සීත මාරුතේ -48

අප මුලින් හමු වූ කෝපි හලේ දී මුණිවර ට අතීතය සිහි වූයේ නැත. ඉන් පසුව ද ධාරා සේ ම ලොකු තාත්තා ද විටින් විට මා පැවසූ, අප ගැන මතක ඇති තැන් වලට ඔහු කැටිව ගියෙමු. නමුත් වෙනසක් වූයේ නැත. ඔහු ගේ ජංගම දුරකතනය රිය අනතුරේ දී විනාශ වී තිබුණෙන් එහි වූ වෝල් පේපර් එක සාක්ෂි කොට පෙන්වන්නට මට නො හැකි ය. කිසි සේත් ඔහු ගෙන් අනුබලයක් නො ලැබුණෙන්, මගේ දුරකතනයේ වූ අප බෝඹුරු ඇල්ලට ගිය ගමනේ දී ඔහු විසින් ම ගන්නා ලද ඡායාරූපය ඔහු වෙත පාන්නට තරම් දිරියක් මට වූයේ නැත. අනිත් අතට පිරිත හා විනෝද ගමන වැනි ස්ථාන වලදී ගන්නා ලද ඡායාරූප නිසා, ඒ වෙත්දීත් මා මිස්ට් ෆීල්ඩ් හි සේවය කරමින් සිටි බව පිළිගන්නට ඔහු ට සිදු විය. 

ක්‍රමයෙන් මුණිවර මට හුරු වූවා කියා සිතමි. මිස්ට් ෆීල්ඩ් හි කටයුතු මා දුව පැන කරනායුරු ඔහු බලා සිටියේ ය. වතාවක් මට ඔහු ඒ ගැන ප්‍රශංසාවක් ද කළේ ය.

“මන්දාකිණී මිස්ට් ෆීල්ඩ් වල වැඩ කළා කියල මට මතක නැති වුණත් ඔයා හොඳට වැඩ ටික කරනව කියල දැන් මට පේනව. අම්…මං ඇක්සිඩන්ට් වෙලා හිටිය කාලෙත් ඔයා හොඳට මේක බලා ගත්තට තෑන්ක්ස්”

“මිස්ට මුණිවරට මේ ෆොටෝ එකත් මතක නැද්ද..”

මම ඔහු ට මගේ දුරකතනයේ වෝල් පේපර් එක පෙන්වූයෙමි. ඔහු ගේ මුහුණට මන්දස්මිතයක් ආවේ ය.

“අපි බෝඹුරු ඇල්ලටත් ගිහින් නේද…ඇනුවල් ට්‍රිප් එක ගිහින් තිබුණෙ ගෝල් වලට නේද..”

මා සිත්හි වූ උද්‍යෝගයේ සිනහව වියැකී යන්නට විය. එය මොහොතකදී ඉතා ම දුක්බර සිනහවක වෙස් ගන්නට ඇත. ඒ ඔහු මාත් මගේ මිතුරියනුත් සමග ගිය ගමනකැයි කීවාට ඔහු ට මතක නැත. අනිත් අතට ඔහු ට මතක නැති එවන් යටගියාවක් ගැන යළි යළිත් කියනා එක මට අපහසුවක් දැනවී ය. එවිට මා ඔහු පසු පස එනවා කියා ඔහු සිතාවියි මා තුළ වූයේ දෙගිඩියාවකි.

වෛද්‍යවරු පවසා තිබුණේ ඔහු ට අමතක පරිච්ඡේදය තුළ සිදු වී දෑ ඔහු ට ඉගැන්වීම මගින් වර්තමානය හා අතීතය අතරේ පාලමක් තනනා ලෙස ය. මිස්ට් ෆීල්ඩ් වල රාජකාරී කටයුතු ගැන එසේ දැනුවත් කළ හැකි විය. නමුත් මතක මායිමක හෝ නොවූ මන්දාකිණී කෙනෙකු ගැන එසේ තහවුරු කළ හැකි වූයේ නැත. මන්දාකිණී යනු මිස්ට් ෆීල්ඩ් වල සේවිකාවක බව කියා දිය හැකි වී ද ඇය ඔහු ගේ පෙම්වතිය බව කිසි සේත් සනාථ කළ නො හැකි ය. මන්ද යත් එය හැඟීම් පිළිබඳ කාරණාවක් වන නිසා ය.

රෝහලේ දී අප්පච්චි ව දුටු මුණිවර විශ්මිත වූ බව මට මතක ය.

“සර්…සර් කොහෙද මෙහෙ…”

මගේ පපුව පිච්චී ගියේ ය.

“මං මේ ඉන්නෙ කොළඹ හොස්පිට්ල් එකක නෙවෙයි නේද..”

“නෑ නෑ පුතා. මේ බදුල්ල. පුතාට මතක නැද්ද මං ගුරුතලාවට ආවා…පුතාගෙ ෆාම් එකේ වැඩ කරන මන්දාකිණී මගෙ දුව”

මගේ හද දැවී යන්නට ඇත. ඔහු බලා සිටියේ මුළු ලෝකය ම එකතු වී ඔහු ට බොරුවක් ගොතා කියනවා වැනි බැල්මක් දරා ගෙන ය.

“ලොකු ළමය ඒ කාරණේ ගැන වද වෙන්න එපා”

එදා ගෙදර ගිය පසු අප්පච්චි මගේ හිත සනසනු වස් කීවේ ය.

“අපි කළු ලෑල්ලෙ දෙයක් ලියල මකල දැම්මට පස්සෙ ඒක එතන නෑ. ඒ වුණාට ඒක එතන නොතිබුණෙත් නෑ. අපි අපේ අම්මලගෙ කුසෙන් ඉපදුණ දරුවො කියල කවදාවත් අපිට දැකල මතකයක් නෑනෙ. ඒ වුණත් අපිට මැරෙනකල්ම ඒක පිළිගන්න සිද්ද වෙනව. මුණිවර ළමය ඒ විදිහට ඔයාව පිළිගනීද කියල මන් දන්නෑ. ඒ කොහොම වුණත් අර කළු ලෑල්ලෙ ලියල මකල දාපු දෙයක් වගේ වෙන්න වුණත් ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න. මොකද ඒක මුණිවර හිතා මතා කරපු වරදක් නෙවෙයි නිසා”

අප්පච්චි ගේ ඒ උපදෙස හැම හුස්මක් ගානේ ම මට සිහි වේ. ඔහු ට කවදාවත් යළි මා සිහි නොවන්නට පුළුවන. අපේ ප්‍රේමය වූ කලී කළු ලෑල්ලක ලියා මකා දැමූ හීනයක් වන්නට පුළුවන. නමුත් මම අන්තිම මොහොත තෙක් අතීතයේ උන් ඔහු හොයා ගන්නට වෙහෙසෙමි. දැන් සිටින්නේ යළි උපන් මුණිවර කෙනෙකි.

බණ්ඩාරවෙලත් නුවර එළියේ ත් අලුතෙන් ආරම්භ කිරීමට නියමිත සාප්පු සඳහා අත් යන්ත්‍ර ඇඟළුම් ඇතුළුව අනිත් සියලු නිශ්පාදන වෙනුවෙන් අපි ටික දිනක සිට වෙහෙස වෙමින් සිටියෙමු. සැලකිය යුතු නිශ්පාදන තොගයක් අපි නිම කර ගෙන ද සිටියෙමු. කැන්ඩි සිටි සෙන්ටර් හි සාප්පුවේ නිශ්පාදන වලට ද දෙස් විදෙස් සංචාරකයන් ගෙන් හොඳ ඉල්ලුමක් තිබුණෙන් නිතර ඒ වෙත නිශ්පාදන සැපයිය යුතු ව තිබිණ. නුවර සාප්පුවට බඩු දමා නුවර එළිය සාප්පුවේ කලමනා සකසනු වස් එහි යන්නට දිනක් මට මුණිවර ඇරයුම් කොට සිටියේ ය. එසැනෙන් මට සිහි වූයේ එදා නුවර සාප්පුවේ සමාරම්භක දිනයයි. මිස්ට් ෆීල්ඩ් වෙනුවෙන් මා කළ සියල්ල වෙනුවෙන් ස්තූතිය පුද කරනු වස් ඔහු මා වැළඳ ගත් මොහොතත් ඔහු ට අමතක ද? එහිදී හෝ ඒ මතකය අලුත් වනු ඇතැයි මා බලාපොරොත්තු වුවද එවැන්නක් සිදු වූයේ නැත. 

“අම්..මන්දාකිණී ලොකු කල්පනාවක වගේ”

ආපසු එන ගමනේ දී මා කවුළු වීදුරුවෙන් පිටත බලා ගෙන සිටියදී ඔහු කතා කළේ ය. මම වියළි මඳහසක් නගා ගතිමි.

“මට මතක් වුණේ කේසීසී එකේ ශොප් එක වෙනුවෙන් අපි මහන්සි වුණ හැටි…රෑ නිදි මරාගෙන වැඩ කරපු හැටි…මට මහන්සි වැඩි කමට උණ අරං ඕපනින් එක දා ගත්ත දවසෙ යන්න බැරි වුණ හැටි…මිස්ට මුණිවර ඕපනින් එක කෑන්සල් කරල පහුවදා මං ආවහම ශොප් එකට ගිහින් මට කියල රිබන් එක කප්පවපු හැටි…”

එහි අවසාන කොටස වන ඔහු ගේ උණුහුම් වැළඳ ගැනීම ගැන මම නො කියා සිටියෙමි. මගේ ඇසින් ගිලිහුණ කඳුළක් කොපුල් තලා දිග රූරා යන්නට වූයේ ය. මුණිවර ඉදිරියේ නැවත නොහඬමි යයි හිතින් තීරණය කොට තිබිණි ද මට මේ මොහොතේ කඳුළු පාලනය කර ගත හැකි වූයේ නැත.

“මන්දාකිණී මොකද්ද මට කරන්න කියන්නෙ…ගෙදර අය විතරක් නෙවෙයි දසුන් හිටං කියන්නෙ අපි අතරෙ අෆෙයා එකක් තිබුණා කියල. ඔයාට මගෙං අසාධාරණයක් වුණා කියල හිතනවනං…මං ඔයාව මැරි කරන්නං”

දෙවියනි මගේ පපුව රිදුණ තරමක්! මගේ ප්‍රේමය ගැන එදා උන් ඔහු දැන සිටියේ ය. දැන් සිටිනා ඔහු ට ඒ ගැන කියා දෙන්නට මා දන්නේ නැත. විවාහ වීම සඳහා පුරුෂයෙකු සොයා ගන්නට බැරි කමක් මට ඇතිවා නොවේ. මට ඕනෑ ඒ ආදරයයි. ඒ ආදරය ඔහු ගෙන් මිස, එදා උන් ඔහු ගෙන් මිස වෙනකෙකුගෙන් නොලැබෙන බව ද මම දන්නෙමි.

“මට ඒ විදිහෙ අනුකම්පාවක් ඕන නෑ මිස්ට මුණිවර”

මම හිත තද කර ගෙන කීවෙමි.ඊට වැඩි යමක් ඔහු ට කළ හැකි වූයේ ද නැත.

“එක අතකට ඒකත් මරු. ගෙවල් වලිනුත් දැන ගත්තට පස්සෙ ඒ කොල්ලටම ආයෙ මුල ඉඳල ලව් කරනව කියන එක…”

ඉරිදා හවස අප බයිසිකල් දෙකෙන් කඳුකර පාර වල ඇවිදින්නට ගිය විට හංසිකා සිනහ වෙවී කීවා ය.

“ඔව්. මොනා වුණත් ලව් ස්ටෝරීස් දෙකක්නෙ”

“එකක් පරණ වෙලා ඔඩ් වේගෙන එනකොට අලුත් එකක්”

ඔවුන් ගේ සිනහ හඬ පයිනස් කැලෑව තුළ දෝංකාර නැංවිණ. සිනහ වෙන්නද හඬන්නද කියා නො දැන වුව මම ද මඳහසක් නගා ගෙන සිටියෙමි. ඔවුන් සැහැල්ලුවෙන් හිතනා තරමට ඒ සරල වූවක් නොවන බව හෝ මම නො කියි සිටියෙමි. 

දැන් පයිනස් කැලයෙහි මට දැනෙන්නේ පෙර දී දැනුණ සුන්දරත්වය නොවේ. එය ශෝකී හුදෙකලාවකි. පයිනස් ගස් බුම්මා ගෙන මදෙස බලා හිඳින්නා සේ මට දැනේ. තුරු හිස් වැළඳ අතැර දා යා නො හැකි ව හිඳිනා මිහිදුම වුව මට වෙනදා සේ සැහැල්ලු වූයේ නැත.

 ජීවිතය වූ කලී සංස්කරණය කළ නො හැකි සිනමාවකැයි අපි කියමු. නමුත් උන් හිටි ගමන් එදිවි සිනමාවෙන් පරිච්ඡේද කිහිපයක් මුළුමනින් මැකී යන්නට වුව හැකි බව අපි නො සිතමු. එසේ මැකී ගිය කල සංස්කරණ කටයුතු තව දුරටත් අසීරු වේ. සැබවින් එය සිතා ගැනීම පවා වෙහෙසක් කරවනා ව්‍යායාමයකි.

මුණිවර ගේ අලුත් ජීප් රථය වංගුවකින් මතු වෙනු මා දුටුවේ හදිස්සියෙනි. ඔහු අප පසු කොට යන්නට ගොස් යළිත් නැවතී පසුපසට පැමිණියේ ය. කෙල්ලන් ගේ කටවල් වැසී ඔවුහු මුව අයා බලා සිටියහ. රියෙහි ඉදිරි වීදුරුව පහත් විය.

“මන්දාකිණී…මොකද මෙතන කරන්නෙ…”

මම මුළුමනින් වෙව්ලා ගියෙමි. ඔහු ට අමතක මතක පරිච්ඡේදය තුළත් කිහිප වර ඔහු මේ ස්වරයෙන් මට කතා කොට තිබේ.

“ම්..මිස්ට මුණිවර මේ…නංගියි යාළුවොයි එක්ක ටිකක් ඇවිදින්න ආව”

ඔහුගේ ලෝකයෙහි දැන් ඔවුන් ද ආගන්තුකයන් ය කියා සිතීමත් වේදනාවකි.කම්පනයකි. ජීවිතයක් මත්තේ ඉරණම කිසි දා මෙවන් පරීක්ෂා කිරීම් නො කළ යුතු ය.

“අම්…මෙහෙම පාරවල් ගානෙ රස්තියාදු වෙනවද වැදගත් ගෑනු ළමයි. ගෙදර යන්න”

එහෙම කියා ඔහු ඉගිල ගියේ ය. මම එහෙම ම නතර ව බලා සිටිමි. මතකයෙන් කොටසක් අමතක වූවා ට ඒ ඔහු ගේ ආත්මයයි. නංගී මගේ අතක් තද කොට අල්ලා ගත්තා ය.

“අක්කෙ…හිතන්නෙපා මුකුත්”

“ඒ වුණාට එක දෙයක් නෝට් වුන්නැද්ද…”

කසුනි ඇසුවා ය.

“මුණිවර සිං රාජ්පුත් ආයෙම මන්දිට ලව්. ඒකයි ඔහොම කෑගැහුවෙ. කලිනුත් එහෙමනෙ. ඒ කොටස බ්ලෑන්ක්ම වුණත් කොල්ල ආයෙ මුල ඉඳල පටං අරං වගෙයි”

“ඒකත් නරක නෑ”

“මං කැමති නෑ. මට එපා”

මම තදින් කීවෙමි. ඒ හඬ මතු වූයේ මගේ ආත්මය පත්ලෙනි. උගුර යටින් ඉකියක සරින් එහඬ බිඳී ගියේ ය. 

“අලුත් කෙනෙක්ගෙ ආදරේ මට ඕන නෑ. ඕගොල්ලො ඒක තේරුං ගනීද කියල මං දන්නෑ. තේරුං කරල කියන්න මට තේරෙන්නෙත් නෑ. හැබැයි…එයාට මාව මතක් වුණොත් මිසක්…ඒ අතීතෙ නැතුව මං ආයෙ එයාට ලං වෙන්නෑ…නෑමයි…”

එය මා මට ම මා නො දැනුවත්ව ම දී තිබූ අභියෝගයක් වන්නට ඇත. 

ධාරා ගේ මව මුණිවර හා ඈ අතරේ විවාහය ගැන දෙතුන් වතාවක් ම ඔහු ගේ මවට සිහිපත් කොට ඇති බව මට කීවේ විදුනි ය. නමුත් වතාවක් මුණිවර ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා ද මා ගැන මතකය යම් මොහොතක යළි ලැබිය හැකි යයි සිතූ නිසා ද අම්මා ඒ ගැන කර බා ගෙන හිඳ තිබේ.

“එහෙනං මං කෙලින්ම පුතා එක්ක මේ ගැන කතා කරන්නං. මොකද දැං වෙන ප්‍රශ්නයක් නැත්තං ඒ කටයුත්ත තව කල් දාන එකේ තේරුමක් නෑනෙ”

ධාරා ගේ මව එසේ කියා තිබේ. ඒ අනුව දිනක් මා හා ලොකු තාත්තා මුණිවර ගේ මේසය ඉදිරියේ හිඳ ඔහු සමග මිස්ට් ෆීල්ඩ් වල ඉදිරි කටයුතු ගැන කතා බහක සිටියදී ධාරා ගේ මව එහි ආවා ය.

“පුතාට හදිස්සි වැඩක් නැත්තං මං ආවෙ වැදගත් කාරණයක් ගැන කතා කර ගන්න. ඇත්තටම මං පුතාගෙ අම්මටත් කියලයි මේ ගමන ආවෙ”

ඇගේ සිනහව නරියෙකු ගේ මෙන් කපටි යයි මට සිතිණ. නමුත් ධාරා ගැන කවදාවත් මට එසේ සිතී නැත.

“අම්…අපි එහෙනං මේ ගැන පස්සෙ කතා කරමු මන්දාකිණී. ඉඳගන්න ආන්ටි”

මා පමණක් නොව ලොකු තාත්තා පවා මුණිවර ගේ මේසය ළඟින් නැගිට ගත්තේ ය. තොල කට වියළී ගොස් ඇති සැටියක් මට දැනිණ. ඇය ඔය ඇවිත් ඉන්නේ ඉරණමක් ලියා වෙනස් කරන්නට ය. මට කුමක් කළ හැකි ද? මා කුමක් කළ යුතු ද? නිශ්චිත අදහසක් මගේ මනසේ වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles