමක වූ මැහුම් ලිහන්නට ගත්තා ය. මඳ වෙලාවක් ආදරණීය මඳහසකින් ඇදෙස බලා උන් දිසත්, කාමරයේ මේසය මත තැබුණු අවශ්‍ය විය හැකි කලමනා සහිත පෙට්ටියකින් කුඩා පිහියක් ගෙන අමාරසී ට ඇඳුමේ මැහුම් කපා ඉවත් කරන්නට උදව් වූවේ ය. ඒ අවසානයේ ඇය ලස්සන සිනහවකින් ඔහු දෙස බැලුවා ය.

“තෑන්කූ. ඔයා හිටියෙ නැත්තං ඒක ගොඩක් අමාරු වෙන්න තිබුණා”

“සමහර විට තරුෂිලට ඕන වුණේ ඒ පාඩම උගන්නන්නද දන්නෑනෙ. දෙන්නම එකතු වුණොත් අමාරු දෙයක් වුණත් ටිකක් ලේසියෙන් කරන්න පුළුවන් කියන එක…”

අමාරසී දිසත් ගේ ගෙල වටා දෑත ම යවා ඔහු ගේ කොපුලක් සිප ගත්තා ය.

ඔවුන් මුහුදු වෙරල දෙසට ගියේ රෑ කෑමෙනුත් පසු ය. අලුත් යුවල ගේ අතිනත් තදින් පැටලී තිබිණ. හැන්දෑවේ කොයි තරම් හැඬුවාද කියා අමා ගේ ඇස් වලට අමතක වී තිබූ තරමි. ඇය සැබවින් ම තෘප්තිමත් සිනහවකින් මුව සරසා ගෙන සිටියා ය.

සුළඟ සීතල වූයේ ය. ඈත සයුරේ නෞකා වල විදුලි එළි කණාමැදිරි තිත් සේ දිස් වේ. සයුර තද අඳුරු පැහැයක් ගෙන තිබේ. නමුත් අහස ඝණ සුදක් දරයි. සිතිජ රේඛාව පැහැදිලි ය.

දිසත් ගේ අතේ එල්ලී අමාරසී පිය තැබුවේ හෙමිහිට ය. මේ මුළු මහත් විශ්වය එක ම ඇස් බැල්මකින් ඇතුළාන්තයට කැඳවා ගන්නට තරම් ඇය සොබා දහමේ ම කොටසක් වී සිටියා ය.

“සීතලයි නේද…”

දිසත් ඇගේ අතැඟිලි අතැර උරහිස වටා සුරත යවමින් ඇය ව සිය සිරුරට වඩාත් ලං කර  ගත්තේ ය. දෑස් ඔසවා ඇය ඔහු ට සිනහ වූයේ ළදැරියක සේ ය. සිය වමත ද ඇය වටා යවා ඇය වැළඳ නොගෙන සිටින්නට ඒ සිනහව ඔහු ට ඉඩ දුන්නේ නැත. දිසත් ගේ බොටම් කලිසමේ සාක්කුවක වූ අමා ගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ එතකොට ම ය.  අපේක්ෂා භංගත්වයට පත් ඉරියව්වකින් ඔහු දුරකතනය ගෙන ඈ වෙත පෑවේ ය. අමාරසී දෙතොල් තද කර ගෙන සිනහ වූවා ය.

‘තාත්තා’ යනුවෙන් තිරය මත සනිටුහන් ව තිබිණි. ඇය වහා දුරකතනය සවනට ගත්තා ය.

“තාත්තෙ…”

“පුතේ…මේ…මං ගත්තෙ…අම්ම කියනව මේ..කෑවද දන්නෙත් නෑ කියල…ඒකයි…”

අලුත් යුවලට ඔහු ගේ ඇමතුම කරදරයක් විය හැකි ද යන දෙගිඩියාව අජිත් ට තිබිණ. හෝටලයට පැමිණි ගමන් අමාරසී ඔවුන් පැමිණි බව ද දන්වා සිටියා ය. නමුත් දියණිය ගෙදර නැතිව ගෙවන මේ පළමු රාත්‍රිය ගෙවා ගැනීම මෙතරම් ම අසීරු වෙතැයි අජිත් සිතා තිබුණේ නැත.

“කෑව තාත්තෙ. කාල අපි මේ බීච් එකට ආව. ටිකක් ඇවිදින්න”

“ඉතිං හෙට බැරියැ ඇවිදින්න. දැන් රෑ වෙලානෙ”

“රෑට බීච් එකේ තියෙන්නෙ අමුතු ලස්සනක්නෙ. තාත්තා දැන් බිව්ව ඇති හොඳද…අනිත් එක කෑම කාලයි නිදියන්නේ…දෙන්නම දැන් කාල නිදියන්න. නිදිමරන්න එපා අදත්. හොඳද…අපි ආවට පස්සෙ හොඳ ට්‍රිප් එකක් යං හොඳේ. දිසත්ගෙ අම්මයි තාත්තයිත් එක්කං. එයාල ගමේ දුවන්න බලා ගෙනනෙ ඉන්නෙ…”

“හරි හරි රසී. එහෙනං වැඩිය පිනි බබා ඉන්නෙ නැතුව ඇතුළට යන්න. මේ අම්මත් ඉල්ලනව”

කියා අජිත් නිර්මලා අතට දුරකතනය දුන්නේ ය. හුස්ම හිර වෙන බවක් දැනුණත් අමාරසී සතුට හඟවන්නට උත්සාහ කළා ය.

“රසී…කාල බීල එහෙම නේද ඉන්නෙ…අනේ මන්දා ඔයා තෝර තෝර කන එකේ ඔහේ කෑම බඩ පිරෙන්න කයිද කියල”

අමාරසී ආයාසයෙන් හැඬුම රඳවා ගෙන සිනහ වූවා ය. ඒ වුණත් ඇගේ හඬ යම් යම් තැන් වලදී බිඳී ගියේ ය. හැඬේවියි බියට ඇය සිනහ වී ගෙන ම කතා කළා ය.

“නෑ අම්මෙ. මෙහෙ මං කන ඒව තිබුණා. බඩ පිරෙන්න කෑව මං. හැබැයි අම්ම උයන ඒව තරං රහ නෑ  ඊට වඩා ටිකක් රහ අඩු වුණාට කන්න පුළුවන්. අම්ම මං ගැන හිතන්නැතුව කන්න ඕන හරිද..මං දන්නවනෙ ඔය දෙන්නා ගැන. දිසත් මං ගැන හැම දේම බලනව. තාත්ත ළඟ ඉන්නව වගේ තමයි. ඒ නිසා ඔය දෙන්නත් සතුටෙන් ඉන්න ඕනෙ. අපි අනිද්දට එනවනෙ. හෙට දිලිනියි තරුයි එයි ගෙදර. එතකොට ඕගොල්ලන්ට පාළු නැති වෙයි”

ඔවුන් ගේ දුරකතන සංවාදය නිම වූ පසු දිසත් අමා ගේ මුහුණ දෙස ම බලා සිටියේ ඇගේ හිස් මුදුණේ අතක් ද තබා ගෙන ය.

“ඇයි…”

සිනහ වී ඇසුවාට එවේලේ ද ඇගේ හඬ බිඳිණි.

“මට චූටි බබාල තුන් දෙනෙක්වම බලා ගන්න වෙයි වගේ නේ”

කඳුළ පුපුරා ගියේ එවෙලේ ය. අමා දිසත් ගේ පපුවෙහි මුහුණ රුවා ගත්තා ය.

“ඔන්න ආයෙ අඬන්න ඔට්ටු නෑ”

ඇය ඉක්මනින් ඒ කඳුළ පිස ලා ගත්තා ය. ඔහු ඇගේ අතකින් අල්ලා ගෙන නැවතත් වෙරළ තීරයෙහි ගමන ඇරඹුවේ ය.

“මං හරි ආසාවකින් ආදරේකින් අමා මේ ගමන පටං ගත්තෙ. මැරෙනකල්ම ඒ ආසාව මගෙ ළඟ තියෙන්න ඕන කියන එක තමයි දැන් මගෙ ලොකුම විශ් එක”

ඔහු සිය හිත ඇතුළේ තෙරපෙමින් තිබි කතාවකට හෙමි හෙමිහිට පිටතට එන්නට ඉඩ හැරියේ ය.

“ආදරේ විතරක් නෙවෙයි…ඔයා දන්නව මං ඔයා ළඟට ආවෙ අත්දැකීම් ගොඩකුත් එක්ක. ඒ අත්දැකීම් කොච්චර කටුක ඒවද කියලත් ඔයා දන්නව. දැන් මට ඕනෙ හිනා වෙලා ඉන්න. ඔයාගෙ හිනාව දැක දැක ජීවත් වෙන්න. ඒ ඔෆිස් එකට ආව මුල් දවස් වල…ඔයා කවුද කියලවත් හරියට දන්නැති කාලෙ…ගෙදර ඉඳල අරං එන මගෙ හිතේ ප්‍රෙශර් එක ඔයාගෙ හිනාව දැක්කහම කොහෙ ගියාද නැති වෙනව. දෙන්නෙක් එකතු වෙනව කියන්නෙ අමුතු දෙයක් අමා. ඒක ගැන අපි එච්චර ගැඹුරට හිතුවෙ නැති වුණාට…ඒක මාර ම දෙයක්. මට පුළුවන් නං ඔයා නිසා ජීවිතේ සතුටක් විදිහට විඳින්න…ඔයාට පුළුවන් නං මං නිසා සතුටෙන් ඉන්න…අපිට පුළුවන්නං අපි නිසා අපේ ජීවිතේ පහසු වුණා කියල හිතන්න…එච්චරයි..”

ඔහු සැනසුම් සුසුමකින් කතාවට මඳ ඉස්පාසුවක් ගත්තේ ය. අමාරසී සිය වමතින් දිසත් ගේ දකුණතෙහි වැලමිට අල්ලා ගත්තා ය.

“ජීවිතේ කියන්නෙ අපි ෆිල්ම් වල දකිනව වගේ ලස්සනම දෙයක්වත්…සින්දු වල අහනව වගේ සුන්දර දෙයක්වත්…නවකතා වල එන්ඩ් එක වගේ සතුටක් ම තියෙන දෙයක්වත් නෙවෙයි. ස්පෙශලි..ෆැමිලි ලයිෆ් එක කියන දේ ටිකක් අමාරුයි. ඒක එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම එකතු වෙලා බැලන්ස් කර ගන්න ඕන එකක් නිසා. සතුට වගේම ප්‍රශ්නත් එතන තියෙයි. ඒත් අපි දන්නවනෙ අපි අපිට ආදරෙයි කියල. අපිට අපිව ඕනයි කියල. ඒක නිසා මට තරහ ගිය වෙලාවක ඉවසන්න ඔයාටත්..ඔයාට තරහ ගිය වෙලාවක ඉවසන්න මටත් පුළුවන් වෙන්න ඕන. මොකද අපිට ඕනෙ අපෙං වෙන් වෙන්න නෙවෙයි හැම දාම එකට ඉන්නයි කියල අපි හොඳටම දන්න නිසා. යන්න හේතු නෙවෙයි අපි පුළුවන් තරං ඉන්න හේතු හොයමු. ඔයාට තේරුණා නේද මං කියන දේ…”

ඔහු මෘදු භාෂිතයකින් විමසී ය. ඇය දෑස් ඔසවා නොදරු සිනහවක් පෑවා ය.

“ඔයා දුම්මල ගැහුවත් මං යන එකක් නෑ. මැරිලත් තව පැයක් හරි ඔයා ළඟ ඉන්නම බලයි”

“පිස්සි”

අමාරසී ට කිවිසුම්  දෙක තුනක් එක පෙළට ගියේ ය. දිසත් ගමන නවතා ඇදෙස බලා සිට ආපසු හැරුණේ ය.

“යං යං. ඊළඟට අර දෙන්න මාව උසාවි කැඳවයි දූට පිනිබාල හෙම්බිරිස්සාව හැදිලයි කියල”

අමාරසී හඬ නගා සිනහ වූවා ය. මුදුන් වෙමින් ඇති අඩ සඳේ ලා එළියෙන් ඇගේ සිනහ වතෙහි වන සැහැල්ලු චමත්කාරය ඔහු දුටුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...