ඔලියැන්ඩර් – 73

0
4330
oleander Flower

” දැන් නං අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ අක්කේ “

” මොකක් ?” 

විහාර මහා දේවී උද්‍යානයේ හෝරා දෙකකට ආසන්න කාලයක් ඇවිදිමින් , කඩචෝරු රැසක් ආහාරයට ගනිමින් නිවසට යෑමට සඳහා මාර්ගය අසලටම පැමිණීමෙන් අනතුරුව නැවත වතාවක් සඳැස්වි හට අයිස්ක්‍රීම් කෑමේ ආසාවක් ඇති විය. 

” ඇයි ?” 

” ඇයි අහන්නේ ? දැන් ජාති කීයක් නම් කෑවා බිව්වද ? මේ දැන් ටිකකට කලින් ගත්ත කඩල ටිකත් තාම අතේ. “

පහන්‍යා තරවටු බැල්මකින් සඳැස්වි දෙස බැලුවාය. 

” කඩල වගේද අනේ අයිස්ක්‍රීම් ? එකක් කමු. එකක් “

” බෑ.. බෑ.. බෑ.. තව නම් බෑ.. ඔයා අද පුදුම තරම් කෑම ගොඩක් කැව්වා මට “

” අහ්.. ඔයාගෙන් අහන්නේ මොකටද ? ඉන්නකෝ “

එසේ පැවසූ කුඩා යුවතිය වහා පහන්‍යාගේ පිරුණු කුස අද්දරට පහත් විය. 

” චූටි පැටියෝ.. ඔයා අයිස්ක්‍රීම් කන්න ආසයි නේද ?” 

සිනහවෙන් පිරුණද තරවටු උවනෙන් පහන්‍යා තරුණියගේ කපටි ක්‍රියාව දෙස බලා සිටියාය. 

” ආහ්.. එයා කැමතියි. මං අරන් එන්නම්. ඔයා මේ බංකුවෙන් වාඩි වෙලා ඉන්න. “

යළිත් වරක් පහන්‍යා කිසිවක් කීමට පෙරම සඳැස්වි ඉවතට දිව ගිය අතර මුව ඇද කළ ඈ සිනහවක් නඟමින් මාර්ගය පෙනෙන දුරින් වූ බංකුවකට බර වූවාය. 

” පහන්‍යා …!” 

” ඉන්දීවර..!  ඔයා ?” 

” ඇවිදින්න ආවද ?” 

” ඔව්. නංගි එක්ක ආවා. ඔයා කොහෙ යන ගමන්ද මේ ?” 

” BMICH එකට ගියා. මෙතනින් යද්දි ඔයාව අහම්බෙන් දැක්කේ. ඔය දෙන්න විතරද ආවේ ?” 

” ඔව් ඉන්දීවර. වාඩිවෙන්න “

එසේ පවසා පහන්‍යා ඈ හිඳ බංකුව ඉන්දීවරට පෙන්වූ අතර ඔහු එහි පසෙකින් වාඩි වී පහන්‍යා දෙසත් අත රැඳිව තිබූ කඩල මල්ල දෙසත් බලා මඳ සිනහවක් නැඟුවේය. 

” ඇයි ?” 

ඉන්දීවරගේ සිනහවේ අමුත්තක් දුටු පහන්‍යා සිහින් කර ගත් දෑසින් ඔහු දෙස බලා විමසුවාය. 

” ඔයාව මේ වගේ තැනක දැක්ක එක පුදුමයි “

” ඇයි ඒ ?” 

” නෑ ඉතිං ඉස්සර මං දැනන් හිටපු පහන්‍යා අර නැවක් වගේ කාර් එකක ඇවිල්ලා ක්ලාස් එකෙන් බහිනවා. ආයේ ක්ලාස් එක ඉවර වෙච්ච හැටියේ ඒකේ නඟිනවා යනවා. කවදාවත් කිසිම කොල්ලෙක් දිහා ඇස් දෙක උස්සලා බැලුවේ නෑ. කවුරුවත් එක්ක කතා කළේ නෑ. හිනා උනේ නෑ.  ඔය අතරේ කවදාවත් පිටින් කෑවේ බිව්වේ නෑ. අපි යාලුවෝ බෙදාගෙන කාපු චොක්ලට් එකක් , ටොෆියක්වත් කෑවේ නෑ. කන්න ඕන උනොත් යන්නේ හොඳම රෙස්ටුරන්ට් එකකට. ඔයා එක වේලකට වියදම් කරන සල්ලි අපිට සතියක් කන්න ඇති . කොච්චර මෙතනින් එහා මෙහා ගියත් ඔයා මේ පාර්ක් එකටවත් ඇවිත් ඇති කියලා මං හිතන්නෑ. “

ඉන්දීවර පැවසූ දේට කන් දී සිටි පහන්‍යාගේ මුව මත මඳ සිනා රැල්ලක් ඇඳී ගිය අතර කුසට අත තබා ගත් ඈ බංකුවට හේත්තු වූවාය. 

” ඒ කාලෙට වැඩිය මං දැන් මේ කාලෙට ආසයි ඉන්දීවර. කාලෙත් එක්ක වයස යද්දි සල්ලි වලට හැමදේම කරන්න බෑ කියලා මං තේරුම් ගත්තා. ඒ කාලේ මං වටේ යාලුවෝ කීදෙනෙක්නම් හිටියද ? ඒවා මහ තොරොම්බල් ජීවිත. මේ විදිහට ඉන්න එක ලේසියි. ඔයා කියපු ඔක්කොම හරි. හැබැයි එකක් වැරදියි. කොල්ලො දිහා බැලුවේ නෑ කිව්වට මං ඔයා දිහා හොරෙන් බැලුවා. “

පහන්‍යාගේ මුව මත යළි සිනා රැල්ලක් ඇඳී ගිය අතර ඉන්දීවරද මඳ සිනහවක් මුවඟට නඟා ගත්තේය. 

” මං ඒක දන්නවා. ඒත් ඉතිං සියත්‍ර හිටියනේ ඔයා පස්සෙන් ගාඩ් වගේ. අනික මතකනේ එක පාරක් මට දුන්නේ කන රත් වෙන්න එකක්. “

පහන්‍යා එවර පෙරට වඩා ශබ්දයෙන් සිනාසුණු අතර ඉන්දීවරද ඒ හා සමානවම හඬ නඟා සිනාසුණේය. 

” පහන්‍යා …!” 

ගොරහැඬි කටහඬක් ඇසුණු සැණින් වහා පසුපස හැරී බැලූ පහන්‍යා හිඳ උන් බංකුවෙන් සෙමින් නැඟී සිටියේය. 

” අනුජ් ..? ඔයා කොයි වෙලේද ආවේ ?” 

මාස ගණනකට පසු තමා පසුපස සිටගෙන සිටින සැමියා දුටු පහන්‍යා එක් වරම පුදුමව ඇසුවාය .

” දැන් ඒකද මෙතන තියන ප්‍රශ්නේ ?” 

” ඇ.. ඇයි මොකද ?” 

අනුජ්ගේ කටහඬෙහි ඇති කෝපයත් , මුහුණෙන් මතුවන කෝප සහගත හැඟීමත් දෙස බලා පහන්‍යා නැවත වතාවක් පුදුමව ඇසුවාය. නමුදු පිළිතුරක් දීමට පෙර අනුජ් ඉක්මන් අඩි තබා ඈ අසලට පැමිණියේය. 

” ගෙදර මිනිහා නැති වෙලාවේ තමුසෙට ලැජ්ජ නැද්ද මේ ගස් ගල් අස්සේ එක එකා එක්ක මුකුළු කරන්න ?” 

” මො.. මොකද්ද .?” 

පහන්‍යා පුදුමයෙන් මෙන්ම ඉන්දීවර අසල වූ ලැජ්ජා සහගත හැඟීමෙන් මිරිකෙමින් යළි ඇසුවාය. 

” ම්ම්.. මිස්ටර් අනුජ්. ඔයා වැරදියට හිතන් ඉන්නේ. මං මේ පාරේ යද්දි පහන්‍යාව දැකලා නැවතිලා කතා කළේ ” 

හිඳ සිටි බංකුවෙන් නැඟිට ගත් ඉන්දීවර වහා අනුජ්ගේ වැරදි වැටහීම දුරු කරන්නට උත්සාහ කළද ඔහු වෙතද එල්ල කළ කෝපාවිශ්ට බැල්මෙන්ම අනුජ් ඔහු දෙසට අඩියක් තැබුවේය .

” මට තමුසෙත් එක්ක කතාවක් නෑ. මං කතා කරන්නෙ මගේ ගෑනිත් එක්ක. “

” අනුජ් ? මොකද්ද මේ කතා කරන කැත ?” 

ඉන්දීවර දෙසට දබරැඟිල්ල දිගු කරමින් ගුගුරා හැළුණු අනුජ් දෙස බලමින් පහන්‍යා ඉහ වහා ගිය ලැජ්ජාවත් , කෝපයත් සමඟම පැවසුවාය.

” අක්කේ.. ඇයි මේ..?” 

වෙළඳසැලෙන් පිටතට ආ සඳැස්වි සිදුවන කලබලය දැක වහ වහා පහන්‍යා වෙත දිව ආවාය.

” කැත.. ? තමුසේ කරන වැඩ කැත නෑ ? මං කතා කරන විදිහද කැත ?” 

” අනුජ් ..! ඔයා ඔයාගේ ලිමිට් එක පනිනවා. මෙතන ඔයා හිතන විදිහෙ නරක දෙයක් උනේ නෑ. මං ඉන්දීවරත් එක්ක බොහොම වැදගත් විදිහට මෙතන කතා කර කර හිටියා විතරයි. ඔයා තමයි මෙතන මහා ජරා විදිහට හැසිරෙන්නේ ” 

” මොකද්ද උඹ කිව්වේ ? වරෙන් යන්න.. ජරා විදිහට හැසිරෙන හැටි මං උඹට පෙන්නන්නම්. “

එසේ පැවසූ අනුජ් වහා පහන්‍යාගේ අතින් අල්ලා ඇද ගෙන යාමට සූදානම් වූ අතර පය පැකිළුණු ඈ ආයාසයෙන් වැටෙන්නට යාමෙන් වැළකුණුද ඉන්දීවරත් , සඳැස්විත් බියෙන් මෙන් ක්ෂණිකව ඈ අල්ලා ගැනීමට ඉදිරියට පැන්නහ. 

” නෑ.. නෑ.. මං හොඳින්. “

ඔවුන් දෙදෙනා දෙසම බැලූ පහන්‍යා එසේ පවසා වහා අනුජ්ගේ අත ගසා දැමුවාය. 

” පිස්සෙක් උනාට කමක් නෑ අනුජ් ඒක හැම තැනම පෙන්නන්න හදන්නෙපා. ඔයාට තියන තදියමට මට අඩිය තියන්න බෑ. මගේ බඩේ දරුවෙක් ඉන්නවා. ඒක මතක තියාගන්නවා. “

” ඔහ්.. මට අමතක උනානේ. මගේ ගෑනි බඩින් කියලා. හැබැයි ඒකෙත් අයිතිකාරයා මමමද දන්නෑ. ?” 

” මොකද්ද තිරිසන් මිනිහෝ කිව්වේ ?” 

පහන්‍යා පමණට වඩා කෑගැසු අතර ඉදිරියට පැන ආ අනුජ් ක්ෂණිකව පහන්‍යා හට අතුල් පහරක් ගැසුවාය. 

 ” උඹ මටද තිරිසනා කිව්වේ ?”

”  මොකද්ද බල්ලෝ ඒ කළේ ?” 

ක්ෂණිකව ඉදිරියට අඩියක් තැබූ ඉන්දීවර මිට මෙළවූ අතින් අනුජ්ගේ කම්මුලක් හරහා දැඩි පහරක් ගැසූ අතර ඔහු එතනම බිම ඇද වැටිණි. අනුජ්ගේ පහරත් සමඟ භීතියෙන් සඳැස්විගේ සිරුරට බර වූ පහන්‍යා ඉන්දීවරගෙන් පහර කා බිම ඇද වැටුණු අනුජ් දෙස විසල් කර ගත් දෑසින් බලා සිටියාය. 

වහා නැඟී සිටි අනුජ් ඉන්දීවරගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුව තමා වෙතට ඇද ගත්තේය. 

” තෝ මටද අත ඉස්සුවේ ? තෝ දන්නවද මං කවුද කියලා ඈ @#&$ ? “

ඉන්දීවර වහා තම කොලරය අල්ලා සිටින අනුජ්ගේ අත අඹරවා ඔහු අනිත් පැත්තට සිටින සේ ඇල්ලූ අතර දරාගත වේදනාවෙන් අනුජ් කෑගැසුවේය. 

” උඹ කවුරු උනත් මට ඒක අදාල දෙයක් නෙමෙයි. මේ ඉන්නේ ගෑනියෙක්. ඒ මදිවට ඒ ගෑනිගේ බඩේ දරුවෙක් ඉන්නවා. තෝ පරයා තොගේ අත මං කඩලා දානවා. තෝ හිතන්නේ ගෑනුන්ට අත උස්සන එක මහ ලොකු වීර කමක් කියලද ?” 

” අනේ ඉන්දීවර එපා.. “

ලැජ්ජාවටත් , වේදනාවටත් රතු වූ කොපුල් මැදින් ගලන කඳුළු ගංගාව අතරින් පහන්‍යා ඉන්දීවර දෙස බලා හඬමින් පැවසූ අතර ඇගේ කඳුළින් බර වූ අසරණ උවන දුටු ඉන්දීවරගේ අත නොදැනීම ලිහිල් වී ගියේය. 

” උඹ ගැන මං බලාගන්නම් “

පහන්‍යා වෙතට දබරැඟිල්ල දිගු කර එසේ පැවසූ අනුජ් වහා මාර්ගයට පිවිස ඔහුගේ මෝටර් රථය දෙසට ඇවිද ගිය අතර සඳැස්විට තුරුළු වූ පහන්‍යා එක දිගට හඬා වැටුණාය. 

කෝපයෙන් මෙන්ම කලකිරීමෙන්ද පිරිමින් සිටි ඉන්දීවර යළි බංකුව මත හිඳ ගෙන දෙදණ මත දෑත තබා හිස බිමට බර කර ගත් අතර සඳැස්වි ජංගම දුරකතනය ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තාය. 

” ස්.. සර්…! “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here