මීදුම් මාරුත -4

“රෑට කන්න මොනවාහරි අරන් යංද කාව්‍යා..”

සකුණ ගමනේ අර්ධයක් පසු කරද්දී ඇසුවේ දැඩි නිහඬතාවය බිඳින්නට ය.කාව්‍යා කියන්නේ කිරිල්ලක බඳු යුවතියකි.ඇයට කියවන්නටත් හිනැහෙන්නටත් ඕනෑතරම් කාරණා තිබිණ.නමුත් දැන් ඇය අවශ්‍ය දෙයක්වත් කතා නොකරන තරම් ය.

“අම්මා උයලත් ඇති..”

කාව්‍යා කියන්නේ සිහින් හඬකිනි.අද භාවනාගේ උපන්දිනයට මහන්සියෙන් සහ ආදරයෙන් අම්මා පිසූ ආහාර දෙස භාවනා ඇහැක් ඇර නොබැලූ හන්දා අම්මා හිඳින්නේ සොවින් බව සකුණ් පැවසුවේ කලකිරීමෙනි.කාව්‍යා සුසුමක් හෙළුවා ය.

“මොනවහරි ගමු එහෙනං.”

සකුණ මෝටර් රථය අවන්හලක් ඉදිරිපිට නැවතී ය.අනතුරුව ඔහු කාව්‍යා දෙස බැලුවේ ළමා කාලයේ හුන් සකුණගේ බැල්මකිනි.

“මොනවහරි ගාන්නෙ නැතුව කන දේ කියහං ඉතින්..මේ කෙල්ලන්ට කන්න ඕන දෙයක්වත් කෙලින් කියන්න බෑනෙ..”

කාව්‍යා එයට ද මඳහසක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූවා ය.සකුණ මෝටර් රථයෙන් බැස ගත්තේ බර වූ හදවතකිනි.කාව්‍යා අවන්හලේ නියොන් එළිවලට ඇස් දල්වා සිටියේ හිස් වූ හදවතකිනි.ආදරය උතුරා ගිය නිවහන දැන් පාළුවට ගොස් ය.එහි ජීවත් වන්නට හිත එකඟ කර ගන්නට ඇයට නොහැකි ය”පාලුවක් කොහෙද.මේ මං ඉන්නෙ?” සෙනුර මුමුණන හඬ කාව්‍යාට ඇසේ.ඔහු හිඳිද්දී පාළුව ගැන හිතන්නට ඕනෑ නැති බව කාව්‍යා තමන්ටම කියා ගත්තා ය.
දුටු හදිසි දසුනකින් ඈ කැළඹුණේ ඉනික්බිතිව ය.

තරුණයන් පිරිසක් මෝටර් සයිකල් කිහිපයක් මතට වී සැහැල්ලු කතාබහක ය. එක තරුණයෙකුවත් මුව ආවරණ පැලඳ නැත.සිගරට්ටුවක් එකිනෙකා අත හුවමාරු වේ.ඔවුන් අතර පැතිරෙන උස් සිනා හඬ තමන්ගේ හදවතේ ඇනෙන්නාක් මෙන් කාව්‍යාට දැනිණ.ඇය මෝටර් රථයෙන් බැස ගත්තේ ආවේගයෙනි.

“තමුන්ලා මොනතරම් ජරා මිනිස්සුද? ඔහොම මිනිස්සුන්ට කියන්නේ ඇවිදින බෝම්බ කියලා..”

හදිසි කුණාටුවක් වාගේ තමන් අතරට ආ තරුණිය දෙස යෞවනයන් බැලුවේ පුදුමයෙනි.මේ තමන් අතරින් කෙනෙකුගේ ඉපැරණි පෙම්වතියක දැයි ඔවුන්ට සැකයකි.නමුත් එසේ වන්නට ද නොහැක.ඒ දෑස නුපුරුදු දෑසකි.

“මේ කවුද බං මේ..”

එකෙකු අසද්දී තවකෙකු වහා දුරකථනයේ වීඩියෝ පටිගත කිරීම ක්‍රියාත්මක කළේ ය.හෙට සමාජ මාධ්‍ය සොලවා දමන්නට තරම් මේ අපූරු රංගනය ප්‍රබල ය.

“මාස්ක් නෑ.එක සිගරට් එක ඔහේ බොනව.ඊටපස්සෙ ලෙඩ වෙනව.අනිත් මිනිස්සු අමාරුවෙ..”

කාව්‍යා හුස්ම නාල්ලාම කෑගසද්දි කොල්ලන් එක පොදියට සිනාසෙන්නට විය

“අප්ප..මේ පීඑච්අයි නෝනෙක්ද..නැත්නම් ඔය නෝන ටීවි එකේ දවසෙ වැරැද්ද හොයන නෝනෙක්ද? අඩේ කවුද අඩේ මේ..”

සකුණ අවන්හලෙන් පිටත බැලුවේ මිනිසුන් අතර කලබලය කුමක්දැයි බලන්නට ය.තරුණයන් පිරිසකට මැදිවූ කාව්‍යා දුටු ඔහු තමන්ගේ ඇණවුම ද අමතක කර ඒ දෙසට දිව ගියේ ය.සමාජ වගකීම අමතක කළ තරුණයන්ට ආවේගයෙන් බනින කාව්‍යාත් කොක්හඬ තලමින් හිනැහෙන තරුණයන් පිරිසත් අතරට වහා පැන ගත් සකුණ කාව්‍යාගේ අතකින් අල්ලා ගත්තේ සන්සුන්ව ය.

“කාව්‍යා ඇයි මේ? මේ ළමයි ඔයාට මොකුත් කීවද?”

කාව්‍යා දැන් හිඳින්නේ ඉකිබිඳිමිනි.නමුත් ඇයට පෙර එක් තරුණයෙකු වහා කතා කළේ ය.

“අපි මොකුත් කිව්වෙ නෑ මචං..මේ අක්කා තමා ඇවිල්ල එකපාරටම බැනගෙන බැනගෙන ගියේ.මාස්ක් දාන්නලු.අපි ඇවිදින බෝම්බලු…”

සකුණ කිසිත් නොකියා කාව්‍යාව මෝටර් රථයට නැංවූයේ ය.තරුණයන් ජංගම දුරකථන මානාගෙන ය.කාව්‍යා හෙට උදෑසන සිට සමාජ මාධ්‍ය තරුවක් විය යුතු නොවේ.ඔහු තරුණයන් වෙත ආවේ එනිසා ය.

“මොන මඟුලක්ද එයාට ඒ වෙලා තියෙන්නෙ? රට හදන්න පුදුම අමාරුවක්නෙ අයියෙ ඔයාගෙ කෙල්ලට තියෙන්නෙ.අපි එයාව බුකි ස්ටාර් කෙනෙක් කරන්නංකො..අමාරුව සනීප වෙයි..”

එකෙකු සමච්චලයෙන් කියද්දී සකුණ සියල්ලන්ටම පොදු බැල්මක් හෙළී ය.

“මල්ලි,ඒ මගෙ කෙල්ල නෙවෙයි.නංගි.එයාට රට හදන්න උවමනාවක් නෑ.හැබැයි එයා පොඩි මානසික ප්‍රශ්නෙක ඉන්නෙ..”

සකුණ එසේ කියා ගත්තේ අසීරුවෙනි.අතිශය සමීපතමයන් ගැන නොදන්නා මිනිසුන් ඉදිරිපිට බැගෑපත් වීමට සිදුවීම ගැන ඔහු කම්පා විණ.නමුත් කරන්නට කිසිත් නැත.නගරයේ රාත්‍රී කලබලයට වඩා ඔහුගේ හදවත කලබල වී තිබිණ.

“එයාගෙ හස්බන්ඩ් ඩොක්ට කෙනෙක්.එයා කොවිඩ්වලින් නැති වෙලා දැන් මාස කීපයක්.නංගිට මිනිස්සු ලෙඩේ ගැන ගාණක් නැතුව ඉන්නකොට කේන්ති යනව.මාස ගාණක් ගෙදර එන්නවත් විවේකයක් නොතිබ්බ මනුස්සයාගෙ මළගම ගැන පණිවිඩේ ආවම තරුණ කෙල්ලෙක් කොහොම උහුලන්නද? “

තරුණයෝ කරබා ගත් හ.නිකටේ සහ කලිසම් කමිස සාක්කුවල වූ මුව ආවරණ නියමිත තැනට ආ අතර සිගරට්ටුව අත තිබූ තරුණයා එය බිම දමා පාගා දැමී ය.වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය කරන්නට සිතූ යෞවනයා එය මකා දැම්මේ සුසුමක් ද සමඟ ය.

“සොරි අයියෙ.අපි දන්නවනම් ඒ අක්කට බනින් නෑ..”

රෑමත් දෑසක් ද සිරුරක් ද හිමි නමුත් පිළිවෙලක් නැති ඇඟලුමක් ඇඟලා කොණ්ඩය හරිහැටි නොපිරූ තරුණිය පිටුපස එවන් කඳුළක් තිබීම ගැන සන්තාපයට පත් යෞවනයෙකු සකුණට පැවසුවේ ළතැවුලෙනි.සකුණ ඔවුන්ට දෑසින් සිනා වී මෝටර් රථයට පැමිණියේ ය.

“මිනිස්සු එක්ක රණ්ඩු කරන්න එපා කාව්‍යා.අපිට රට හදන්න බෑනෙ..”

ඔහු ප්‍රවේසම්සහගත කටහඬකින් කියද්දී වීදුරුවේ හිස ගසාගෙන හුන් යුවතිය ගැස්සී සකුණ දෙස බැලී ය.

“ඒ වුණාට ඔහොම මිනිස්සු හින්දනෙ සෙනුරලට ගෙදර එන්නවත් ඉස්පාසුවක් නැත්තෙ..”

ඒ කතාවට විරුද්ධව කිසිත් නොකියා සකුණ රිය පදවන්නට ගත්තේ ය.කුඩා කල පටන් හොඳම මිතුරියක වූ කාව්‍යාගේ මානසික මට්ටම සේම දන්නා කාලයේ පටන් හොඳම මිතුරා වූ සෙනුරගේ වියෝව ද සකුණව සහමුලින්ම අවුල් කර දමා තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles