පෙඟුණු මල් පෙති අවසාන කොටස

රණ්ඩු වෙමින්, බැන අඬා ගසමින් වරකද, බොහෝ බරසාර කතා බස් කියමින් තමා සමග ජීවිතයේ වසර දෙකකට පමණ ආසන්න කාලයක් ගෙවූ හුන් චරිත්‍රාට නීති ප්‍රකාරව සමුදෙන්නට වීම ගැන මිහිකගේ සිතේ දුකක් නොතිබුනා යැයි කිව නොහැක.

 නීතිය ඉදිරියේ තමා ඇයව විවාකරගත්තේ නීතිය ඉදිරියෙ මෙසේ කෙදිනක හෝ අත හැර ගන්නට බලාපොරොත්තුවෙන් නොවේ.

පැමිණිල්ල ලෙස ඇය ගැන මොන තරම් දේ එළිකරන්නට තිබුනත් මේ සමුදීමට ගෞරවණීය අවසානයක් දෙන්නට අවශ්‍ය වූයේ මිහිකටය.

“පුතා ගන්ට යන තීරණය ගැන 100% හිත විශ්වාස නම් විතරක් මේ තීරණේ ගන්ට පුතා” කියමින් කියූ අප්පච්චි වුවද දැන උන්නේ කතාවෙන් අඩකටත් වඩා අඩු කොටසක පමණි. වසරකට ආසන්න කාලයක් තම බිරිඳ ලෙස හුන් ගැහැණිය හා තිබු බැඳීම් සියල්ල නීතිය ඉදිරියේ ලෙහන්නට යන මොහොතක වුව තමා ඇයට සිතෙන් ප්‍රේම කරමින් හුන් බව මිහික දැන උන්නේය.

ජීවිතය සහ ආදරය අල්ලාගන්නා තරමට අත හැරීම පහසු නොවේ. එය මිහිකත් චරිත්‍රාත් දෙදෙනාම උන්නේ මේ මොහොතට මුහුණ දිය හැකි උපරිම උපේක්ෂාවෙන් මුහුණ දෙමිනි. මිහිකගෙන් එවැනි හැසිරිමක් බලාපොරොත්තු විය හැකි වුවද චරිත්‍රාගෙන් උවැසියකගේ තරම් උපේක්ෂාවක් දකින්නට ලැබීම සියල්ලන්ටම පුදුමයක් විය.

නීතිය ඉදිරියේ සියලු බැඳීම් ගලවා අවසන් කල තැන මිහික චරිත්‍රාව ඇය ඉතා ආසා කල කින්ග්ස්බරි හයි ටී එකකට රැගෙන ගියාය.

“ඔයා මාත් එක්ක තරහද මම ඩිවෝස් එක මෙච්චර ඉක්මන් කරාට ඔයාට තව චාන්ස් එකක් නොදී?”

මුල් වටයේ ආහාරය බෙදාගෙන අවුදින් මිහික එසේ ඇසුවේ ඉවත බලා හුන් චරිත්‍රා දෙස බලාගෙනය.

චරිත්‍රා උන්නේ ඉතාම නිහඬවය. 

වෙනදා මෙන් වත්සුණු මහ ප්‍රමාණයක් නොතැවරූ සරල පෙනුම ඇයව වෙනස්ම කෙනෙකු කර තිබිණි.

“මම නේද හරිනම් අහන්න ඕන මම ඔයාව ඩිවෝස් නොකර ළහිරු එක්ක එහෙම යාලු වුණ එක ගැන ඔයා තරහද කියල?

වේදනාව මුසු කෙඳිරීමක් බඳු සියුම් හඬකින් චරිත්‍රා එසේ ඇසුවාය.

“ඒ කිසි දෙයක් මගේ හිතේ නෑ චරිත්‍රා. ජීවිතේ මිනිස්සු වැරදි කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයා ඇත්තටම ලොකුම වරද කරේ අපිට නෙවි. ඔයාටමයි. මගෙ හිතට වේදනාව ඒක ගැන”

“මම ජීවිතේ දිහා බැලුවෙ මොන තරම් සිල්ලර විදියටද කියලා මට දැන් තමයි තේරෙන්නෙ. ගෙවිච්ච කාලෙ ඇතුලෙ මම අඩුවෙන්ම වටිනකමක් දීල තියෙන්නෙ මට කියලත් තේරුනේ මේ ප්‍රශ්නෙ වුණාම.

ආදරේ ගැන, ගෑණු ගැන මොනතරම් දේවල් මම ලිව්වත් ඒ වචන, අදහස් වලින් මම කීයෙන් කීයද පිලිපැදල තියෙන්නේ.

මම හැම තිස්සෙම උත්සාහ කරේ ඩිජිටල් ලෝකයක් ඇතුලෙ මට නැති දේවල් ටිකක් මේන්ටේන් කරන්න. ඒත් ඒ ඉමේජ් එක මේන්ටේන් කරද්දි ඇත්ත ලෝකෙන් මම් මොනතරම් ඈත්වෙලාද කියල මට පහුගිය ටිකේ වෙච්ච දේවල් වලින් මට තේරුං ගියා”

ජීවිතේ මිනිස්සුන්ට ප්‍රශ්න එන බවත්, ඒ ප්‍රශ්න වලට මග පාදා ගන්නේ තමුන්ම බවටත් චරිත්‍රාට පහදා දෙන්නට ඉන්පසුව ගත කල අඩ හෝරාවකට අධික කාලය ගැන මිහිකට වේදනාවක් නැත.

එය වූ කලී තමන් විසින් කළ යුතු යුතුකමකි. වගකීමකි.

තමනට මොන වරද කලත් ජීවිතයේ මද කාලයක් හෝ රැඳී හුන් ඇයට ඉදිරියට යා යුතු මග පහදා දීම තම යුතුකමයි. තමා විසින් තම ආදරය වෙනුවෙන් දැරිය යුතු වගකීමකි.

“මම මේ තීරණේ ගත්තෙ සෑහෙන දුර හිතල චරිත්‍රා.

මම ඔයාට අදටත් එදා වගේම ආදරෙයි.

ඒත් හැමදේම අමතක කරල අපි ආයෙ හොඳින් ඉමු කියන පොරොන්දුව මට දෙන්න පුලුවන් කමක් නැති නිසා තමයි මම මේ තීරණේ ගත්තෙ.

ආදරයක් කියන්නෙ හිතෙන් අයින් කරල දාන්න ලේසි දෙයක් නෙවෙයිනෙ. ඒක මට කියල දුන්නෙත් ඔයා.

ඒත් ඒ ආදරේට යටින් ඔයා ආයෙම මට මෙහෙම කරාවිද කියන බය, සැක මගෙ හිතේ ඉතුරුවෙලා තියෙනව. ආදරේ මුල් එක්ක එකට ඇමිණිලා ඒ බයත් සැකත් හිත පුරාවට දුවනවා.

එහෙම බයක් හිතේ තියාගෙන ආයෙ අපි එකතුවෙමු කියල මම කිව්වොත් මම ඒක මට වගේම ඔයාටත් කරන වැරැද්දක්.

ඒත්…ඒත් අපේ මැරේජ් එක මේ විදියට බ්‍රේක් උනාට ජීවිතේ ඉස්සරහ දවසක ඕනම මොහොතක මම ඔයා ලඟ ඉන්නවා. ඕනම ප්‍රශ්නෙකට මට පුලුවන් ඔයාට උදව් කරන්න. මගේ වයිෆ් විදියට නෙවෙයි මට ආදරේ ගැන කියල දීපු මනුස්සය විදියට ඔයා හැමදාමත් මගෙ හිත ඇතුලෙ ජීවත් වෙනවා

මේ හැමදේම දැනගෙනත් ඔයාට අවංකවම ආදරේ කරන මනුස්සයෙක් ඉස්සර දවසක හම්බේවි. එහෙම වෙනව කියල මට හොඳටම විශ්වාසයි.

ඒ ආදරේ මුලු ජීවිත කාලෙ පුරාවටම ඔයා ලඟ තියෙන්න කියල මම විශ් කරනවා. එයාව හම්බුවෙන දවස වෙනකම් මාව මතක තියාගෙන ඉන්න. එයාව හම්බුන දවසට ඔයා මාව අමතක කරල දැම්මත් මේ කිසිම දෙයක් අමතක කරන්න එපා. මොකද මේ ඉගෙන ගත්ත හැමදේම තමයි කවදහරි දවසක ඒ ආදර කතාව හයියට දලු දාන මහ පොලොව වෙන්නෙ”

ආදරය ගැනත් ආදරයේ විරහව ගැන හොඳාකාරවම දන්නේ ගැහැණුන් වග මුහුණු පොත පුරා ලියා තැබූ ගැහැණියකට මිහික ආදරයේ සැබෑ අරුත වචනයෙන් වචන පහදා දෙමින් උන්නේය.

අපේ ජීවිතය යනු සංධ්වනියක් නම් ඒ සංධ්වනිය ලස්සන කරන තනුව ආදරයයි.

ආදරය යනු විශ්වාසය, කරුණාව සහ එකිනෙකා වෙනුවෙන් සංවේදී වීම යන කරුණු රුවල් කරගෙන ජීවිත සයුරේ ගමන් කරන ඔරුවක් බඳුය.

 එහිදී අපි අවදානමේ සුන්දරත්වය සහ සම්බන්ධතාවයේ ශක්තිය සොයා ගනී.

 ආදරය යනු සිනහව, කඳුළු සහ බෙදාගත් සිහින යන නූල්වලින් වියන ලද රැහැන් රැසකින් සැදුණු, අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි.

මිහික මේ ඉතාම සරලව චරිත්‍රාට පහදා දෙමින් උන්නේ එයයි.

“ආදර සම්බන්ධයක් ඇතුලෙ අපි සම්පූර්ණයෙන්ම හොයන්නෙ ආදරේ. එහෙම නෙවිද?

අපි කවුරුවත් කැමති නෑ බැඳීමක් අස්සෙ හිරවෙන්නෙ. කවුද කැමති තමන්ගෙ නිදහස සීමා කරනවට. ඒ නිදහස සීමා කිරීම අස්සෙ තියනව වැරදි විදියට නිදහස හොයන් යන්න කරන හැංගිච්ච පෙළඹවීමක්.

ඒ පෙළඹවීම සමහරවිට තමන් ආදරේ කරන කෙනා තමන්ට අහිමිවෙන තැන වෙනකම්, සදාකාලික වේදනාවක් වෙනකම් දුර දිග යන්න පුළුවන්.

ඉතින් ආදරෙන් යන්න ඇහැකි ගමන, ඇයි වේදනාවකින් කෙළවර කරගන්නෙ?

ජීවිතේ ඉස්සරහ දවසක මේ කතාව මේ විදියට කියන්න ඔයාට කෙනෙක් හම්බේවිද කියන්න මම දන්නේ නෑ. ඒත් මං වෙනුවෙන් එක මොහොතක් හරි ඔයා පහුගිය ගෙවිච්ච කාලේ ඇතුලෙ වෙන් කරන්න ඇතිනෙ. ඒ වෙනුවෙන් තමයි මම මේ හැමදේම කියන්න හිතුවෙ”

තම වදන් හමුවේ දෑසෙහි කඳුලු පුරවාගෙන මේසය දෙස බලමින් උන් චරිත්‍රාගේ තේ පීරිසියට ඇයගේ කඳුලු බිඳු එක්වෙමින් තිබුණාය.

හමුව අවසානයේ චරිත්‍රාව නවාතැනින් බැස්ස වූ මිහික නැවත නුවර යන්නට ගියාය.

මවගේ මරණය සඳහා ආවයින් පසුව චරිත්‍රාගේ ගැටලුවට උපකාර කළ මිහික ආයෙම විදෙස් ගත වී පැමිණියේ දික්කසාදය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකසා ගැනිම සඳහාය.

චරිත්‍රාට අපහාසයක් නොවනු පිණිස කරුණු කාරණා සැකසූ නිසා ඉක්මනින් දික්කසාදය ලබා ගැනීම සඳහ නයනතාරා සමග එකට නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තරුණ නීති වේදිනියකගේ සහය ලබාගන්නට මිහිකට හැකියාව ලැබුණි.

චරිත්‍රා උන්නේ ජීවිතය ගැන තේරුම් ගනිමිනි. නොඑසේනම් තේරුම් ගන්නට උත්සාහ කරමිනි.

එකට එක්ව දෑඟිලි පටලා ගෙවන්නට ආ ජීවිතය මෙසේ කෙටි කාලයක් තුල දෙමංසලකදී වෙන් වන්නට වීම ගැන මිහිකගේ හිතේ වේදනාවක් මිස කෝපයක් නැත.

සෑම මොහොතකදීම අප විසින් පසු කර යන සියලු දුක සහ සතුටු නිමේෂයන් අයත් වන්නේ අතීතය යන කාණ්ඩයට නොව අත්දැකීම් යන කාණ්ඩයටයි. ඒ අත්දැකීම් හෙට එන අලුත් නිමේෂයන් දස දහස් ගණනකට පෙරවදන් සපයනු ඇත.

මිහික නැවත විදෙස් ගත වූයේ අප්පච්චිව එරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ය.

නුවර වලව්වේ අප්පච්චිව තනිවම තබා විදෙස් ගත වීම සිතට අපහසු බව අප්පච්චිට කියූ පසු තම හුරු පුරුදු නිවස අතහැර විදෙස් ගත වන්නට දෑලබණ්ඩාර නිලමේ එකඟ විය. ඒ මාස කිහිපයකට වරක් ලංකාවට ඒමට හැකියාව ලබා ගනිමිනි.

දෙවසරකට පසු

අප්පච්චිව එරටට ගෙන්වා ගත් මිහික තම රැකියාව සමග කාර්‍යබහුල වූයේ සිත තනිවන සෑම මොහොතකම අතීතයේ නටඹුන් අතර සිත සැරිසරන්නට වූ නිසාය.

චරිත්‍රා විසින් සිත තුල ඉතුරු කර වේදනාවන් නිසා ඇති වූ කැළැල් සුවපත් කරගන්නට මිහික සති අන්තයේ මනෝ උපදේශනය සඳහාද යන්නට සිතුවේ ස්ව කැමැත්තෙනි.

චරිත්‍රා – මිහික  හමුවෙන් වසර එකහමාරකට පසු ළහිරු විවාපත් වූයේ මංගල යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසයි. මිහිකත් ළහිරුත් අතර ඒ දෛවෝපගත රාත්‍රියේ ඇති වූ බියර් සුවඳැති මිතුදම මත ළහිරුගේ මංගල උත්සවයට මිහිකද සහභාගි විය.

චරිත්‍රා කොහේ දැයි ඔබට මගෙන් අසන්නට පැනයක් තිබෙනු ඇත.

ඇය කොහේ ද කොතැනද යන්න මටත් නිවැරදිවම පවසන්නට නොහැක. ඔබත් මමත් අතරේ මුහුණු පොතේ කොහේ හෝ තැනක හිඳිමින් ඇය ආදරය ගැන ලියමින් ඉන්නවා ඇති බව මගේ විශ්වාසයයි.

ආදරය ඇරඹිය යුත්තේත්,

පැවතිය යුත්තේත්,

අවසන් විය යුත්තේත් ගෞරවයෙනි.

මේ ආදරණීය මොහොත හෙට ආයේ ඒදැයි අපිට විශ්වාසයක් තබා ගන්නට නොහැක.

ඉතින් හදවතින්ම ආදරයෙන් බැඳෙන්න.

විරහවේ කඳුලු වැසි නිසා පෙඟුණු, මල් පෙති බඳු හදවත් නිවාලන මද පවනක්ම වන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles