ටයිටැනික් සොයා ගිය ටයිටන් සබ්මැරීනයට මොකද වුණේ?

“ටයිටැනික්” පුරාවෘත්තයක් වූ කතාන්දරයක්. ලෝකයේ සිනමා රසිකයන්ගේ දැඩි ආදරයට බඳුන් වූ ජැක් රෝස් ආදරය ද ටයිටැනික් නැවේ ගිලී යාම සහ ඒ ආශ්‍රිත කතාන්දර ගැන වැඩි වැඩියෙන් සොයන්නට ජනතාව පෙළඹවූ බව පැහැදිලි සත්‍යයක්. 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා ටයිටැනික් නැව මුහුදුබත් වුණා. ඒ එංගලන්තයේ සිට ඇමරිකාව දක්වා ගිය දෙදහසකට අධික පිරිසක් අනතුරට ලක් කරමින්. 1500 ක් පමණ අනතුරට ලක් වූ බවයි පැවසෙන්නේ. නෞකාව අත්ලාන්තික් සයුරු පතුලේ මීටර් 3800ක් පමණ ගැඹුරට ගිලී ගොස් තිබුණා. නැව් සැකිල්ල 1985 දී සොයාගත් අතර ටයිටැනික් නැව සම්බන්ධ ගවේෂණ සහ චාරිකා නිරන්තරයෙන් සිදු වෙනවා.

නෞකා සැකිල්ල සම්බන්ධ යූ ටියුබ් වීඩියෝවක් නිකුත් වන්නේ පසුගිය පෙබරවාරියේ. ඉන්පසු එය නැරඹීම ගවේෂණය සම්බන්ධ උනන්දුව ඉතාම ඉහළ යාම ඇරඹුණා.

BBC පුවත් අඩවිය සහ අනෙකුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ටයිටැනික් නැව ආශ්‍රිතව නැවතත් අනතුරක් සිදු වී තිබෙනවා.ගිලී ගිය ටයිටැනික් නැව නැරඹීම සඳහා පසුගිය ඉරිදා පිටත්ව ගිය සබ්මැරීනයක් එහි සිටි මගීන් සමඟම අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ. මෙය මේ වසරේ ටයිටැනික් නැව නැරඹීමට ගිය ප්‍රථම චාරිකාවයි. මුහුදුබත් වූ ටයිටැනික් නැවේ සුන්බුන් ඇමරිකාවේ නිව්සවුත්ෆීල්ඩ් හී සිට කිලෝමීටර් 700ක් පමණ ඈතින් පිහිටා ඇති අතර මෙය අත්ලාන්තික් සාගරයේ අඩි 12,500 ක් පමණ ගැඹුරින් පිහිටනවා. මේ සුන්බුන් නැරඹීමට සුඛෝපභෝගී මට්ටමේ සංචාරයක් ඇමරිකානු සමාගමක් සංවිධානය කර තිබුණා.එම සංචාරයට  එක් පුද්ගලයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 250,000 මුදලක් අය කෙරෙනවා.සංචාරය දින 8ක් පුරා ක්‍රියාත්මක වනවා. 

මේ සබ්මැරීනය අඩි 21 දිග එකක්. මෙහි දින 4 ක් නිරුපද්‍රිතව ඉන්නට අවශ්‍ය ඔක්සිජන් මට්ටමක් ඇති බවයි පැවසෙන්නේ. මේ සබ්මැරීනය ටයිටන් ලෙස හැඳින්වෙනවා. එහි ගමන් කළ හැක්කේ පුද්ගලයන් පස් දෙනෙකුට පමණයි.මීටර් හාරදහසක ගැඹුරකට ගමන් කරන්නට එයට හැකියාව පවතිනවා. පැයට සැතපුම් 3.5 වේගයකින් ගමන් කරන්නට ද ටයිටන් සබ්මැරීනයට හැකියාව පවතිනවා. මෙහි මව් නෞකාව පෝලා ප්‍රින්ස් නම් වූ අතර සබ්මැරීනයේ සන්නිවේදනය බිඳ වැටුණු බව වාර්තා කළේ නෞකාව විසින්.ගමන ආරම්භ වී පැය 1 විනාඩි 45ක් තුළ සබ්මැරීනය අතුරුදහන් වී තිබෙනවා. 

අතුරුදහන් වී ඇති සබ්මැරීනයේ සිටි පිරිස වන්නේ 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් සහ ගවේෂකයෙක් වන හමිෂ් හාඩින්, පකිස්තාන් ජාතිකයන් දෙදෙනෙක්, ව්‍යාපාරික ෂාසාදා ඩාවුට් සහ යෞවන වියේ පසුවන ඔහුගේ පුතුයි.  පිරිස සොයා මේ වන විට අත්ලාන්තික් සාගරය පීරමින් මෙහෙයුම් සිදු වෙනවා.

මේ වෙද්දී ඇමරිකානු හා කැනඩා නාවික හමුදා මෙන්ම ඇමරිකාවේ ආයතන රැසක් ඒ සඳහා විශාල ප්‍රයත්නයක නිරත වෙනවා. රේඩාර් නිරීක්ෂණ පහසුකම් සහිත ගුවන් යානා දෙකක් සහ යාත්‍රා කිහිපයක්ම මේ වෙනුවෙන් කටයුතු කරනවා.සංචාරය සැලසුම් කළ සමාගම පවසන්නේ අතුරුදහන් වූ පුද්ගලයන් නිරුපද්‍රිතව බේරා ගන්නට කෙසේ හෝ කටයුතු කරන බවයි. 

මේ මෙහෙයුම සාර්ථක වන තුරු ලෝකයක් ඇස් දල්වා බලා සිටිනවා!

Related Articles

Don't Miss


Latest Articles