ජීවිතය සතු වූ මතක ගොන්නෙන් මා හට විවිධාකාර හැඟීම් මුසු වූ මතක රාශියක් ඇත.අතිශය සුන්දර වූ ළමා කාලයේ සිට අද දක්වාම ඒ මතක මා මෙනෙහි කරන්නේ සිංහබාහු රාල්ලලාගෙ දීපිකා සඳමලී අප්සාරී සිංහබාහු නැමති මා නිර්මාණය කල ආදරණීය දෙමව්පියන්ට හදවතින්ම තුති පුදමිනි.
මේ මතක දිගහැරුම කරන්නේ අදටත් මා අසීමිතව ආදරය කරන ඒ මතක අලුත් කරගැනීමට සහ මෙය කියවන ඔබ සියලු දෙනාටම එයින් ගත හැකි යමක් වෙතැයි බලාපොරොත්තුවෙනි !
කෑගල්ලේ නෙළුම්දෙණිය නම් ගමෙහි උපත ලද මගේ තාත්තා , නමින් පොඩි නිළමේ සිංහබාහු විය.ඉතා කුඩා පිරිසකට අයත් එම සිංහබාහු නාමය ලත් පරපුරේ අය අයත් වී ඇත්තේ ගොවි සහ හෙළ වෙදකම් පරපුරකටය. ශීලා සිංහබාහු වන මගේ අම්මාගේ උපන්ගම වූයේ කලුතරය.විවාහයෙන් පසුව කොළඹ මහරගම ප්‍රදේශයේ ඔවුන් දෙදෙනා පදිංචි වන්නේ එවකට මගේ තාත්තා සිනමා ශාලාවක කළමනාකාරවරයා ලෙස රැකියාව කල නිසාය.
ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු අටවන දිනක මෙළොව එළිය දුටු මාගේ ගම් පළාත වන්නේ කොළඹය.මගේ නංගි ඉපදෙන්නේ මට වසර හතරකට පසුවය.ඇය නමින් කල්පනී ගයත්‍රී සිංහබාහුය.
තාත්තා රැකියාව කල මහරගම අනූශා නැමති සිනමා ශාලාවට මදක් නුදුරින් අපේ නිවස පිහිටා තිබුනු අතර මගේ තාත්තා එම ප්‍රදේශය පුරා හැමදෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වූ ගුණගරුක පුද්ගලයෙක් විය.සේවකයෙකුට වත් නරක ලෙස ආමන්ත්‍රණය නොකල ඔහුව බොහෝ දෙනා ඇමතුවෙ ” සිංහබාහු මහත්තයා ” හෝ ” සුදු මහත්තයා ” ලෙසය.
මගේ තාත්තා යනු ” නලුවෙකු ” මන් ඉතාම කඩවසම් සහ අතිශය පිළිවෙල පුද්ගලයෙකි.රැකියාවට යාමට පෙර ඔහු පැයක පමණ සිට සූදානම් වන්නේ ඒ පිළිවෙල නිසාවෙනි. මට මතක ඇති කාලයක සිට සෑම උදෑසනකම මා දකින හුරුපුරුදු දසුනක් ඇත.ඒ , උදෑසනම අවදි වන මගේ තාත්තා හොඳින් පිරිසිදු වී පිළිවෙළට හැඳ පැළඳ ,තේ කෝප්පයක් බොන්නටත් පෙරම බුදු පහන ඉදිරිපිටට වී බුදුන් වඳිනු දැකීමයි.එය තාත්තාගේ ජීවන රටාවේ අනිවාර්‍යය අංගයක් වී තිබුනු අතර හවස් වරුවේ එම කාර්‍යභාරය ඉටු කලේ අම්මා විසිනි.තාත්තා ඒ වනවිට රැකියාවට ගොස් සිටින නිසා , අඳුර වැටීගෙන එනවිට නිවසේ විදුලි පහන් දල්වන්නටත් පෙර අම්මා විසින් අපවද කැටුව ගොස් බුදු පහන දල්වා නිවස ආලෝකමත් කරයි.අප සමඟම ගාථා කියමින් ඒවාට අපව හුරු කරවන්නටද අම්මා අමතක කලේ නැත. ඒ වගේම උදෑසනදී පෙර පාසල් යන්නට පෙර ඔවුන් සමග ආගම සිහි කිරීමෙන් පසුව සහ රාත්‍රී නින්දට පෙරත් ඔවුන් දෙදෙනාටම දණ ගසා වඳින්නටත් පුරුද්දක් මාත් නංගීත් සතු විය.
නින්දට පෙර දත් මැදීම අපට අනිවාර්ය වූ අතර තාත්තා සහ අම්මා ඒ ගැන විමසීමත් එකල අනිවාර්යයෙන්ම සිදුවිය.එවැනි යහපත් පුරුදු ඔවුන් කුඩා කල සිටම අපට පුරුදු කල අතර ඒවා පවත්වාගෙන යාමට අපව උනන්දු කිරීමටත් දෙමව්පියන් වශයෙන් ඔවුන් කිසි විටකත් අමතක කලේ නැත.
අනෙක් විශේෂම කාරණාව නම් අම්මා සහ තාත්තා අපට අවවාද දුන්නා යැයි මතකයක් මට නැත.” අවවාදයට වඩා ආදර්ශය උතුම් ” බව අපට පසක් කරමින් ඔවුන් නිතරම ආදර්ශමත් ලෙස ජීවත් වෙමින් , අපට ඒවා පෙනෙන්නට සලස්වමින් පමණක් අපව යහමගට ගන්නට කටයුතු කල බව මට මතකය.
මගේ අම්මා ඉතා හොඳ ගෘහණියක් වූ අතර ඇය අතින් පිළියෙල වන ඕනෑම ආහාරයක් අතිශය රසවත් විය.අම්මා උයන විට ඇය අසල හිඳිමින් අපද ඒවා ඉගෙන ගත් නිසා වර්තමානයේ මා හට ඉතා රසවත්ව ආහාර පිසීමට හැකියාව ලැබී ඇත.අම්මා කිසි දිනක අපට කඩෙන් කෑමට ඉඩ නොතැබූ අතර අතුරුපසට ගන්නා අයිස්ක්‍රීම් පවා ඇය විසින්ම සකස් කලාය.ඒ නිසා දිනපතාම අප නිවසේ ශීතකරණයේ අයිස්ක්‍රීම් බඳුනක් වරදින්නේ නැත.
දිනපතාම අප වෙනුවෙන් නිවසේම ආහාර පිළියෙල කරන අම්මා එම ආහාර වල මුල්ම කොටස බුද්ධ පූජාව සඳහා වෙන් කර තබයි.තාත්තා ඒ මොහොතේ නිවසේ නොසිටියත් ,අම්මා විසින් ඊළඟ ආහාර කොටස ඔහු වෙත වෙන් කර තබන්නේ නිවසේ බත සරි කරන තැනැත්තා වූ තාත්තාට ගෞරව කිරීමක් සහ සැලකීමක් ලෙසයි.එය අම්මා විසින් නොකඩවාම සිදු කල අතර , වර්තමානයේ මා විසින්ද එය සිදු කරනු ලබන්නේ මගේ සැමියාට කරන ගෞරව කිරීමක් වශයෙනි.
අම්මා සහ තාත්තා අතර වයස් පරතරය වසර විස්සක් විය.අම්මා විසින් තාත්තාට අසීමිතව ගෞරව කල අතර කිසිම දිනක ඔවුන් අතර බහින්බස් වීමක් හෝ උස් හඬින් කතා කිරීමක් අපට අසන්නට ලැබී නැත.ඇතැම්විට අම්මාට තරහා යයි දැනෙන මොහොතවල් වලදී තාත්තා එතැනින් මග හැර යන්නේ ඔවුන් අතර තර්ක කිරීමක් හෝ ඇතිවීමට ඇති අවස්ථාවන් වළක්වා ගන්නටය.ඒ වගේම තාත්තා කොහේ හෝ යන්නට නිවසින් පිට වන්නට මත්තෙන් සහ ඕනම සුබ කටයුත්තකට පෙර අම්මා ඔහුට දණගසා වඳින දසුන අපිට බොහොම හුරුපුරුදු එකක් විය.මෑතකදි ඔවුන්ගේ ජීවිතයේ අවසාන භාගය වනතුරුම එම ගෞරවය සහ ආදරය ඔවුන් අතර නොඅඩුවම පැවතිනි. ඔවුන්ගේ එම බැඳීම දුටු මා තේරෙන වයසේ සිටම සිතාගත්තේ කවදා හෝ නිසි වයසේදී විවාහ විය යුතු බවත් ,අම්මා සහ තාත්තා මෙන් ඉතා ලස්සන විවාහ ජීවිතයක් මා ගත කල යුතු බවත් ය.
මට වයස අවුරුදු හතක් වනතුරුම මගේ උපන්දිනය තාත්තා විසින් මහ ඉහලින් සැමරුවේ මුලු මහරගම ප්‍රදේශය පුරාම සිටින තාත්තාගේ මිතුරන්ට ආරාධනා කොට , සංගීත කණ්ඩායමක්ද ගෙන්වාය. ඒ අයුරින් අපට හැම සතුටක්ම දෙන්නට ඔහු විසින් නොකල දෙයක් නැති තරම් ය.
අපේ නිවසේ සියලුම සුබ කටයුතු පන්සල මූලික කරගෙන සිදු විය.ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර පන්සල වෙත ගොස් ස්වාමීන් වහන්සේ මුණගැසී කතාබස් කර උපදෙස් ලබාගෙන සිදු කිරීම අප නිවසේ සාමාන්‍ය සිරිත විය.ඒ වගේම වර්තමානයේ බහුතරයක් දෙනා මෙන් අපලයක් ඇති විට හෝ දුකක් කරදරයක් වූ විට පමණක් අප බෝධි පූජා සිදු කලේ නැත. මගේ අම්මා මසකට වරක් හෝ ඇයට සිතුණු මොහොතක පන්සලට ගොස් දින හතක් පුරා බෝධි පූජා පැවත්වූයේ අප සැමට සෙත් පැතීම උදෙසාය.
තාත්තාගේ නිවාඩු දිනය වූයේ සිකුරාදා ය.පුරුද්දක් ලෙස හැම සිකුරාදා දිනකම ඔහු අම්මාවද කැටුව කොච්චිකඩේ පල්ලිය වෙත යයි.ඔවුන් නැවත එන විට පිටකොටුවේ සළුසලෙන් මට සහ නංගිට ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය රෙදි මිළදී ගෙන එයි.
නිවස අසල සිටින් කාන්තාවක් ලවා නංගිට සහ මට ඉතාම ලස්සන ගවුම් මස්සවා දෙන අම්මා සහ තාත්තා අපව සැරසුවේ බෝනික්කන් මෙනි.ඔවුන් නිතරම වෙහෙසුනේ අපව ඇස් දෙක මෙන් රැක බලා ගන්නටය.ඔවුන් සතුවූ වටිනාම වස්තුව අප දෙදෙනා බැවින් අප පසුපසින් සිට ඔවුන් අපව ආරක්ශා කලේ ඉතා ආදරයෙනි.
මහරගම කන්‍යාරාමය මගේ පෙර පාසල වූ අතර එහි සිටි කන්‍යා සොයුරියන් ඉතා ආදරණීය, විනයගරුක සහ කරුණාවන්ත අය විය.ඔවුන් අපට ඉංග්‍රිසි අධ්‍යාපනය ඉතා හොඳින් ලබා දුන් නිසා එකල සිටම මැනවින් ඉංග්‍රිසි භාශාව හැසිරවීමට අපට හැකියාව ලැබින.
ගැහැණු ළමයෙක් වශයෙන් ඕනෑම දෙයකින් ටික ටික හෝ දැන සිටිය යුතු බව මගේ අම්මා නිතරම කියූ දෙයක් විය.ඒ අනුව මම පියානෝ සහ වයලීන් වාදනයටත් කුඩා කල සිටම නැඹුරු වූයෙමි.
පසුකාලීනව අම්මා විසින් අපට නිවසේ කටයුතු , ඉවුම් පිහුම් කටයුතු සහ කේක් සෑදීම පිළිබඳව මැනවින් කියාදුන් අතර නිවසේ විදුලි බුබුලු මාරු කිරීම පවා ඇය විසින් සිදු කරමින් අපටද ඒවා ඉගැන්විමට කටයුතු කලාය. නිවසේ එවැනි බොහෝ කටයුතු ඇය විසින්ම සිදු කල අතර ඇය ,මහන්සි වී නිවසට එන තාත්තා වෙනුවෙන් ඒවා ඉතිරි කර තැබුවේ නැත.
ඉතා කුඩා අවධියේ සිටම බුදු දහම මුලික කරගෙන යහපත් ලෙස ජීවත් වෙන්නට මෙන්ම ගැහැණු ළමයෙකු ලෙස පිළිවෙලට ජීවත් වන්නට අම්මා මෙන්ම තාත්තාද අපට හුරු කලේ ඉතා ආදරයෙනි.අතිශය මිහිරි ළමා කාලයක් අත්විඳි මගේ ජීවිතයේ ඉන් අනතුරුව එළඹෙන්නේ සුන්දර වූ පාසල් කාලය ය.
මතු සම්බන්ධයි