මොනවද මේ Detox water කියන්නේ ?

නිතරම වතුර පානය කිරීම කියන්නෙ නීරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍යම කාරණාවක්.

අන්න ඒ නිසයි දවසකට වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර 2 L ක් පානය කිරීම වෛද්‍යවරු නිර්දේශ කරන්නෙ. 

මේ අතර, දිනපතා පානය කරන වතුර වලට යම් යම් දේවල් එකතු කිරීමෙන් වතුර බීමෙන් ලැබෙන ප්‍රතිඵල තවත් වැඩිවෙන බව තමයි සමහරුන් විශ්වාස කරන්නෙ. 

ඒ විශ්වාසයේ ප්‍රතිඵලයක් විදිහට detox water කියන සංකල්පය ඇතිවුනා.

ඇත්තටම ඔය කියන තරම් detox water වලින් ප්‍රතිඵල ලැබෙනවද ?

මෙන්න මේ කාරණය ගැන තමයි අපි අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. 

Detox water වලින් ලැබෙනවායැයි කියන ප්‍රයෝජන පිළිබඳව ඇති මිත්‍යා මත කීපයක් වගේම මේ ලිපිය අවසානයේදී detox water පිළියෙල කරගන්නෙ කොහොමද කියලත් අපි ඔබට කියල දෙනව. 

මුලින්ම අපි බලමු මොනවද detox water බීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵල කියල

Detox water වලින් ලැබෙන ප්‍රතිඵල

සිරුරේ බර අඩුකරයි

ජලය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩිකර එමඟින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීම සිදුකරනවා. 

වතුර කෝප්ප භාගයකට පැයක් ඇතුළත පරිවෘත්තීය ක්‍රියාවල වේගය 30% කින් පමණ ඉහළ දැමීමේ හැකියාව ඇති බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා. 

ඒ වගේම කෑමට පෙර වතුර ලීටර් ½ ක් පමණ පානය කරන පුද්ගලයන්ගේ බර අන් අයට සාපේක්ෂව 40% ක වේගයකින් අඩුවන බවයි. 

වතුර පානය කිරීම කුසගින්න ඇතිවීම සීමා කිරීමත් මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්. 

ආහාර ජීර්ණය පහසු කරයි

බඩවැල් විජලනය වීම වළක්වා හොඳින් ආහාර ජීර්ණය කරන්න නිතරම ජලය පානය කිරීම උපකාරී වෙනවා. 

මේ නිසා ආහාර බඩවැල් ඔස්සේ පහසුවෙන් ගමන් කර බඩ පිපීම, ආහාර ජීර්ණයේ ගැටළු සහ මළබද්ධය වැනි තත්වයන් ඇතිවීම වළක්වනවා. 

මානසික සෞඛ්‍ය සහ ශරීර ශක්තිය වැඩි දියුණු කරයි

ශරීරය විජලනය වීමෙන් වැළකෙන නිසා මානසික පීඩනය ඇතිවීම අවම කරමින් සන්සුන් සහ සැහැල්ලු මනසකින් සිටීමට උදව් කරනවා. 

ඒ වගේම ශරීරය ප්‍රබෝධමත්ව තබන නිසා සිරුරේ වෙහෙස අඩුවී වැඩි ශක්තියකින් වැඩ කටයුතු කරන්න හැකියාවත් ඔබට ලබාදෙනවා. 

ප්‍රතිශක්තීකරණය ඉහළ නංවයි

Detox water පිළියෙළ කරගැනීමට ඔබ යොදාගන්න පළතුරු සහ එළවළු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ, විශේෂයෙන්ම විටමින් C ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහල නංවාගන්න උදව් කරනවා. 

සමේ පෙනුම වැඩි දියුණු කරයි

දීර්ඝකාලීනව ජලය පානය කිරීමෙන් සම වියළීම සහ විජලනය වීම වළක්වා දීප්තිමත් සමක් ඔබට ලබාදීම සිදුකරනවා. 

Detox water වල ප්‍රයෝජන ගැන තිබෙන මිත්‍යා මත

Detox water මඟින් සිරුරේ විෂහරණය කරයි

ඩෙටොක්සිකරණය එහෙමත් නැත්නම් detoxification සිදුකරන්න සිදුකරන්න විවිධ ක්‍රම තිබුනත් detox water මඟින් එය සිදුකල හැකිබව තාමත් පර්යේෂණාත්මකව සනාථ කරගෙන නැහැ. 

ශරීරයේ pH අගය නිවැරදි ලෙස පවත්වාගෙන යාමට උපකාරී වේ

ඔබ ගන්නා ආහාර වලින් ලේ වල pH අගයට බලපෑම් කලහැකි බවත් තවමත් විද්‍යාත්මකව සනාථ කරගෙන නැහැ. 

දැන් අපි බලමු detox water පිළියෙල කරගන්නෙ කොහොමද කියල

Detox water සදා ගැනීම හරිම පහසුයි.

ඔබේ කැමැත්ත අනුව තෝරාගත් පළතුරු, එලවළු සහ ඖෂධ පැළෑටි කුඩා කැබලි වලට කපා උණු වතුරට හෝ සීතල වතුරට එකතු කරගෙන පානය කිරීම තමයි ඔබ කරන්න ඕනෙ. 

ඔබ detox water පිළියෙල කරගන්න කැමති සීතල වතුරින් නම් අවශ්‍ය දේවල් එකතු කරපු සීතල වතුර පැයක සිට පැය දොළහක් දක්වා කාලයක් ශීතකරණයේ තැබීමෙන් එකතු කරන ද්‍රව්‍ය හොඳින් වතුරට උරාගැනීම සිදුවෙනවා. 

නමුත් ශීතකරණයෙන් ඉවතට ගෙන detox water පානය කරන්න කලින් වතුරට ඔබ එකතු කරගත් දේවල් ඉවත් කිරීම නම් කරන්නම ඕනෙ. 

ඔබ කාර්යබහුල කෙනෙක් නම් මේ විදිහට එකතු කරන පලතුරු, එලවළු සහ ඖෂධ පැළෑටි පොඩිකර වතුරට දැමීමෙන් ඒවගෙ පෝෂක ඉක්මණින් වතුරට උරාගැනීම සිදුවෙනවා.  

detox water හදාගන්න යොදාගන්න බොහොම ජනප්‍රිය තෝරා ගැනීම් තමයි පහතින් තියෙන්නෙ. ඔබ කැමති විදිහට මේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්. 

  • පිපිඤ්ඤා සහ මින්ට්
  • ලෙමන් සහ ඉඟුරු 
  • බ්ලැක්බෙරි සහ තැඹිලි 
  • ලෙමන් සහ ගම්මිරිස් 
  • කොමඩු සහ මින්ට් 
  • මිදි සහ රෝස්මරී 
  • තැඹිලි සහ ලෙමන් 
  • ලෙමන් සහ දෙහි 
  • ස්ට්‍රෝබෙරි සහ බැසිල් 
  • ඇපල් සහ කුරුඳු  

සමහරවිට ඔබට එකදිගට ජලය පානය කිරීම අප්‍රිය වෙන්නට පුළුවන්. ඒ සඳහා හොඳ විසඳුමක් තමයි ඔබ කැමති රසයකින් detox water පිළියෙල කරගැනීම.

මෙවැනිම තවත් වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles