ඒ රාත්‍රියේ ඔබේසේකර මැදුරේ කිසිවෙකු ගේ කුස් පිරුණා යි සිතිය නො හැකි ය. වෙනකක් තබා පාලිකා ට වුව බත් ටිකක් කෑමේ රුචියක් වූයේ නැත. සිය සැලසුම් සියල්ල හිරු දුටු පිනි සේ ඇසිල්ලකින් වියැකී යාම ගැන ඕ තෝන්තුවාවට පත් ව සිටියා ය.
“මන්දා මට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්”
ඈ තනි ව පවා කියවූවා ය.
සුමනා සහ ඩෙස්මන් යුවළ ගැඹුරු නිහැඬියාවකට එළඹ සිටියහ. රාත්‍රිය සුසුමින් පිරී ගියේ ය. ඒ වයසේ හැටියට නින්ද යන්නේ නැති එක කරුමයක් කියා සුමනා ට සිතිණ. සිය පුතුන් දෙදෙනා ම හොඳ පවුල් ජීවිත ගෙවන්නට සුදුසුකම් ලැබුවෝ නො වූහ. සුමනා ඒ ගැන සන්තාපයෙන් පසු වූ යුගයක් තිබිණි. නමුත් ඕ හිත හදා ගත්තා ය. නිකිනි සම්බන්ධයෙන් කිසි දා ක නො සිතූ සේ ඇති වූ මේ අර්බුධය නම්, මියෙන තුරු ම හිත සන්සුන් කර ගන්නට ඇය ට ඉඩ නො දෙනු ඇතැයි මේ මොහොතේ එතුමියට සිතෙයි.
ගෙදර ගිහින් කාමරයට වැදුණු සැනෙන් විදත් නිකිනි ඇමතුවේ ය. ඇය ව ඒ විදිහට එහි තනි කර දමා ඒම ගැන ඔහු ගේ හිතට වාවන්නේ නැත. මේ ප්‍රේමණීය සිතිවිලි සරැල්ල විදත් ට හරි අමුතු ය. ආගන්තුක ය. මීට කලින් ස්ත්‍රීන් දෙදෙනෙකු හා විවා පත් ව සිටියත්, මේ විදිහට ඔහු ප්‍රේමයෙහි හැසිරී නොමැත්තේ ය.
“අවුලක් නෑ නේද…”
ආදරය දනවන්නට වෙන ක්‍රමයක් ඔහු දැන සිටියේ නැත.
“ම්හු”
ඇය මිමිණුවා ය. නෙතු පියා ගත් විට වඩාත් හොඳින් ඇය ට ඔහු දැකි ය හැකි වූයේ ය. ඔවුන් දෙදෙනා අතරේ වන්නේ රැයක දුරක් පමණකි. නමුත් ඒ රාත්‍රිය ඔවුන් ගේ සිතිවිලි වඩ වඩාත් සමීප කරවා තිබේ.
“කට්ටිය බැන්නද…”
“නෑ”
නිකිනි ලජ්ජාශීලී සිනහවක් පෑවා ය. මේ වාගේ වයසක දී මෙහෙව් ප්‍රේමයක පැටලෙන්නටත්, එහි චමත්කාර ජනක හා අද්විතීය වූ ගැස්ම විඳ ගන්නටත් සිදු වීම ගැන ඇය තුළ ඉසිහින් සබකෝලයක් ඇති ව තිබිණි.
“මං දාල ආවෙ හිතකින් නෙවෙයි…අරං එන්න විදහක් නැති කමට”
“බාප්ප මොකද කිව්වෙ…”
“ඌගෙ අවුලක්ම නෑ. ලංකාව වගේ රටක සිය වස් ගණනාවක් තිස්සෙ ජීවත් වෙන මිනිස්සු…මොන තරං සල්ලි තිබුණත් මොන සමාජ පසු බිමක් තිබුණත් හිතන්නෙ ඔය විදිහට තමයි නිකිනි. ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ”
නිකිනි ගේ පපුවෙහි රිදුමක් දිගින් දිගට ම වූයේ ය. වෙන කවුරුන් අත් හැරියත් සුමනා ගෙ තීරණය අත් හළ නො හැකි බව ඇය දනී. වෙන කිසි දාක නොවූ නො පැහැදීමක් අද ඇගේ මුහුණ මත වූ බව ද නිකිනි ට විශ්වාස ය.
“මට බය හිතෙනව”
ඇය එසේ කීවේ ඇත්තට ම ය. අවුරුදු දහ අටක දැරියක ගේ ප්‍රේමයක් ගෙදරට අනාවරණය වූ අවස්ථාවක ඇයට දැනෙන ආකාරයේ තැතිගැන්මකි එය.
“ගෙදරින් එපා කිව්වොත්…”
ඔහු කොයි මොහොතක හෝ නො අසා සිටිනවා නම් හොඳයි කියා ඈ සිත සිතා සිටි ප්‍රශ්නය විදත් ඇසුවේ ය. නිකිනි ඇතුළාන්තයෙන් වෙව්ලා ගියා ය. සත්තකට ඒ ප්‍රශ්නය ට දිය යුතු හෝ දිය හැකි සාධාරණ පිළිතුරක් ගැන ඇය ට සිතා ගත නො හැකි ය.
“අනේ..”
ඇය මිමිණුවා ය. ඒ ස්වරය වඩාත් ලං වූයේ හැඬුමකට ය.
“එහෙම දෙයක් ගැන කතා නොකර ඉමු”
ඇගේ අවසරයකින් තොරව ම කඳුළක් කන් පෙත්තක් අස්සේ සැඟවී ගත්තේ ය.
“ඔයාට මං ඕන නං…කාට ඒක වෙනස් කරන්න ඕන වුණත් මාව නවත්තන්න හම්බ වෙන්නෙ නෑ නිකිනි”
ඒ ස්ථිර සාර බව මිනුම් කරන්න ට උවමනා නැත. නිකිනි ගේ හිත හිරි ගැන්වී ගියේ ය. මෙතුවක් කාලයක්, දශක දෙකකටත් වැඩි කාලයක් මේ ආදරය නිවී සැනසිල්ලේ හදවත තුළට වී බලා සිටියේ ය. එහි කිසිදු කලබලයක් වූයේ නැත. හදිසියක් වූයේ නැත. කරදරයක් වූයේ ත් නැත. එය බාහිර ලෝකය ට නිරාවරණය වූ ගමන් ගිනි ජාලාවක් වූ අරුමය!
“කෑවද ඔයා…”
“ම්හු”
“බඩගින්නෙනෙ ඉතිං…”
“ම්හු”
“මට තේරෙනව දුකෙං කියල…ඒත් මොකද්ද මේ වෙලාවෙ මට කරන්න පුළුවන්…”
විදත් ට ඕනා වූයේ රැය පහන් වන තුරාවට ම සිය ලාබාල පෙම්බරිය සමග මේ විදිහට දොඩමළු ව සිටින්නට ය. නමුත් නිකිනි ට කතා බහකින් තොර ව හුදෙකලා වී සිටීමේ දැඩි අවශ්‍යතාවයක් දැනිණ.
“මං…තියන්නද…”
ඇය අවසර පැතුවේ ඒ හුදෙකලාව වෙනුවෙනි.
“හරි එහෙනං…ඔයා නිදියන්න. මුකූත් අවුලක් නෑ කියල හිතං හොඳ නින්දක් දාන්න”
නිකිනි දිග ම දිග සුසුමකින් සැහැල්ලු වූවා ය. ප්‍රේමය ඇතත් නැතත් ජීවිතයට සැනසීමක් වොමැති වීම සොබා දහමේ නියතයක් ද කියා සිතන්නට ඇය ට ඕනා විය. ගුවනි හිටියා නම් රැය නිදි වරාගෙන හෝ ඒ ගැන කතා කරන්නට දේවල් අනන්තවත් තිබෙන්නට පුළුවන.
නිකිනි උදෙන් ම ගුවනි හමු වීමට යොදා ගත්තා ය. ඒ පොත් හල් ගොඩනැගිල්ලේ දී නොව ඔවුන් ට පුරුදු අවන් හලෙහි දී ය.
“මිස් ගෙ මූණ ඇදිල ගිහිං වගේ. එක දවසට කොහොමද එහෙම වුණේ…”
නිකිනි සිය කෝපි මල් සිනහව පෑවා ය.
“ජීවිතේ මොන දුකක් වුණත් වහං ඉන්න පුළුවන් හිනාවක් මිස්ට දෙයියො දීල තියෙනව”
මංජුල විසින් ඇති කරන ලද ගැටළුව දුර දිග ගිය ආකාරය ගැන ගුවනි සාවධානව අසා සිටියා ය. අන්තිමට ඇය සුසුමක් හෙළුවේත් සිනහවකිනි.
“හොඳයි එහෙම වුණ එක”
නිකිනි නෙතු විසල් කොට බැලුවා ය.
“කොයි දේත් දවසක පුපුරල යන්න ඕනනෙ මිස්. විදත් සර් ළඟට මිස් යන්නනං…කවුරුත් ඒ ආදරේ ගැන වුණත් දැන ගන්න ඕනනෙ. තව හංගගෙන පරක්කු කර කර ඉන්න එකෙං වෙන්නෙ බබාගෙ වයස තවත් අඩු වෙන එකනෙ”
නිකිනි ගේ ඇස් වලට සිනහවක් ආවේ ය. දරුවෙක්! දරුවෙකු ගේ කිරි සිනහවක් ගැන පැතුමක් නැති ගැහැනිය මෙළොව බිහි වී සිටිය නො හැකි ය!
“කවුරු විරුද්ද වුණත් මිස් විදත් සර් එක්ක යන්න. එක දවසක් හරි ඇත්තටම සැනසීමෙං සතුටෙං ජීවත් වෙලා මැරුණත් සැපයි මිස්”
මේ පුංචි වයසට, නිකිනි නො දැන උන් බොහෝ කාරණා අත්දැකීම් විසින් ගුවනි ට උගන්වා තිබේ. ඈ ජීවත් වූ අගහිඟකම් බහුල දුෂ්කර ජීවිතය, ඇය ට මනා පරිචයක් වී තිබේ. පොඩි කාලේ අම්මා එක්ක හාල් හුණ්ඩුවක් ඉල්ලා ගන්නට දන්නා කියන ගෙවල් වලට හිඟමනේ ගිය දවස් ඇය ට අමතක නැත. විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබත්දී ඔවුන් ගැන දන්නා අය ගුවනි ට පමණකුදු නොව ඇගේ මවටත් සිනහ වූහ. තාත්තා කෙනෙකු නොමැති දියණිය ව, නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ වැඩ කරන ගැහැනියක විසින් විශ්ව විද්‍යාලයට යැවීම ඔවුන් ට ලෝකයේ දැවැන්ත ම විහිළුව සරි විය. ඔවුහු කල්ලි ගැසී ඒ ගැන කතා කරමින් ලොකුවට සිනහ වූහ.
ගුවනි මංජුල ට ආදරය කරන්නට ගත්තේ, සතුට කියා දෙයක් මතක නැති සිය ජීවිතයට, එක දවසක හෝ සතුටක් උරුම කර දීමේ බලාපොරොත්තුවෙනි. එක දවසක් නොව ටික කලක් සතුටෙන් උන් බව නො පිළිගන්නට තරම් ඈ කුහක නැත. නමුත් දිගු කාලීන ව සිය ජීවිතයට අවශ්‍ය කරන සතුට එය නොවන බව ගුවනි ඉක්මනින් ම වටහා ගත්තා ය.
“මිස්ලට ඉතිං රකින්න ෆැමිලි බැක් ග්‍රවුන්ඩ්ස් තියෙනව. ස්ටේටස් තියෙනව. මටනං ඉතිං ඔය මොන ඉලව්වක්වත් නෑනෙ. ඒක නිසා මං හිතන්නෙ මට සතුටෙන් ඉන්න පුළුවන් මොහොතක් ගැන විතරයි. සමහර විට ඒක කසාදයක්නං වෙන එකක්ම නැති වෙයි”
නිකිනි සසල වීමකට බඳුන් වූවා ය. සහස් සිටින්නේ ගුවනි ගැන යම් රසවත් සිතිවිලි රළ පෙළක් තුළ බව නිකිනි ට දැනේ. නමුත් විවාහය සම්බන්ධයෙන් ගුවනි ගේ තීරණය මේ ආකාර නම්, එතැන සහස් ට නවාතැනක් සොයා ගත නො හැකි වනු ඇත.
“විදත් සර්ට අකමැති ඕන කෙනෙක්ට කුද ගහ ගන්න කියල මිස් සර් අඬගහන ඕන දිල්ලියකට යන්න. මටනං කියන්න තියෙන්නෙ එච්චරයි”
පොත් හලේ වැඩ කරන එක නිකිනි දින කිහිපයකට නතර කොට දමන්නට සිතුවා ය. හිතේ එකලාසයක් නැති ව ඒ වගේ භාවනාවක නිරත විය නො හැකි ය. ගෙදර හිටියත් එතැන වෙනදා දැනෙන සැනසීම වූවා ද කියන ප්‍රශ්නය සහිත ය. කෙසේ වතුදු නිකිනි වෙනසක් නැති ව ඩෙස්මන් ගේ තෙල් බෙහෙත් සාත්තුව කළා ය.
“ඔය මොනා කළත් දැං වැඩක් නෑ. පප්පගෙ හිත හොඳට ම බිඳිලයි ඉන්නෙ”
බෙහෙත් සාත්තුව අතරේ දී වතාවක් සුමනා ඇනුම් පදයක සරින් එසේ කීවා ය. නිකිනි දන්නා සුමනා ඒ වගේ වචන කියන කෙනෙක් නොවේ. නමුත් වසර මිලියන ගණනක් තිස්සේ අප පුරුදු පුහුණු කරනු ලැබූ පොදු ස්ත්‍රී ලක්ෂණ, ලෝකය පවතින තුරු ම පරපුරෙන් පරපුරට ගමන් කරනු ඇත.
“නිකිනි වෙන ඕන කෙනෙක්ට කැමති වෙන්න. අපි ලස්සන වෙඩින් එකක් අරං කරමු. ඒත් ඒ විදත් වෙන්න බෑ නිකී. එයා ඔයාට ගැලපෙන්නෑ මගෙ චූටි කෙල්ලෙ”
පපුව සත් කඩකට පැලෙන්නට එනවා නිකිනි ට දැනිණ. ආයේ කිසි දාක කිසිදු පිරිමියෙකු නො පතා ඉන්නට පුළුවන. සුමනා කියනවා නම් මින් මනතට සදහට ම තනිව ඉන්නට ඇය ට පුළුවන. එය වෙන ම කතාවකි. නමුත් ඊට විදත් වාගේ මිනිසෙකු ඈඳා ගැනීම සිය ප්‍රේමයට කරනා මදි පුංචි කමක් සේ නිකිනි ට දැනුණේ ය.
“විදත් කොච්චර වයසද කියල හිතන්නකො. මිත්‍ර බාප්පගෙ වයස…”
“සුමනා…දැං ඔය ඇති”
ඩෙස්මන් තරමක් තදින් කතා කළේ ය.
“ඉතිං මං කියන්නෙ ඇත්තනෙ. හිතක් කියන දේ හෙල්ලෙන්න පුළුවන් තමයි. ඒත් මේ ළමයට ඇත්ත තේරුං කරල දෙන්න එපැයි. එයා ඔයාට වඩා අවුරුදු විස්සක් වැඩිමල්. ඉතිං ෆැමිලි ලයිෆ් එකක් සක්සස් වෙන්න පුළුවන් ද…”
“ඔයාට වැඩිය මං අවුරුදු පහළොවක් වැඩිමල්. ඒක අමතකයිනං දැංවත් කට වහගන්න”
එවර ඩෙස්මන් වඩාත් දැඩි වූයේ ය.
“ඉතිං අනේ…පහළවටත් වැඩිය පහක් වැඩිනෙ විස්සක් කියන්නෙ”
“ඇති ඇති”
ඩෙස්මන් ගේ සැර කිරිල්ලට සුමනා නිහඬ වූවා ය. තෙල් බෙහෙත් ගෑවාට නිකිනි ගේ පිරිමැදීමෙහි කිසිදු ශක්තියක් වූයේ නැත. සැබවින් ඇය අප්‍රාණික වෙමින් සිටියා ය.
“නිකී”
මඳ වෙලාවකින් ඩෙස්මන් ඉතා නිවුනු ස්වරයකින් කතා කළේ ය. නිකිනි ඇස් පියන් විදා ඔහු දෙස බලා ගත්තේත් අසීරුවෙනි.