කදෝකිමි ඇස් -24

0
3684
කදෝකිමි ඇස්

මේකලා මායාදුන්න ද මායාදුන්න යුවළ ද එකල සිටියේ මහත් වූ පීඩාකාරී සමයක් ගෙවමිනි.තිසර මායාදුන්න නම් සුන්දර නව යෞවනයා ඔහුටම අනන්‍ය වූ කුඩා සහ සුන්දර ජීවිතයක් තෙළෙස් වසරක් තිස්සේ ගෙවා යන්නට ගොස් තිබිණ.

“ලියුකේමියාව හැදුණම දරුවෝ බේරා ගන්න අමාරුයි.”

වෛද්‍ය විද්‍යාව දන්නා අය ද නොදන්නා අය ද මායාදුන්න පවුලේ හිත් හදන්නට එසේ පැවසී ය.ලියුකේමියාව තරමේ දරුණු අසනීපයක් මල්ලීට වැළඳෙන්නට ඔහු කළ පාපය කුමක්දැයි සිතමින් හඬමින් සිටි දහසය හැවිරිදි යෞවනියට මල්ලිගේ නික්ම යාම කඳුළු අලුත් කරන්නක් විණ.

“අම්මයි අප්පච්චි වෙනුවෙන් දැන් දූ හයියට ඉන්න ඕන.”

අම්මාට අප්පච්චිට මෙන්ම තමන්ට ද ජීවිතයෙන් හරි අඩක් අහිමි වී ඇති බව කෑගසා කියන්නට මේකලාට උවමනා විය.නමුත් ඈ ලෝකයේ අවවාද නිසොල්මන්ව අසා සිටියා ය.අම්මාගේත් තාත්තාගේත් වේදනාව දරා ගන්නට හැකි තරමට උදව් දුන්නා ය.

“මගේ ලෝකේ ඉර නෑ.හඳ විතරයි ඉතුරු..”

මහා රාත්‍රියේ පවා ඉකිලන අම්මාගේ තුරුලට වැදී ඉකි ගසද්දී පවුලක් කියන්නේ මොනතරම් බන්ධනයක්දැයි මේකලා උගත්තා ය.ඇය ජීවිතය ගැන තීරණයක් ගත්තේ ඒ කාලයේ දී ය.

“මං කවදාවත් බඳින්නේ නෑ.බැඳලා දරුවො හදන්නේ නෑ.මොන වේදනාවක්ද අපේ අම්මා උහුලන්නෙ..”

අම්මාගේ කඳුළු දරා ගන්නට නොහැකි වූ දැරිය එසේ කියමින් මිතුරියන් සමඟ හැඬූ දවස් අපරිමිත බව මේකලා අදටත් සිහි කරන්නී ය.”ඔයා එයාද” තිසරගේ නික්ම යෑමෙන් විසි වයස් ගෙවෙන කාලයක උපන් සඳරැස්ගේ හිස සිඹ ඈ ඇසුවේ ශල්‍යාගාරයේ දී ය.අපහසු සිසේරියන් සැත්කම නිමවූ විගස ය.සඳරැස් ඔහුගේ අප්පච්චිගේ හැඩහුරුකම් දරනා බව කියන්නට ඈ නොකැමති ය.ඒ තිසරගේ අනුරුවක් යැයි දැකීම මේකලාට තවමත් මහත් සහනයකි.

“ඔයා කොහොමත් මල්ලා වගේ පුතු.ඔයා එයාම තමයි.එයා හිටියා නම් මට ජීවිතේ මෙච්චර දුක් වේදනා ලැබෙන එකක් නෑ.”

සඳරැස් අම්මාගේ අතක් හෙමින් සීරුවේ පිරිමැද්දා ය.අම්මා විශාදයේ තදබල ගොදුරක් වූයේ ද ඇය තවම එහි කටු මත අඩිය තබන දවස් ඉඳහිට ඇත්තේ ද චූටි මාමාගේ වියෝව නිසා බව සඳරැස් සිතා හුන් දවස් තිබේ.නමුත් එය එසේ නොවන බව දැන් ඔහුට වැටහෙයි.

“අම්මා..චූටි මාමා ගැන අපි අහලා තියනවනෙ.ඒත් අම්මාට හිත නිදහස් වෙනවනම් මම එයා ගැන ඕනතරම් අහන් ඉන්නම්..මට දැන්ම අක්කි ගැන හිතන බෝයිගෙයි අම්මගෙ දුක්වීමෙයි අතර තියන සම්බන්දෙ දැන ගන්න ඕන..”

සඳරැස් අම්මාගෙන් එසේ ඇසුවේ ඇයට වේදනාවක් ඇති වන බව නොදැන නොවේ.නමුත් අම්මා ඔය තරමට කලබල වන්නට කාරණාවක් තිබිය යුතුම වේ.

“ඒ කතා කරේ මහේන් සේනාධීර.”

ඒ හුරුපුරුදු නමකි.සමාජ අසාධාරණයන් හමුවේ පෙනී සිටිමින් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන පරිණත නීතිඥවරයා සඳරැස්ට වහා සිහි විය.ඔහු වැදගත් යැයි සම්මත මිනිසෙකි.වැදගත් යැයි සම්මත සමහර මිනිසුන්ට තවත් මුහුණක් තිබෙන්නට ඉඩ ඇති බව සිතන්නට තරම් දැන් සඳරැස් වැඩී අවසන් ය.නමුත් මහේන් අම්මාගේ කවුරුන්දැයි සඳරැස් සිතන්නට ගත්තේ ය.

“තිසර මල්ලි අර තරුවට වෙලා ඔයාලා දිහා බලන් ඉන්නව.ඔයාලා අඬන්නයි දුක් වෙන්නයි ගත්තම ඒ ළමයට මොන සතුටක්ද?”

මේකලාගේ අම්මා තිසරගේ මරණයට පසු ඇගේ ආර්ථික විද්‍යා අමතර පන්ති යළි ඇරඹුවේ සිතකින් නොවේ.ඇගේ සිසු දරුවන්ගේ මාපියන් කළ බලවත් ඉල්ලීම් නිසා ය.

“මං කඩා වැටුණට ඒ ළමයිත් කඩා වැටිලා කොහොමද?”

ඇය එසේ කියද්දී පරිණත රාජ්‍ය සේවකයෙකු වූ මේකලාගේ තාත්තා ද එය ස්ථිර කළේ ය.අම්මා ගෙමිදුලෙහි වූ කුඩා පන්ති කාමරයක අමතර පන්ති පවත්වාගෙන ගියා ය.නිවස තුළ හිඳින්නට දැනුණු තද පාළුව හන්දාම මේකලා සිටියේ ගෙමිදුලට වී ය.අම්මාගේ අමතර පන්තිය අවසන්ව සිසුන් නික්ම ගිය බව ඈ වටහා ගත්තේ සවන අසලින්ම ඇසුණු මල්ලි තාරකා අතර හිඳින කතාව නිසා ය.ඇය හිස හරවා බැලුවා ය.අම්මාගේ හොඳම සිසුවා තාරකාවලට වඩා දීප්තිමත් දෑසකින් ඈ හා හිනැහුණේ ය.

“මහේන් අයියනෙ.”

බාලිකාවේ කෙල්ලන්ගේ “ක්‍රෂ්” අතර ඉහළම අංකයක් මහේන්ට ඇති බව මේකලා දැන සිටියා ය.මහේන් සාමාන්‍යපෙළ අති විශිෂ්ට ලෙස සමත් වී උසස්පෙළට කලා විෂයන් තෝරා ගැනීම ඔහුගේ ඒකපාර්ශ්වික ප්‍රේමවන්තියන් නොඉවසූ බව සිහිවෙද්දී මේකලාට අද ද සිනා නැගේ.ඔවුන්ට ඕනෑ වූයේ සිහින ප්‍රේමවන්තයා ඉංජිනේරුවෙකු හෝ වෛද්‍යවරයෙක් බවට පත් කර ගන්නට ය.නමුත් මහේන්ට සිහින නොතිබිණ.අරමුණු පමණක් තිබිණ.

“තිසර ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න.මල්ලි ගැන හිතෙනේවා ලියන්නකො.”

මහේන් එසේ කියද්දී මේකලා වටපිට බැලුවා ය.ඈ සමඟ මහේන් කතාවක බව දුටු ඔහුගේ පන්ති මිතුරියන් ඈතට ගොස් තමන් දෙස බලා සිටින බව මේකලාට පෙනෙයි.ඔවුන් තමන් සමඟ ඊර්ෂ්‍යාවෙන් දැයි ඈ සිතුවා ය.

“මට ලියන්න බෑනෙ…”

ලා අඳුර අතරින් මතු වූ ඒ මන්දහාසය මේකලාට තවමත් මතක ය.ඇගේ හැම කතාවකට ප්‍රධාන චරිතය අඳුර මැදට වී හිනැහෙන්නේ ඈ ඒ සිනාව තවම මතකයේ තබා ගත් හන්දා ය.

“ඔයාට ලියන්න බැරි මොකද? වජිරා මිස්ට දීපු බර්ත්ඩේ කාඩ් එකේ කවිය මිස් අපට ඇහෙන්න කියෙව්ව.”

ඕනෑ නැති වැඩ කළ අම්මා ගැන උපන් මඳහසක් මේකලාගේ මුහුණේ ඇඳුණා ය.එදා ඒ සිනාව දෙස මහේන් බලා සිටි තරමටම උනන්දුවකින් සඳරැස් අද බලා සිටියේ ය.

“ඊටපස්සෙ මොකෝ වුණේ අම්මා?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here