මා හද මට නැති විට -22

අනුත්තරා කිසිවක්ම නොලීවා ය. ඇය ඒ වෙනුවට කළේ ලාවන්‍යාට වීඩියෝ ඇමතුමක් ගැනීම ය. අනුත්තරා මේ අමතන්නේ තේජ ගැන වැඩිදුර කතා කරන්නට වග සිතෙද්දී ලාවන්‍යාට ඇති වූයේ පුදුමාකාර ප්‍රීතියකි. ඇය ඇමතුම හා සම්බන්ධ වූයේම ඒ තුටුපහටු හැඟීමෙනි.

මොකක්ද කියන්නේ?”

අනුත්තරා තරමක් තද හඬකින් විමසී ය.ලාවන්‍යා සිටියේ හිතුවක්කාර බැල්මක් නෙතු අතර තබාගෙන ය.ඒ සිතුවිල්ල මේ දැන් නැඟුණු බව සැබෑ වුව ද එය ක්‍රියාත්මක කරන්නට ඇයට උවමනා විණ. ඇය විවාහයෙන් නිදහස් වූ කෙල්ලකි. ඔහු කුඩා පුතෙකු සමඟ තනිව ජීවත් වෙන මිනිසෙකි. ඒ හන්දා හදවත විවර කරන්නට කිසිම බාධාවක් නොවේ. අනෙක් කාරණාව සමහර අවස්ථාවල වචන කතා නොකළ ද ඔහුගේ දෑස් කතා කරන අන්දම ඇයට නොදැනෙනවාම නොවේ. විස්තර කරන්නට දෙයක් නැති, එහෙත් ඇති යමක් සිදු වෙමින් පවතී.

“මං තේජ අයියට කියනවා..මට එයා ගැන හැඟීමක් තියනවා කියලා මං එයාට කියනවා අනූ.”

ලාවන්‍යා එසේ කියද්දී අනුත්තරා දෑස් කුඩා කළා ය.

“මොකක්ද?”

ඈ අසන්නේ ලාවන්‍යා පැවසූ දේ නෑසුණු ලීලාවෙනි.වසර ගණනාවක් ලාවන්‍යාගේ ඒකපාර්ශ්වික ප්‍රේම කතන්දර අසා සිටි ඇයට එය නෑසී තිබෙන්නට හේතුවක් නොවේ. නමුත් ඒ හැම ඒකපාර්ශවික කතාවක්ම අයත් වූයේ තාරකාවන්ට ය.වඩා බර ඇති ඒකපාර්ශ්වික කතාව ජය ගැනීම පිණිස අනුෂ්කා ෂර්මාගේ කසාදය කඩා දමන ආකාරය ගැන පවා කෙල්ලන්ට සැලසුම් තිබිණ. එහෙත් ඒවා කෙල්ලන්ට ආවේනික විහිළු කතාන්දර ය. මේ එවැන්නක් නොවේ.

“අපි එයාට කියමුද?”

තනිව කියන්නට තිබූ ධෛර්යය අනුත්තරාගේ මුහුණේ ඇඳෙන බැල්ම නිසා මකා ගත් ලාවන්‍යා ඒක වචනය බහු වචනයට හැරවූවා ය.

“බෑ…ඒක ඔයා ඉවර වෙන වැඩක්..ඔයාට දෙවැනි අවස්ථා ට්‍රයි කර කර බලන්න බෑ ලාවි. ඊළඟට ගන්න ඕන අවසාන හොඳම තීන්දුව විතරයි.”

අනුත්තරා ඉතා සරල තීන්දුවක් ලබා දුන්නා ය.ලාවන්‍යා මුහුණ කොරහක් බවට පත් කර ගත්තේ ඈ සමඟ රණ්ඩුවක් අල්ලන්නට සිතමිනි.

“ඔයා කියන්නෙ ගෑනු ළමය ඉස්සර වෙන එක කැතයි කියලද? එහෙම  ඉස්සර වෙලා ආදරෙයි කියන එක විකාරයක් කියලද? අනේ අනූ .ඔයාගෙ කට නම් ස්ත්‍රීවාදීකම්, සමාන අයිතිවාසිකම්, ස්ත්‍රීවාදීකම වෙනුවෙන් ඇරිච්ච ගමන්. ඒ වුණාට තමන්ගෙ මිනිස්සුන්ට අරාබි ටයිප් කතා කියන්නේ”

ලාවන්‍යා එසේ කියද්දී  අනුත්තරා නැවත රවා බැලුවා ය. කියන්නට තවම නොතේරෙන එහෙත් නොකියා බැරි කතාන්දරයක් වේ.

“එහෙම කියන එක කිසිම වරදක් නෑ.ඔයාට ඉමේෂ් ගැන, චාරුක ගැන එහෙම කියන්න හිතෙනවා කියලා මට කිව්වනම් මේ දැන් මම කියන්නේ..එතකොට මොකක්ද දන්නවද වෙන්නේ?”

අනුත්තරා ඔවුන්ගේ පොදු මිතුරන්ගේ නම් කිහිපයක් පැවසී ය. ඒ ආදරය කරන්නට සිතෙන කොලුවන් නොවේ. නමුත් හොඳ යාළුවන් ය.

“එහෙම වුණානම් වෙන්නේ කාරණා දෙකයි..එකක් තමයි එයාලා ඔයාගේ යෝජනාව පිළිගන්න එක.නැත්නම් එහෙම ෆීලින් එකක් එයාලට නෑ කියලා ඕක රිජෙක්ට් කරන එක..”

එසේ පැවසූ අනුත්තරා මිතුරිය දෙස බලා සිටියේ අනුකම්පාවෙනි. භවන්ත වැනි සත්වයෙකුගේ ඇසුරේ සිටි යුවතියක් තේජට ආකර්ෂණය වීමේ වරදක් නැති බව සැබෑ ය. නමුත් ඒ ආකර්ෂණයේ ඉම යහපත් වන්නට ඕනෑ ය.

“ඒත් තේජ කැමති බව කියන්නෙත් නෑ. අකමැති කියන්නෙත් නෑ. අපි එහෙම එකක් එයාට කිව්වේ නෑ වගේ රොබෝ තාලෙට ඉඳියි. පිළි ගැනීමකුත් නැතුව ප්‍රතික්ෂේප වීමකුත් නැතුව ඔයාට ඉන්න පුලුවන් කියලා ඔයා හිතනවද?”

එය ඉතා කෙටි කතාවකි.නමුත් ලාවන්‍යාගේ හදවත සසැලෙන කතාවකි. ඇය ගැඹුරු හුස්මක් ගත්තේ ඒ හන්දා ය.

“ඒ වුණාට එයාගෙ විදියට මං කැමතියි..”

ඇය අසීරුවෙන් එසේ කියා ගත්තා ය. අනුත්තරා මිතුරියට බැන වදිමින් ඇමතුම විසන්ධි කර දැමුවා ය. ඇත්ත පැහැදිලි කරද්දී පවා ලාවන්‍යා උමතුවෙන් ය.

ප්‍රේමය ඉතා කුඩා ගිනි පුලිඟුවක්ව ඇගේ හදවතේ හට ගෙන තිබිණ.එය ඉනික්බිතිව මහා ගින්නක් වන තුරුම ඇය ඒකපාර්ශවික ප්‍රේමයකින් ඇවිලෙමින් සිටියා ය.ඇගේ හදවත තේජට මිස කිසිවෙකුට විවර නොවන බව ඇයට සහතික ය.එය එසේ වන්නට හේතුව කුමක්දැයි අසන්නෙකුට දෙන්නට පිළිතුරක් පවා ලාවන්‍යාට නොතිබිණ.

ප්‍රේමය! එක්වරක් ඇය දවා අළු කරමින් තිබියදී පවා ඈ නැවත ඒ හැඟීමෙහි ඇලෙමින් ගැලෙමින් සිටියා ය.

“ක්‍රෂ් වෙන්න මනුස්සයෙක්ද බං ඒ?”

මිතුරියන් දොස් නැඟීම ආරම්භ කළා ය. මේ ආකර්ෂණයක් නොවේ. ආදරයම පමණක් වග ඇයට විශ්වාසයක් තිබිණ. ආදරය නැවත ලැබීම අවශ්‍ය සාධකයක් නොවේ. ඇය තේජට ආදරයෙනි. 

“පොර වශියක්වත් මෙයාලගෙ වත්තට විසි කරාද දන් නෑ. නුවර නුවර ගෑවට පිළිමතලාවට කිට්ටුව මහ ගෙවල්”

අනුත්තරා කෙල්ලන්ට කියන්නේ හිනැහෙමිනි.

වශිය ඔහුගේ දෑස ය.එහි ලියැවෙන කවි වැනි බැල්ම ය.ඇය ඔහුගේ දීප්තිමත් දෑසේ ගිලෙමින් කිමිදෙමින් ප්‍රේමය එකතු කරන බව ඔහු නොදැන සිටීම පවා ලාවන්‍යාට මිහිරක් විණ.සමහර මොහොතක ඇගේ සෘජු බැල්ම දෙස තත්පරයක් දෙකක් ගල් වී බලා හිඳින ඔහු අනතුරුව කිසිවක් නොදන්නා සේ හිඳීම පවා ඇයට මිහිරක් විය.

සමහර හැඟීම් ජීවිතය සහමුලින්ම කනපිට හරවන්නට සමත් ය.ප්‍රේමය කියන්නේද එවැනි හැඟීමකි.ලාවන්‍යා ආදරය නිසා දැවෙන්නටත් ඉරිසියා කරන්නටත් හඬන්නටත් පටන් ගෙන තිබුණේ  ආදරවන්තියක බවට පත් වී නොවේ.

ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසා ය.

එය කවදා ඇති වූ ප්‍රේමයක්දැයි නිශ්චිත නොවූ නමුත් ඇය ඇගේ ප්‍රේමයට මහත් සේ කැප වී සිටියා ය.ඔහුගේ යහපතත් සුබ සිද්ධියත් පතමින් ඈ හැසිරෙන්නට වූයේ තේජ ගැන කිසිම අයිතියක් නොලබා ය. ජීවිතය ඊළඟට තමන් කොහේ ගෙන යාවිදැයි නොදන්නා නමුත් වසන්තයක් දෝත විදා පිළිගන්නට ඇයට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles