දෙහිතක කතාවක්  22

“අපි දැන් මොකද පුතේ කරන්නේ?”

සූරියබණ්ඩාර වලව්වේ දානය තිබූ දවසේ ඔක්කාර කරන්නට වූ හේතුව පැය ගණනක් තිස්සේ ලූණු කන්දක් සුද්ද කරන්නට වීම යැයි සිතා ගෙන උන්නද, “ඒ දරුවෙක්ද?” කියන සැකය කැළුමිණීගේ සිත අස්සේ නොතිබුණා නොවේ. අනෙක් අතට ඒ පැනය ගින්නක් වී දැල්වුණේ කැළුමිණීගේ සිත අස්සේ පමණක්ම නොවේ. පබෝධා ද ඒ පැනයෙන් දැවුණාය.

ඒ දැවීම, දැවෙන්නට හේතුවක්ද කියා සැක හැර දැනගනු පිණිස පබෝධා කැළුමිණීවත් ඉස්සර කරගෙන දොස්තර ළඟට ගියාය. 

“සුබ පැතුම්” යැයි දොස්තර කීවද මේ පැතුම බලාපොරොත්තු නොවූ මොහොතක ආ පැතුමකි. එය සුබ පැතුමක් යැයි කියන්නට හැකිද යන ගැටලුව කැළුමිණීගේත් පබෝධාගේත් හිතේ නොතිබුනා නොවේ. රෝහලේ සිට නිවස බලා බස් රියේ එද්දීත් කැළුමිණී උන්නේ ජනේලයෙන් එපිට පෙනෙන නිල්වන් තේ කඳු යාය දෙස බලාගෙනය. එහෙත් සිත තිබුණේ ඒ නිල්වන් හරිතවත් බව උදම් වන තැනක නොවේ. බියෙන්ද සැකයෙන්ද කුතුහලයෙන්ද ගැහෙමිනි. විවාහක යුවලකට දරුවෙක් වනාහී ප්‍රීතියෙන් ඉපිලෙන්නට හේතුවකි. තවමත් නීතියෙන් තමා සහ ප්‍රභාත් බිරිඳ සහ සැමියා වුවද මේ විවාහය තිබෙන්නෙ බිඳී ගොසිනි. එවන් මොහොතක මේ නොපැතූ පැතුමක් ලෙසින් ආ මේ දරුවාව සතුටක් ලෙස භාරගන්නට ඒ කාරනාව ගැටලුවක් නොවේද?

පබෝධා කතාව ඇරඹුවේ නිවසට විත් දිවා කෑමට රතු හාලේ බතකුත්, කිරි හොද්දකුත්, කරවල බැදුමකුත් සකසා අවසානයේය. අද රාත්‍රියේ සූරියබණ්ඩාර වලව්වට කෑම සැපයීමක් කරන්නට අවශ්‍ය නොවූ නිසාවෙන් රාත්‍රියටත් සෑහෙන පරිද්දෙන් සරල දිවා ආහාරයක් සකසාගෙන  රාත්‍රිය ගෙවන්නට හැකියාවක් තිබීම සැනසුමක් විය.

කැළුමිණී උන්නෙ කිසිවකට හිත යොමු කරන්නට පුලුවන් කමකින් නොවේ. සිත තිබුනේ එකම දෙයක් මත කේන්ද්‍රගත වී වුවද එය සිත නිවාලන, සනසාලන කරුණක් වූයේ නැත. 

“මට හිතාගන්න බෑ නැන්දෙ මම මොනවද කරන්න ඕන කියල. මට පිස්සු හැදේවි කියල මට හරි බයයි”

කැළුමිණී උන්නෙ එක ලඟ විඳගන්නට වූ බොහෝ හිත් අමාරුකම් මැද්දෙන් අපහසුවෙන් හෝ හිස ඔසවාගන්නට වෑයම් කරමින් බව පබෝධාට රහසක් නොවේ. එහෙත් මේ වනාහී එසේ පහසුවෙන් වේවා අපහසුවෙන් වේවා හිස ඔසවාගත හැකි අන්දමේ පැනයක්ද? මේ තම කුස තුල හොවාගෙන සිටින තවත් ජීවියෙකු සම්බන්ධ පැනයකි. ඒ ප්‍රශ්නයෙන් එතරම් ලෙහෙසියෙන් නික්මීමට හැකියාවක් තමන්ටවත් කැළුමිනීටවත් නොමැති බව පබෝධා හොඳාකාරවම දැන උන්නාය.

දානයේ වැඩ කටයුතු හොඳින් අවසන් කරගැනීමේ සතුට නිමිති කරගෙන සූරියබණ්ඩාර මහත්මිය නිදාගන්නට ගොසින් උන්නේ හෙට උදේ යලිත් සුපුරුදු පරිදි තම කොළබ ජීවිතයට යාමට කටයුතු සකසා තිබෙන නිසාවෙනි. සීතල නිසාවෙන්දො දෙපා හිරිවැටී ඇති බවක් දැනෙන  නිසාවෙන්ම කලින්ම නින්දට ගියද අරවින්ද උන්නේ නින්දක් අහලකවත් නොමැතිවය.

වෙන දා මෙන් සැඳෑව එන්සල්වත්තට ඉහලින් එබිකම් කරමින් උන්නද සුපුරුදු පරිදි ඒ සැඳෑවේ වූ සිසිලසට  තම හදවත නිවා සනසාලන්නට හැකියාවක් තිබුනේ නැත. 

“උදේ පාන්දරම ඔක්කාරෙට එන්නෙ සුබ ආරංචියක්වත් ද පබෝධා?” කියා අම්මා පබෝධාගෙන් අසද්දී ඇයගේ දෙනෙතේ ඇඳුණු කැළඹිල්ලට හේතුව කුමක්දැයි කියා අරවින්දට තේරුම් ගන්නට හැකියාවක් තිබුනෙ නැත. අනෙක් අතට ඒ සියලු කැළඹීම්වලට වඩා වැඩි කැළඹීමක් තම සිත අභ්‍යන්තරයේ සියලු සැනසුම් අහුරු එහෙ මෙහෙ විසි කර දමන බවක්ද අරවින්දට ඒ මොහොතේ දැනුනේය.

“ඒක තමයි මාත් මේ පබෝධා නංගිගෙන් අහන්න හැදුවේ? ඒ දූ කසාද බැඳලද? අපි දැනං උන්නෙ නෑණෙ”

“දැනගන්නත් එක්කල අපිට ඒ දරුව එක්කල හරිහමනැක්කෙ කතා බස් කරන්නවත් ඉවරයක් පවරයක් තිබුනේ නෑ” කියමින් සඳරුගේ අම්මා පබෝධාගේ උරහිස් මත අත තිබුනේ ඇයව අස්වසන්නට මෙනැයි කියා තමාට සිතුනේ ඇයිද කියාවත් අරවින්ද දැන උන්නේ නැත?

අනෙක් අතට ඇය විවාහය තරුණියක් නම් ඒ සා විශාල වේදනාවක, පාලුවක අන්ධකාර සටහන් ඒ දෑස් තුල තමන් දුටුවේ ඇයි?

ඇය උදෑසන ඔක්කාර කිරීම ඇසීම නිසාවෙන් තම සිත තැවෙන්නට හේතු කාරනා අපමණ තිබුනට පබෝධාගේ දෙනෙත් මත බියක, වේදනාවක සලකුණු ඇඳුනේ ඇයි?

“අනේ ඔව් මහත්තය ඉන්නෙ කොළඹ, දූ මේ දවස් ටිකේ අපෙ අහ ඇවිත් ඉන්නවා” කියා පබෝධා කියද්දී වුව ඇගේ දෙනෙත් වල රැඳී තිබුන බැල්ම වෙනත් කතාවක් පවසන්නට අර අදින බවක් තමාට සිතුනේ ඇයිද කියා අරවින්දට සිතාගන්නට අපහසු විය.

“එයා බැඳල” කියන කතාව තමාගෙ දෙසවණින් ඇසුණද ඒ ඇසුණ දෙයට වඩා යමක් මෙහි තිබෙන බව තේරුම් ගත් අරවින්ද ඒ මොහොතේ එතනින් නික්මුණද සිත තිබුනේ වචනයෙන් අර්තකතනය කරන්නට අපහසු හැඟුම් සමුදායකින් පිරීය. ඒ හැඟුම් සමුදාය රාත්‍රියේ නින්ද නැති කරමින් සිතත් ගතත් අවදි කර තබන්නක් විය.

ඇය විවාහක නම්, ඇයට දරුවෙක් ලැබෙන්නට නියමිත නම් ඒ වනාහී තමා ඇයව අමතක කරවාලන්නට සුදුසුම මොහොත බව අරවින්ද නොදැන උන්නා නොවේ. ජීවිතය බොහෝ තැන් වලදී, බොහෝ වාරවලදී තම ඉවසීම සහ සැනසීම විභාග කර බැලූ බව අරවින්ද හොඳාකාරවම දැන උන්නේය. එහෙත් මැදි වයසත් ගෙවීගෙන යද්දී සිතට අහම්බයෙන් එබිකම් කල ඒ සුන්දර ආදරය මෙසේ පැවසීමටත් පෙරම සුණුවිසුණු වී යාය යන සිතුවිල්ල දරාගන්නට බැරිම එකකි.

“බැඳල නම් අප්පේ කොච්චර හොඳ ද? දරුවෙක් කියන්නෙම වාසනාවක්නේ නේද?” කියමින් අම්මා එවෙලේ ඒ කතාවට අලගු තබනු ඇසුවද අරවින්ද උන්නේ එ කතාබහට සුපුරුදු පරිදි එකතුවන්නට පුලුවන් කමකින් නොවේ.

“ඒක නේන්නං, එහෙනම් දැන් ඒ දරුව ආපහු කොළඹ යාවි නේද?”

කියා ගමේ ගැහැණුන් අසන ප්‍රශ්න වලින් බේරෙන්නට මෙන් මදකට එළියට ගිය පබෝධා, කැළුමිණීගේ ලිහී ගොස් තිබුන කෙස් කලඹ අතින් අල්ලාගෙන ඇයට වමනය කරන්නට පහසු ලෙස පිට අතගාමින් හිඳිනවා අරවින්ද දුටුවෙ කුස්සියේ පැති ජනේලයෙනි.

කතාබහ අවසානයේ අම්මාගේ රෝද පුටුව තල්ලු කරගෙන නිවස ඇතුළට යද්දීත් අරවින්ද උන්නේ සිත කුස්සියේ තබාය. මේ සියල්ලේම සැබෑ කතාව, එහි අභ්‍යන්තරය පිළිබඳව තව දුරටත් දැනගන්නට තිබුනා නම් මොනතරම් අපූරුද? එහෙත් මේ එයට සුදුසු වේලාව නොවේ.

දානයේ වැඩ කටයුතු ඇරඹෙන්නටත් පළමුව පබෝධා කැළුමිණීද කැටුව නිවස බලා යන්නට තනද්දී වාහනයක් සූදානම් කර දෙන්නට අරවින්ද ඇසුවද පබෝධා උන්නේ දොස්තර මහතා හමුවන්නට යන බලාපොරොත්තුවෙනි.

“දොස්තර ළඟට ගිහිල්ලම මේ දරුව පෙන්නගෙනම ගෙදර එනවා මහත්තය”

“මම දැනගෙන ඉඳියෙ නෑ පබෝධා මිස්ගෙ දූ බැඳල කියල” අරවින්ද ඒ වචන මුවින් පිටකරගත්තේ අපහසුවෙනි. කෙල ගුලියක් උගුරේ සිර වී තිබෙන බවක් තේරෙද්දී වුව අරවින්දට ඕන වුනේ මේ සියල් ප්‍රහේලිකාවල අගමුල සොයාගන්නටයි.

“ඔව් මහත්තය” කිව්වා මිසක ඒ කතාව එතනින් එහාට රැගෙන යන්නට පබෝධා උනන්දුවක් නොපෙන්වද්දී අරවින්ද නිහඬවම ඔවුන්ට සමු දුන්නේ ආයාසයෙන් සිනාවක් දෙතොල් මත තවරාගනිමිනි.

“මම හැන්ද වෙලා එන්නම්කො ඒ පැත්තෙ” කියා අරවින්ද එසේ කිව් පසු සිනාසුනු පබෝධාත් කැළුමිණීත් නික්ම යද්දී ඔවුන් නොපෙනී යනතුරුව ඒ දෙස බලා හිඳින්නට අරවින්දට උවමනා වුවද නිවසේ ඇතුලේ බොහෝ රාජකාරි වෙමින් පැවතුන නිසාවෙන් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට අපහසු විය.

“පුතා දැන් ප්‍රභාත් ළමයට මේ ගැන කියන්නෙ නැද්ද?”

නැන්දා හිත අද්දරට ගෙනත් තැබුනේ බරපතල පැනයක් බව කැළුමිණී නොදන්නවා නොවේ. එහෙත් ඒ පැනයට දිය යුතු පිළිතුරක් සොයාගන්නට කැළුමිණීට හැකියාවක් තිබුනේ නැත.

“හවස කතාකරල කියනවා නැන්දෙ. නොකිය ඉන්න බැනෙ. මේ එයාගෙයි මගෙයි දෙන්නගෙම දරුවා.මම එහෙම නොකිය ඉඳියොත් ඒක එයාටයි දරුවටයි දෙන්නටම කරන වරදක් නේද?

මම දැනටම නොකරපු වැරදි වලටත් වැරදිකාරයෙක් වෙලා ඉන්න එකේ මම කොහොමද නැන්දෙ මේ විත්තිය ප්‍රභාත්ට නොකිය දැන දැනම වැරදිකාරයෙක් වෙන්නේ?”

දෑස් මත වේදනාවේ සියලුම මං සලකුණු පෙන්නුම් කරමින් කැළුමිණී එසේ කියද්දී පබෝධාට ඇයව තුරුලු කරගෙන හඬන්නට සිතුණි. එහෙත් මේ හඬා දොඩා වැලපී දුර්වල වීමට අවස්තාවක් නොවන බවත් ගින්දරක් මැද්දේ වුවත් ෆීනික්ස් කිරිල්ලියක නැගී සිටින්නට කැළුමිනීට අවශ්‍ය සහය දිය යුතු වෙලාවක් බව යටි සිත කොඳරමින් තිබුණි.

“ඔව් පුතේ, මාත් කියන්න හැදුවෙ පුතාට ප්‍රභාත් පුතා ඔය ආරංචිය දැනගත්තම තමන් ගන්න උන්නු තීරණ වල උනත් යං වෙනසක් කරන්න උනත් ඉඩ තියෙන එකේ පුතා පරක්කු නොකර ප්‍රභාත් ළමයට ඔය විත්තිය කියන්න”

උදේ ආහාරයට පසුව කැළුමිණිගේ කුසට කිසිවක් නොවැටුන බවත්, ඒ උදෑසන ආහාරයත් වමනය සමග පිටතට ගිය බවත් මෙනෙහි කරමින් මැටි පිඟානට රතු බතුත් කිරි හොදිත් යහමින් කරවල බැදුමත් බෙදා කැළුමිණී අතට දුන් පබෝධා නිවස ඇතුළට යන්නට ගියාය.

නැන්දා විසින් බෙදා දුන් බත පත මතට කඳුලුකැට දහසක් වැටෙද්දී කැළුමිණී ඒ තීරණාත්මක පැනය අසන්නට සිතුවාය.

“දරුවා ගැන දැනගත්තොත් ප්‍රභාත් ආයෙ මාව භාරගන්න කැමති වෙයිද නැන්දේ?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles