විටමින් සහ තන්තු බහුල වම්බටු

වම්බටු යනු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරයකි. වම්බටු ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් යුත් ප්‍රභේද රාශියක් ඇත. තද දම් පැහැති සමක් සහිත වම්බටු බහුලව දක්නට ලැබෙන අතර කොළ, සුදු පැහැ වම්බටු ද ලංකාවේ වෙළඳපොලේ ඇත. 

වම්බටුවල පෝෂණීය අගය

  • කැලරි අඩු ප්‍රමාණයකින් ම තන්තු, විටමින් සහ ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් ශරීරයට සපයයි. මේ නිසා බර අඩු කරගන්නා අයට ඉතා සුදුසුයි.
  • වම්බටු වලට වර්ණය ලබා දෙන ඇන්තොසියානින්  සෛලීය හානිවලින් ආරක්ෂා විය හැකි ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත වේ.
  • වම්බටුවලට හෘද ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් අඩු කළ හැකි බව සමහර  අධ්‍යයනවලින් සොයාගෙන ඇත.
  • වම්බටු වල තන්තු සහ පොලිෆෙනෝල් ඉහළ මට්ටමක පවතින අතර මේ දෙකම රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ.
  • වම්බටු වල Solasodine rhamnosyl glycosides අඩංගු වන අතර, පරීක්ෂණ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ පිළිකා ප්‍රතිකාර සඳහා මෙය උපකාර වන බවයි.
  • ජෛව සක්‍රීය සංයෝග, පොටෑසියම්, තන්තු සහ විටමින් බී 6 වැනි අත්‍යවශ්‍ය සංරචක නිසා එය හදවතේ රුධිර සංසරණයට උපකාරී වේ.
  • වම්බටු වල තඹ, මැංගනීස්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි විවිධ අත්‍යවශ්‍ය ඛනිජ අඩංගු වන අතර එය අස්ථි සෞඛ්‍යයට උපකාරී වේ.

වම්බටු තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු දේ

වම්බටු තෝරා ගැනීමේදී ගෙඩිය හොඳින් සජලනය වූ එකක් තෝරාගන්න. මැළවුනු ගෙඩි ගැනීමෙන් වළකින්න. නටුව හොඳින් කොළ පැහැ වුණ ඒවා තෝරාගන්න. නටුව අව පැහැ වී ඇත්නම් වම්බටු පරණ වී ඇත. එමෙන් ම කුඩා පණුවන් සහිත හිල් තිබේදැයි හොඳින් සැලකිලිමත් වන්න.

වම්බටු සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැසුණු වම්බටු ගෙඩි දෙකක්

කුඩාවට ලියූ රතුලූණු ගෙඩි තුන හතරක්

කුඩාවට කැපූ අමු මිරිස් කරලක්

කුඩාවට කැපූ උම්බලකඩ මේස හැන්දක්

ගම්මිරිස් තේ හැඳි බාගයක්

ලුණු

දෙහි යුෂ

වම්බටු ටික ලිප උඩ තැටියක් තබා එය රත් වූ පසු තබා පුළුස්සා ගන්න. මැද හොඳින් තැම්බෙන සේ පිළිස්සීම ප්‍රමාණවත්. වටේම කරකවමින් පුලුස්සන්න. දැන් වම්බටු ගෙඩියේ පොත්ත ගලවා ගන්නට පුලුවන්. සම්පුර්ණයෙන් ම පොතු ඉවත් කරගත් වම්බටු ටික බඳුනකට දමා හැන්දකින් පොඩි කරගන්න. දැන් ඉතිරි සියල්ල දමා හොඳින් මිශ්‍ර කරගන්න. 

වම්බටු පෙති ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැසුණු වම්බටු ගෙඩි කිහිපයක්

බිත්තරයක්

ලුණු 

කහ

බිස්කට් කුඩු

පොල්තෙල්

බීළූණු ගෙඩියක්

සුදුළූණු ගෙඩි තුනක්

තක්කාලි ගෙඩියක්

මාලුමිරිස් කරල් දෙකක්

අමු මිරිස් කරල් කිහිපයක්

කෑලි මිරිස් කුඩු ටිකක්

සීනි ස්වල්පයක්

ලුණු

සෝයාසෝස් ටිකක්

හදන්නේ මෙහෙමයි

වම්බටු සෙන්ටිමීටර් බාගයක පමණ පෙති කපා කහ සහ ලුණු දමා අතගා ගන්න. දැන් එය බිත්තර වල දවටා බිස්කට් කුඩුවල තවරා බැද ගන්න. දැන් එය පසෙකින් තබා තාච්චියකට සුදුළූණු ටික තලා දමා ගන්න. එයට ම බී ලූණු රවුම් කපා දමා ගන්න. දැන් මාලුමිරිස් සහ අමු මිරිස් එක් කරන්න. ලුණු, සීනි, කෑලි මිරිස් සහ සෝයාසෝස් ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් තක්කාලි ටික එක් කරන්න. ලිප වසා අවසානයේ බැදගත් වම්බටු පෙති ටික එක් කර මිශ්‍ර කරගන්න.

Related Articles

Don't Miss


Latest Articles