“පොඩ්ඩක් එහාට වෙලා ඉන්න දූ.මල්ලිට හුස්ම ගන්න බෑනේ..”
මගේ කෑගැහිල්ලට දුව ගැස්සුණා.සෑහෙන වෙලාවක් කෙඳිරි ගගා අඬපු චූටි පුතා නිදාගත්ත විතරයි.දුව ගිහිල්ලා එයාගේ අතින් අල්ලන් ඉන්නවා.සති දෙකක් වයස පුතා ඇහැරෙන්න ඒකත් ඇති.මම පුතාව කොට් එකෙන් තියලා නැගිට්ටේ අමාරුවෙන්.කොච්චර වෙහෙසක් ද?
“අම්මී..මං චිත්‍රයක් ඇන්දා..මේ චූටි මල්ලි..”
මං ඇඳට වැටෙනකොටම දුව ආයේ දුවගෙන ආවා.මං ඇස් පියා ගත්තේ නෑහුනු ගාණට.මට ඕනෑ පැයක් හරි නිදා ගන්න.පුතා නිදා ගත්තු වෙලාව මටත් නිදාගන්න හොඳම වෙලාව.ඒ වෙලාවේ කරදර කරන දුව ගැන මට ආවේ තරහක්.මම ඇස් තද කරල පියා ගත්තා.ටික වෙලාවක් මගේ අත අල්ලන් හිටිය දූ පුංචි අඩි තියමින් යන්න ගියා.
පුතාගේ පැමිණීම අහම්බයක්.ආයේ දරුවෙක් අනවශ්‍ය බවත් දූ හිටියම ඇති බවත් මමත් කලනත් තීරණය කරපු දෙයක්.හදිසි අසනීප තත්ත්වය එක්ක මම කැළඹුණා.එක උදේක ස්ට්‍රිප් එකේ තද රතු ඉරි දෙක දිහා මම බලා හිටියේ කැළඹීමෙන්.
“ආවා නම් එයා හිටපුදෙන්..”
කලන අන්තිම තීන්දුව දුන්නා.එක දරුවෙක් හොඳටම ඇති හිතපු මම උපත් පාලනය ගැන සරලව හිතීම ගැන කලනටත් මටත් දොස් කියන්න සති කීපයක්ම වැය කළා.
“ආර්ථික අමාරුකම් තියෙන මිනිස්සු නම් ඔය වගේ ප්‍රශ්නයක් ගැන එකක් හිතන්න ඕනේ තමයි.ඔයාලට එහෙම ගැටලුවක් නෑ නේ.ඒ නිසා අමුත්තාව බර ගන්න..”
නහයෙන් අඩන කේන්ති ගන්න මට අන්තිමට අපේ අක්කා දුන්නේ ඒ වගේ උපදේශයක්.පුංචි අමුත්තා බාර ගන්න මම හිත හදා ගත්තා.දූ මල්ලි බබෙක් එනකම් ඇඟිලි ගනින්න පටන් ගත්තා.
“අම්මට කරදර කරන්න එපා හොඳේ..”
කලන දූට තිස්සෙම කිව්වා ගර්භනී අපහසුතා ඒ තරම් නොදැනීම නිසා මට දූ බලා ගන්න අපහසු වුණේ නෑ.සේරම පටන් ගත්තේ මල්ලිගේ උපත එක්ක.
ප්‍රසූතියට මාව ශල්‍යාගාරයට අරන් යනකොට තාත්ති එක්ක එයාටත් යන්න ඕන බව කියමින් දූ අඬන්න ගත්තා.අමාරුවෙන් හිටිය මගේ අතින් අදිමින් එයා අඬනකොට අපේ අම්මා දූ අරගෙන එළියට ගියා.මල්ලිත් අරන් ආපහු ආව අම්මාගෙන් එයා කරේ එක ඉල්ලීමක්.
“අම්මී..මට උම්මා එකක්..”
වේදනාබර තුවාල එක්ක හිටපු මං ඒ ඉල්ලීමට කේන්ති ගත්තා.මගෙන් ප්‍රතික්ෂේප වුණු දුව මුහුණ නරක් කරගෙන බොහෝ වෙලාවක් ගෙවා දැම්මා.
හරි යුද්ධේ පටන්ගත්තේ ගෙදර ආවම.මුලින්ම දූ “අම්මිකුක්කු” ඉල්ලුවා.මල්ලිට වගේ මේෂ් ඕනෑ බව කිව්වා.මල්ලි වගේ නාවන්න, ඒ වගේ වඩා ගන්න කියද්දී මගෙත් රතු කට්ට පනින්න පටන් ගත්තා.
“මොන කරදරයක්ද ළමයො..යනව යන්න අරහෙට..”
කුක්කු ඉල්ලගෙන ආව එයා මගෙන් බැනුමක් අහගත්තේ අද උදේ.අම්මාට ඇහුණම මට බැන්නත් ඇත්තටම මේ කරදරේ මටනම් දැන් ඇති වෙලා.දුව ටිකක් හරි සන්සුන් හවසට කලන ආවම විතරයි.
මම පැයකට විතර පස්සේ ඇහැරුණේ වාහනේක සද්දෙට.කලන එන්න තව වෙලා තියෙනවා.කවුරුහරි පුතා බලන්න එන්න ඇති.
“ලොකු අම්මි ඇවිල්ලා…”
දුව කෑගහගෙන යන සද්දේ මට ඇහුණා.ටිකකින් අක්කාගේ අතේ එල්ලිලා දූ කාමරේට එබුණා.එයා අතේ සොෆ්ට් ටෝයි එකක් තියෙන බව මම දැක්කේ ඒ වෙලාවේ.
“ඕක කොට් එකෙන් තියන්න..මල්ලිට ගේන ඒවා ඔයාට මොකටද?”
මං කෑගැහුවා.දූ ඇස් ලොකු කරගෙන අක්කා දිහා බැලුවා.අක්කා මට ලොකු රැවුමක් එවන ගමන් තමයි දූ වඩාගත්තේ.
“මල්ලි දන්නවද බෝනික්කාගෙන් සෙල්ලම් කරන්න.ඔය බෝනි පැටියා මගේ චූටි බෝනික්කට..”
අක්කා එහෙම කියනකොට දූගේ කම්මුල් රෝස පාට වෙන්න ගත්තා.දූව ඉවරයක් නැතුව සිප ගත්තු අක්කා එයාව බිමින් තිබ්බේ වටයක් කරකන ගමන්.
“ලොකු අම්මිට මහන්සී පැටියෝ..අත්‍තම්මට කියන්නකො තේ හදන්න කියලා..”
දුව කාමරයෙන් එළියට දිව්වේ අක්කාට හාද්දක් දීලා.අක්කා මං ළඟින් ඉඳගත්තේ බැරෑරුම් බැල්මකින්.
“අද ගයානි ආවද?”
මම ඔලුව වැනුවා.අක්කා ආයෙත් මුහුණ නරක් කරගත්තා.
“දරුවෙක්ට සතියක් දෙකක් වෙනකොටම මෙයාව බලන දුවගෙන ආපු එක කියමුකො..තාම අමාරුවෙන් ඉන්න ඔයාගේ ඔළුවට විකාර දාලා ගිය එකයි මට කේන්ති..”
අක්කට අම්මා ලොකු කේලමක් කියලා තියෙන පාටයි.
ගයානි ආවේ අද උදේම.පුතා දිහා බලාගෙන එක එක ඒව කියපු එයා අන්තිමට දූ දිහාට හැරුණා.
“දැන් අම්මි ඔයාට ආදරේ නෑ නේද?”
ගයානි එහෙම අහලා හිනා වෙන්න පටන් ගත්තා.අම්මා මල්ලිට කුක්කු දෙන්නේ, තුරුළු කරගෙන නිදාගන්නේ, නාවන්නේ අක්කාව ඕනෑ නැති නිසා කියලා ගයානි නැන්දා කියනකොට දූ ඒක අහගෙන හිටියේ බයෙන්.තිගැස්මෙන්.
“දැන් මෙයා හරියට මට කරදර කරනවනෙ.කොහොමත් මම හිතන් ඉන්නේ නරක බබාලට ආදරේ නොවී මල්ලිට විතරක් ආදරේ වෙන්න.”
දූ ඒ කතාව අහලා මුහුණ රතු කරගෙන යන්න ගියා.අක්කාට ඒ කතාව අම්මා කියන්න ඇති.අම්මාට ඒක ඇහෙන්න ඇති.අක්කා කාමරයෙන් එළියට ගිහින් කොළයක් අරගෙන ආවේ එතකොට.
“මේ චිත්‍රෙ ඇඳලා තියෙන්නේ දූ..”
ඒ චිත්‍රෙ කියවාගත්තේ අක්කා.පැත්තකට වෙලා ඉන්න අක්කා බබා සහ මල්ලි තුරුළු කරගත්තු අම්මිව දූ ඇඳලා.මට ඉකි ගැහුණේ එකපාරටම වගේ.
“ඔයා ඉන්නේ මහන්සියෙන්.පුතා බාර ගන්න බලාගෙන හිටියේ නැති නිසාම ඔයා මේකට ලෑස්ති නැතුවත් ඇති.ඒත් පොඩි කෙල්ල පලි නෑනෙ.එයා ඔයාගෙ ආදරේ හොයනවා.එයා ආදරේ ඉල්ලන හැම වෙලාවකම එයාව රිජෙක්ට් කරන එක සාධාරණ නෑ නංගි.”
අක්කා කියන්නේ හෙමින් සැරේ.මං ඇස්වලින් ගලන කඳුලට ඉඩ දෙන ගමන් අක්කාට ඇහුම්කන් දුන්නා.
“මටත් පුතාව බැලන්ස් කරගන්න අමාරු වුණා.දූ හම්බෙලා ආවම එයාට කිරි පොවලා අම්මා අතට දීලා මං පුතා එක්කම හිටියා ඔයාට මතකද? කිරි දරුවගේ බඩ පුරවලා තිබ්බම එයා සැනසෙනවා.ඒත් ආදරේ හොයන වයසේ දරුවට අම්මා තව කෙනෙක්ට ආදරේ කරන එකත් තදට දැනෙනවා.ඒ වේදනාව දරුවෙක්ට දෙන්න නරකයි නංගි..”
සති දෙකක් තිස්සේ මට මගේ පුංචි කෙල්ල දරුණු විදියට මඟ ඇරුණා.වෙනදා මං නැතුව තත්පරයක්වත් නොහිටපු දූ මේ සති දෙක හුඟාක් තනි වුණා.එයාට ඒක මොනතරම් දැනෙන්න ඇතිද? හැමවෙලේම ආදරේ ඉල්ලගෙන පස්සෙන් ආව දූ ගැන මට දැනෙන්නේ දරන්න බැරි තරමේ වේදනාවක්.
“මාත් අක්කා කෙනෙක්නෙ.ඔය වේදනාව මටත් දැනුණා.හීනෙකින් වගේ තාම මතක් වෙනවා.නංගි, අපි අපේ අම්මලට වඩා හිතන්න දන්න පරම්පරාවක්.එයාලා අතින් වුණු සමහර වැරදි අපි නොකර ඉන්න එකයි වටින්නේ..”
අක්කා නැගිට්ටේ එහෙම කියාගෙන.මං කබඩ් එකෙන් දූ ආසම කතන්දර පොතක් අතට ගත්තා.
“අක්කේ, පුතා ඇහැරෙනවද බලන්න..මං දෝණිට කතන්දරයක් කියා දීලා එන්නම්..”
අක්කා හිනා වුණේ ආදරේ පුරවාගෙන.අලුත් නංගිලා මල්ලිලා නිසා පුංචි අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගේ හිතක් තැලෙන එක මොනතරම් නරකද කියලා මටත් තේරෙන්නේ දැන්.
අම්මා කෙනෙකුට දරුවෝ කිහිප දෙනෙක් ඉන්න පුලුවන්.ඒත් දරුවෙක්ට අම්මා කෙනෙක් කියන්නේ ලෝකයක්.ඒ හැඟීම වේදනාවෙන් පුරවන්න හොඳ නැහැ.