රස්නෙ කාලෙ shopping කරද්දි බොන්න හොඳ drinks

අලුත් අවුරුද්දට සාප්පු සවාරියෙ යන්න ලෑස්තිද?

පවුලේ හැමෝටම තමන්ට ඇති හැකි විදිහට සාප්පු සවාරියෙ යන්න ඕනෙ වෙන smart tips ඔබත් එක්ක නිතරම බෙදා ගන්න අපි ඔන්න අදත් සාප්පු සවාරිය ගැන හරිම රසවත් මාතෘකාවක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නෙ. 

සාප්පු සවාරියෙ යෙදෙද්දී දැඩි හිරු රශ්මියෙන් ඔබේ සම, කොණ්ඩය සහ ඇස් ආරක්ෂා කරගන්නව වගේම මේ දවස්වල තියෙන දැඩි රස්නියත් එක්ක ශරීරය විජලනය වෙන්න තියෙන වැඩි ඉඩකඩ ගැනත් ඔබ සැළකිලිමත් වෙන්න ඕනමයි. 

වතුර බෝතලයක් වගේම කිසියම් පාන වර්ගයක් සාප්පු සවාරියෙ යන විට ඔබේ මල්ලට එකතු විය යුත්තේ ඒ නිසාමයි.

හැබැයි, මේ පානය කෘතිම පැණි බීම වර්ගයක් හෝ සෝඩා වර්ගයක් වුනොත් නම් එයින් ශරීරයට ලැබෙන අහිතකර බලපෑම ගැන අපි මතක් කරන්න ඕන නෑනෙ. 

ඔන්න ඉතිං ඒ නිසා ශරීරයට හිතකර විදිහට, රසින් වගේම පෝෂණයෙනුත් අනූන රසම රස පාන වර්ග කීපයක් ගැන ඔබත් එක්ක විස්තර බෙදාගන්නයි අපේ අද මේ සූදානම. 

එහෙනම්, බලමුද ඒ මොනවද කියල?

පොල් වතුර 

පොල් වතුර කියන්නෙ ඉතාම පහසුවෙන් වගේම ලාභදායී විදිහට සපයා ගන්න පුළුවන් පානයක්නෙ. ගෙදර පොල් බිදිද්දි ඉවතට යන පොල් වතුර භාජනයකට එකතු කරල සාප්පු සවාරියෙ යද්දී බෝතලයට දාගෙන යන්න ඔබට පුළුවන්. 

පොටෑසියම්, සෝඩියම් සහ මැග්නීසියම් වලින් සංතෘප්ත වීම නිසා ශරීරය විජලනයෙන් ආරක්ෂා කිරීමේ, ශරීරය ප්‍රාණවත් කිරීමේ හැකියාවක් වගේම හොඳ රසයකුත් පොල් වතුර වල තියෙනවා. 

ඔබේ පොල් වතුර බෝතලයට සිහින්ව කපාගත්ත පිපිඤ්ඤා පෙති කීපයක් එකතු කරගැනීමත් හොඳ අදහසක්. 

ලෙමන් / දෙහි පානය

වතුර වීදුරුවකට ලෙමන් හෝ දෙහි ගෙඩියක යුෂ එකතු කරල එයට මී පැණි හෝ මේපල් සිරප් තේ හැන්ඳක් කලවම් කරල හදාගත්ත ලෙමන් යුෂ පානයත් සාප්පු සවාරියට හොඳින්ම ගැළපෙනවා. 

විටමින් C වලින් සංතෘප්ත නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, සමේ ආරක්ෂා කරගන්න වගේම විජලනයෙන් ශරීරය ආරක්ෂා කර වකුගඩු වල නීරෝගී පවත්ව ගන්නත් මේ පානය ඔබට උදව් කරනවා. 

කැමති නම් අතින් පොඩිකර ගත්ත මින්ට් කොළ දෙකක් තුනක් එකතු කරල වෙනස්ම රසක් ලබාගන්නත් පුළුවන්. 

කොමඩු පානය 

හොඳින් ඉදුණු කොමඩු ගෙඩියක ඇට ඉවත්කර කොමඩු කැබැල්ලක් බ්ලෙන්ඩරයක දමා අඹරා ගෙන පිළියෙල කරගන්න කොමඩු පානයේ රස ගැන ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ. 

පොටෑසියම් වලින් සංතෘප්ත කොමඩු ශරීරය විජලනයෙන් ආරක්ෂා කරන්න වගේම ඕනෑම මොහොතක ප්‍රාණවත් නැවුම් බවක් ඔබට ලබාදෙන්නත් උපකාර කරනවා. 

ඉඟුරු කැබැල්ලක්, මී පැණි තේ හැන්ඳක් එකතු කරල රස වැඩි කරගන්න වුනත් ඔබට පුළුවන්. 

පිපිඤ්ඤා පානය 

සිහින්ව කපාගත් පිපිඤ්ඤා පෙති කීපයක් සමඟ සිහින්ව කපාගත් දෙහි හෝ ලෙමන් පෙතී කීපයක්, අතින් තලාගත් මින්ට් කොළ කීපයක් එක්ක එකතු කරල වතුරෙ දමා පැයක් පමණ තබාගෙන හදාගන්න detox වතුර පානයකුත් සාප්පු සවාරියෙ යන්න කදිමෙට ගැළපෙනවා. 

ශරීරය විජලනයෙන් ආරක්ෂා කරගන්න වතුර වලට තියෙන හැකියාව අවතක්සේරු කරන්න අපිට බෑ. පිපිඤ්ඤා පෙති, ලෙමන් පෙති සහ මින්ට් කොළ වලින් ලැබෙන නැවුම් රස වෙනස් නිසා වතුර බොන්න පිරියක් ඇතිවීමත් සිද්ධ වෙනවා. 

මේ වගේම detox water හදාගන්න පුළුවන් ආකාර කීපයක් ගැන smart lady අපේ https://smartlady.lk/article/30563/what-is-the-detox-water/ ලිපියෙන් වැඩිදුර විස්තර දැනගන්නත් ඔබට පුළුවන්. 

ඖෂධීය තේ

ඔබත් කොච්චර රස්නෙ වුනත් උණුසුම් පාන වර්ග ප්‍රියකරන කෙනෙක් නම් ඔන්න මේ ඊළඟ පානය ඔබට හොඳින්ම ගැළපෙනවා. 

ග්‍රීන් ටී පානය, වේලන ලද වද මල් උණුසුම් ජලයේ විනාඩි 10 ක් පමණ පොඟවා ගෙන සාදාගන්නා වදමල් පානය, ඉඟුරු කැබැල්ලක් උණුසුම් ජලයේ විනාඩි 05 ක් පමණ තබා මී පැණි ස්වල්පයක් එක්කර සාදාගන්නා පානය වගේ ඖෂධීය පාන වර්ග පිළියෙල කරගෙන උණුසුම් බෝතලයක දමා රැගෙන යන්න ඔබට පුළුවන්. 

උණුසුම්ව පිළියෙල කරගත්ත වුනත් හොඳින් නිමෙන්නට හැර ශීතකරණයේ තබා සිසිල් ඖෂධීය තේ පානය කරගන්න වුනත් ඔබට පුළුවන්. 

කෝමාරිකා පානය

මුලින්ම, කෝමාරිකා පිත්තක් ගෙන එහි වටේ කොළ පාට පොත්ත ඉවත්කර මැද ඇති සුදු පැහැ මදය වෙන්කරගන්න.

ඊලඟට, වෙන් කරගත් සුදු පැහැ කෝමාරිකා මඳය අඟල් භාගයේ පමණ කුඩා කොටු වලට කපා වතුර වීදුරුවක් සමඟ බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න.

කෝමාරිකා කැබලි නොසිටින සේ හොඳින් පොඩිකර ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පයක් සමඟ මී පැණි මේස හැන්ඳක් පමණ කලවම් කර කෝමාරිකා පානය පිළියෙල කරගන්න ඔබට පුළුවන්.  

විටමින්, පොටෑසියම් සහ මැග්නීසියම් අඩංගු කෝමාරිකා පානය ශරීරයට අවශ්‍ය පෝෂක ලබාදෙනව වගේම විජලනයෙන් ශරීරය ආරක්ෂා කරගන්නත් උදව් වෙනවා. 

එහෙනම්, සාප්පු සවාරියෙ යද්දි දරුවන්ට ඔබට ගැළපෙනම සහ කැමතිම රස පිරුණු මේ පෝෂ්‍යදායී පානයන් පිළියෙල කරගෙන අරන් යන්න අමතක කරන්නත් එපා. 

මේ වගේම රසවත් වැදගත් මාතෘකාවක් එක්ක නැවත හමුවෙමු.

සුවෙන්, සතුටින් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles