පෙඟුණු මල් පෙති 13

“අද මේ ප්‍රමෝශන් එකකුත් ලැබිල සන්තෝසෙන් ඉන්න ඕන දවසෙ මොකෝ මේ මූන එල්ලගෙන?

අතට ඇඟිල්ලකින් අනිමින් ප්‍රශ්න අසන්නේ කවිනි ය.

වෙනදාක නම් වාර්ශික සේවා තක්සේරු කිරීම සඳහා කෙටෙනු ලබන මීටිමේදී වැඩි ලකුණු ලැබූ මොහොතක කවිනිව බදාගනිමින් උඩ පනිමින් මහ හඬින් සිනහවන චරිත්‍රා කෙනෙකු දැකිය හැකි බැවින් කවිනි මෙසේ අද ප්‍රශ්න කිරිම සාදාරණය

කාර්‍යාලයට එන අතර වාරයේත්, මීටිම ඇරඹුනු මොහොතේදීත්, මීටිම පැවතුනු මොහොතේදීත් චරිත්‍රා උන්නේ වෙනම ලොවකය.

මිහික විසින් නිරපරාදේ සැක කරනු ලැබූ නිසාත්, ළහිරු නැති වේය යන බිය නිසාත්, ප්‍රභාත් ගේ දුරකතන ඇමතුම නිසාත් වික්ශිප්තව උන් ලොවකය.

කොළඹට අලුත ආ ගමේ කෙල්ලකට ප්‍රභාත් වැනි ඉහළ රැකියාවක නියුතු, කඩවසම්, ධනවත් පිරිමියෙකුගේ දැපනේ වැටීම චරිත්‍රාට අනුව නම් සාමාන්‍ය කරුණකි.

විශ්ව විද්‍යාලයට යන්නට ගමෙන් එනවිට චරිත්‍රාට ප්‍රේම සම්බන්ධයක් යැයි කිව හැකි යමක් තිබුනේ නැත.

විශ්ව විද්‍යාලයේදී වුවද කෙතරම් ප්‍රේමාරාධනා ආවද ඔවුන් හා බැඳෙන්නට උවමනාවක් චරිත්‍රාට නොවුණි.

සියල්ල වෙනස් වන්නට ඇරඹුනේ රැකියාවට ආ අලුතය.

කාර්‍යාලයේ ඉහළ පුටුවල උන් ගැහැණුන් අඳින අන්දමේ සුන්දර ඇඳුම් අඳින්නට, ආභරණ පලඳන්නට, අත්බෑග් භාවිතා කරන්නට චරිත්‍රාට උවමනා විය.

සති අන්තවල සහ නිවාඩු දිනවල ඔවුන් එහෙ මෙහෙ යන අයුරු දැක “මටත් එහෙම යන්න තිබ්බනම්” කියා චරිත්‍රා සිතුවාය.

අවුරුදු විසි හතරක කෙල්ලෙක්ට, රුපියල් තිස්  පන්දහසක පඩියකින් බෝඩිමට ගෙවා තෙවේල කා බී සිතු පරිදි විලාසිතා කරන්නට නොහැකි බව තේරුම් ගත් චරිත්‍රා පසුගිය වසර හතරකට ආසන්න කාලයේ ඉතාම සුභෝපභෝගී ජීවිතයක් ගෙවන්නියක බවට පත් වූයේ නොසිතූ ලෙසිනි.

නිව්ස් ලංකා ආයතනයට කතා කර තමන් විසින් මෙහෙයවනු ලබන නිෂ්පාදනයක දැන්වීමක් පල කරගන්නට කල කතාබහ දුර දිග ගියේ, එම ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ඒජන්සි ඉවෙන්ට් එකකට යන්නට මග පෑදුණු විටය.

ත්‍රීවිලරයකින් එම උත්සවයට ගිය චරිතා එදින රැයේ ඉන් නික්ම ගියේ එවකටත් එහි ඉහල තනතුරක් දැරූ ප්‍රභාත්ගේ රියේ ය.

ඉන් අනතුරුව ආ බොහෝ නිවාඩු දිනයන් වලද, සති අන්තවලට ප්‍රභාත්ගේ තුරුලේ කාලය ගෙවූ චරිත්‍රාට, ඔහු විවාහකයෙකු බව දැනගැනීම මුලින් වේදනාවක් විය.

ධනවත් ප්‍රභාත් තම බිරිඳ සහ දරුවන් සමග විදේශ සංචාරයන්හි ගොස් මුහුණු පොතේ පල කල ජායාරූප දෙස බලා සිතෙන් දුක් වූ චරිත්‍රා ඒ සියල්ල ඉවසීමෙන් දරාගන්නා අයෙකු බවට පත් වීමට හේතුවක් විය.

ඒ ප්‍රභාත් සතු ධනය සහ ඔහු සතුව තිබූ රාජකාරි සබඳතාවල සවිමත් බවය.

ඕනෑම මොහොතක කියන පරක්කුවෙන් දෙයක් කරගන්නට හැකි ප්‍රභාත් මග හැර ගැනීම පාඩුවක් බව සිතූ චරිත්‍රා ඔහු හා සබඳතාව රහසේ ගෙන ගියේ එකී උදව් උපකාර ගැන සිතමින් ය.

“තවත් ගැහැණියකට වේදනාවක් දෙන ගමන්, ඒ ගැහැණියගේ හස්බන්ඩ් හරි ලවර් එක්ක හරි සම්බන්ධයක් පටන් ගන්න වෙන ගෑණියෙක්ට පුලුවන් නම් එතන තියෙන්නෙ සම්පූර්ණ ඉරිසියාවක් මිසක් ආදරයක් නම් නෙවෙයි”

කියමින් මුහුණු පොතේ දාර්ශනික අදහස් ලියා තබන චරිත්‍රා සැබෑ ජීවිතයේ අනුන්ගේ පෙම්වතුන් සහ සැමියන් සමග සබඳතා පවත්වන බව දැනහුන් කිසිවෙක් මුහුණු පොතේ සිටියාද යන්න සැකයකි.

එතැන් පටන් කී දෙනෙක් නම් ජිවිතයට ආවා ගියාද?

මිහික හමුවූ පසුවවත් එකී සබඳතා නතර කරන්නට නොසිතූ චරිත්‍රා වෙනස් වූයේ ළහිරුගේ ආගමනයත් සමගිනි.

මිහික රැවටීම පවක් යැයි නොසිතූ චරිත්‍රා ළහිරුට අවංක වීමට සිතයි.

“ළහිරු ව මට මගෑරගන්න බෑ කොහෙත්ම. මිහිකට වඩා සල්ලි තියෙන තැනක් කෙනෙක් නිසා නෙවෙයි, මට අනිත් හැම කෙනෙක්ටම වඩා ළහිරුව දැනෙන නිසා. ඒකයි මට එයාව අතෑරගන්න බැරි”

මිහිකට මේ සියල්ල ගැන යන්තම් ඉවක් වැටී ඇති බව සැබෑවකි. එනමුත් සතියක් දෙකක් පමන හොඳින් කතා බහ කිරීමෙන් පසුව මිහිකව යළිත් තමාව විශ්වාස කරන තැනකට රැගෙන ඒම තමන්ට අපහසු නොවේ.

එහෙත් ඒ සියල්ලටම වඩා ගැටලුව වන්නේ ළහිරුට මේ සියල්ල දැනගැනීමට ලැබීමයි.

සිතුවිලි කන්ද බිම වැටුනේ දුරකතනයට ආ පණිවිඩය නිසාවෙනි.

“ටු නයිට් ඇට් සෙවන් – ලේක් ග්‍රෑන්ඩ්”

සැඳෑවේ හවස හතට ලේක් ග්‍රෑන්ඩ් වෙත එන්න යැයි පණිවිඩයකි.

මේ නුපුරුදු පණිවිඩයක් නොවේ.

මේ පණිවිඩය මෙපරිද්දෙන්ම මෙයට වසර ගණනකට පෙර ආ හැටි මතක් වෙද්දී තමා විසින් එදවස කළ කී දේ ගැන චරිත්‍රාගේ සිතට එන්නේ පුදුමාකාට ලැජ්ජාවකි.

“ගෑණියෙක්ට එච්චර පහත් වෙන්න පුලුවන්ද?” යන ප්‍රශ්නය ජීවිතයේ පලමු වරට චරිත්‍රා තම සිතෙන් විමසුවේ ප්‍රභාත්ගෙන් ආ එකී පණිවිඩයට පිළිතුරක් සිතමින් ලතවෙන අතර වාරයේය.

“අදනම් මොකක් හරිම වෙලා තමයි”

ටකස් ටකස් හඬින් පරිගණක කී බෝඩයට පහර දෙමින් කවිනි එසේ ඇසුවේ චරිත්‍රාගෙන් උදෑසන දුටු අධික නිහඬතාවය නිසා වෙනි.

මේ තමා දන්නා වෙනදා සිටින චරිත්‍රා නොවන බව කවිනිට අමුතුවෙන් පැහැදිළි කර ගත යුතු නොවේ. චරිත්‍රා යනු මේ ඇඩ්වටයිසින් ඩිවිශන් එකේ වොන්ඩර් වුමන් ය. ඇය කිසි දේකට පහසුවෙන් කලබල වන්නියක් නොවන බව ආයතනයේ සිටින සියල්ලන් මෙන්ම සේවා දායකයන් පවා හොඳින් දන්නා කරුණකි.

“මොකද්ද ප්‍රශ්නේ?”

“මුකුත් නෑ”

“මුකුත් නැති වෙන්න බෑනෙ බං. වෙනද මේ ලැප්ටොප් එක ඔන් කරගත්ත වෙලේ ඉඳල චටස් පටස් ගාලා වැඩ කරන ගෑණි අද මැශින් එක ඔන් වෙච්ච වෙලේ හිට ඒක දිහා බලාගෙන කල්පනාව”

“නෑ බං දන්නෙ නැද්ද වැඩ කන්දරාවක් තියෙනවානෙ, කොහොමද පහ මාර වෙන්න කලින් ඉවර කරගන්නෙ කියල හිතුවා”

බොරුවක් වහන්නට තවත් බොරුවක් කීම පහසු නොවන බව චරිත්‍රාට තේරෙන්නෙ දැන්‍ ය. මුහුණු පොතේ කෙතරම් ෆලෝවර්ස් ලා උන්නද මෙලොව තමන් කෙතරම් නම් තනිද යන්න චරිත්‍රාට සිතුවේ ප්‍රශ්නය මොකද්ද යැයි කීපවරක් ඇසූ කවිනිට වුව සත්‍ය පවසාලන්නට නොහැකිව ගොලු වී හිඳිද්දීය.

අනෙක් තමට තම කරන කියන දේවල් අනිත් අය සමග බෙදාගන්නට හැකි දේවල්ද යන ප්‍රශ්නයත් ඇයට නැතුවා නොවේ.

“හදිසියේ හරි ඔයාගේ වයිෆ් ඔයාට හොරෙන් මෙහෙම වෙන කෙනෙක් එක්ක ඉන්නව කියල දැනගත්තොත් මොකද කරන්නේ?”

වසර කීපයකට පෙර සැඳෑ වරුවක දුහුල් ඇඳුමකින් සැරසී මූද අසබල නිවාඩු නිකේතනයක ප්‍රභාත් සමග ගෙවූ මොහොතක තමා ඔහුගෙන් ඇසූ බව මතක් වුණේ අහම්බෙනි.

“එහෙනම් ඒ තමයි එයාගේ අවසානෙ”

“ඇයි එහෙම කියන්නේ?”

“පිරිමි මොන මගුල නැටුවත් ගෑණු දැනගන්න ඕන තමන්ගෙ තත්ත්වෙ තියාගෙන ඉන්න”

“එතකොට එහෙනම් මමත් මෙහෙම එන එක වැරදිනෙ”

“ඔයයි එයයි වෙනස්”

“මොකද්ද වෙනස? මොකද්ද?”

එදා ඒ ප්‍රශ්නයට පිළිතුර නොලැබුණමුත් අද චරිත්‍රාට එකී ප්‍රශ්නය නොඅසාම පිලිතුර ලැබී ඇත.

බිරින්දෑවරුන් රකින්නට දිවි හිමියෙන් කැපකරන, බිරිඳගෙන් පතිවත මුලුමනින්ම බලාපොරොත්තු වන පිරිමි තම සයනයට පිවිසෙන් අනික් ගැහැණුන් දෙස බලන්නේ යම් මිලක් ගෙවා ගත හැකි තාවකාලික භාණ්ඩයක් දෙස බලන ඇසකින් මිස කරුණාව, ආදරය සහ ගෞරවය රැඳුණු ඇසකින් නොවේ.

ඉතින් ළහිරුව වටින්නේ එබැවින් නොවේද?

“අයෑම් සොරි. අයෑම් ඉන් අ කමිටඩ් රිලේශන්ශිප් නව්. සෝ අයි කැනොට් කම්”

තමා වගකීම් සහගත සබඳතාවයකට උරුමකම් කියන බවත්, එකී හේතුව නිසාවෙන් නැවත මෙබඳු ගමන් ඒමට නොහැකි බවත් පවසා කෙටි පණිවිඩයක් යැවූ චරිත්‍රා දිගු සුසුමක් හෙලා පරිගණක යතුරු පුවරුව මත අත තැබුවේ මුහුණු පොතේ යමක් ලියා තමා මේ වේදනාව සමනය කරගනු පිණිසය.

“ආදරේ කරන කෙනෙක් තමන්ව සැක කරනවා කියල දැනගත්තම ඔයාට මොකද හිතෙන්නේ?

ඊටත් වඩා ඔයාගේ කිසිම වරදක් නැතුව එයා ඔයාව සැක කරනව කියල දැනගත්තම, ඒ වේදනාව දෙතුන් ගුණයකින් වැඩිවුණාම දරාගන්න කොච්චර අමාරුද.

ආදරේ කියන කාසියේ එහා පැත්තෙ තමයි විරහව තියෙන්නෙ කියනවා. කාසියකට තියෙන්නෙ පැති දෙයක් විතරයි.

එතකොට සැකය තියෙන්නෙ මොන පැත්තෙද?

ආදරේ පැත්තෙද? විරහව පැත්තෙද?

තමා ඇයව සැක කරන්නේ නිරපරාදේ බව සිතමින් චරිත්‍රා මුහුණු පොතේ තබා තිබූ සටහන සිතට ගෙන ආවේ පුදුමාකාර අන්දමේ වේදනාවකි.

එක් පසෙකින් පමණක් කතාව අසා බලා තීන්දු තීරණ ගන්නා අරුම පුදුම මිනිසුන් කොට්ටාශයක් ජීවත් වන මුහුණු පොතේ තමාගේ පැත්තෙන්ද කතාව ලියා පලකරන්නට මිහික සිත මෙහෙය නොවූවේ ලිවීමෙහි ඔහු දක්ශ නොවන නිසා නම් නොවේ.

තවමත් සිත පුරාවටම චරිත්‍රා ගැන තිබෙන ආදරය පණ ගහන බැවිනි.

ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් දෙරටක තනි වී විඳවීම කෙතරම් නම් වේදනාකාරීද යන්න මිහිකට අලුත් දෙයක් නොවුන මුත් මෙසේ සිතෙන් පවා ඈත්ව හිඳිම නුපුරුදුය.

ආදරය සඳ කිරණක්ව ඇද හැලෙන බවටත්, එකී සඳ කිරණේ නැහැවෙන්නට හැකි බවටත් ඉගැන් වූ ගැහැණියම අද මෙසේ තම ඇමතුම් හෝ කෙටි පණිවුඩ වලට පිළිතුරු නොඑවා හිඳින්නේ කෙසේ දැයි තේරුම්ගන්නට තරම් මිහිකට ආදරය ගැන ඇති අත්දැකීම් බහුල නොවේ.

චරිත්‍රා තමාට කෙටි පණිඩයක් හෝ නොඑවා දැන් පැය දහයකටත් වඩා අධික කාලයක් ගෙවී ගොසිනි.

වෙනදාට නම් උදෑසන වැඩට යන්නට පෙර ඇය කෙටි පණිවිඩයක් හෝ වොයින් නෝටයක් එවයි. එහෙත් අද ඒ කිසිත් නොමැත.

අනෙක් අතට වෙනදාට චරිත්‍රා අමනාපයෙන් හිඳින විට යාලු කරගන්නට බොහෝ සේ කෙටි පණිවිඩ යවන්නට උත්සුක වන තමන් අද ඇයම සිතා තමා අමතන තුරු බලා හිඳින්නේ මන්ද?

පෙර කිසිත් නොදැනුනු අන්දමේ අරුම පුදුම සිතුවිලි දහරාවක් සිත අස්සෙන් ගලා එන වග මිහිකට දැනේ.

මේ හැඟීම් නුපුරුදුය. එහෙත් තමාට නොතේරෙන කිසියම් දෙයක් තමාට තේරුම් කරවා දෙන්නට සිත කටයුතු කරන බව මිහිකට පැහැදිළිය.

එහෙත් මේ තවත් පමා වෙන්නට කාරණාවක් නොවේ. චරිත්‍රා ඇතැම් විට තමා අමතන්නේ නැත්තේ ඇයගේ සිත රිදුණු නිසාවෙන්ම විය හැක.

ඇය තමාගෙන් සමාව ගත යුතු යැයි සිතුවද සමාව ගන්නට වරදක් ඇය සැබෑවටම කර නොඇත්නම් මෙසේ එකිනෙකා මග හැරීම තේරුමක් නැති දෙයකි.

අනෙක් අතට සමාව දිම, නොඑසේනම් කිසිවක් නොසිදුවූ විලසින් යලි මේ සුරම්‍ය සම්බන්ධය ඇරඹීම පමා කරගන්නට හේතු නැත.

අද වැඩ මුරය යෙදී ඇත්තේ දිවා කාලයේ වීම සැනසුමකි.

එවිට වැඩ ඇරී නිවසට එන වේලාව වන විට චරිත්‍රාද කාර්‍යාලය ඇරී නිවසට විත් ඇඟ පත සෝදාගෙන නෙට්ෆ්ලික්ස් බලමින් සුවපහසුව හිඳින මොහොතයි.

ඇඳ මත පෙරලී ඇය සමග වීඩියෝ චැට් එකක යෙදීම ගතට මෙන්ම සිතටද සුවදායකය.

කාලය ගෙවී යන්නේ ඉතා සෙමිනි.

කාර්‍යාල පරිගණකයට නෙත් යොමා කෝඩින් කිරීම ඇසට කෙතරම් වෙහෙසක්ද? එහෙත් පසුගිය දින කිහිපයෙ තිබූ තරම් සිතට වෙහෙසක් අද නොදැනෙන්නේ සැඳෑවේ චරිත්‍රාට කතා කරන්නට සිතා ගෙන හිඳිනා බවින් විය යුතුය.

සමාව දීම දේව ගතියක් යැයි ඇතමුන් කියයි. එහෙත් සමාව දිය යුත්තේ එය දේව ගතියක් නිසාවෙන් නොව සමාව දීමෙන් සිතට දැනෙන සැහැල්ලුව එතරම්ම ඉස්තරම් නිසාවෙනි.

සැඳෑව පැමිණියේ සිතුවාටත් වඩා පමා වීමය. යන අතරමග පීසා අවන්හලකින් මිලට ගත් ගාර්ලික් බ්‍රෙඩ් කිහිපයක් සමග උණුසුම් ඉන්ස්ටන්ට් සුප් කෝප්පයක් රෑ කෑමට මිහිකට ඕනෑවටත් වඩා වැඩිය. තව මොහොතකින් ඇරඹෙන්නට යන්නේ සොඳුරුතම හෝරාවක් බව පසක් කරන්නට මෙන් රැයේ කතා කරමුයැයි තමා තැබූ පණිවිඩයට චරිත්‍රාගෙන් ආ හදවතක හැඩැති එමොටිකොනය දුරකතන මුහුණත මත හිඳ සිනා සේ.

කඩිනමින් ඇඟ පත සෝදාගෙන, මේ දිනවල පවතින රස්නය නිසාවෙන් පිටේ ආ දහදිය බිබුලු වලට ලංකාවෙන් ගෙන්වා ගත් ලැක්ටො කැලමයින් පවුඩර් බිඳිති කිහිපයක් ඉස මිහික ඇඳ වෙත ආවේ දුරකතනයෙන් චරිත්‍රාට වට්සැප් වීඩියෝ ඇමතුමක් ගනිමිනි.

තාක්ෂණය කෙතරම් නම් දියුණුද යන්න පසක් කරමින් මිනිත්තුවකටත් අඩු කාලයකදී දුරකතනයේ එහා ඉම හිඳිමින් සිනාසෙන්නේ තම ආදරණීය බිරිඳයි.

සසර පුරා තමා සමග එකම මග යන්නට පිළිණ දුන් සොඳුරියයි.

“කීයටද ආවේ?”

කතා බහ ඇරඹුවේම සිනාමුසුවය.

ඉතින් මේ වසන්තයේ උයනට දොරගුලු විවර වීමක් බව මිහිකට පැහැදිළිය.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි – නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි”

කියා සෝමතිලක ජයමහ මහතා පවසා ඇත්තේ සැබෑවටමය.

පෙර දින දකින්නට අසන්නට තිබූ අඳුරු කුණාටුවක සේයාවන් අද අහලකවත් නැත.

“දැන් පැය භාගයක් වගේ?”

“කෑම ගත්තද?”

“ගාලික් බ්‍රෙඩ් එක්ක සුප් එකක් හදාගත්තා”

මේ ඉතින් සුපුරුදු ආදරයේ සෙවණැලිය. කෑවාද බිව්වාද කියා සොයන්නේ තමාට සැබවින්ම ආදරය කරන අය මිස වෙන කවුරුන්ද?

කතා කරන්නට බොහෝ දේ ඇතත් වැරදි ප්‍රශ්නයක් මේ සියලුම සන්තෝසජනක නිමේශයන් බිඳ දමන්නට ඉඩ ඇත. නුවර ගෙදර දානය ගැන අසන්නට බොහෝ දේ තිබේ.

ලොකු නැන්දා චරිත්‍රාට අනං මනං හිත රිදෙන දේවල් කියූ බව අම්මා පෙරදා රැයේ ඇමතූ විට පැවසුවාය.

“අනේ මන්දා පුතේ ඒ ළමයා අපි ගැන මොනව හිතන්ටැද්ද කියල. ලොකු නැන්දාත් කමසෙයියාවක් නැතුව කියවන්ට ගත්ත නේ. ඒ දරුව එද්දිත් බරට බරේ දානෙට එක එක ජාති අරන් ආව. හොඳ කේක් එකකුත් ගෙනාවා. ලොකු නැන්දාට ඒ උනාට එ ඔක්කොටම වඩා පේන්ටෙ ඉතින් ඒ දරුවා මෙ උයමන් වලට උදව් නොවිච්ච එක තමයි.

පුතා ටිකක් කතා බස් කරල බලන්ට, හිත රිදුනනම් මං සමාවෙන්ටය කියල කිව්ව කියන්ට පුතේ”

එහෙත් එදවස ගැන ඇසීම පෙර සිත තුල වූ නොසංසුන්කම් නැවත මතුකරවාලන්නකි.

“අද මොකද ඔෆිස් එකේ උනේ?”

“අද ඉයර්ලි ඉවැලිවේශන් එකනේ. මට ප්‍රමෝශන් එකක් ලැබුනා සීනීයර් ක්ලයන්ට් සර්විසින් මැනේජර් විදියට”

“ශා මයි කන්ග්‍රැජුලේශන්ස්”

“මට ඔයාට දවාලේ කියන්න ඕන උනා ඒත් අද සෑහෙන වැඩ තිබුනා. අද විමෙන්ස් ඩේ එකට සන්සිල්ක් එකේ කැම්පේන් එකේ ප්‍රඩක්ශන්ස් වෙනවනෙ මේ දවස්වල, ඉතින් ක්ලයන්ට් පොඩ්ඩක් ෆස් කරනව. ඒකයි මැසේජ් එකක්වත් දාන්න බැරිවුනේ”

“ඒකට කමක් නෑ. දැන් මේ ප්‍රමෝශන් එකට මොනවද අරගෙන ඕන?”

“මුකුත් එපා. ඒක නෙවෙයි ඔයා එදා අයිකියා එකට යනවා කිව්වනෙ. මොනවද ගත්තෙ?”

“අහ් ඔයා කිව්වනෙ අර බෙඩ් සයිඩ් කබඩ්ස් බලන්න කියල. ඔයා කියපු කලර් එක තිබුනෙ නෑ. මම වෙන ලස්සන කලර් එකක් ගත්තා ලයිට් පැස්ටල් ග්‍රීන් එකක්. පේනවද? මෙතන ලයිට් එක පොඩ්ඩක් ඩිම් නිසා කලුවට පේනවා ඇත්තේ?”

“කමක් නැ හෙට ඔයා ෆොටෝ එකක් ගහල එවන්න”

“හෙට ඔෆිස් අඳින ඇඳුම් රෙඩි කරගත්තද?”

ආදරයේ එකම එක වදනකට වුව සිත තුල පෙරලි කරන වේදනාබර සිතුවිලි මකාලන්නට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.

ඇමතුම අවසානයේ දුරකතන නිවා පසෙකින්  තබා ඇඳ මත වැතිර ජනේලයෙන් පේන අඳුරු එනමුත් තරු පිරි අහස දෙස බලමින් මිහික කල්පනා කලේය.

ආදරේ අහස තරම් යැයි කියන්නේ සැබැවටට ආදරයට ඉමක් කොනක් ඇති නිසාවටත් වඩා අහසේ ඇතැම් අන්තයන් ගැන අප තවමත් නොදන්නා බවින් විය යුතුය. අහසෙහි අප දන්නේ කොපමණ කුඩා වපසරියක පැතිර ඇති දේ ද?

ආදරයද එබඳු නොවේද?

අපි අපේම යැයි සිතා හිඳින, අප හොඳින්ම දන්නේ යැයි සිතා හිඳින පුද්ගලයන්ට වෙනස් විය හැක්කේ නොසිතූ පරිද්දෙනි.

අප කෙතරම් ආදරයෙන් සලකන අයෙකු වුවද අප සිත විටෙක වේදනාවට පත් කරන අනතුරුව ඔවුන්ව පැමිණ එකී වේදනාවට ඔසු ගල්වන්නට කටයුතු කරයි.

“ආදරේ මහ පුදුම දෙයක්” මිහික කිවුවේ තමාටමය.

“ටීන්” හඬින් නද දෙන්නේ දුරකතනයයි.

වට්සැප් වෙත පණිවිඩයක් පැමිණ ඇත.

ඒ චරිත්‍රා ගෙනි.

නොසිතූ, නොපැතූ පණිවිඩයකි.

එවැනි පණිවිඩයක් එවන්නට චරිත්‍රාට සිතුනේ ඇයිදයි මිහිකට සිතාගන්නට නොහැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles