පුංචි පැටවු මදුරුවන්ගෙන් බේර ගන්න සරල ක්‍රම කීපයක්

මදුරු කරදරය අපිට අතිශය සාමාන්‍ය එකක්.බොහෝ ලෙඩ රෝග වලට හේතු වන නිසාත් ඒ රෝග මාරාන්තික වන නිසාත් මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නට අපි සෑම මොහොතකම වගබලා ගත යුතු බව අමතක කරන්නට නම් එපා.නමුත් මදුරු දෂ්ටනයට ලක් වීම අපිට ඕනෑම මොහොතක සිදු විය හැක්කක්.ලෙඩ රෝග ඇති නොවුනත් මදුරුවන් දෂ්ට කළ පසු එතැන කැසීම් සහ රතුවීම් ආදිය ඇතිවීම අපි අත්විඳින හිරිහැරයක්.මේ නිසා මදුරු දෂ්ඨන වලින් ආරක්ෂා වෙන්න අපි හැමෝම කැමතියි.

කොහොමද ඒක කරන්නේ? අපි අද ඒ ගැන කතා කරමු.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න 

අපි මුලින්ම කළ යුතු වන්නේ මේ කාරණාවයි.අප අවට වටපිටාවේ ඇති මදුරුවන බෝ වන ස්ථාන විනාශ කලවිට මදුරු කරදරයෙන් වැළකෙන්න මූලික පියවර තබන්නට අපට පුළුවන්.සාමාන්‍යයෙන් වතුර එකතු වන ස්ථාන විනාශ කිරීම අපි මේ සඳහා කරන ප්‍රධානම දේ.නමුත් ඔබ ඔබේ ගෙවත්තේ ඇති ලදු කැලෑ සහ තණකොළ ආදියත් ඉවත් කර දැමීමට වගබලා ගන්න.මදුරුවන් රැඳී සිටීමට එම ස්ථාන හේතුවක් වනවා 

හොඳින් ආවරණය වූ ඇඳුම් අඳින්න 

සිරුර හොඳින් ආවරණය වුණු ඇඳුම් සහ ලා වර්ණ සහිත ඇඳුම්වලට මදුරුවන්ගෙ ආකර්ෂණය අඩුයි.ඒ නිසා මදුරුවන් ගැවසෙන වටපිටාවක එළිමහනේ රැඳී සිටීමට සිදුවෙනවා නම් මෙවැනි ඇඳුම් අඳින්න.

සිරුර සිසිල්ව තබා ගන්න

ඔබේ දහඩිය සමඟ නිකුත්වන Pheromones වලට මදුරු ආකර්ෂණය වැඩියි.ඒ නිසා මදුරුවන් තදින් ගැවසෙන තැන්වල සහ වේලාවන්වලදී සිරුරේ සිසිල් බව ආරක්ෂා කර ගැනීමත් වැදගත් වනවා 

මදුරුවන් ගැවසෙන වෙලාවන් මගහරින්න

එළිමහනට වී සිටියදී මදුරු දෂ්ටනයට අපි බහුලව ලක්වෙනවා.මදුරුවන් සවස් ගැවසෙන්නේ සවස් යාමයේදී හෝ රාත්‍රී කාලයේදීයි.එවැනි මොහොතකදී එළිමහන් ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් වළකින්න.

නිවස තුළදී විදුලි පංකාවක් පාවිච්චි කරන්න 

විදුලි පංකාවක සුළං වේගයට මදුරුවන් ඉවතට ඇදී යනවා.ඒ නිසා නිවස තුල මදුරුවන් සිටීනම් විදුලි පංකාවක් වැඩි වේගයෙන් ක්‍රියාත්මක කර ඒ අසල රැඳී සිටින්න 

දෙහි යුෂ පානය කරන්න

දෙහි යුෂ වැනි පැඟිරි කුලයේ යුෂ වර්ග පානය කළ විට මදුරුවන් ආකර්ෂණය වීම අඩු බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.ඒ නිසා එළිමහනේ රැඳී සිටිනවා නම් දෙහි යුෂ වැනි දේ පානය කිරීමත් සුදුසුයි .

විවිධ තෙල් වර්ග භාවිතය

පැඟිරි තෙල්,ලැවැන්ඩර් ඔයිල්,කුරුඳු තෙල්, ටී ට්‍රී ඔයිල්,කොහොඹ තෙල්,Thyme oil ආදිය අපට වෙළෙඳ සැල් වලින් ලබා ගන්නට පුළුවන්.මේවා ඇඟේ ගැල්වීම හෝ සුවඳ ආඝ්‍රාණය වෙනසේ තැබීමෙන් මදුරු කරදරය වලක්වා ගන්නට පුළුවන්.මේ තෙල් වර්ග වලට වතුර ටිකක් මිශ්‍ර කර ස්ප්‍රේ කිරීම මගින් ද මදුරුවන් පලවා හැරීමේ හැකියාව තිබෙනවා.

වෙළදපොලේ ඇති මදුරු විකර්ශක භාවිතා කිරීම 

මේවාගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන නම් සහතික වන්නට අසීරුයි.නමුත් සමහර නිෂ්පාදනවලට මදුරුවන් විකර්ශනය කිරීමේ හොඳ හැකියාවක් තිබෙනවා.

ජලයේ බැස සිටීම.

චාරිකාවකට සහභාගි වීමේ දී හෝ එළිමහන් ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී දරුවන්ට මදුරු දෂ්ඨනය වැඩි ලෙස සිදුවන බව පෙනේ නම් ඔවුන් පිහිනුම් තටාකයකට බැස්සවීම,දරුවන්ගේ සෙල්ලම් තටාකයකට වතුර පුරවා ඔවුන්ව එහි තැබීම ආදියෙන් මදුරුවන්ගේ කරදර වළක්වා ගන්නට පුළුවන්.

ඒ සියල්ලම අතරින් ඔබ වටපිටාව පිරිසිදුව තබා ගැනීම අංක එක බව නැවත නැවතත් අමතක කරන්නට එපා.බොහෝ අවස්ථාවන්වල දී ඩෙංගු වැනි රෝග ජීවිත අහිමි කිරීමේ අවදානම ඔබ වෙත රැගෙන එන බව නිරන්තරයෙන් සිහි තබා ගන්න  

Related Articles

Don't Miss


Latest Articles