නිතර අපිළිවෙල මුළුතැන්ගෙය ලස්සනට තියා ගන්න කිචන් ටිප්ස්

මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ තියෙන වැදගත්ම අංගයක්.ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පිළියෙල කරන මුළුතැන්ගෙය නිරන්තරයෙන්ම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම ඔබේ අනිවාර්ය වගකීමක්.එසේ තබා ගැනීමෙන් එහිදී සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිළියෙල කරන බවට සහතික වන්නට ඔබට පුළුවන්.

ආහාර පිසින විට ඔබට අවශ්‍ය දේවල් රැගෙන ඒවා ආපසු නියමිත තැන නොතිබීමත් , උපකරණ සහ ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා නොකිරීමත් සහ ආහාර පිසීමෙන් පසුව සහ දවස අවසානයේ දී මුළුතැන්ගෙය පිරිසිදු නොකිරීම නිසා මුලුතැන්ගෙය නිතරම අපිරිසිදුව තිබෙන්නට පුළුවන්. ඉතින් අපිරිසිදු වෙලා තියෙන මුලුතැන්ගෙයක ආහාර පිසීමත් තරමක් පීඩාකාරී දෙයක්.මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ මුළුතැන්ගෙය නිරතුරුවම පිරිසුදුව තබාගන්න පුළුවන් උපක්‍රම ගැනයි

මුළුතැන්ගෙයි කබඩ් සහ රාක්ක වලට ගැලපෙන බහාලුම් මිලදී ගන්න

මේ පියවර ඔබ මුළුතැන්ගෙය සංවිධානය කිරීමේදී සැලසුම් කළ යුතු දෙයක් . වියලි ආහාර ද්‍රව්‍ය , පිටි ,සීනි තේ කොළ වැනි ද්‍රව්‍ය ගබඩා කිරීමට වීදුරු බෝතල් හෝ වෙනත් බහාලුම් මිලදී ගැනීමේදී ඒවා ඔබේ මුළුතැන්ගෙයි කබඩ් සහ රාක්ක වල ප්‍රමාණයට ගැලපෙනවාදැයි හොඳින් සිතා බලන්න. ඒවා ගබඩා කිරීමට ඔබේ කබඩ් සහ රාක්ක වල ඉඩ නොමැති නම් ඒවා මුළුතැන්ගෙයි කවුන්ටරය මත, මේසය මත හෝ වෙනත් ස්ථානයක තැබීමෙන් මුලුතැන්ගෙය අපිරිසිදු වීමට සහ ඉඩ ඇහිරීමට හැකියාව තිබෙනවා

මුළුතැන්ගෙය සංවිධානය කළ හැකි උපකරණ මිලදී ගන්න

වර්තමානයේ වෙළඳපොලේ ඕනෑ තරම් මුලුතැන්ගේ සංවිධානය කළ හැකි උපකරණ , රාක්ක සහ රඳවනයන් මිලදී ගැනීමට තිබෙනවා.ලාච්චු සංවිධානය කිරීමට ඇති ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. හැඳි , ගෑරුප්පු පිහි වැනි දේවල් එකම ලාච්චුවක ගබඩා කර තබනවාට වඩා වෙන් වෙන් වශයෙන් එවැනි බහාලුම් සමඟ ගබඩා කර තැබීම ඔබට පහසුවක් වගේම මුළුතැන්ගේය පිරිසිදුව සහ පිළිවෙළට තබා ගන්නත් අත්වැළක්

පිරිසිදු කවුන්ටරය

මෙය ඉතාමත් වැදගත්.ඔබේ මුළුතැන්ගෙයි කවුන්ටරය හැමවිටම පිරිසිදුව තැබීම ඔබට ආහාර පිසීම සඳහා විශාල පහසුවක් අත්කර දෙනවා. ඒ වගේම ඒ මත කිසිවක් ගබඩා නොකර එය හිස්ව තැබීමෙන් ආහාර පිසින අවස්ථාවේ දී ඒවාට අවශ්‍ය දේවල් පමණක් ඒ මත තබා ගැනීමට හැකියාව තිබෙන නිසා ඔබේ වැඩ පහසු කර කාලයත් ඉතිරි කරනවා.හැබැයි ආහාර පිසීමෙන් පසුව කවුන්ටරය නැවත තිබු තත්වයටම පිරිසිදු කර තැබීමටත් ඔබ වග බලා ගන්නට ඕනෑ

සෑම කාර්යක් සඳහාම ඉඩ වෙන් කරන්න

වෘත්තීමය අභ්‍යන්තර මෝස්තර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද මුලුතැන්ගෙවල් වල සාමාන්‍යයෙන් එක් එක් කාර්යයන් සඳහා වෙන් කළ කලාප තිබෙනවා. තෙත් ප්‍රදේශ ,වියලි ප්‍රදේශ ,ඉවුම් පිහුම් කලාප වැනි කලාපයන් මේවාට ඇතුළත් වනවා.එසේ සිදුකරන්නේ ආහාර පිසීම , කේක් හෝ වෙනත් ආහාර සකස් කිරීම, පිරිසිදු කිරීම වැනි කාර්‍ය්යන් වලට පහසු වීම සඳහාය.එමඟින් ඔබ කුඩා ඉඩක වැඩ කරන විට වුව ද අපහසුවකින් තොරව වැඩ කිරීමට හැකියාව ලැබෙනවා .ඔබ මුළුතැන්ගේ සැලසුම් කරන විට මේ කරුණ ගැන සැලකිලිමත් වනවානම් ඔබේ කාර්‍යයන් තවත් කාර්යක්ෂම කර ගැනීමට ඔබට හැකි වෙන බව නම් නොඅනුමානයි

අපිරිසිදු පිඟන් කෝප්ප ගොඩගසා නොතබන්න

ආහාර පිසීම යනු ඇතැමෙකුට විනෝදජනක දෙයක් වුවත් මුළුතැන්ගෙය පිරිසිදු කිරිම යනු එතරම් ප්‍රිය කරන කටයුත්තක් නොවෙයි.නමුත් ඔබ විසින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙය ද එයයි.සෑම ආහාර පිසීමක් අවසානයේ දී මෙන්ම සෑම දවසක් අවසානයේ දී ද ඔබ භාවිතා කළ පිඟන් ,කෝප්ප , භාජන ආදී සියලු උපකරණ සෝදා වේලා නිසි ලෙස ගබඩා කිරීමට පියවර ගන්න.එමඟින් මුලුතැන්ගෙය අපිරිසිදු වීම වළක්වනවා මෙන්ම සතුන් බෝවීම ද වළක්වනවා.එපමනක් නොවෙයි පසුදින උදෑසන ට ආහාර පිසීම සඳහා ඔබ මුළුතැන්ගෙයට පිවිසෙන විට ඔබට නැවුම් හැඟීමක් ද ලබා දෙනවා

මුළුතැන්ගෙයි තිබෙන මූලික කැබිනට් වලින් උපරිම ප්‍රයෝජන ගන්න

මුළුතැන්ගෙයි ඔබ නිතර ගැවසෙන කලාපය තුළ තිබෙන කැබිනට් ,කබඩ් සහ අල්මාරි තුළ ඔබ නිතරම ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩ සහ උපකරණ ගබඩා කර තබන්න.එසේ නොවුණහොත් ඔබට අවශ්‍ය දේවල් සොයා ගැනීමට විශාල කාලයක් කැප කිරීමට කැප කිරීමට සිදු වනවා මෙන්ම , සියලු දේ අවුස්සා බැලීමෙන් මුළුතැන්ගෙයද අපිරිසිදු වනවා.ඒ වගේම කලාතුරකින් ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩ සහ උපකරණ , විශාල භාජන ආදිය අනෙක් කබඩ් සහ රාක්ක වල ගබඩා කර තබන්න.එසේ කිරීමෙන් මුළුතැන්ගෙයි තුළදී ඔබ කරන සියලුම සියලුම කාර්‍යයන් වලට විශාල පහසුවක් මෙන්ම ඔබට අවශ්‍ය වේලාවට අවශ්‍ය දෙය පහසුවෙන් ළඟාකර ගැනීමටත් උපකාරි වෙනවා.

කසළ වලට වෙනමම ස්ථානයක් තෝරාගන්න

ඔබ මුළු නිවසම පිරිසිදු කිරීමේ දී ඒ සියලු කසළ අවසානයේ දී රැගෙන එන්නේ ඔබේ මුළුතැන්ගෙයටයි.බොහෝ මුළුතැන් ගෙවල්වල කසල බඳුන් දක්නට ලැබෙන අතර මුළුතැන්ගෙය අපිරිසිදු වීමට බලපාන විශාල ම හේතුවක්.ඔබේ නිවසේ කසළ බඳුන මුළුතැන් ගෙයින් පිටත ස්ථානයක රඳවා තැබීමට හැකි නම් ඔබට වාසි කිහිපයක් ම තිබෙනවා. කසල බඳුනෙන් නිකුත්වන දුර්ගන්ධයෙන් මිදීමට වගේම , කසල නිසා නිවසට එක් රැස් වෙන කෘමි සතුන්ගෙන් බේරීමටත් ඔබට හැකියාව තිබෙනවා වගේම මුළුතැන්ගෙය අවලස්සන වීමත් වැළකී යනවා.මුළුතැන්ගෙයි එකතු වෙන දිරා යන ද්‍රව්‍ය සහ නොදිරන ද්‍රව්‍ය වෙන වෙනම බැහැර කිරීමත් ඉතා නුවණැති ක්‍රියාවක්

මෙන්න මේ උපක්‍රම අනුගමනය කිරීම මගින් ඔබට ඔබේ මුළුතැන්ගෙය නිසි ලෙස පිරිසිදුව තබා ගැනීමට හැකියාව ලැබෙනවා.නමුත් සතියකට වතාවක් හෝ සති දෙකකට වතාවක් වත් මුලුතැන්ගෙය deep clean කරන්නත් අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles